Monthly Archives: June 2012

කියන කොට එහෙමයි – කරන කොට මෙහෙමයි අපේ ඇමරිකන් විරෝධය

අතීත කතාව

සුදු හකුරු රජතුමාගේ ප්‍රියතම ආහාරයකි.රජවාසලට සුදු හකුරු සැපයූ ගමරාළගෙන් දිනක් රජතුමා මෙසේ ඇසීය.

,ඈ බං උඹේ හකුරු හරිම රසයි.උඹ කෙහොමද මේව හදන්නේ?”

රජතුමාගෙන් ලකුණු දමාගැනීමට ලද හොදම අවස්ථාව අත් නොහල ගමරාළ මෙසේ උත්තර දුන්නේය

“අවසර මහරජතුමනි, උඩට උඩු වියන් පයට පාවඩ බැඳල, මාය් මගේ මාය්යියි සුදු පිරිවට ඇඳල, මුකවාඩම් බැඳ ගෙන තමයි අපි මේ හකුරු සරි කරන්නනේ.”

තව තවත් ප්‍රීතියට පත් රජු ගමරාළට තුතු පඬුරු ද දී පිටත් කර හැරියේය.

දිනක් දේශ සංචාරයේ නිරතවන අතර රජතුමා, හකුරු සපයන ගමරාළ ගේ නිවස ඇති ඉසව්වට ද අහම්බෙන් සේන්දු විය. පරිවාර ඇමතියන්ගෙන් ඒ බැව් දැනගත් එතුමා ගමරාළ ගේ නිවෙස සොයා ගෙන ඒ දෙසට පානගන්නට විය.

විස්මයකි!

ගමරාල ඒ මොහොතේ ද සිටියේ පැණි උණුකර හකුරු සාදමින්ය. නමුත් උඩට උඩුවියන්, පයට පාවඩ, සුදු පිරුවට ඒ කිසිත් අහලක නොවීය. ලිප අසල බොහෝ වේලාවක් තැම්බි තැම්බී සිටීම නිසාදෝ ගමරාළ ද ගම මහගේ ද සිටියේ දාඩියෙත් තෙත්වූ දැලි කුණ පෙරාගත් සිරුරිනි.

රජතුමා අසූ හාරදහසට උදහස් විය.

“ඈ  බොල  තෝ මට හකුරු සරිකරනවයි කීවේ මේ විදියටද?”

“පස්වාන් දහසකට බුදුවන්ට දේවයන් වහන්ස. කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි !”

ගමරාළ පිලිවදන් දිනි.

වත්මන් කතාව

ඇමරිකාව අපට එරෙහිව (???) ජිනීවා මානව හිමිකම් සමුලුවේ දී යෝජනාවක් සම්මත කරගන්නා බව දැනගත් විමල් ඇමතිතුමා එරටට එරෙහිව වේදිකා පෙරලමින් කෑගසන්නට පටන් ගත්තේය.

“අම්මේ තාත්තේ අපි ඇමරිකන් සන්නාම වර්ජනය කරමු.ගූගල් වලින අයින් වෙමු.මමත් හෙට ඉදන්න අයින් වෙනවා.අමැරිකාවට පාඩමක් උගන්වමු”

ඊයේ පෙරේදා රජය (ජිනීවා වල සම්මත වූ යෝජනාවට අදාලව වියයුතුය) මානව හිමිකම් රැකීමේ ක්‍රම වේදය ගැන ක්‍රියාකාරී සැලැස්මක් හිලරි ක්ලින්ටන් මහත්මියට භාරදුන්නාය.

ඇමරිකාවේ සතුරු රාජ්‍යයක් වන ඉරානයෙන් ඛණිජ තෙල් ආනයනය කරන බැවින් , ඇමරිකාව ශ්‍රී ලංකාවට ද සම්භාදක පනවන්නට සූදානම්ව සිටියේය. නමුත් ඇමරිකාවට කීකරුව ඉරාණයෙන් ඛණිජ තෙල් ආනයන සීමා කිරීමට රජය එකඟ වූ බැවින් සම්භාදක නොපනවන බව ඇමරිකාව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

විමල් ඇමතිතුමා මීක් නැත.

කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි!

 

ඔෂින් දිගු ගමනක් ගියාය

ඔෂින් දිගු ගමනක් ගියාය. දුගී අඳ ගොවි පවුලක උපන් ඈ අවසානයේ විශාල සුපිරි වෙළඳසැල් ජාලයක හිමිකාරිය වූවාය.ඒ සදහා ඇය ගේ අප්‍රතිහත ධෛර්යය ද නොපසුබස්නා  උත්සාහය ද හේතු විය.සෞභාග්‍යය කරා ඈ ගමන් කළ මාර්ගය රෝසමල් ඇතිරූ මාවතක් නොව කටු අකුල් වලින් ගහන දුර්ග මාර්ගයක් ම විය. ඒ දුෂ්කර මගෙහි ගමන් කිරීම වෙනුවෙන්  ළදරු කළ සිට ම අනුන් ගේ දැලි කුණ සේදුවාය. තමන්ට වඩා වසර දෙක කුනකට බාල දරුවන්ට ආයා වූවාය. නොවඳිනා දුක් වින්දාය. නමුත් අවසන ඈ ඒ සියල්ල  ජයගත්තාය. තනිවම නොව තම දරු පවුල ද සමගින් සමෘද්ධිමත් වූ ඈ තම ජීවිත කලය කෙලවර වනවිට ව්‍යාපාරික ක්‍රෂේත්‍රයේ ඉහලටම ගමන් කිරීමට සමත්ව සිටියාය.

අහම්බයෙන් පසුගිය දිනෙක, සිංහල දෙබසින් තවද රසවත් වූ ඔෂින් ටෙල නලුව (තිස්ස අබේසේකරයන්ගේ හඬින් ඇසෙන ඔෂින් පූර්විකාවේ සඳහන් මේ වදන් තොටවත්තයන් ගේ විය යුතුය) ජාතික රූපවාහිනියෙන් දුටු විට මා සිත අතීතයට ගමන් කළේය. ඈ අපගේ පරණ ම මිතුරියකි. මුලින් ම ඔෂින් ඉංග්‍රීසි බසින් විකාශය වන විට (එවකට හරියට සිංහල වත් බැරි) අපි එය නොනැරඹූ බව මතකය. නමුත් එය සිංහල දෙබසින් නැවත විකාශය වනවිට (ගැටවර වියට පා තබා සිටි) අපි එය සතුටින් වැළඳගතිමු. (කම්මුල් රෝස පැහැ ගත්) ළදරු ඔෂින් ට සිදුවන අරියාදු හමුවේ කඳුලු සැලීමු. ඇය අම්මා ගේ, අත්තම්මා ගේ, සන්සකු (යුධ විරෝධී හමුදා සෙබලා) ගේ, කගායා හි සහල් වෙළද පවුලේ ආදරයට කරුණාවට පාත්‍ර වන විට අපි ද සැනසුම් සුසුම් හෙලුවෙමු. මේ අනගි ටෙලි නිර්මාණය ලංකාවේ ප්‍රේක්ෂකයන්ට සමීප කළ ජාතික රූපවාහිනිය මෙන්ම එය සිංහල ජනයාට තවත් සමීප කල ටයිටස් තොටවත්තයන් ද  ප්‍රේක්ෂක ජනතාවගේ  නොමද ප්‍රශංසායට ලක්විය යුතුමය.

ඔෂින් ජපාන ඉතිහාසයේ යුගයක් (ලෝක යුධ දෙක අතර කාලය හා ඉන් පසු යුගය) පුංචි තිරයතුලින් ප්‍රතිනිර්මාණය කළ අතර මෙය ඒ අතින් ඓතිහාසික වටිණාකමකින් ද හෙබි කතා පුවතකි.විකිපීඩියාවට අනුව ඔෂින් යනු එක්තරා දිරිය ජපන් කතක ගේ සැබෑ ජීවිත කතාවයි.

සමස්ථ ජපාන ජනතාවම අනාගතය ගැන බලාපොරොත්තුවක් නැතිව දුක් විදිමින් සිටි යුගයක් වීය. ගොවි ජනතාව සිටියේ ඉඩම් හිමියා ගේ  ග්‍රහණයේය. එක් කන්නයක අස්වැන්න ඊළඟ කන්නයේ අසවනු ලැබෙන තෙක් ප්‍රමානවත් නොවූ නිසා ඔවුහු බත් හා මුසු කොට රාබූ අනුභව කළෝය. දුගී ජනතාව සූරාගෙන කෑ සුලුතර ධනවත් ඉඩම් හිමියාට වාල් කම් කළෝය. දුගී විෂම චක්‍රයෙන් ගැලවීම සදහා තනිව හෝ පවුල් පිටින් පිටරටකට යෑම ගැන විශ්වාස කළහ.

සියලු පීඩනයන් හමුවේ වුව ද ජාත්‍යාලය හා දේශනානුරාග ද නොඅඩුව ජපන්නුන් ගේ සිත් සතන් තුල පැලපැදියම්ව පැවතිණි. රට වෙනුවෙන් ඕනෑම මෙහොතක යුද්ධයට යාමට ද උදාර අරමුණු වෙනුවෙන් ජීවිතය උව ද කැපකිරීමට පසුබට නොවූහ.[ඔෂින්ට තකේෂි (පුතු) ද, රූසෝ (සැමියා) ද අහිමි කළේ යුද්ධයයි.]

 මුලින් කී පරිදිම අහම්බෙන් පසුගිය දා ඔෂින් නරඹනවිට මට ඇති වූ  හැඟීම නම් ජපානය නැගී සිටි අයුරින් ජාතියක් ලෙස නැගීසිටිමට අපට නොහැකි වූයේ මන්ද යන්නයි. (වර්තමාන ශ්‍රී ලංකාව එදා ජපානය හා සසදන්න – එළවලු විකුණාගත නොහැකි ගොවීන්,  අර්ථසාධක අරමුදල රැකගැනීමට සටන් කරන කම්හල් සේවකයින්, කොරියානු සිහිනයෙන් මුසපත් ව සිටින තරුණ ප්‍රජාව).

ලේඛකයා කෙටි කලක් ජපාන සමාගමක දේශීය ව්‍යාපෘතියක සේවය කළේය. එහිදී ලද අත්දැකීම් නම් ජපන්නු ද අප රටේ ජනතාව ද දැනුම හෝ දක්ෂතාවය අතින් විශාල පරතරයක නැති බවයි.

එසේ නම් වෙනස කුමක් ද ?

ඔවුන් ගේ විනයානුකූල ක්‍රියාකලාපය සහ ආකල්ප වල ඇති උත්කෘෂ්ඨ බවයි.

උදෑසන 8.00 ට රාජකාරි ඇරඹෙන් නේ නම් සියලුම නිළධාරීන් ඒ වන විට තම ආසනය මත උදේ රැස්වීම ට සූදානම් ව සිටිය යුතුය.(වැසිකිළියේ හෝ තේ කාමරයේ නොව). කාර්යාලයේ දැන්වීම පුවරුවක සෑම නිළධාරියෙකුගේම නම හා දැන් සිටින ස්ථානය (Destination) සදහන්ව තිබේ. යමෙකු පිටතට යන්නේ නම් ඒ බව ද නැවත ඒමට බලාපොරොත්තු වන වේලාව ද ඒ පුවරුවේ සටහන් කල යුතුය.දිවා විවේකය 12.00 නම් අනිවාර්යයෙන් ම ඒ වෙලාවට පිට වියයුතුය.නැවත නියමිත වේලාවට පැමිණිය යුතුය. කාර්යාලය තුල S5 මනාව ක්‍රියාත්මක කළ යුතුය. අපේ කාර්යාල වල සිටින කා.කා.ස හෙවත් පියන් ලා මෙහි නැත. කා.කා.ස කෙනෙනකුට පැවරෙන රාජකාරි සියල්ල (ජ්‍යේෂ්ඨත්වය නොසලකා) අප විසින් ම ඉටුකරගත යුතුය.

තමන්ට පැවරෙන රාජකාරිය මනාව ඉටු කිරීම ගැන පැමිණිල්ලක් නැති මුත් අපේ දේශීය සේවකයන් සෑම විටෙකම බැලූවේ ලොක්කට නොපෙනෙන්න පහට කලින් ගෙදර යාමටය.තේ විවේකයේ වල්පල් දෙඩවීමට තව විනාඩි 20ක් වැඩිපුර ගැනීමටය. කෙටියෙන් කිවහොත් තම ප්‍රධානියා ගේ කනිං රිංගායාමෙන් අප දේශීය සේවක මහතුන් අමුතුම තෘප්තියක් ලැබීය.

වරක් අනවශ්‍ය ලෙස කඩදාසි නාස්ති කළ දේශීය සේවක මහතෙකු අමතා ජපන් විධායකයෙකු පැවසූවේ මෙයයි.”අපේ සමාගමට මේ කඩදාසිය වෙනුවෙන් වැය වන මුදල දැරීම මහ අමාරු වඩක් නෙවෙයි.ඒත් මේ කඩදාසි හදන්න විනාශ කරන ගස් කීයක් අපිට ඉතිරි කරන්න පුලුවන් ද අනවශ්‍ය ලෙස කඩදාසි නාස්ති නොකොලොත්?”

මේ සත්‍යය වශයෙන්ම ජපන්නු කල්පනාකරන විදිය බව කිවයුතුය.

අප ද ජාතියක් වශයෙන් (ඉහල සිට පහලට සමස්ථ ප්‍රජාවම) විනයගරුකව යහපත් ආකල්ප වලින් පෝෂිත ව ක්‍රියාකරන්නේ නම් දෙපයින් සිට ගැනීම මහ අමාරු දෙයක් නොවේ.

රවි අභියෝගය ජයගනී

මැයි මස 26 දින මේඝය ඉදිරිපත් කළ අභියෝගය (මේඝය සිංහල බ්ලොග් ප්‍රහේලිකා 4) , සාර්ථකව ජයගැනීමට රවිසඳු සොයුරා සමත් විය.ඔහුට සුභපැතුම්!

මෙන්න නිවැරදි විසඳුම

තවත් අලුත් අභියෝගයකින් යලිත් හමුවෙමු.

සමානුපාතික නියෝජන ක්‍රමයේ අවාසි? – ටෙරන්ස් පුරසිංහ මහතාට පිළිතුරකි

ඉරිදා ලංකාදීප පුවත්පතේ නැණත අතිරේකයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ලිපි පෙලක් සම්පාදනය කරන ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ටෙරන්ස් පුරසිංහ මහතා මෙවර (ජූනි 3 ඉරිදා) අවධානය යොමුකර තිබුණේ 1978 ව්‍යවස්ථාව ප්‍රකාරව ස්ථාපිත සමානුපාතික නි‍යෝජනයේ දුර්වලතා ලෙස එතුමා හදුනාගත් දේ පිලිබඳ සාකච්චා කිරීමටයි.සමානුපාතික නියෝජන ක්‍රමය , මේඝයේ සිත්ගත් මාර්තෘකාවක් වන බැවින්  මෙයට පිළිතුරු බැඳිමට ද අලුත් ලිපියකට ද මෙයින් ඉඩකඩ ලබාගමු.

ඒ සඳහා පුරසිංහ මහතා දැක්වූ කරුණු එකින් එක විමසා බලමු.

1.පරිපාලන දිස්ත්‍රික්ක පදනම් කරගෙන ඡන්ද කොට්ඨාශ බෙදීමෙන් ඇතිවන අසමානුපාතික බව 

මේ කර්කයේ සත්‍යතාවක් ඇති නමුත් ජනගහණය, භූමි ප්‍රමාණය යන සාධක සලකා සාධාරණ පදනමක් මත (බරතැබූ සාමාන්‍යය බඳු ක්‍රමයක් යොදාගෙන ) මේ ගැටලුව පහසුවෙන් විසඳාගත හැක.

2.ආසන බෙදීයාමේදී සිදුවන අසමානුපාතික බව.

පුරසිංහ මහතා මෙහිදී දක්වා සිටියේ දිස්ත්‍රික් මට්ටමින් ජයග්‍රාහී පක්ෂයට හිමිවන ප්‍රසාද ආසනය නිසා සමානුපාතික බව බිඳී යන බවයි.මේ කර්කයට ලේඛකයා ද එකඟයි.මේ ප්‍රසාද ආසන පිරිනැමීම සංශෝධනයට ලක්කර ඉවත් කල යුතු බව පෙන්වා දුන්නා මේ ලිපියෙන්.

3.ව්‍යවස්ථාදායකයේ අස්ථාවර බව.

කිසිදු පක්ෂයකට පාර්ලිමේනුතුව තුල බහුතර බලයක් නොලැබෙන බැවින් ස්ථාවර රජයන් බිහි නොවේ යයි ඔහු තර්ක කළේය.

2010 මහ මැතිවරණ ප්‍රතිඵල මගින් මෙය අසත්‍යය බව පෙන්විය හැක.මේ මැතිවරණයේ දී නිදහස් සංධාන රජය 2/3 කට ඉතා ආසන්න බලයක් සහිතව ජයගත්තේය.

එපමණක් නොව 1994 දී යාන්තං එක් වැඩි ආසනයක් පමණක් සහිතව ආණ්ඩු බලය ලබාගත් පොදුජන එක්සත් පෙරමුණු රජය අස්ථාවර රජයක් නොවීය.සමහර විට 1978 ව්‍යවස්ථාවේ ම නිර්මාණයක් වන විධායක බලය සහිත ජනාධිපති ධූරය ද ඔවුන් සතුවීම රජය පවත්වාගෙන යාමට උපකාර වන්නට ඇත.නමුත් හෙලවෙන දතක් වැනි රජයක් මහජනයාට නම් වාසිදායක යැයි සිතේ.ඒ පාර්ලිමේන්තු බලය අහිමි වේය යන බියෙන් ජනතාවගේ විරෝධයට ලක්වන ක්‍රියා වලට රජයක් නැඹුරු වීමේ ප්‍රවනතාව ඉන් අඩුවන නිසාය.

අනෙක් අතට පැරණි කේවල ඡන්ද කොට්ඨාශ ක්‍රමය යටතේ වුවද මැතිවරණයකින් පසු හැම විටම ස්ථාවර රජයන් බිහි වූයේ නැත.1960 බිහිවූ රජය පළමු රාජාසන කතාවේදීම බිඳවැටිණ.

4.ඡන්දදායකයා සහ ඔහුගේ නියෝජිතයා අතර දුරස්තරභාවය

මේ කොට්ඨාශයට වගකියන මංත්‍රීවරයෙක් නැතැයි කියන චෝදනාවයි.මැතිවරණය අවසානයේ ජයග්‍රාහී අපේක්ෂයන් ඒ ඒ ඡන්ද කොට්ඨාශ වලට අනියුක්ත කර පත්වීම් ලබාදීමෙන් මේ ගැටලුව පහසුවෙන් විසඳාගත හැක.(මේ සඳහා මංත්‍රී ධූර ගණනට සමාන කොට්ඨාශ ගණනක් ඇතිවන ලෙස සංශෝධය ඇති කල යුතුය-දැනට මේ දෙක ආසන්න වශයෙන් සමානය).මීට පෙරද මේ ගැන ලියා ඇත්තෙමි.

5.මනාප ක්‍රමයේ අහිතකර බලපෑම්

මේවා දේශපාලන සංස්කෘතියේ ඇති දූෂිත බව මිසක් මනාප ක්‍රමයට ආවේණික ලක්ෂණ නොවේ.දේශපාලනඥයින් ගේ ආකල්ප වෙනස් කිරීමකින් තොරව මැතිවරණ ක්‍රමය වෙනස් කලාය කියා වෙනසක් විය නොහැක.මීට පෙර ද සාකච්චා කර ඇත.

6.අතුරු මැතිවරණ නොපැවැත්වීම

එක් අතකට අතුරු මැතිවරණ නොපැවැත්වීම නිසා මැතිවරණයකට යනු විශාල මුදලක් ඉතිරිවීම රටට වාසියකි.මැතිවරණදෙකක් අතරතුර කාළයේ ජනතා මතය උරගා බැලීම උදෙසා අතුරු මැතිවරණ අත්‍යවශ්‍ය නම් ඒ සඳහා සමානුපාතික නියෝජන ක්‍රමයට ම සංශෝධන එක් කල හැක.

7.ජාතික ලැයිස්තු ක්‍රමයේ අයහපත් අංග

මෙහි ඇත්තේ ක්‍රමයේ වරදක් නොව භාවිතවේ වරදකි.මැතිවරණ වලට ඉදිරිපත්වීමට අකමැති නමුත් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට සුදුසු උගත් බුද්ධිමතුන් ජාතික ලැයිස්තුවට එක්කිරීම ඒ ඒ දේශපාල පක්ෂ වල වගකීමකි.

මේ  මේඝය සමානුපාතික නියෝජනයට පක්ෂව ඇමුණූ මුතු මාලයක තවත් එක් පබලුවකි.පහත යොමු ඔස්සේ අනෙක් ඒවා කියවන්න.

මනාප ක්‍රමය හා බැදුන මිත්‍යාවන්

සමානුපාතික නියෝජන ක්‍රමය දිගටම අවශ්‍ය ඇයි ?

කේවල කොට්ඨාශ මැතිවරණ ක්‍රමය නැවත ගේන්න එපා!

1977 දී UNPය හයෙන් පහක් ලැබුවේ, ජනමතය විකෘති කළ කේවල ඡන්ද ක්‍රමය නිසයි