Category Archives: මැතිවරණ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා මහජන යෝජනා ලබාගැනීම – වර්ශ 2016

ගරු සභාපතිතුමනි,

ව්‍යවස්ථා සංශෝධනය සඳහා මගේ යෝජනාව නම්, මැතිවරණ ක්‍රමය සංශෝධනය නොකර සමානුපාතික නියෝජන ක්‍රමය දිගට ම පවත්වාගෙන යන ලෙස ඉල්ලීමයි.

ඊට හේතුව නම් පැවති කේවල මැතිවරණ කොට්ඨාශ ක්‍රමය , ප්‍රකාශිත මහජන මතය විකෘති කරන සාවද්‍ය මැතිවරණ ක්‍රමයක් වීමයි. එය වන්නේ කෙසේදැයි පෙන්වීම සඳහා ඉහත සඳහන් වගුව දෙස ඔබතුමා ගේ කාරුණික අවධානය යොමු කරමි. එහි 1947 සිට 2015 දක්වා මෙරට පැවති මහ මැතිවරණ වල අවසාන ප්‍රතිඵල සාරාංශගත කොට දක්වා ඇත. පැහැදිලි බව උදෙසා මෙහිදී ප්‍රධාන පක්ෂ දෙකෙහි ප්‍රතිපල පමණක් දක්වා ඇති අතර එය මාගේ තර්කය ගොඩනැංවීමට භාදාවක් නොවේ. 1947 දී පැවති පළමු මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කරඟ නොකළ බැවින් මෙහිදී එම මැතිවරණය නොසළකා ඇත. ප්‍රධාන පක්ෂ දෙක වෙනත් පක්ෂ සමඟ සංධානගතව මැතිවරණ වලට ඉදිරිපත් වූ අවස්ථා වලදී ද ප්‍රධාන පක්ෂයේ නම යටතේ ප්‍රතිපලය දක්වා ඇත. 

Capture1

  (වගු අංක 1)

මෙම කාලය තුල මෙරට පැවති මහ මැතිවරණ 15 අතරින් පළමු 8 කේවල කොට්ඨාශ ක්‍රමය යටතේ ද අවසාන 7 සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ ද පවත්වා ඇත. මේ වගුව තුලින් ඉදිරිපත් වන කරුණු පිලිබඳ පැහැදිලි නිරීක්ෂණයන් පහත පරිදිවේ.

  1. 9 සිට 15 දක්වා මැතිවරණ වලදී එක් එක් දේශපාලන පක්ෂය ජාතික වශයෙන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය හා ඔවුන් ගේ පාර්ලිමේන්තු නියෝජනය සමානය ; නොගැලපීමක් නැත .
  2. 2 සිට 8 දක්වා මැතිවරණ වල වලදී එක් එක් පක්ෂය ජාතික වශයෙන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය හා ඔවුන් ගේ පාර්ලිමේන්තු නියෝජනය අසමානය ; කිසිදු ගැලපීමක් නැත .

උදා : 1956 දී 40% ක් ඡන්ද ලැබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු නියෝජනය 54% ක් වේ : නමුත් 28% ඡන්ද ලැබූ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු නියෝජනය 8% කට සීමාවේ . එමෙන්ම

1977 දී 51% ක් ඡන්ද ලැබූ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු නියෝජනය 83% වේ : නමුත් 30% ඡන්ද ලැබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු නියෝජනය 5% කට සීමාවේ .

  1. අංක 5 යටෙත් ඇති 1960 ජූලි මහ මැතිවරණය දෙස අවධානය යොමු කරන්න. එහි ජයග්‍රහණය හිමිව ඇත්තේ දිවයිනේ වැඩි ඡන්ද ප්‍රතිශතයක් (37% ක්) ලැබූ එක්සත් ජාතික පක්ෂය නොව අඩු ඡන්ද ප්‍රතිශතයක් (33% ක්) පමණක් ලැබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යි. මෙය මහජන මතය බරපතල ලෙස විකෘති වී උඩු යටිකුරු වී යාමකි.
  2. අංක 7 යටෙත් ඇති 1970 මහ මැතිවරණය දෙස අවධානය යොමු කරන්න. එහිදී ද ජයග්‍රහණය හිමිව ඇත්තේ දිවයිනේ වැඩි ඡන්ද ප්‍රතිශතයක් (38% ක්) ලැබූ එක්සත් ජාතික පක්ෂය නොව අඩු ඡන්ද ප්‍රතිශතයක් (37% ක්) ලැබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යි. මෙය ද මහජන මතය බරපතල ලෙස විකෘති වී උඩු යටිකුරු වී යාමකි.

මෙවන් විකෘති සහගත ප්‍රතිපල ලැබීම වැලැක්වීමට නම් සිදු කළ යුත්තේ සියලුම මැතිවරණ (පාර්ලිමේන්තු, පලාත් සභා, පලාත් පාලන ආයතන) වර්තමාන සමානුපාතික නියෝජන ක්‍රමය යටතේම පැවැත්වීමට කටයුතු යෙදීම විනා මැතිවරණ ක්‍රමය සංශෝධනය කර පැරණි කේවල කොට්ඨාශ ක්‍රමය ගෙන ඒම නොවේ.

ඉහත මැතිවරණ ප්‍රතිපල වල ම සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් පහත වගුවේ දක්වා ඇත.

Capture

 

Advertisements

උදාවන්නේ ගෙම්බන් ගේ යුගය ද? – Frog’s era, is it ?

 

Forecast 2015 GE

2015 ජනවාරි 08 වනදා පැවති ජනාධිපතිවරණය මහ මැතිවරණයක් වූයේ නම් එහි ප්‍රතිපලය ඉහත ආකාරවේ. අගෝස්තු 17 වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ ප්‍රතිපල ද මෙසේ හෝ මීට ආසන්න එකක් වීමට හොදටම ඉඩ ඇත. මේ අනුව ප්‍රධාන පක්ෂ දෙකට ම බහුතර බලයක් පාර්ලිමේන්තුව තුල හිමි නොවීමට ඇති ඉඩ කඩ වැඩිය. රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ආණ්ඩුවක් ගැන නිතර පවසන්නේ මේ ගැන ඔහු ද හොදින් දන්නා නිසාය. මේ ප්‍රතිපලය තුලින් ආණ්ඩුවක් පිහිටුවීමට නම් බහුතරයට ඇති මදිපාඩුව කෙසේ හෝ පිරිමසා ගත යුතුය. එයට ඇති හොඳ ම විකල්පය ප්‍රධාන විපක්ෂයෙන් මංත්‍රී වරු කීපදෙනෙක් බිලිබාගැනීමය. ජාතික ආණුඩුවක් සෑදීමට දායක වූවා යන උදාන වාක්‍යය කියමින් ගෙම්බන් රැලක් කැබිනට් ඇමති/ කැබිනට් නොවන ඇමති/ ව්‍යාපෘති ඇමති/ රාජ්‍යය ඇමති/නියෝජ්‍ය ඇමති නැතහොත් පසුගිය පාර්ලිමේනුත්වේ මෙන් ජ්‍යේෂ්ඨ ඇමති ධූර ලබා ආණ්ඩු පක්ෂයේ වාඩි වනු ඇත. (මැතිවරණ ප්‍රතිපලය කුමක් වුව ද අනිවාර්යයෙන්ම අනෙක් පක්ෂය ද මෙයම කිරීමට යත්න දරනු ඇත.)
යහ පාලනයක් උදෙසා කළ යුතුව තිබුණේ, 20 වන සංශෝධනය හරහා කේවල කොට්ඨාස ක්‍රමය නැවත ගෙනවිත් තම නියෝජිතයන් තෝරා ගැනීමට ඇති නිදහස සීමා කිරීම නොව පත්වන මංත්‍රීවරුනට තම ඡන්දදායකයන් පාවාදී පැති මාරු කිරීමට ඇති ඉඩ නැතිකිරීමය. පක්ෂ මාරු කරන්නේ නම් මංත්‍රීධූරය අහිමි වන අන්දමට නව නීති සම්පාදනය කිරීමය. මුදල් කුට්ටි වෙනුවෙන් ආත්මය පාවාදී  හා ඡන්දදායකයන් වෙන්දේසි කිරීමේ නිර්ලජ්ජිත සම්ප්‍රදාය අවසන් කිරීමය.
අගෝස්තු 18 වනදායින් පසුව මෙරට ඡන්ද දායකයන්ට සර්කස් ද බලිටි ද හිටි පිනුම් ද බඩ පිනුම් ද දක්නට නොලැබේ යයි ඉත සිතින් ම ප්‍රාර්ථන‍ා කරමු. තමන් නියෝජනය කරන මතවාදය වෙනුවෙන් සෘජුව පෙනී සිටීමට තරම් ශක්තිමත් කෂේරුවක් ඇති නියෝජිතයන් පාර්ලිමේනුතුවට තෝරා යැවීමට ඡන්නදායකයන්ට ශක්කිය ධෛර්ය ලැබේවා!

විසිවන සංශෝධනයෙන් විසිවන ජනමතය – That is not your business man!

ග්‍රීසියේ ඇතෑන්ස්, ස්පාටා, කොරින්ත්, ආර්කේඩියා වල රැස්වූ ජනතාව තමන්ට බලපාන පොදු ප්‍රශ්නවලට විසඳුම් සෙව්වේ සාකච්චා මාර්ගයෙනි. මෙලෙස සියලුම ජනතාව ගේ අදහස් සාකච්චාට භාජනය වී තීරණ ගැනීමේ සහ පාලනය කිරීමේ මෙම ක්‍රියාවලිය ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුල් අවස්ථාව ලෙස සැලකූ අතර කාලයාගේ ඈවෑමෙන් මෙය විවිධ වෙනස්කම් වලට ලක්වෙමින් අද දක්වා ම ලොව පුරා ව්‍යාප්තව පවතියි. නමුත් එදා ට සාපේක්ෂව ජනගහණය අධික වීම නිසා තීරණ ගැනීමේ ක්‍රියාවලියට සියලුම ජනතාව සහභාගීවීම ප්‍රාෙයා්ගිකව සිදු කළ නොහැකි බැවින් වර්තමානයේ සිදුවන්නේ ජනතාව තමන්වෙනුවෙන් තීරණ ගැනීම උදෙසා තම නියෝජිතයන් පත් කිරීමයි. මෙය “නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය“ ලෙස හඳුන්වනු ලබන අතර අප රට් ද ක්‍රියාත්මක වනුයේ මෙය බව සියලුදෙනාම පාහේ දනී. පාර්ලිමේන්තුවේදී තමන්වෙනුවෙන් තීරණ ගන්නා නියෝජිතයන් තෝරා ගැනීම පිලිබඳ ක්‍රමවේදයේ සුවිශේෂී වෙනස්කමක් කිරීමට ඊයේ (2015 ජූනි 11) මෙරට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි විය. ඒ පවතින සමානුපාතික නියෝජන ක්‍රමය වෙනුවට “කේවල ඡන්ද කොට්ඨාශ“ (First Pass the Post) ක්‍රමය යලි ස්ථාපනය කිරීමයි. මේ පිළිබඳ විකල්ප මතවාදයක් සාකච්චා කිරීමට මෙයින් ඉඩ හසර වෙන් කර ගනිමු.

මෙය අංක ගණිතමය වශයෙන් ජනමතය නිවැරදිව ප්‍රකාශකර ක්‍රමයක් නොවන බව මුලින්ම කිව යුතු අතර ඒ ගැන කතිකාවන් මේ වේදිකාව තුල උදාහරණ සහිතව මීට පෙර සිදු කර ඇත. ඒ සඳහා හිතාදර පාඨක ඔබට පහත ලින්ක් ඔස්සේ පිවිසීමට ඇරැයුම් කරමි.

20 වන සංශෝධනය හරහා පැරණි කේවල කොට්ඨාශ ක්‍රමය යලි ස්ථාපනය කිරීමට මෙරට ජනතා බලවේග ක්‍රියාත්මක වන්නට වූයේ සද්භාවයෙන් බවට තර්කයක් නැත. වෙසෙසින්ම මනාප ක්‍රමය හරහා බිහිව ඇති ප්‍රචන්ඩකාරී, දූෂිත දේශපාලන අප සංස්කෘතිය ආපසු හරවා නිවැරදි කිරීමට මේ හරහා ඉඩ ලැබෙතැයි යන්න ඔවුන්ගේ අපේක්ෂාවයි. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙල වත් සමත් නැති දූෂිත දේශපාලකයන් දේශපාලන බිමෙන් අතුගා දමා අතීතයේ මෙන් උගත් – බුද්ධිමත් නියෝජිතයන්ගෙන් පාර්ලිමේන්තුව පිරවීමට මේ හරහා හැකිවෙතැයි යන්න ජනතාව අපේක්ෂාකරන වෙනසයි. නමුත් ඉතාම පැහැදිලි වශයෙන් මෙය මිරිඟුවකි. කිසිඳා සැබෑ නොවන සිහිනයක් ම පමණකි.

ඊට වඩා භයානක තත්වය වන්නේ ඡන්දදායකයාගේ අතපය බැඳ දමන මේ ක්‍රමය, (සාපේක්ෂව) යහපත් නියෝජිතයන් පත්කරයැවීමට ඡන්දදායකයාට දැනට ඇති සීමිත ඉඩකඩ ද අසුරා දැමීමම. නොඑසේ නම් මේ හරහා සිදුවන්නේ ජනතාව කබලෙන් ලිපට වැටීමය. මා එසේ කියන්නේ ඇයි? දැන් පවතින සමානුපාතික නියෝජන ක්‍රමය තුල අපේක්ෂකයන් 20-25 ක නියැදියකින් (අදාල මැතිවරණ දිස්ත්‍රික්කය අනුව මේ ගණන වෙනස් වේ) තිදෙනෙක් තෝරා ගෙන තම නියෝජිතයන් ලෙස පත් කර යැවීමට ඡන්දදායකයාට යම් සීමිත අවකාශයක් නිදහසක් ඇත. නමුත් කේවල ක්‍රමය තුල තම මැතිවරණ කොට්ඨාශය උදෙසා පක්ෂය විසින් තෝරා දී ඇති එකම පුද්ගලයෙකු ම පත්කර අත පිසදාගැනීමට ඡන්දදායකයාට බලකරණු ලබයි. එපමණක් නොව අර මුලින් කී 20-25 කුලකයට ඇතුලුවීමට යම්කෙනෙකුට ඇති ඉඩ අවකාශය ද අප විසින් තක්සේරු කළ යුතුව ඇත. පක්ෂ නායකයන්ට/බලධරයන්ට, මේ නාමයෝජනා ලැයිස්තුව හරහා සාපේක්ෂව විශාල පිරිසක් ජනතා විනිශ්චයට යොමු කිරීමට ඉන් අවකාශ තිබිණි. කේවල කොට්ඨාශ ක්‍රමය තුල මේ අවස්ථාව සීමිත වන අතර එක් එක් මැතිවරණ කොට්ඨාශ තුල ආසන සංවිධායක වරු ලෙස (පෙර සිටි නාමයෝජනා ලැයිස්තුවේ සිටි පිරිසිට වඩා ඉතා අඩු පිරිසක්)  පක්ෂ නායකයා ගේ මනාපයට ම පත්කිරීම හා ඒ පිරිස පමණක් මැතිවරණයකදී ජනතා විනිශ්චයට ලක්කිරීම මින් ඉදිරියට සිදුවනු ඇත. මෙහිදී අප විසින් අවධානය යොමු කළ යුතු වැදගත්ම කාරණය වන්නේ, අද වනවිට (හැමෝම කියන පරිදි) දූෂිත ධනවතුන් වංචාසහගතව ඉපැයූ මුදල් වැයකර පාර්ලිමේන්තුවට පත්වී ඇත්නම් මීලඟට ආසන සංවිධායක වරු ලෙස පත්වන්නේද ඒ එයම බවයි. මැතිවරණ ක්‍රමය වෙනස් වූ පමණින් ඔවුන් දේශපාලනයෙන් සමුගෙන යතැයි සතීම මහා මුලාවකි. ඒ වෙනුවට සිදුවන්නේ එවන් නියෝජිතයන් ප්‍රතිත්ෂේප කිරීමට ඡන්දදායකයාට දැනට ඇති සීමිත අවස්ථාව ද සෝචනීය ලෙස අහිමිවී යාම පමණකි.

එසේම කොට්ඨාශ මට්ටමින් බැහැරව සිදු කරන තෝරාගැනීම් ඉතා පැහැදිලි වශයෙන්ම “පත් කිරීම්“ වන අතර ඒ සම්බන්ධව ඡන්දදායකයන්ට මැදිහත්වීමට ඇති අවස්ථාව ශූන්‍යය. මේ තම නියෝජිතයන් තෝරාගැනීමට ඇති ජනතා මතය පැත්තකට ම “විසිවීයාමක්“ නොවන්නේ කෙසේද? ජනතා නියෝජිතයන් තෝරාගැනීම තවදුරටත් මහජනතාව ගේ මනාපයට සිදු වන්නක්නොවේ. ජනතා නියෝජිතයින් තෝරා පත්කරීම සෑහෙන දුරට දේශපාලන නායකකාරකාදීන් ගේ ම රුචි අරුචිකම් මත සිදුවන අත්තනෝමතික කාර්යයක් බවට පත්වීම වැලැක්විය නොහැක. විසිවන සංශෝධනයෙන් විසිවන්නේ ජනතා මතයයි.

මේ ක්‍රමය යෝජනා කළ ජනතාව ගේ තවත් අපේක්ෂාවක් වන්නේ, ඡන්ද අපේක්ෂකයකු මැතිවරණය වෙනුවෙන් ප්‍රචාරක කටයුතු කළ යුතු වන්නේ කුඩා ප්‍රදේශයක (කුඩා ? – මෙය ද පූර්ණ සත්‍යය නොවේ) නිසා යහමින් මිල මුදල් නැති අයකුට වුව ද මැතිවරණයක් ජයගත හැකිවේ ය යන්නයි. මෙය ද මුලාවකි. දැන් සිටින ධනවත් දේශපාලඥයා මනාප ක්‍රමය යටතේ පැවති මැතිවරණයකදී දිස්ත්‍රික්කයක් තුල වියදම් කළ මුදල් කන්දරාව මින්පසු මැතිවරණ කෝට්ඨාශය තුල පමණක් වියදම් කොට තම අරමුණු ඉටු කරගනු ඇත.

කණගාටුදායක කරුණ නම් සමාජය මේ පිලිබඳව සංවේදීතාවක් නොදැක්වීමයි. කේවල ක්‍රමය යටතේ මහ මැතිවරණයක් පවත්වා කලක් ගතවන විට සමාජයට මේ ක්‍රමයේ ගුණ දොස් හොඳින් විද්‍යමාන වන්නට පටන් ගනු ඇති නමුත් එවිට අශ්වයා පැනගොස් සිටිණු ඇත.

 මේ පිලිබඳ කලින් සිදු කල වියමන්:
1

2

3

4

5

6

උතුරේ ප්‍රතිපලය කියවා බලමු – How could be the Northern Provincial Council ?

2013 NPCE
ද්‍රවිඩ ජාතික සංධානය මැතිවරණ ප්‍රකාශයක් ඉදිරිපත් කළේ තමන් තරඟකළ උතුරු පලාත්සභාව වෙනුවෙනි.නමුත් ඒ අනුහසින් අනික් පලාත්සභාවල ඡන්ද වැටුණේ එක්සත් ජනතා නිදහස් සංධානයට සහ (ෆොන්සේකා මහතාගේ) ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට ය .ඒ මැතිවරණ ප්‍රකාශයේ තිබුණේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම,පොලිස් හා ඉඩම් බලතල ලබාගැනීම,බඳු දකුණේ සිංහල ජනතාවගේ බොක්ක රත්වෙන ආකාරයේ කාරුණුය.මැතිවරණ ප්‍රකාශයකට නීතිය ඉදිරියේ කුමන ආකාරයේ පිලිගැනීමක් ලැබෙනවද කියන එක හරියට ම පැහැදිලි නැතත් මේ ලියවිල්ලට එරෙහිව දකුණේ යම් යම් සංවිධාන නීතීමය පියවර ගන්නා බවට ප්‍රවෘත්ති පලවිය.රාවණා බලය නම් සංවිධානය මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට එරෙහිව මැතිවරණ කොමසාරිස් තුමාට ත් පැමිණිලි කර තිබුණි.එම පැමිණිල්ල නීතිපතිවරයාට යොමු කළ එබ එතුමා මාධ්‍යය ඉදිරියේ ප්‍රකාශ කලේය.(පක්ෂයක් මැතිවරණයක් ඉලකක්ක කර ජනතාවට ඉදිරිපත් කරන මැතිවරණ ප්‍රකාශයකට හෝ ප්‍රතිපත්ති ප්‍රකාශයකට එරෙහිව උසාවි යත හැකි නම්, මීට වසර කීපයකට පෙර රජය මැතිවරණයේදී ඉදිරිපත් කල ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඉටු නොකළ පොරොන්දු සම්බන්ධයෙන් කිසිවකු හෝ උසාවි නොයන්නේ මන්දැයි නම් ඇත්තේ ගැටලුවකි.)

කෙසේ වුව ද මේ ද්‍රවිඩ සංධාන මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය නිළ ලියැවිල්ලක් වේවා හෝ නොවේවා ඒ හරහා පිලිබිඹු වන්නේ උතුරේ ජනතා නායකයන් ගේ අභිලාශයන් නම් සහ ඊට වලංගු ඡන්ද වලින් 80% කට ආසන්න ප්‍රතිශතයක් හිමිවීමෙන් පෙන්නුම් කරන්නේ මෙ සඳහා උතුරේ සාමාන්‍ය ජනතාවගේ ඇති කැමැත්ත නම් එය එතරම් සුභදායක දෙයක් නොවන බව කිවයුතුය.ද්‍රවිඩ ජාතික සංධානය හෙවත් ඉලංගෙයි තමිල් අරසු කච්චි යනු ද්‍රවිඩ දේශපාලන පක්ෂ කීපයක එකතුවක් බව අපි දනිමු.මේ පක්ෂ කීපය එකට සංධානගතව මැතිවරණ සදහා ඉදිරිපත් වන්නේ එල්ටීටී සංවිධනයේ අවශ්‍යතාව නිසා බව ද අපි දනිමු.(ඔවුන් මෙලෙස සංධානගත වූයේ යුධමය වශයෙන් පරාජය වීමට ප්‍රථමය).උතුරේ ඡන්ද වලින් 80%ට කිට්ටු ප්‍රතිශතයක් ලැබීමට මෙය ද හේතු වන්නට ඇත.උතුරේ ද්‍රවිඩ සමාජය 8:2 අනුපාතයට බෙදී ඡන්දය ප්‍රකාශ කර ඇත.මෙය දකුණේ සමාජයේ දේපාලනමය බෙදීමට වඩා වෙනස් ස්වාභාවයකි.

එක්සත් ජාතික පක්ෂය උතුරේ ලද පරාජය ද සැලකිල්ලට ලක්විය යුතුය.ජාතික මට්ටමේ දේශපාලන පක්ෂ කෙරෙහි උතුරේ ජනතාව ගේ ආක්ර්ශනය හීනවී යාම ඛේදජනකය. (මීට පෙර මහේෂ්වරන් බඳු පාර්ලිමේන්තු මන්ත්‍රී වරු එ.ජා.ප ය හරහා උතුරින් බිහිවිය).

ඊලාම්වාදීන් මෙම ඡන්ද ප්‍රතිපලය බෙදී වෙන්වීමට ඇති ද්‍රවිඩ ජනතාවගේ ඇති කැමැත්ත ලෙස දේශීය ව මෙන්ම අන්තර්ජාතිකව ද අර්ථදක්වනු ඇත.සමහරවිට මෙය ඊලාම් රාජ්‍යයක් වෙනුවෙන් තැබූ තවත් පියවරක් ලෙස ද සලකන්නට ඉඩ ඇත.මෙය භයානක තත්වයකි.එදා මහත් කැපකිරීමක ප්‍රතිපලයක් ලෙස නන්දිකඩාල් කලපුවේදී පරාජය කළ මතවාදය යලි හිස එසවීමකි.අප ඊට ඉඩ නොතැබිය යුතුය.කෙසේ වුව ද දැන් උතුරේ ජනතාව(යුද්ධය නිමවී සිව් වසරකට පසුව)තමන් විසින් පත්කරගත් නියෝජිතයන් ගෙන් සැදුම් ලත් පලාත් සභාවක් අභිමුව සිටී.අප (පොදුවේ සියලු රට වැසියන් ද රජය ද)ඒ ජනමතයට හිස නැමිය යුතුය.ඒ ගැන තුටු විය යුත්තෙමු.එමෙන්ම රටේ ඒකීය භාවය ද අනතුරේ නොහෙලිය යුතුය.උතුරු පලාත් සභාව හරහා පරිපාලය බලය බෙදා ගෙන එකම ශ්‍රී ලංකාවක් තුල සමගිව කටයුතු කිරීමට සියලු පාර්ශවයන් උත්සුක වියයුතුය.

දකුණ ද හඳුනන විග්නේශ්වරන් මහතා ගේ නායකත්වයෙන් පත්වන් උතුරු පලාත් සභාව, ස්ථාවර සාමකාමී ශ්‍රී ලංකාවක් වෙනුවෙන් තැබූ යෝධ පියවරක් වේවා යයි ඉතසිතින් පතමු.

නව ඡන්ද ක්‍රමය පාර්ලිමේන්තුවට – ජනතා පරමාධිපත්‍යයට තර්ජනයක් (අනතුරු ඇඟවීමකි)

පලාත් පාලන ආයතන සඳහා නව මැතිවරණ ක්‍රමයක් (පවතින සමානුපාතික නියෝජන ක්‍රමය වෙනුවට) හදුන්වාදෙමින් ඉදිරිපත් කොට ඇත. ලේඛකයා සමානුපාතික නියෝජන ක්‍රමයට පක්ශව කලක සිට බ්ලොග් අවකාශයේ හඩ නගන්නෙකි. ඔක්කොම කුණු බේරුවල බොක්කට කීවාක් මෙන් වත්මනෙහි අප අත්විඳින දහසකුත් එකක් සමාජ, ආර්ථික හා දේශපාලන ගැටලු වලට හේතුව මේ සමානුපාතික නියෝජන ක්‍රමය යැයි දේශපාලන විචාරකයින් ද, ඒ අනුවම යමින් (ගිරා පොතක වත සිහිගන්වමින්) බොහෝ හුදී ජනයා ද එකහෙලා පවසද්දී එයට එරෙහිව ලේකඛයා කලෙක සිට මේ අවකාශයේ තර්කාණුකූලව කරුණු පෙලගැස්වීය. සමානුපාතික නියෝජන  ක්‍රමය අහෝසි කිරීම (ලේකඛයා ගේ මතය අනුව) ජනතා පරමාධිපත්‍යය යේ මළගම ද වියහැකි බවට එහි කරුණු පෙලගස්වා ඇත.

සහෝදර බ්ලොග්කරුවන් මේ සම්බන්ධව ලියා ඇත්දැයි නිවැරදි මතකයක් ලේඛකයාට නැත. ඒ අතරින් බුවා, ලේඛකයා හා සමගාමී මතයක ද. මාතලන් ප්‍රතිවිරුද්ධ මතයක ද සිටින බැව් සටහන් වී ඇත.

කෙසේ නමුත් සමානුපාතික නියෝජන ක්‍රමය අහෝසිකරන යක්ෂයා දොරකඩටම පැමිණ ඇති මේ නිමේශය පරණ මතකයන් නැවත අවදි කිරීමට සුදුසුම කාලයයි.

(හුදෙකලා බ්ලොග්කරුවෙක් යටිගිරියෙන් කෑගැසූ පලියට අදාල ක්‍රියාදාමය නොනවතින බැවි හොදින්ම දන්නා මුත්, මෙයට වඩා දස දහස් වාරයක් ප්‍රබල සාධාරණ හඬවල් යටපත්ව වියැකී යන යුගයක මෙවන් සටහනක් හෝ ලියාතැබීම සිතට මද අස්වැසිල්ලකි)

පහත සබැඳි ඔස්සේ උක්ත සටහන් වෙත යොමුවන මෙන් ඉල්ලා සිටිමි.

සමානුපාතික නියෝජන ක්‍රමයේ අවාසි? – ටෙරන්ස් පුරසිංහ මහතාට පිළිතුරකි

මනාප ක්‍රමය හා බැදුන මිත්‍යාවන්

සමානුපාතික නියෝජන ක්‍රමය දිගටම අවශ්‍ය ඇයි ?

කේවල කොට්ඨාශ මැතිවරණ ක්‍රමය නැවත ගේන්න එපා!

1977 දී UNPය හයෙන් පහක් ලැබුවේ, ජනමතය විකෘති කළ කේවල ඡන්ද ක්‍රමය නිසයි

සමානුපාතික නියෝජන ක්‍රමයේ අවාසි? – ටෙරන්ස් පුරසිංහ මහතාට පිළිතුරකි

ඉරිදා ලංකාදීප පුවත්පතේ නැණත අතිරේකයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ලිපි පෙලක් සම්පාදනය කරන ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ටෙරන්ස් පුරසිංහ මහතා මෙවර (ජූනි 3 ඉරිදා) අවධානය යොමුකර තිබුණේ 1978 ව්‍යවස්ථාව ප්‍රකාරව ස්ථාපිත සමානුපාතික නි‍යෝජනයේ දුර්වලතා ලෙස එතුමා හදුනාගත් දේ පිලිබඳ සාකච්චා කිරීමටයි.සමානුපාතික නියෝජන ක්‍රමය , මේඝයේ සිත්ගත් මාර්තෘකාවක් වන බැවින්  මෙයට පිළිතුරු බැඳිමට ද අලුත් ලිපියකට ද මෙයින් ඉඩකඩ ලබාගමු.

ඒ සඳහා පුරසිංහ මහතා දැක්වූ කරුණු එකින් එක විමසා බලමු.

1.පරිපාලන දිස්ත්‍රික්ක පදනම් කරගෙන ඡන්ද කොට්ඨාශ බෙදීමෙන් ඇතිවන අසමානුපාතික බව 

මේ කර්කයේ සත්‍යතාවක් ඇති නමුත් ජනගහණය, භූමි ප්‍රමාණය යන සාධක සලකා සාධාරණ පදනමක් මත (බරතැබූ සාමාන්‍යය බඳු ක්‍රමයක් යොදාගෙන ) මේ ගැටලුව පහසුවෙන් විසඳාගත හැක.

2.ආසන බෙදීයාමේදී සිදුවන අසමානුපාතික බව.

පුරසිංහ මහතා මෙහිදී දක්වා සිටියේ දිස්ත්‍රික් මට්ටමින් ජයග්‍රාහී පක්ෂයට හිමිවන ප්‍රසාද ආසනය නිසා සමානුපාතික බව බිඳී යන බවයි.මේ කර්කයට ලේඛකයා ද එකඟයි.මේ ප්‍රසාද ආසන පිරිනැමීම සංශෝධනයට ලක්කර ඉවත් කල යුතු බව පෙන්වා දුන්නා මේ ලිපියෙන්.

3.ව්‍යවස්ථාදායකයේ අස්ථාවර බව.

කිසිදු පක්ෂයකට පාර්ලිමේනුතුව තුල බහුතර බලයක් නොලැබෙන බැවින් ස්ථාවර රජයන් බිහි නොවේ යයි ඔහු තර්ක කළේය.

2010 මහ මැතිවරණ ප්‍රතිඵල මගින් මෙය අසත්‍යය බව පෙන්විය හැක.මේ මැතිවරණයේ දී නිදහස් සංධාන රජය 2/3 කට ඉතා ආසන්න බලයක් සහිතව ජයගත්තේය.

එපමණක් නොව 1994 දී යාන්තං එක් වැඩි ආසනයක් පමණක් සහිතව ආණ්ඩු බලය ලබාගත් පොදුජන එක්සත් පෙරමුණු රජය අස්ථාවර රජයක් නොවීය.සමහර විට 1978 ව්‍යවස්ථාවේ ම නිර්මාණයක් වන විධායක බලය සහිත ජනාධිපති ධූරය ද ඔවුන් සතුවීම රජය පවත්වාගෙන යාමට උපකාර වන්නට ඇත.නමුත් හෙලවෙන දතක් වැනි රජයක් මහජනයාට නම් වාසිදායක යැයි සිතේ.ඒ පාර්ලිමේන්තු බලය අහිමි වේය යන බියෙන් ජනතාවගේ විරෝධයට ලක්වන ක්‍රියා වලට රජයක් නැඹුරු වීමේ ප්‍රවනතාව ඉන් අඩුවන නිසාය.

අනෙක් අතට පැරණි කේවල ඡන්ද කොට්ඨාශ ක්‍රමය යටතේ වුවද මැතිවරණයකින් පසු හැම විටම ස්ථාවර රජයන් බිහි වූයේ නැත.1960 බිහිවූ රජය පළමු රාජාසන කතාවේදීම බිඳවැටිණ.

4.ඡන්දදායකයා සහ ඔහුගේ නියෝජිතයා අතර දුරස්තරභාවය

මේ කොට්ඨාශයට වගකියන මංත්‍රීවරයෙක් නැතැයි කියන චෝදනාවයි.මැතිවරණය අවසානයේ ජයග්‍රාහී අපේක්ෂයන් ඒ ඒ ඡන්ද කොට්ඨාශ වලට අනියුක්ත කර පත්වීම් ලබාදීමෙන් මේ ගැටලුව පහසුවෙන් විසඳාගත හැක.(මේ සඳහා මංත්‍රී ධූර ගණනට සමාන කොට්ඨාශ ගණනක් ඇතිවන ලෙස සංශෝධය ඇති කල යුතුය-දැනට මේ දෙක ආසන්න වශයෙන් සමානය).මීට පෙරද මේ ගැන ලියා ඇත්තෙමි.

5.මනාප ක්‍රමයේ අහිතකර බලපෑම්

මේවා දේශපාලන සංස්කෘතියේ ඇති දූෂිත බව මිසක් මනාප ක්‍රමයට ආවේණික ලක්ෂණ නොවේ.දේශපාලනඥයින් ගේ ආකල්ප වෙනස් කිරීමකින් තොරව මැතිවරණ ක්‍රමය වෙනස් කලාය කියා වෙනසක් විය නොහැක.මීට පෙර ද සාකච්චා කර ඇත.

6.අතුරු මැතිවරණ නොපැවැත්වීම

එක් අතකට අතුරු මැතිවරණ නොපැවැත්වීම නිසා මැතිවරණයකට යනු විශාල මුදලක් ඉතිරිවීම රටට වාසියකි.මැතිවරණදෙකක් අතරතුර කාළයේ ජනතා මතය උරගා බැලීම උදෙසා අතුරු මැතිවරණ අත්‍යවශ්‍ය නම් ඒ සඳහා සමානුපාතික නියෝජන ක්‍රමයට ම සංශෝධන එක් කල හැක.

7.ජාතික ලැයිස්තු ක්‍රමයේ අයහපත් අංග

මෙහි ඇත්තේ ක්‍රමයේ වරදක් නොව භාවිතවේ වරදකි.මැතිවරණ වලට ඉදිරිපත්වීමට අකමැති නමුත් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට සුදුසු උගත් බුද්ධිමතුන් ජාතික ලැයිස්තුවට එක්කිරීම ඒ ඒ දේශපාල පක්ෂ වල වගකීමකි.

මේ  මේඝය සමානුපාතික නියෝජනයට පක්ෂව ඇමුණූ මුතු මාලයක තවත් එක් පබලුවකි.පහත යොමු ඔස්සේ අනෙක් ඒවා කියවන්න.

මනාප ක්‍රමය හා බැදුන මිත්‍යාවන්

සමානුපාතික නියෝජන ක්‍රමය දිගටම අවශ්‍ය ඇයි ?

කේවල කොට්ඨාශ මැතිවරණ ක්‍රමය නැවත ගේන්න එපා!

1977 දී UNPය හයෙන් පහක් ලැබුවේ, ජනමතය විකෘති කළ කේවල ඡන්ද ක්‍රමය නිසයි

1977 දී UNPය හයෙන් පහක් ලැබුවේ, ජනමතය විකෘති කළ කේවල ඡන්ද ක්‍රමය නිසයි

1977 වසර මෙරට සමාජ ආර්ථික හා දේශපාලනික හැරවුම් ලක්ෂයකි.ලක් රජය මෙතක් කල් අනුගමනය කළ සංවෘත ආර්ථික ක්‍රමය උඩුයටිකුරු කරමින් මෙරට ආර්ථිකයේ දොරගුලු මහා පරිමාණයෙන් ලෝකයට විවරකළ යුගය බිහි කළේ 1977 මහ මැතිවරණයෙන් බිහිවූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසිණි.එදා සිට අද දක්වාම 1977 මහ මැතිවරණයෙන් එ.ජා.ප ය ලැබූ ජයග්‍රහණය දේශපාලන ක්ෂේත්‍රය තුල කතාබහට ලක්වන්නේ පාර්ලිමේන්තුව තුල හයෙන් පහක බලයක් ලැබූ සුවිශේෂී විජයග්‍රහණයක් ලෙසය.නමුත් ලේඛකයා මෙය දකින්නේ කේවල මැතිවරණ කොට්ඨාශ ක්‍රමය විසින් ජයග්‍රාහකයා ගේ ජයග්‍රහණය අස්වාභාවික ලෙස වැඩි කොට දැක්වූ අවස්ථාවක් ලෙසයි.

පහත වගුවේ දැක්වෙන්නේ 1977 වසරේ මහ මැතිවරණයේ සමස්ථ ප්‍රතිඵලය ජාතික මට්ටමෙනි.මේ මැතිවරණයට දේශපාල පක්ෂ 31ක් ඉදිරපත් වූ නමුත් සමස්ථ ඡන්ද වලින් 0.5% ට වඩා ඡන්ද ලැබූ පක්ෂ 11 පමණක් මෙහි පෙල ගස්වා ඇත.අලියා ලකුණින් එ.ජා.ප ය ද, අත ලකුණින් ශ්‍රී.ල.නි.ප ය ද තරග වැදුන අතර, හිරු ලකුණින් තරගවැදුනේ මේ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය බවට පත් වූ ද්‍රවිඩ සංධානයයි.

මේ වගුව අනුව පැහැදිලිව පෙනීයන්නේ හයෙන් පහක පාර්ලිමේන්තු බලයක් ලැබූ එක්සත් ජාතික පක්ෂය සමස්ථ ඡන්ද වලින් හරි අඩක් පසු කොට ඇත්තේ ද යන්තමින් බවයි.එනම් වත්මන් ව්‍යවස්ථා අනුව මෙය ජනාධිපතිවරණයක් නම් දෙවන වර ඡන්ද ගණන් කිරීමෙන් ද ගැලවෙන්නේ යන්තමිනි.නමුත් ගැටලුව නම් මේ ප්‍රතිපලය එවකට පැවති කේවල ඡන්ද කොට්ඨාශ ක්‍රමය මගින් පාර්ලිමේන්තුව තුල හයෙන් පහක විශාල බහුතර බලයක් බවට පෙරැලීමයි.සත්‍ය වශයෙන්ම එජාපයට හිමිවිය යුතුව තිබුණේ පාර්ලිමේන්තුව තුල සරල බහුතරයක් පමණි.

වඩාත් ශෝචනීය කාරනය නම් මේ හයෙන් පහක බලය ඊට පෙර පැවති 1970-77 සමගිපෙරමුණු රජයට එරෙහි විශාල ජනතා අප්‍රසාදයක් ලෙස අර්ථදැක්වීමයි.ජනතාවගෙන් හයෙන් එකක්වත් සංවෘත ආර්ථික ප්‍රතිපත්ති කෙරෙහි ප්‍රසාදය නොදක්වන බවක් ඉන් කියැවිණි.නමුත් ඉහත වගුව මේ මතය මුලු මනින්ම නිශ්ප්‍රභා කරයි. 

අනෙක් අතට 30% කට ආසන්න ඡන්ද පදනමක් පෙන්වූ ශ්‍රීලනිපය නොව 7% කටත් අඩු ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් පක්ෂය පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය බවට පත්වීම ද ගැටලුවකි.

කෙසේ වුවද එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුව තුල නිර්මාණය කරගත් මේ බහුතර බලය උපයෝගීකරගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනසක් මගින් සමානුපාතික නියෝජන ක්‍රමය ස්ථාපිනය කිරිම අප අගය කරමු.එසේ නොවන්නට දිගින් දිගටම මහ මැතිවරණ හරහා විකෘති ජනමතයක් පාර්ලිමේන්තුව තුල නියෝජනය වන්නට ඉඩ තිබිණි.

කේවල ක්‍රමය යටතේ අවසන් වරට පැවති 1977 මහ මැතිවරණ ප්‍රතිඵල විශ්ලේෂණය කර මේ ලිපිය සම්පාදනය කල ද ඊට පෙර පැවති බොහෝ මැතිවරණ සම්බන්ධයෙක් මේ කතාව මෙසේ ම වන්නට ඉඩ ඇත.(ඒ පිළිඹද ගවේශණය පසුවට තබමු)

විශ්ලේෂණය සදහා අවැසි තොරතුරු උපුටාගත්තේ මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිළ වෙබ් අඩවියෙණි. http://www.slelections.gov.lk/pastElection4.html

මේ සමානුපාතික නියෝජනයට පක්ෂව ඇමුණූ මුතු මාලයක තවත් එක් පබලුවකි.පහත යොමු ඔස්සේ අනෙක් ඒවා කියවන්න.

මනාප ක්‍රමය හා බැදුන මිත්‍යාවන්

සමානුපාතික නියෝජන ක්‍රමය දිගටම අවශ්‍ය ඇයි ?

කේවල කොට්ඨාශ මැතිවරණ ක්‍රමය නැවත ගේන්න එපා!

ඡන්ද ක්‍රමය සංශෝධනය ට පෙර……….

VOTE

මැතිවරණයට වියදම් කළ රුපියල් ලක්ෂ 40 ක මුදලක් සෙවීම සඳහා සොරකමේ යෙදුන පරාජිත අපේක්ෂක‍යෙකු ගැන w3Lanka  වාර්තාකර තිබිණි. දේශපාලනය අද ව්‍යාපාරයකි.නැත ජාවාරමකි.දේශපාලනය ජාවාරමක්ය යන අවමානයෙන් ගලාවාගැනීමට යෝජනා කීපයක් මෙන්න.(මෙයින් බොහොමයක් අද ද නීතිපොතේ ඇතිමුත් වරද ඒවා ක්‍රියාත්මක නොවීමයි.)

1.සියලුම අපේක්ෂකයන් තමන් ගේ හා පවුලේ අන් අයගේ ද වත්කම් ප්‍රකාශන  මැතිවරණ කොමසාරිස් වරයාට ඉදිරිපත් කළ යුතු අතර ඒවා විගණනයට භාජනය කිරීමෙන් සත්‍යතාව කහවුරු කරගැනීමෙන් පසු මැතිවරණයට පෙරාතුව ප්‍රසිද්ධ කල යුතුය.

2.ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමත් සමගම සෑම අපේක්ෂකයෙකුම තම මැතිවරණ ව්‍යාපාරය පිළිඔඳ ගිණුම් තැබීම අනිවාර්ය කළ යුතුය.(අනවශ්‍ය අනුග්‍රාහකයන් මෙමගින් අධෛර්යවත් කෙරේ)

3.සියලුම අපේක්ෂකයන්ගේ මැතිවරණ ව්‍යාපාර වල ගිණුම් වාර්තා මැතිවරණය අවසානයේ විගණනයට භාජනය කල යුතුය.

4.සියලුම විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍යය ආයතන වල මැතිවරණයට අදාල ප්‍රචාරක දැන්වීම් වලට අදාල විස්තර (මුදල් හා මුදල් වැය කරන්නන්) මැතිවරණ කොමසාරිස් වරයාට එලිදරව් කළ යුතුය.පසුව ඒවා ප්‍රසිද්ධ කල යුතුය.(මෙහි අරමුණ cross check කිරීමයි)

5.සියලුම මුද්‍රණාල වල මැතිවරණ සම්බන්ධ ප්‍රචාරක කටයුතු වල විස්තර මැතිවරණ කොමසාරිස්ට එළිදරව් කළ යුතු අතර ඔහු ඒවා ප්‍රසිද්ධ කළ යුතුය.(මෙයද cross check කිරීමකි)

6.අපේක්ෂකයන් හිටි අඩියේ සිදුකරන ඇස්කන්නාඩි බෙදීම්, ක්‍රීඩා සමාජ වලට උපකරන පරිත්‍යාග කිරීම් ආදිය පිළිඔදව ද සැබෑ තොරතුරු මැතිවරන කොමසාරිස් වරයාට එලිදරව් කරගත හැකි ලෙස ප්‍රතිපාදන සැකසිය යුතුය.(මෙය ද cross check කිරීමකි)

7.සියලු ජයග්‍රාහී අපේක්ෂකයින් තම ධූර කාලය අවසානයේ දී ද නැවත තම හා තම පවුලේ අයගේ වත්කම් ප්‍රකාශන ඉදිරිපත් කළ යුතු අතර, මැතිවරණයට පෙර ඉදිරිපත් කළ වාර්තා සමග විශාල වෙනසක් ඇත් නම් ඊට නිදහසට කරුනු ඉදිරිපත් කීරීමට හා වංචා දූෂණ පිළිඔද ව අදාල ආයතන මගින් ඔහුව පරීක්ෂණයට ලක් කළ යුතුය.

ඉහත යෝජනා නිසි ලෙස ක්‍රියාත්මක කිරීමෙන් යම්තරමකට හෝ දුෂිත දේශපාලකයන්ගේ ගමන අඩාල කළ හැකි වනු ඇත.

 

මනාප ක්‍රමය හා බැදුන මිත්‍යාවන්

මේ සමානුපාතික නියෝජන ක්‍රමයට පක්ෂව ඉදිරිපත් කළ ලිපි පෙලක මීලග පියවරයි.

මුදල් ඇති අය තමයි දිනන්නේ

මෙය අර්ධ සත්‍යයකි.මදක් විමසා බලමු.සමානුපාතික ක්‍රමය යටතේ අපේක්ෂකයෙකුට මුල් මහත් දිස්ත්‍රික්කයක් පුරාවට කම ප්‍රචාරණ කටයුතු සිදු කළ යුතු බැවින් විශාල සම්පත් ප්‍රමාණයක් වැය කිරීමට සිදුවීම ‍මෙම ක්‍රමයට එරෙහිව ඇති ප්‍රභල තර්කයකි.එබැවින් අතමිට සරු ධනවතුන්ට පමණක් මැතිවරණ තරග කිරීමට ද ජයග්‍රහණයට ද අවස්ථාව ඇති බව ප්‍රකාශිතය.නමුත් කතුවරයාගේ තර්කය නම් මැතිසබයේ දොරටු සදාකාලිකවම විවර වූයේ ද විවර වන්නේ ද එවන් රිදී හැන්ද මුව තබාගෙන උපන් අයටම බවයි.කේවල කොට්ටාශ ක්‍රමය ක්‍රියාත්මක වූවා කියා මෙහි වෙනසක් වීමට ඉඩ නැත.ඇත්ත 1956 පෙරලිය, 1977 පෙරලිය බදු විරල අවස්ථා කීපයකදී සාමාන්යො පංතියේ පුංචි මිනිසාට ද මැති සබයේ රුවන් දොර විවර වූ බව සැබෑවකි.නමුත් සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ ද එවන් අවස්ථා අප දැක ඇති බව මතක් කරදීමට මෙම අවස්ථාව යොදා ගමි.එමන් ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රීලංකා නිදහස් පක්ෂය සමග සන්ධානගතව ඉදිරිපත් වූ මහ මැතිවරණයේදී ධනවත් ශ්‍රීලනිප අපේක්ෂකයින් අභිබවා සෑම දිස්ත්‍රික්කයකින් ම පාහේ වැඩිම මනාප ලැබ ජයගත්තේ ජවිපෙ අපේක්ෂකයන්ය.ඒ අපේක්ෂකයන් දිස්ත්‍රික්කය පුරාවට දැවැන්ත කටවුට් සවිකල බවක් හෝ තාප්ප වනසමින් පෝස්ටර් ඇලවූ බවක් නම් අපට මතක නැත.එමෙන් ම එම මැතිවරණයෙන් ම මැතිසබයට පිවිසි ජාතික හෙළ උරුමයේ සමහර හිමිවරු සිහිනෙන් වත් එවැන්නක් බලාපොරොත්තු නොවූ බව මාධ්‍යය මගින් අපි දුටුවෙමු.එවන් එක් හිමිනමක් මෙය සමාන කළේ මගුල් ඇතා පාදපාමුල දණ ගැසුවා වගේ වැඩක් යනුවෙනි.එබැවින් මැතිරණ ජය ගැනීමට සාමාන්යක පංතියේ ජනයාට ද පවතතින ක්‍රමය යටතේ ද සුවිශ්ෂී තත්වයක් යටතේ ඉඩක් පවතී. අනෙක් අතට කුමන මැතිවරණ ක්‍රමය පැවතිය ද බලය ලබා ගැනීම සදහා වෙහෙසෙන්නේ ආර්ථික අතින් සමෘද්ධිමතුන්මය. පවතින්නේ කේවල ක්‍රමය නම් ධනවතුන් අපේක්ෂකත්වය ලබා ගැනීමට යහමින් මුදල් විසි කරනු ඇත.යම් මැතිවරණ කොට්ඨාශයක ආසන සංවිධායක ධූරය තනිකරම පක්ෂ නායකත්වයේ තීරණ මත කරන පත්කිරීමක් බැවින් ධනවතෙකුට විනා සාමාන්‍යය පංතියේ අයකුට එවවන් තනතුරක් හිමිවේ යයි බලාපොරොත්තු විය හැකිද?

කොට්ඨාශයට වගකියන මංර්‍ත්‍රී කෙනෙක් නෑ

මෙය සමානුපාතික නියෝජන ක්රතමයට එරෙහිව ඇති සාධාරණ දුක්ගැනවිල්ලකි.නමුත් පහසුවෙන් විසදාගත හැක්කකි.මැතිවරණ ප්‍රතිඵල නිකුත්වීමෙන් පසු ජයග්‍රාහී අපේක්ෂකයන් ඒ ඒ මැතිවරණ කොට්ඨෘශ වලට අනියුක්ත කර පත්වීම් ලබාදීමට මැතිවරණ කොමසාරිස්වරයාට පුලුවන.මෙහිදී ජයග්‍රාහී අපේක්ෂකයා සංවිධායක කම දරන කොට්ඨාශය ම ප්‍රමුඛතා පදනම මත ඔහුට හිමිවිය යුතු අතර යම් කොට්ඨාශයකට කිසිදු පක්ෂයකින් නියෝජිතයකු ජයගෙන නැත් නම් කොමසාරිස්වරයාට මැදිහත්වී අයකු පත් කළ හැක.(මක් නිසා ද යත් යම් කොට්ඨාශයකට ජයග්‍රාහී අපේක්ෂකයකු නැත් නම් වෙනත් කොට්ඨාශයක අනිවාර්යයෙන්ම ජයග්‍රාහීන් දෙදෙනෙකු සිටිය යුතු බැවිණි).මංත්‍රී නම් ලැයිස්තුව ගැසට් කරන විටම මෙම පත්වීම ද කළහැකි අතර එතැන් සිට මංත්‍රීවරයා හැදින්විය යුත්තේ ඔහු නියෝජනය කරන දිස්ත්‍රික්කයේ මංත්‍රී ලෙස නොව ඔහුව අනියුක්ත කළ කොට්ඨාශයේ මංත්‍රීවරයා ලෙසය.එතැන් පටන් තමා නියෝජනය කරන කොට්ඨාශයේ සංවර්ධන කටයුතු ඔහුට භාරය.මෙය පාර්ලිමේන්තු මැතිවරණයට මෙන්ම අනෙකුත් මැතිවරණ සදහා ද සාර්ථකව කළ හැක්කකි.සමහර විට දිස්ත්‍රික්කයක මංත්‍රී ධූර ගනණ හා මැතිවරණ කොට්ඨාශ ගනණ වෙස් නම් එය සමවන පරිදි සංශෝධනය කිරීමේ හැකියාව පවතින බැවින් ගැටලු ඇතිවීමට ඉඩක් නැත.1989 ට පෙර මෙන් ජනතාවට අපේ මංත්රීසතුමා යයි කීමට කෙනෙක් ලැබෙනවා ඇත.

මැර බලය – එකම පක්ෂය තුල ගැටුම්

මේවා තනිකරම දේශපාලන සංස්කෘතිය පිලිබද හා ඒඒ පුද්ගලයන්ගේ හා පක්ෂ වල විනය පිලිබද ගැටලුය.පාක්ෂිකයන් අවනත කරගැනීමට හා මැතිවරණ තීති උල්ලංඝනය නොවනසේ ක්‍රියා කිරීමට පක්ෂ නායකත්වයට හැකියාව තිබිය යුතුය.මැතිවරණ කුමය වෙනස් වූවා කියා මෙම ගැටලු විසදෙන්නේ නම් නැත.

ඡන්දයට වියදම් කළ මුදල් සොයන්න වෙනවා

මැතිවරණයට වියදම් කළ අති විශාල මුදල් සම්භාරය නැවත සොයා ගැනීමට අපේක්ෂකයන් අයථා ක්‍රම වලට යොමුවන නිසා දූෂණ වංචා ඉහල යන බව ජනප්රිශය චෝදනාවකි.නමුත් වත්කම් ප්රයකාශන ඉදිරිපත් කිරීම, මැතිවරණ අයවැය ප්රාකාශ ඉල්ලීම වැනි නීතිමය ප්‍රතිපාදන හරහා මෙවන් දේ වැලැක්වීමට හැක. අතර දූෂිත දේශපාලකයන් මොන ක්‍රමයට පත් වුව ද දූෂණ වල යෙදෙන නමුත් රටේ නීතිය නිවැරදිව ක්‍රියාත්මක වේනම් එවන් වංචනිකයන් මැඩලිය හැක.

යෝජනා

බෝනස් ආසන එපා

සමානුපාතික නියෝජන ක්රදමය තවත් අර්ථවත් කිරීම සදහා කතුවරයා යෝජනා දෙකක් ඉදිරිපත් කරයි.පලමු වැන්න දිස්ත්‍රික් මට්ටමින් ජයග්‍රාහී පක්ෂයට ලබා දෙන ප්‍රසාද ආසනය ඉවත් කිරීමයි.මෙ‍ම ‍ප්‍රසාද ආසනය නිසා සිදුවන්නේ සමානුපාතික බව බිදීයාම යි.

අනෙක් යෝජනාව නම් දිස්ත්‍රික්කයකට හිමි මංත්‍රී ධූර ගණන විනිවිදභාවයකින් යුතුව සංශෝධනය කළ යුතු බවයි.මේ සදහා යොදාගන්න නිර්ණායකයන් (ජනගහණය, භූමි ප්‍රමාණය) පැහැදිලි  විය යුතු අතර මංත්‍රීධූර 196 සාධාරණව බෙදී යායුතුය.ජාතික ලැයිස්තුව නොවෙනස් ව පැවතිය යුතුය.මැතිවරණ කොට්ඨාශ සීමා ද නිවැරදිව නිර්ණය කළ යුතුය.පලාත් පාලන ආයතන මට්ටමින් ද එසේ විය යුතුය.

නැවත අවධාරණය කරනුනේ මහජන නියෝජිත ආයතන සදහා නියෝජිතයන් තෝරාගැනීම සදහා දැන් පවතින සමානුපාතික නියෝජන ක්‍රමය (හරය නොවෙනස්ව සුලු සංශෝධනයන්ට යටත්ව) වඩාත්ම නිවැරදි තර්කානුකූල මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට එකග ක්‍රමය බවයි.

සමානුපාතික නියෝජන ක්‍රමය දිගටම අවශ්‍ය ඇයි ?

මහජන නියෝජිත ආයතන සදහා නියෝජිතයන් තෝරාගැනීම සදහා අපට වඩාත් සුදුසුවන්නේ සමානුපාතික නියෝජන ක්‍රමය බවට මේඝය මීට කලිනුත් සංඛ්‍යාලේඛණ සහිතව කරුණු දැක්වූවා.මේ එහි මීළග පරිච්චේදය.

ඡන්දදායකයා ගේ නිදහස

සමානුපාතික නියෝජන ක්‍රමය තුල තම නියෝජිතයා තෝරා ගැනීම සදහා  ඡන්දදායකයා වෙත (කේවල ක්‍රමයට සාපේක්ෂව) එක්තරා ආකාරයක අසීමිත නිදහසක් පවතී.තම මැතිවරණ දිස්ත්‍රික්කයේ විශාලත්වය හා ජනගහනය මත  අපේක්ෂකයන් විශාල සංඛ්‍යාවක කුලකයකින් (සමහර විට 30 දෙනෙකුගෙන් පමණ) තමන් වඩාත් සුදුසුයයි හගින තිදෙනෙකු තෝරාගැනීමේ පූර්ණ නිදහස ඔහු සතුය.අවශ්‍ය නම් ඉන් එක් අයකුට හෝ මනාපය පල නොකර දේශපාලන පක්ෂයකට පමණක් ඡන්දය පමණක් ප්‍රකාශ කර අතසෝදාගැනීමේ අයිතිය ද ඔහු සතුය.(නමුත් මෙවිට ද  ඔහු වක්‍රාකාරව නියෝජිතයන් කීප දෙනෙක් තෝරාගැනීමට දායක වන බව සත්‍යයකි.) නමුත් පැරණි කේවල ක්‍රමය , පක්ෂය  තම මැතිවරණ කොටඨාශය සදහා නම් කරන ලද අපේක්ෂකයා වෙනුවෙන් ම තම ඡන්දය ප්‍රකාශ කරණ ලෙස ඡන්දදායකයාට බලකර සිටී. ඡන්දදායකයකු තම ඡන්දය “අසුවල් දේශපාලන පක්ෂය වෙනුවෙන්  භාවිතා කළා” යන්නෙහි අදහස ඍජුවම අදාල අපේක්ෂකයා වෙනුවෙන් භාවිතා කළා යන්නයි (සමානුපාතික නියෝජන ක්‍රමයේදී එය එසේ නොවේ).මෙහිදී  ඡන්දදායකයාගේ ප්‍රජාතන්ත්‍රීය අයිතියට යම් භාදාවක් සිදුවන බව ලේඛකයාගේ තර්කයයි.තම දේශපාලන පක්ෂය මැතිවරණයෙන් ජයගතයුතු යයි සිතන නමුත් තම ආසනයේ තම පක්ෂයේ නියෝජිතයා පාර්ලිමේන්තුවේ නොසිටිය යුතුයයි සිතන ඡන්දදායකයකුට මෙවිට මුහුණදීමට සිදුවන්නේ බරපතල උහතෝකෝටිකයකටය.විකල්ප නියෝජිතයන් තෝරාගැනීමේ අයිතිය ඔහුට අහිමිය. මෙහිදී එක්කෝ ඡන්දදායකයා (හිත හදාගෙන) පක්ෂය වෙනුවෙන් ඡන්දය දී  තම ඡන්දයෙන් තමන් අකමැති අපේක්ෂකයකු පාර්ලිමේන්තුවට පත්වනු බලා සිටී.නැතහොත් වෙනත් පක්ෂයකට ඡන්දය දීමට හෝ නැතහොත් ඡන්දය කටුගාදැමීමට ක්‍රියාකරනු ඇත. ඡන්දදායකයාගේ අභිලාශයම ස්ථාපිත කළ හැකි සමානුපාතික නියෝජන ක්‍රමය සතු නම්‍යශීලීභාවය අවශ්‍යවන්නේ මෙවන්විටකය.කේවල කොට්ඨාශ ක්‍රමය තුල ඡන්දදායකයාගේ අතපය බැද දමා ඇති ආකාරය මෙයින් පැහැදිලිය.

සංධානයක කුඩා පක්ෂ හා කණ්ඩායම්

දේශපාලන පක්ෂ කීපයක් සංධානගතව මැතිවරණ සදහා ඉදිරිපත්වීම මෙකළ සුලභ සංසිද්ධීයකි. මෙවන් සංධානයක සිටින කුඩා පක්ෂයකට මහජන නියෝජිත ආයතනයක නියෝජනය ලබාගැනීමට සමානුපාතික නියෝජන ක්‍රමය මනා පිටිවහලකි.මැතිවරණයට නාමයෝජනා දීමේදී සංධානයේ ලේකම් වරයා පක්ෂයේ තීරණ මත එක් එක් පක්ෂ හා කණ්ඩායම් වලට නාමයෝජනා කෝටාවක් ලබා දෙයි.එවිට අදාල කුඩාපක්ෂ බළධාරින් තම පක්ෂ අපේක්ෂකයන් නම්කර එවයි.ඉන් පසුව සංධානයේ ලේකම්වරයා ප්‍රධාන පක්ෂයේ සහ කුඩා පක්ෂ ගනණාවක අපේක්ෂකයන් ඇතුලත් අවසාන නාම ලේඛනය මැතිවරණ කොමසාරිස්තුමා වෙත ඉදිරිපත් කරනු ලබයි.මෙවිට අදාල කුඩාපක්ෂ දිසත්‍රික්කය තුල තමන් සතු මුලු සම්පත් ප්‍රමාණයම යොදවා (සමහර විට ජාතික මට්ටමින් ලැබෙන උදව් ද ඇතිව) තම අපේක්ෂකයාගේ ජය වෙනුවෙන් වෙහෙස වේ.එවිට පුද්ගලයකු ලෙස ඒ අපේක්ෂකයාගේ ආකර්ශනීයභාවය නිසා  සංධානයේ අනෙකුත් පක්ෂවල මනාප ද ලැබ කුඩාපක්ෂ අපේක්ෂකයන්  විශාල මනාප ඡන්ද සංඛ්‍යාවක් ලබා ජයග්‍රහණය කරනු අප දැක ඇත.නමුත් කේවල කොට්ඨාශ කුමය තුල අපට මෙවැන්නක් සදහා අවකාශයක් දැකිය නොහැක.මෙයට සංසන්දනාත්මකව කේවල කොටඨාශ කුමය තුල ප්‍රධාන පක්ෂ හා කුඩා පක්ෂ අතර නිතරග ගිවිසුම් දැක්විය හැකි නමුත් අද පවතින මැතිවරණ සංස්කෘතිය තුල එවැන්නකට ඇති ඉඩකඩ ඉතා සීමිතය ( උතුරු නැගෙනහිර සහ උඩරට කදුකරය හැර).මක් කිසා ද යත් ජාතිය මත හැර වෙනයම් හේතුවක් මත යම් කුඩා දේශපාලන පක්ෂයකට සාම්ප්‍රදායිකව බලය හිමි මැතිවරණ බලප්‍රදේශ පැවතීම උගහට බැවිණි.වෙනත් වචනවලින් කිවහොත් තමන්ටම ජයගතහැකිව තිබෙන කොට්ඨාශයක් හවුල්කාර පක්ෂයක් සමග නිතිරග ගිවිසුමකට ගොස් ජයගැනීම කිසිදු ප්‍රධාන පක්ෂයකට අනවශ්‍ය බැවිනි.(අදාල මංත්‍රීවරයා ක්‍රියාකරන්නේ තම දේශපාලන පක්ෂයේ ප්‍රතිපත්ති මත මිසක් ප්‍රධාන පක්ෂයේ ප්‍රතිපත්ති මක නොවන බැවින්).තම පක්ෂයේ බලය දුර්වලවීම වැලැක්වීම සදහා ඕනෑම පක්ෂයක් කරනුයේ මෙවන් අවස්ථා වැලැක්වීමට ක්‍රියාකිරීමයි.මෙවන් පසුබිමක කේවල කොටඨාශ ක්‍රමය තුල කුඩා දේශපාලන පක්ෂවලට පාර්ලිමේන්තු හෝ වෙනත් ආයතන වල නියෝජනයක් ලබාගැනීම කන කැස්බෑවා වියසිදුරෙන් එළිය දකින්නා වැනි දුෂ්කර කටයුත්තක් වීමට හොදටම ඉඩතිබේ.

සංධාන වලින් පිටත කුඩා පක්ෂ

ප්‍රධන පක්ෂ සමග සංධානගතනොවී මැතිවරණ වලට ඉදිරිපත්වන කුඩා පක්ෂ හා කණ්ඩායම් වලට කේවල කොටඨාශ කුමය තුල සිදුවන්නේ බරපතල ව්‍යසනයකි.ඉහත ඡේදයේ දැක්වූ පරිදි යම් පක්ෂයකට යම් ප්‍රදේශයක ජනතා කැමැත්ත විශාල ලෙස ලැබීම (ප්‍රධාන දේශපාලන පක්ෂ ද අබිභවා යන අන්දමේ) සිහිනයක් ම පමණකි.බොහෝවිට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අතර ජනතා කැමැත්ත දෝලනය වන අතර පාවෙන ඡන්ද මැතිවරණ ජයග්‍රාහකයා සදහා තීරණාත්මක බලපෑමක්  කරයි.නමුත් සමස්ථ දිවයින පුරාම 5%ක 10%ක පමණ ඡන්ද පදනමක් සමහර විට මෙවන් කුඩා පක්ෂ වලට ලබාගැනීමේ හැකියාව පවතී .මක්නිසා ද ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකකම හා සම්පාත නොවන විකල්ප මත දරන ජනතාවක් ද රටේ දිවිගෙවන බැවිණි. කේවල කොටඨාශ කුමය තුල සිදුවන්නේ මෙම ඡන්ද ප්‍රමාණයට ලබාදීමට දායක වූ ඒ ජනතාවට පාර්ලිමේන්තු නියෝජනයක් අහිමිවීම හා දිගුකාලීනව, විකල්ප මත දරණ එවන් දේශපාලන පක්ෂ දේශපාලන බිමෙන් අතුගෑවීම පමකි.(ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වන්නේ විවිධ මත දරණ විවිධ දේශපාලන කොටස් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමෙන් සැමට, නීති සම්පාදනයට හා සාකච්චාවන්ට – වාද විවාදයන්ට සහභාගීවීමට අවස්ථාව ලැබීමෙන් පමණකි).සමානුපාතික ක්‍රමය යටතේ මෙවන් පක්ෂ තම පාර්ලිමේන්තු බලය උපයෝගී කරගෙන රජයන් ඇතිකිරීමට හෝ නැතිකිරීමට පවා තීරණාත්මක කාර්යයක් කළා අපට මතකය.

අපේක්ෂකයන්ට සිදුවන අසාධාරණය

දිවයිනේ සමහර මැතිවරණ කොට්ඨාශ සාම්ප්‍රදායිකව ප්‍රධාන දේශපාලන පක්ෂවල බලකොටු බවට පත්ව තිබේ.රටේ සමස්ථ මැතිවරණ ප්‍රතිපලය කුමක් වුව ද මෙවන් කොට්ඨාශ වල ජය යම් නිශ්චිත පක්ෂයකටම ලැබීම ස්වාභාවයයි.ඕනෑම මැතිවරණයකදී මැද කොළඹ කොට්ඨාශය එ.ජා.පක්ෂය ජයග්‍රහණය කරන්නේ  වැඩි ඡන්ද 50,000 කින් පමණය.කොළඹ නාගරික කොට්ඨාශ බොහොමයක් ම එ.ජා.පක්ෂය සෑම මැතිවරණයකදීම එලෙසින් ජයග්‍රහණය කරයි.අනෙක් අතට දකුණු පලාතේ බොහෝ මැතිවරණ කොට්ඨාශ ශ්‍රී.ලං.නි පක්ෂය සෑම මැතිවරණයක දීම පහසුවෙන් ජයගනී.ලේඛකයා ගේ තර්කය නම් මෙවන් කොට්ඨාශ වල අනෙක් පක්ෂ ආසන සංවිධායක වරයා සෑමදාම පරාජය වී නිවෙසේ සිටිය යුතු ද යන්නයි.සමානුපාතික නියෝජන කුමය තුල මෙවන් අපේක්ෂකයන් ඍජු ජනතා කැමැත්ත මත ප්‍රමාණවත් මනාප ඡන්ද සංඛ්‍යාවක් ලබා පාර්ලිමේන්තුවට පත්වෙනු අප දැක ඇත.තම කොට්ඨාශයේ බහුතර ජනතා කැමැත්ත නැතිවුව ද දිස්ත්‍රික්කයේ තම පක්ෂයේ බහුතර ජනතා කැමැත්ත මත ඡන්ද සටන ජයගැනුමට අපේක්ෂකයන්ට වත්මනෙහි ඇති අවස්ථාව අවුරා නොදැමිය යුතුය.මක්නිසාද එය ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි බැවිණි.

අනෙක් අතට මෙවන් ආසන වල ජයග්‍රාහී පක්ෂයේ ආසන සංවිධායක ධූරය සදහා පක්ෂ අභ්‍යන්තරයේ ම ගැටුම් අතිවීම ද ස්වාභාවයයි.මක් නිසා ද එ තනතුරට පත්වීමම මැතිවරණ සටනින් ජයගැනීම හා සමාන බැවිණි.

ජනතා කැමැත්ත නොමැතිව පාර්ලිමේන්තුවට තේරීම

මෙය ඉහත ඡන්දදායකයා ගේ නිදහස යනුවෙන් විස්තර කළ සිද්ධියේම විලෝමයයි. පක්ෂට හෝ පක්ෂ නායකත්වයට ඇති ජනතා කැමැත්තට මුවාවී ජනතාව අතර අප්‍රිය අපේක්ෂකයන්ට මැතිවරණ ජයගැනීමට කේවල කොටඨාශ කුමය තුල මහගු ප්‍රස්ථාවක් ඇත.අපේක්ෂකයාට ඇති විරෝධය අභිභවා පක්ෂයට හෝ පක්ෂ නායකයාට ඇති පක්ෂපාතීත්වය ප්‍රභල විට ඡන්දදායකයාට ඇතිවිකල්පය වන්නේ තමා අකමැති අපේක්ෂකයකු දිනවීමට දායකවීම නිසා එවන් දේශපාලකයන් තමන්ට ඇති මහජන විරෝධය තුට්ටුවකටවත් මායින් නොකර පහසුවෙන් පාර්ලිමේන්තුවට පත්වන අතර, අපේක්ෂකයෙකුට තම පාර්ලිමේන්තු ගමන වෙනුවෙන් ජනතාවාදීව ක්‍රියා කිරීම නොව පක්ෂ නායකයා හොදින් තබාගැනීම පමණක් හොදටම ප්‍රමාණවත් බැවින් මෙවන් මහජන නියෝජිතයන්ගෙන් ජනතා සේවයක් ඉටුවේද යන්න පවා සැකසහිතය.නමුත් ඔහු නායකත්ව වන්දනාව නම් කිසිදු අඩුපාඩුවකින් තොරව සිදුකරනු ඇති අතර, ඕනෑම දේශපාලකයකුටම තම අනාගත අපේක්ෂකත්වය උදෙසා එසේ කිරීමට  කේවල කොටඨාශ කුමය මගින් බල කරනු ලැබ ඇත.මන්ද ආසන සංවිධායක ධූර යනු පක්ෂ නායකත්වයට අවශ්‍ය පරිදිම පත්කරනු ලබන පත්කීරීමක් බැවිණි.තම දේශපාලන පක්ෂය තුල අභ්‍යන්තර ප්‍රජාතන්න්‍රවාදය ශක්තිමත් කිරීමට වෙර දරන සියලු දෙනා මේපිලිබදව සිය අවධානය යොමු කළයුතුයයි සිතමු.

එබැවින් මහජන නියෝජිතයන් තෝරා ගැනීම සදහා සංශෝධන සහිතව සමානුපාතික නියෝජන ක්‍රමය දිගටම පවත්වාගෙන යායුතුයයි ද කේවල කොට්ඨාශ ක්‍රමය ස්ථාපිත කිරීම සිදු නොකළ යුතු යයි ද යලිදු අවධාරණය කරමු.

සමානුපාතික නියෝජන ක්‍රමය සම්බන්ධව පටබැදී ඇති දුර්මත වල සත්‍යාසත්‍යභාවය මීළග ලිපියකින් විමසා බලමු.

.

 

ජනමතය මේ විදියට උරගාමුද?

ලංකාවේ මැතිවරණ ක්‍රමය වෙනස්විය යුතු ආකාරය පිළිඹදව මේඝය මීට පෙර කීප වතාවක් සාකච්චා කළා.මෙතනින් ඒවා බලතහැකි.

1.පොදුමැතිවරණ ක්‍රමයක්

2.කේවල කොට්ඨාශ ක්‍රමය නැවත එපා

3.තරුණ නියෝජය වැඩි කළ යුතු ද?

මේ එහිම තවත් දිගුවක්.

1.අපේක්ෂකයන්ගේ නම්.

නාමයෝජනා සදහා දැනට පවතින නීතියේ දුර්වලතා පවතිනවා.එකක් තමයි අපේක්ෂකයන්ට තම නම ලෙස කැමති නමක් ඉදිරිපත් කල හැකිවීම. මෙතනදී අපේක්ෂකයන් කරන්නේ මනාප අංක 1 ලබා ගැනීම සදහා සිංහල අකාරාදියේ මුලම අකුරක් පළවෙනි අකුර විදියට එන ලෙස තම නම ඉදිරිපත් කිරීමයි.උදා සිසිර,සමන්ත වගේ නම් තියන අය ඇස් කියල මුලට දාල නම ඉදිරිපත් කරනවා.(ඇස්. පෙරේරා).රවීන්ද්‍ර වගේ නම් තියෙන අය ආර් මුලට දානවා.(ආර්.පෙරේරා).සමහරු වාසගම මුලට දානවා.(ගයාන් අබේපාල වෙනුවට – අබේපාල ගයාන් වගේ).සමහරු පෙලපත් නාමය අතහරිනවා.(පහල ගෙදර අරවින්ද දිසානායක නිකන්ම අරවින්ද දිසානායක වෙනවා).මේවාගේ විකාර නවත්තන්න පුලුවන් උප්පැන්න සහතිකයේ තියෙන නමම අපේක්ෂකයන්ට භාවිතා කිරීම අනිවාර්ය කලොත්.නැත්නම් මනාප අංක දෙනකොට අදාල බලධාරීන් උප්පැන්න සහතිකයේ තියෙන නමම සලකා නාමලේඛනය සැකසිය යුතුයි.

2.ටිපෙක්ස් භාවිතය තහනම් කළ යුතුයි.

ටිපෙක්ස් කිරීම පැහැදිලිවම වංචාවක්.ටිපෙක්ස් කළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කළ යුතුයි.(ලේඛකයා දන්නා විදියට මැතිවරණ නාමයෝජනා හැර  ටිපෙක්ස් කළ වෙනත් කිසිදු ලේඛණයකට නිළ පිලිගැනීමක් ලැබෙන්නේ නෑ)

3. ප්‍රචාරණය සදහා ඇති කාලය කෙටි කිරීම.

ප්‍රචාරණය සදහා අනවශ්‍ය දිගු කාළයක් දීම නිසා සිදුවන්නේ ප්‍රචණ්ඩ ක්‍රියා ඉහලයාම පමණයි.මැතිවරණයක් ප්‍රකාශ කළ විගස ඡන්ද දායකයන් 60% ක් විතර තීරණය කරනවා කාට ද තමන් ගේ ඡන්දය පාවිච්චි කරන්නේ කියල.අනෙක් 40% තීරණය කරන්නේ මැතිවරණය පවත්වන දින උදයේ.ඒ කිසා ප්‍රචාරණ කටයුතු සදහා දෙසතියක පමණ කෙටි කාලයක් හොදටම ප්‍රමාණවත්.මේඝය කලින් යෝජනා කළ පරිදි මැතිවරණ කාලසටහනක් රටේ ක්‍රියාත්මක උනොත් මේ කාර්ය වඩාත් හොදට කරන්න පුලුවන්.

4.ව්‍යාජ අපේක්ෂකයන් සීමා කිරීම.

මැතිවරණ වලට තරග කරන සමහර අපේක්ෂකයන් තරග කරන්නේ කොහොමටවත් දිනන අදහසින් නෙවෙයි.ඒ මැතිවරණ අපේක්ෂකයන් ලෙස තමන්ට ලැබෙන වරප්‍රසාද වෙත් ප්‍රභල පක්ෂයකට ලබාදීමේ චේතනාවෙන් (සමහර විට ඒ පක්ෂයේ අනුග්‍රහය මත).ඔවුන් නිසා මැතිවරණ දෙපාර්තමේන්තුවට විශාල මහජන මුදල් නාස්තියක් කරන්න සිදද වෙනවා.මෙවැන්නන් සීමා කරන්න පුලුවන් පක්ෂයකින් හෝ ස්වාධීනව මැතිවරණයකට ඉදිරීපත් වනවිට ගෙව්ය යුතු ඇප තැම්පත් මුදල දරාගත නොහැකි මට්ටමකට ඉහල නැංවීම මගින්.ඇපය රාජසන්තක වෙන නිසාවත් මෙවිට ව්‍යාජ අපේක්ෂකයන් අධෛර්ය වෙන්න පුලුවන්.අවංකව ජයග්‍රහණය බලාපොරොත්තුවෙන් ඉදිරිපත් වන පක්ෂ වලට පක්ෂ අරමුදවල්වලින් ඇප මුදල් ගෙවිය හැකියි.(යම් අවම ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් හොත් ඇප මුදල ආපසු ගෙවනවා නේ)

5.අපේක්ෂකයන් තම මැතිවරණ අයවැය ලේඛණය ජනතාවට ඉදිරිපත් කළ යුතුයි.

තම අපේක්ෂකයන් ගේ මූල්‍යය අනුග්‍රාහකයන් කව්ද කියල දැනගන්න ඡන්ද දායකයාට අයිතියක් තියෙනවනේ.හැබැයි සියලු මූල්‍ය වාර්තා නිසිලෙස විගණනයට ලක් විය යුතුයි.

6.අපේක්ෂකයන් ගේ වත්කම් ප්‍රකාශන.

අපේක්ෂකයන් ගේ වත්කම් ප්‍රකාශන මැතිවරණයට පෙරත් ඔහු ජයග්‍රහණය කලොත් ඉන් අනතුරුව වාර්ශිකවත් ප්‍රසිද්ධ කළ යුතුයි.මේක නම් දැනටත් පවතින නීතියක්.එකම ප්‍රශ්නේ හරියට ක්‍රියාත්මකවෙන්නේ නැතිඑක.මෙහිදී අපේක්ෂකයන්ට නීතියේ හිඩැස් අතරින් රිංගන්නට ඉඩනොදී ඔවුන්ගේ ළගම ඥාතින්ගේ ද වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම අනිවාර්ය කළයුතුය.

5. පරිසර හානිය වැලැක්වීම.

පොලිතීන් වැනි පරිසර දූෂක මැතිවරණ ව්‍යාපාර වලිට තහනම් කළ යුතු අතර, පෝස්ටර් ද සීමා කළ යුතුයි.විද්‍යුත් ජනමාධ්‍ය ඔස්සේ කරණ ප්‍රචාරණය දිරිමත් කළ යුතුය.

මැතිවරණය ක්‍රමයට  එක් කළ යුතු තවත් සංශෝධන මේඝය ඉදිරියේදීත් කතා කරනවා.

තරුණ නියෝජනය වැඩිකිරීම හොදද?

මැතිවරණ ක්‍රමය පිලිඔද මේඝය තම විවේචන දෙකක් මීට පෙර පල කළේය.ඒ පොදු මැතිවරණ දිනයක් පිළිඔදව සහ කොට්ඨාශ ක්‍රමය නැවත එපා යනුවෙනි.මේ ඒ සාකච්චාවේ ම දිගුවකි.

පලාත් පාලන මැතිවරණ වලට ඉදිරිපත් කරන අපේක්ශකයන් ගෙන් 40% ක් අවුරුදු 35 ට අඩුවෙන් විය යුතු බවට නීතියක් පවතී.බැලූ බැල්මට ම මෙය දේශපාලනයේ තරුණ නියෝජනය වැඩිකරන්න කරපු සාධනීය පියවරක් වගේ පෙනුනද එය එසේමද?

අපේ රටේ ජනතාවගෙන් ගෙන් යම් කොටසක් වයස අවුරුදු 18-25 කාළයේ උසස් අධ්‍යාපනය හදාරන අතර තවත් විශාල පිරිසක් රැකියාවකට යොමු වේ.වයස අවුරුදු 25-35 කාළයේ නම් විශාල බහුතරයක් කරන්නේ ආර්ථික ස්ථායීතාව සදහා රැකියාවක් කිරීමයි. තරුණ වියට එළබෙන විට රැකියාවක් කරීමේ අවශ්‍යතාවක් නැති එනම් මව්පිය උරුමයෙන් විශාල ධනයකට හිමිකම් කියනන්නන් සිටීනම් ඒ අතලොස්සක් පමණි.එවැනි වාතාවරණයක් තිබියදී අවු 18-35 අතර තරුණයකු ආර්ථීක වශයෙන් කිසිදු ප්‍රතිලාභයක් නොමැති පලාත් පාලන ආයතන නියෝජිත ධූරයකට ඇද දැමීමේ ඇති සාධාරණය කුමක්ද? එමගින් සිදුන්නේ ඵලදායී ආර්ථික ක්‍රියාවක නිරතවීමට ඇති අවස්ථාව ඔහුගෙන් ගිලාහීයාම පමණක් නොවේද?එපමණක් නොව රජයේ කාර්යාලයක කාර්ය සහායකයකුට ද වඩා අඩු වැටුපක් ලබමින් ඔහුට සිදුවන්නේ තමා නියෝජනය කරන ජනතාවගේ දැවෙන ගැටලු වලට විසදුම් සෙවීමට පළමුව තම නිවසේ ආර්ථික ප්‍රශ්න විසදීම සදහා ක්‍රියා කරීම නොවේද?  සමහර විට පලාත් පාලන නියෝජිතයන් විවධ දූෂණ හා අක්‍රමිකතා වලට යොමුවන්නේ ද තම ආදයම ජීවන වියදම සමග කිසිසේත්ම නොගැලපීම නිසා විය නොහැකිද?

නමුත් දේශපාලනය සමග සමගාමීව කළ හැකි රැකියාවන් (උදා නිතීඥ වෘත්තිය) හි නිරත වන්නන් පලාත් පාලන මැතිවරණ වලට ඉදිරිපත් වීමේ ගැටලුවක් නැත.

එබැවන් මේඝය යෝජනා කරන්නේ උක්ත නීතිය ඉවත් කළ නොහැකිනම් යටත් පිරිසෙයින් 40% සීමාව තව අඩු කිරීම වත් කළයුතු බවයි.

අතීතයේ දේශපාලනයට යොමු වූයේ ආර්ථික වශයෙන් යම් ස්ථාවරත්වයක සිටිනා අය පමණකැයි අප අසා ඇත.තමන්ට පාරම්පරිකව උරුම වූ දේපල දේශපාලනයට පිවිසීම නිසා අහිම් කරගත් අය ගැන ද අප අසා ඇත.දැනු ද එවැන්නන් දේශපාලනයට පිවිසිය යුතුයයි අපි සිතමු. එසේ නොමැතිව තම ආර්ථීකය ද කළමණාකරනය කරගත නොහැකි අය දේශපාලනයට පිවිසීම නිසා සිදුවන්නේ අනර්ථයක්මය.

 

කේවල කොට්ඨාශ මැතිවරණ ක්‍රමය නැවත ගේන්න එපා!

කේවල කොට්ඨාශ මැතිවරණ ක්‍රමය නැවත ගේන්න එපා! –

උඩුගම් බලා පිහිනීමක්.මේඝය එහෙම කියන්නේ හේතු සාධක ඇතිව.මාර්තු 17 වනදා නිමා වූ පලාත් පාලන මැතිවරණය පාදක කරගෙන මේඝය මේ පිළිබදව විග්‍රහයක යෙදෙනවා.

නිමාවූ මැතිවරණය පාර්ලිමේන්තු මැතිවරණයක් යයි මොහොතකට උපකල්පනය කරමු.එමෙන්ම එක් එක් පලාත් පාලන ආයතනය මැතිවරණ කොට්ඨාශයක් යයි ද සලකමු.ඊට සමගාමීව අපගේ උපකල්පිත පාර්ලිමේන්තුවේ මන්ර්‍තී ධූර ගනන 234 ක් වනු ඇත.අවසන් නිල ප්‍රතිඵල වලට අනුව පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානය (උපකල්පිත පාර්ලිමේන්තුවේ) මංත්‍රී ධුර 205 ක් ලබා සිටී. එය 5/6 කට ආසන්න බලයකි.නමුත් එක්සත් ජාතික පක්ශයට හිමිව ඇති මංත්‍රී ධූර ගනන 9ක් පමණකි.එය ප්‍රධාන විපක්ශය වීමට ද ප්‍රමාණවත් නොවේ.මෙවර ප්‍රධාන විපක්ශය වන්නේ ආස 12 ක් ජයග්‍රහනය කළ දෙමළ ජාතික සන්ධානය (ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්‍ෂය) යි.ඇත්තවශයෙන් ම මෙය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව 1977 දී ප්‍රායෝගිකව අත් දකින ලද සංසිද්ධියකි.ඡන්ද ලක්ශ 28ක් ලැබූ එක්සත් ජාතික පක්ශය නොව ඡන්ද හැත්තෑදහසක් පමණක් ලැබූ දෙමළ ජාතික සන්ධානය පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ශය වීම බරපතල වරදක් නොවන්නේද?ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික හරයන් මෙහිදී බරපතල ලෙස උල්ලංඝනය නොවීද?අනෙක් අතට දෙමළ ජාතික සන්ධානය ලැබූ ඡන්ද සංඛ්‍යව මෙන් දෙගුණයකට ද වඩා ඡන්ද ලැබූ (එක් ලක්ශ අසූ දහසක්) ජනතා විමුක්ති පෙරමුණ ට (උපකල්පිත පාර්ලිමේන්තුවේ) එකද මංත්‍රී ධූරයක් හෝ නොලැබීම බලවත් අසාධාරණයක් නොවේද?

මෙම උපකල්පිත පාර්ලිමේන්තුවේ සංයුතිය,එක් එක් පක්ශයේ ජාතික මට්ටමේ ඡන්ද ප්‍රතිශතය හා සංසන්දනයක් පහත දැක්වේ.

පක්ශය ඡන්ද ප්‍රතිශතය උ.පාර්ලිමේන්තුවේ සංයුතිය
එක්සත් ජනතා නිදහස් සන්ධානය 55.65% 87.60%
එක්සත් ජාතික පක්ශය 33.89% 3.80%
දෙමළ ජාතික සන්ධානය 1.20% 5.12%
ජනතා විමුක්ති පෙරමුණ 3.00% 0%
අනෙකුත් 6.00% 3.50%

කේවල මංත්‍රී කොට්ඨාශ ක්‍රමය තුල, ජයග්‍රාහී පක්ශය අධි තක්සේරුවකට ද හොදම පරාජිතයා (Best looser) බරපතල අවතක්සේරුවකට ද ලක්වන ආකාරය පැහැදිලියි නේද?

ඉතිං මහජන නියෝජිතායතන වලට නියෝජිතයන් තෝරා ගැනීම සදහා, දැන් පවතින සමානුපාතික නියෝජන ක්‍රමය (සංශෝධන වලට යටත්ව) පවත්වාගෙන යාම වඩාත් උචිත නොවේද?

පුංචි ඡන්දයේ ප්‍රතිපල – එහෙම උනේ ඇයි?

පුංචි ඡන්දයේ පළමු අදියර නිමා වුණා.රජයට විශිෂ්ඨ ජයග්‍රහණයක්! විපක්ශයට කලින් වතාවේ බලය හිමිවෙලා තිබ්බ ආයතන පවා අහිමිවෙලා.එහෙම උනේ ඇයි?

මේඝයට හිතෙනව මෙන්න මෙහෙම.විපක්ශය මැතිවරණ ව්‍යාපාරයේදී කරපු වරදක් නිසා තමයි මෙහෙම සිද්ධ වුනේ.ඒගොල්ල කරපු වරද තමයි මේ මැතිවරණය රජය ට විරෝධය දක්වන්න යෙදාගන්න ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටීම.සාමාන්‍යයෙන් පලාත් පාලන මැතිවරණය වගේ  මැතිවරණයකදී ප්‍රකාශ වන ඡන්ද ප්‍රමාණය  අඩුයි.නමුත් මෙවර එය එතරම් අඩු වී නෑ.ඒ කියන්නේ සාමාන්‍යයයෙන් පුංචි ඡන්දයකදී ඡන්දය නොදෙන රාජ්‍ය පාක්ශිකයොත් මෙවර ඡන්දය දීල.ඒකෙන් විපක්ශයේ ඡන්ද ප්‍රතිශතය අඩු වීම නිසා තමයි මෙ විදියේ ප්‍රතිඵලයක් අවසානයේදී ලැබිල තියෙන්නේ.

සමහර විට මීට වඩා වෙනස් හේතුත් ඇති.කොහොම උනත් මැතිවරණයක් අවසානයේ එහි ප්‍රතිඵල එක එක විදියට විශ්ලේශනය කරන්න පුලුවන්නේ.මැතිවරණ අවසන් වෙලා එක එක පක්ශ වල විස්ලේශන අහපුවහම පැරදුන පක්ශයක් නෑ කියලත් කෙනෙකුට හිතෙන්න පුලුවන්.

සුභවාදීව හිතනව කියන්නේ අන්න ඒකට.

පුංචි ඡන්දය හෙට – “පොදු මැතිවරණ” ක්‍රමයකට යමුද?

තවත් පුංචි ඡන්දයක් හෙට.පුංචි කිව්වට අපේක්ශකයන්ගේ මහන්සියයි, විදින දුකයි බැලුවම මේකත් ලොකු ඡන්දයක් ම තමයි.වෙනස ඡන්දයෙන් දිනන අය යන්නේ පුචි පුංචි ආයතන වලට.පොඩි පඩියකට.ලැබෙන්නේ පොඩි වාහනයක්.ඒකත් ඉහලම අයට විතරයි.හුගදෙනෙක් යනනේ චන්දදායකයෝත් එක්කම එකම ප්‍රයිවෙට් බස් එකේ.බලතල සීමිතයි.(නීත්‍යානුකූලව හිමිවෙන දේවල් එක්ක බලද්දි) රස්සාවක් හැටියට කිසිම වැඩකට ඇති දෙයක් නෙවෙයි.

හැබැයි මේඝය කතා කරන්න යන්නේ ඒ ගැන නෙවෙයි.මේ විදියට සැරින් සැරේ මැතිවරණ තියන එක ගැනයි මේඝයගේ විවේචනය.ප්‍රජාතන්තුවාදයේ පැවැත්මට මැතිවරණ අවශ්‍යයි තමයි.ඒත එක දිගටම මැතිවරණ තියෙනකොට මහජනතාවට ඒක අනවශ්‍ය හිරිහැරයක් වෙනවා.අපේක්ශකයෝ දොරකඩටම ඇවිල්ලා කරන ප්‍රචාරණය,රූපවාහිනියෙන් පත්තර ගුවන් විදුලියෙන් කරණ ප්‍රචාරණය,තාප්පයක් ගහක් ගලක්ගානේ කරණ පෝස්ටර් යුද්ධය, ගමක්ගානේ තියෙන පොකට් මීටින් මේවා දැන් මහජනතාවට එපා වෙලා. ඒ මදිවට මැතිවරණ වේදිකාවල මැවෙන දිව්‍යයලෝක, විරුද්ධ පක්ශයට ගහන මඩ, කෙස් පැලෙන තර්ක විතර්ක සහ මැරක්‍රියා ආදී මැතිවරණ උප සංස්කෘතිය හා සම්බන්ධ දහසකුත් එකක් නරිනාටක,නාඩගම්,කෝලම් වීදිනාට්‍ය හා නව නාට්‍යය දැන් එපාවටම එපාවෙලා.

අවුරුදු 6කට සැරයක් ජනාධිපති වරණ.අවුරුදු 4කට සැරයක් මහ මැතිවරණ.5කට සැරයක් පලාත්සභා.අයේ 4 කට සැරයක් පලාත් පාලන චන්ද.මේඝය යෝජනා කරන්නේ මේ සියලු මැතිවරණ එක දවසක තියන්න බැරි ඇයි කියලයි.(ඇත්තටම මේක මේඝයගේ යෝජනාවක් නෙවෙයි, කාළයත් තිස්සේ සමාජයේ පවතින යෝජනාවක්).මේඝය මේකට තව එකතු කරන්නේ මේන්න මේකයි.නරකද ලංකාවටත් වසරක ක්‍රියාකාරනම් වලට අදාල දින දසුනක් වසර කීපයක් සදහා සැලසුම් කලොත්?හරියට වසරක නිවාඩු දවස් වගේ, අ.පො.ස (උපෙල)-(සාපෙල) විභාග, මැතිවරණ, රාජ්‍ය උත්සව, ජාතික උත්සව කල්තියා ම සැලසුම් කරලා ප්‍රකාශයට පත් කරන්න බැරිද?

අවශ්‍ය නම් ආණ්ඩුක්‍රම ව්‍යයවස්ථාව සංශෝධය කරල(2/3 ත් තියෙනව නේ) සෑම පාලන ආයතනයකම ධූර කාලය සමාන කරල එකවැර සියල්ලටම මැතිවරණය පවත්වන්න බැරිද?මනාප ක්‍රමය අහෝසි කලොත් නම් මේක හරිම ලේසියි.නමුත් අවශ්‍ය නම් මනාප ක්‍රමය සමගම වුවත් මේ පොදු මැතිවරණය පවත්වන්න පුලුවන්.(ඊට ගැලපෙන විදියට චන්ද පත්‍රිකාව හදන්න ඕනි).

ඒ විදියට පොදු මැතිවරණ සංකල්පය ක්‍රියාත්මක කලොත් මැතිවරණ වලට නාස්තිවෙන මුදල්, කාලය, ශ්‍රමය  සේරම ඉතිරිකරගන්න පුලුවන්.ජනතාවට මැතිවරණ එපා වෙන්නෙත් නෑ.

පොඩි පාඩුවක් වෙන්නේ පරදින පක්ශයට විතරයි.ආණ්ඩුවට විරුද්ධව ජනතාව පෙලගස්සන්න ඊලග පොදු මැතිවරණ දවස වෙනකන් ඇගිලි ගනින්න සිද්ධ වෙනවා විපක්ශයේ ඉදගෙන.

පොදු මැතිවරණය ගැන තවත් අදහස් මේඝයට තියෙනව.ඒවා ඊලග ලිපි වලින් කියන්නම් කෝ.