ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා මහජන යෝජනා ලබාගැනීම – වර්ශ 2016

ගරු සභාපතිතුමනි,

ව්‍යවස්ථා සංශෝධනය සඳහා මගේ යෝජනාව නම්, මැතිවරණ ක්‍රමය සංශෝධනය නොකර සමානුපාතික නියෝජන ක්‍රමය දිගට ම පවත්වාගෙන යන ලෙස ඉල්ලීමයි.

ඊට හේතුව නම් පැවති කේවල මැතිවරණ කොට්ඨාශ ක්‍රමය , ප්‍රකාශිත මහජන මතය විකෘති කරන සාවද්‍ය මැතිවරණ ක්‍රමයක් වීමයි. එය වන්නේ කෙසේදැයි පෙන්වීම සඳහා ඉහත සඳහන් වගුව දෙස ඔබතුමා ගේ කාරුණික අවධානය යොමු කරමි. එහි 1947 සිට 2015 දක්වා මෙරට පැවති මහ මැතිවරණ වල අවසාන ප්‍රතිඵල සාරාංශගත කොට දක්වා ඇත. පැහැදිලි බව උදෙසා මෙහිදී ප්‍රධාන පක්ෂ දෙකෙහි ප්‍රතිපල පමණක් දක්වා ඇති අතර එය මාගේ තර්කය ගොඩනැංවීමට භාදාවක් නොවේ. 1947 දී පැවති පළමු මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කරඟ නොකළ බැවින් මෙහිදී එම මැතිවරණය නොසළකා ඇත. ප්‍රධාන පක්ෂ දෙක වෙනත් පක්ෂ සමඟ සංධානගතව මැතිවරණ වලට ඉදිරිපත් වූ අවස්ථා වලදී ද ප්‍රධාන පක්ෂයේ නම යටතේ ප්‍රතිපලය දක්වා ඇත. 

Capture1

  (වගු අංක 1)

මෙම කාලය තුල මෙරට පැවති මහ මැතිවරණ 15 අතරින් පළමු 8 කේවල කොට්ඨාශ ක්‍රමය යටතේ ද අවසාන 7 සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ ද පවත්වා ඇත. මේ වගුව තුලින් ඉදිරිපත් වන කරුණු පිලිබඳ පැහැදිලි නිරීක්ෂණයන් පහත පරිදිවේ.

  1. 9 සිට 15 දක්වා මැතිවරණ වලදී එක් එක් දේශපාලන පක්ෂය ජාතික වශයෙන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය හා ඔවුන් ගේ පාර්ලිමේන්තු නියෝජනය සමානය ; නොගැලපීමක් නැත .
  2. 2 සිට 8 දක්වා මැතිවරණ වල වලදී එක් එක් පක්ෂය ජාතික වශයෙන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය හා ඔවුන් ගේ පාර්ලිමේන්තු නියෝජනය අසමානය ; කිසිදු ගැලපීමක් නැත .

උදා : 1956 දී 40% ක් ඡන්ද ලැබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු නියෝජනය 54% ක් වේ : නමුත් 28% ඡන්ද ලැබූ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු නියෝජනය 8% කට සීමාවේ . එමෙන්ම

1977 දී 51% ක් ඡන්ද ලැබූ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු නියෝජනය 83% වේ : නමුත් 30% ඡන්ද ලැබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු නියෝජනය 5% කට සීමාවේ .

  1. අංක 5 යටෙත් ඇති 1960 ජූලි මහ මැතිවරණය දෙස අවධානය යොමු කරන්න. එහි ජයග්‍රහණය හිමිව ඇත්තේ දිවයිනේ වැඩි ඡන්ද ප්‍රතිශතයක් (37% ක්) ලැබූ එක්සත් ජාතික පක්ෂය නොව අඩු ඡන්ද ප්‍රතිශතයක් (33% ක්) පමණක් ලැබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යි. මෙය මහජන මතය බරපතල ලෙස විකෘති වී උඩු යටිකුරු වී යාමකි.
  2. අංක 7 යටෙත් ඇති 1970 මහ මැතිවරණය දෙස අවධානය යොමු කරන්න. එහිදී ද ජයග්‍රහණය හිමිව ඇත්තේ දිවයිනේ වැඩි ඡන්ද ප්‍රතිශතයක් (38% ක්) ලැබූ එක්සත් ජාතික පක්ෂය නොව අඩු ඡන්ද ප්‍රතිශතයක් (37% ක්) ලැබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යි. මෙය ද මහජන මතය බරපතල ලෙස විකෘති වී උඩු යටිකුරු වී යාමකි.

මෙවන් විකෘති සහගත ප්‍රතිපල ලැබීම වැලැක්වීමට නම් සිදු කළ යුත්තේ සියලුම මැතිවරණ (පාර්ලිමේන්තු, පලාත් සභා, පලාත් පාලන ආයතන) වර්තමාන සමානුපාතික නියෝජන ක්‍රමය යටතේම පැවැත්වීමට කටයුතු යෙදීම විනා මැතිවරණ ක්‍රමය සංශෝධනය කර පැරණි කේවල කොට්ඨාශ ක්‍රමය ගෙන ඒම නොවේ.

ඉහත මැතිවරණ ප්‍රතිපල වල ම සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් පහත වගුවේ දක්වා ඇත.

Capture

 

උදාවන්නේ ගෙම්බන් ගේ යුගය ද? – Frog’s era, is it ?

 

Forecast 2015 GE

2015 ජනවාරි 08 වනදා පැවති ජනාධිපතිවරණය මහ මැතිවරණයක් වූයේ නම් එහි ප්‍රතිපලය ඉහත ආකාරවේ. අගෝස්තු 17 වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ ප්‍රතිපල ද මෙසේ හෝ මීට ආසන්න එකක් වීමට හොදටම ඉඩ ඇත. මේ අනුව ප්‍රධාන පක්ෂ දෙකට ම බහුතර බලයක් පාර්ලිමේන්තුව තුල හිමි නොවීමට ඇති ඉඩ කඩ වැඩිය. රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ආණ්ඩුවක් ගැන නිතර පවසන්නේ මේ ගැන ඔහු ද හොදින් දන්නා නිසාය. මේ ප්‍රතිපලය තුලින් ආණ්ඩුවක් පිහිටුවීමට නම් බහුතරයට ඇති මදිපාඩුව කෙසේ හෝ පිරිමසා ගත යුතුය. එයට ඇති හොඳ ම විකල්පය ප්‍රධාන විපක්ෂයෙන් මංත්‍රී වරු කීපදෙනෙක් බිලිබාගැනීමය. ජාතික ආණුඩුවක් සෑදීමට දායක වූවා යන උදාන වාක්‍යය කියමින් ගෙම්බන් රැලක් කැබිනට් ඇමති/ කැබිනට් නොවන ඇමති/ ව්‍යාපෘති ඇමති/ රාජ්‍යය ඇමති/නියෝජ්‍ය ඇමති නැතහොත් පසුගිය පාර්ලිමේනුත්වේ මෙන් ජ්‍යේෂ්ඨ ඇමති ධූර ලබා ආණ්ඩු පක්ෂයේ වාඩි වනු ඇත. (මැතිවරණ ප්‍රතිපලය කුමක් වුව ද අනිවාර්යයෙන්ම අනෙක් පක්ෂය ද මෙයම කිරීමට යත්න දරනු ඇත.)
යහ පාලනයක් උදෙසා කළ යුතුව තිබුණේ, 20 වන සංශෝධනය හරහා කේවල කොට්ඨාස ක්‍රමය නැවත ගෙනවිත් තම නියෝජිතයන් තෝරා ගැනීමට ඇති නිදහස සීමා කිරීම නොව පත්වන මංත්‍රීවරුනට තම ඡන්දදායකයන් පාවාදී පැති මාරු කිරීමට ඇති ඉඩ නැතිකිරීමය. පක්ෂ මාරු කරන්නේ නම් මංත්‍රීධූරය අහිමි වන අන්දමට නව නීති සම්පාදනය කිරීමය. මුදල් කුට්ටි වෙනුවෙන් ආත්මය පාවාදී  හා ඡන්දදායකයන් වෙන්දේසි කිරීමේ නිර්ලජ්ජිත සම්ප්‍රදාය අවසන් කිරීමය.
අගෝස්තු 18 වනදායින් පසුව මෙරට ඡන්ද දායකයන්ට සර්කස් ද බලිටි ද හිටි පිනුම් ද බඩ පිනුම් ද දක්නට නොලැබේ යයි ඉත සිතින් ම ප්‍රාර්ථන‍ා කරමු. තමන් නියෝජනය කරන මතවාදය වෙනුවෙන් සෘජුව පෙනී සිටීමට තරම් ශක්තිමත් කෂේරුවක් ඇති නියෝජිතයන් පාර්ලිමේනුතුවට තෝරා යැවීමට ඡන්නදායකයන්ට ශක්කිය ධෛර්ය ලැබේවා!

විසිවන සංශෝධනයෙන් විසිවන ජනමතය – That is not your business man!

ග්‍රීසියේ ඇතෑන්ස්, ස්පාටා, කොරින්ත්, ආර්කේඩියා වල රැස්වූ ජනතාව තමන්ට බලපාන පොදු ප්‍රශ්නවලට විසඳුම් සෙව්වේ සාකච්චා මාර්ගයෙනි. මෙලෙස සියලුම ජනතාව ගේ අදහස් සාකච්චාට භාජනය වී තීරණ ගැනීමේ සහ පාලනය කිරීමේ මෙම ක්‍රියාවලිය ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුල් අවස්ථාව ලෙස සැලකූ අතර කාලයාගේ ඈවෑමෙන් මෙය විවිධ වෙනස්කම් වලට ලක්වෙමින් අද දක්වා ම ලොව පුරා ව්‍යාප්තව පවතියි. නමුත් එදා ට සාපේක්ෂව ජනගහණය අධික වීම නිසා තීරණ ගැනීමේ ක්‍රියාවලියට සියලුම ජනතාව සහභාගීවීම ප්‍රාෙයා්ගිකව සිදු කළ නොහැකි බැවින් වර්තමානයේ සිදුවන්නේ ජනතාව තමන්වෙනුවෙන් තීරණ ගැනීම උදෙසා තම නියෝජිතයන් පත් කිරීමයි. මෙය “නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය“ ලෙස හඳුන්වනු ලබන අතර අප රට් ද ක්‍රියාත්මක වනුයේ මෙය බව සියලුදෙනාම පාහේ දනී. පාර්ලිමේන්තුවේදී තමන්වෙනුවෙන් තීරණ ගන්නා නියෝජිතයන් තෝරා ගැනීම පිලිබඳ ක්‍රමවේදයේ සුවිශේෂී වෙනස්කමක් කිරීමට ඊයේ (2015 ජූනි 11) මෙරට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි විය. ඒ පවතින සමානුපාතික නියෝජන ක්‍රමය වෙනුවට “කේවල ඡන්ද කොට්ඨාශ“ (First Pass the Post) ක්‍රමය යලි ස්ථාපනය කිරීමයි. මේ පිළිබඳ විකල්ප මතවාදයක් සාකච්චා කිරීමට මෙයින් ඉඩ හසර වෙන් කර ගනිමු.

මෙය අංක ගණිතමය වශයෙන් ජනමතය නිවැරදිව ප්‍රකාශකර ක්‍රමයක් නොවන බව මුලින්ම කිව යුතු අතර ඒ ගැන කතිකාවන් මේ වේදිකාව තුල උදාහරණ සහිතව මීට පෙර සිදු කර ඇත. ඒ සඳහා හිතාදර පාඨක ඔබට පහත ලින්ක් ඔස්සේ පිවිසීමට ඇරැයුම් කරමි.

20 වන සංශෝධනය හරහා පැරණි කේවල කොට්ඨාශ ක්‍රමය යලි ස්ථාපනය කිරීමට මෙරට ජනතා බලවේග ක්‍රියාත්මක වන්නට වූයේ සද්භාවයෙන් බවට තර්කයක් නැත. වෙසෙසින්ම මනාප ක්‍රමය හරහා බිහිව ඇති ප්‍රචන්ඩකාරී, දූෂිත දේශපාලන අප සංස්කෘතිය ආපසු හරවා නිවැරදි කිරීමට මේ හරහා ඉඩ ලැබෙතැයි යන්න ඔවුන්ගේ අපේක්ෂාවයි. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙල වත් සමත් නැති දූෂිත දේශපාලකයන් දේශපාලන බිමෙන් අතුගා දමා අතීතයේ මෙන් උගත් – බුද්ධිමත් නියෝජිතයන්ගෙන් පාර්ලිමේන්තුව පිරවීමට මේ හරහා හැකිවෙතැයි යන්න ජනතාව අපේක්ෂාකරන වෙනසයි. නමුත් ඉතාම පැහැදිලි වශයෙන් මෙය මිරිඟුවකි. කිසිඳා සැබෑ නොවන සිහිනයක් ම පමණකි.

ඊට වඩා භයානක තත්වය වන්නේ ඡන්දදායකයාගේ අතපය බැඳ දමන මේ ක්‍රමය, (සාපේක්ෂව) යහපත් නියෝජිතයන් පත්කරයැවීමට ඡන්දදායකයාට දැනට ඇති සීමිත ඉඩකඩ ද අසුරා දැමීමම. නොඑසේ නම් මේ හරහා සිදුවන්නේ ජනතාව කබලෙන් ලිපට වැටීමය. මා එසේ කියන්නේ ඇයි? දැන් පවතින සමානුපාතික නියෝජන ක්‍රමය තුල අපේක්ෂකයන් 20-25 ක නියැදියකින් (අදාල මැතිවරණ දිස්ත්‍රික්කය අනුව මේ ගණන වෙනස් වේ) තිදෙනෙක් තෝරා ගෙන තම නියෝජිතයන් ලෙස පත් කර යැවීමට ඡන්දදායකයාට යම් සීමිත අවකාශයක් නිදහසක් ඇත. නමුත් කේවල ක්‍රමය තුල තම මැතිවරණ කොට්ඨාශය උදෙසා පක්ෂය විසින් තෝරා දී ඇති එකම පුද්ගලයෙකු ම පත්කර අත පිසදාගැනීමට ඡන්දදායකයාට බලකරණු ලබයි. එපමණක් නොව අර මුලින් කී 20-25 කුලකයට ඇතුලුවීමට යම්කෙනෙකුට ඇති ඉඩ අවකාශය ද අප විසින් තක්සේරු කළ යුතුව ඇත. පක්ෂ නායකයන්ට/බලධරයන්ට, මේ නාමයෝජනා ලැයිස්තුව හරහා සාපේක්ෂව විශාල පිරිසක් ජනතා විනිශ්චයට යොමු කිරීමට ඉන් අවකාශ තිබිණි. කේවල කොට්ඨාශ ක්‍රමය තුල මේ අවස්ථාව සීමිත වන අතර එක් එක් මැතිවරණ කොට්ඨාශ තුල ආසන සංවිධායක වරු ලෙස (පෙර සිටි නාමයෝජනා ලැයිස්තුවේ සිටි පිරිසිට වඩා ඉතා අඩු පිරිසක්)  පක්ෂ නායකයා ගේ මනාපයට ම පත්කිරීම හා ඒ පිරිස පමණක් මැතිවරණයකදී ජනතා විනිශ්චයට ලක්කිරීම මින් ඉදිරියට සිදුවනු ඇත. මෙහිදී අප විසින් අවධානය යොමු කළ යුතු වැදගත්ම කාරණය වන්නේ, අද වනවිට (හැමෝම කියන පරිදි) දූෂිත ධනවතුන් වංචාසහගතව ඉපැයූ මුදල් වැයකර පාර්ලිමේන්තුවට පත්වී ඇත්නම් මීලඟට ආසන සංවිධායක වරු ලෙස පත්වන්නේද ඒ එයම බවයි. මැතිවරණ ක්‍රමය වෙනස් වූ පමණින් ඔවුන් දේශපාලනයෙන් සමුගෙන යතැයි සතීම මහා මුලාවකි. ඒ වෙනුවට සිදුවන්නේ එවන් නියෝජිතයන් ප්‍රතිත්ෂේප කිරීමට ඡන්දදායකයාට දැනට ඇති සීමිත අවස්ථාව ද සෝචනීය ලෙස අහිමිවී යාම පමණකි.

එසේම කොට්ඨාශ මට්ටමින් බැහැරව සිදු කරන තෝරාගැනීම් ඉතා පැහැදිලි වශයෙන්ම “පත් කිරීම්“ වන අතර ඒ සම්බන්ධව ඡන්දදායකයන්ට මැදිහත්වීමට ඇති අවස්ථාව ශූන්‍යය. මේ තම නියෝජිතයන් තෝරාගැනීමට ඇති ජනතා මතය පැත්තකට ම “විසිවීයාමක්“ නොවන්නේ කෙසේද? ජනතා නියෝජිතයන් තෝරාගැනීම තවදුරටත් මහජනතාව ගේ මනාපයට සිදු වන්නක්නොවේ. ජනතා නියෝජිතයින් තෝරා පත්කරීම සෑහෙන දුරට දේශපාලන නායකකාරකාදීන් ගේ ම රුචි අරුචිකම් මත සිදුවන අත්තනෝමතික කාර්යයක් බවට පත්වීම වැලැක්විය නොහැක. විසිවන සංශෝධනයෙන් විසිවන්නේ ජනතා මතයයි.

මේ ක්‍රමය යෝජනා කළ ජනතාව ගේ තවත් අපේක්ෂාවක් වන්නේ, ඡන්ද අපේක්ෂකයකු මැතිවරණය වෙනුවෙන් ප්‍රචාරක කටයුතු කළ යුතු වන්නේ කුඩා ප්‍රදේශයක (කුඩා ? – මෙය ද පූර්ණ සත්‍යය නොවේ) නිසා යහමින් මිල මුදල් නැති අයකුට වුව ද මැතිවරණයක් ජයගත හැකිවේ ය යන්නයි. මෙය ද මුලාවකි. දැන් සිටින ධනවත් දේශපාලඥයා මනාප ක්‍රමය යටතේ පැවති මැතිවරණයකදී දිස්ත්‍රික්කයක් තුල වියදම් කළ මුදල් කන්දරාව මින්පසු මැතිවරණ කෝට්ඨාශය තුල පමණක් වියදම් කොට තම අරමුණු ඉටු කරගනු ඇත.

කණගාටුදායක කරුණ නම් සමාජය මේ පිලිබඳව සංවේදීතාවක් නොදැක්වීමයි. කේවල ක්‍රමය යටතේ මහ මැතිවරණයක් පවත්වා කලක් ගතවන විට සමාජයට මේ ක්‍රමයේ ගුණ දොස් හොඳින් විද්‍යමාන වන්නට පටන් ගනු ඇති නමුත් එවිට අශ්වයා පැනගොස් සිටිණු ඇත.

 මේ පිලිබඳ කලින් සිදු කල වියමන්:
1

2

3

4

5

6

මුඛ නිරිදුන් ගේ සප්ත නියෝගය මෙන්න ! – Here it is !

උත්සහ කළ සියලු දෙනාට ම ස්තුතියි!, මෙන්න නිවැරදි පිළිතුරු.

(1) දිරවණ පුතා – ජීර්ණ පුත් ~ පූර්නජිත් 

(2) සප්ත නියෝගය – සත් අණ ~ අත්සන

(3) ගන්න කැකුලිය – ගං කෙල්ල ~ කෙංගල්ල

(4) වායු අදහස් – වා මත ~ මාවත

(5) බිම්මල් රැකවල් – හතු මුර ~ මුතුහර

(6) මුඛ නිරිඳු – කට රජු ~ රටකජු

සප්ත නියෝගය කුමක්ද ? – මුඛ නිරිඳු කවුද ? – Try this

කාලෙකින් බැරි වුණා තුන්තේරවිලි ටිකක් පාඨක මිතුරන් සමඟ බෙදාහදා ගන්න. හොඳයි උත්සාහ කරල බලන්න.

(1) දිරවණ පුතා

(2) සප්ත නියෝගය

(3) ගන්න කැකුලිය

(4) වායු අදහස්

(5) බිම්මල් රැකවල්

(6) මුඛ නිරිඳු

 

මෙහි ප්‍රහේලිකා ප්‍රවර්ගයේ තවත් තුන්තේරවිලි ඇති. කලින් උත්සාහ කරල නැත් නම් බලන්න ඇරැයුම් කරනවා.

අලුත් අවුරුද්දේ ගතික සමතුලිතය – Equilibrium by the Sinhala new year

New year

අප සියලු දෙනා ගතික සමතුලිත පරිසර පද්ධතියේ කොටසක් මිස ස්ථාවර ප්‍රපන්චයන් නොවන්නෙමු. මේ බැව් මේඝය තම බ්ලොග් හැඳින්වීමේදී ද දක්වා ඇත. සිංහල අලුත් අවුරුද්ද ද එසේමය. සිංහල අවුරුදුදේ දී ද සිදුවන්නේ එක් පසක සිට අනෙක් පසට සම්පත් ගලායාමයි: තොරතුරු ගලායාමයි: විශ්වාසය ගලායාමයි.

අවුරුදු සමයේ වේගයෙන් ම ගලායන්නේ මුදල් ය. මාසික වැටුප් ලබන රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයින්ට මෙ මාසයේ වැඩිපුර වැටුපක් ලැබේ. “අවුරුදු ප්‍රසාද දීමනා“ හෙවත් පොදු ව්‍යවහාරයේ “බෝනස්“ ලෙස හැදින්වෙන මේ  මුදල සමහරවිට ඒ මූලික වැටුපට සමාන වූ මුදල් ප්‍රමාණයකි. සමහරවිට මූලික වැටුපමෙන් කීප ගුණයක මුදලකි. ඒ ප්‍රමාණය ආයතනය අනුව වෙනස්වේ. සමහර ආයතන වල කිසිදු “ප්‍රසාද මුදලක්“ සේවකයන්ට නොදෙන මුත් අඩුම කරමින් “උත්සව අත්තිකාරම්“ ලෙස පසුව වැටුපෙන් අයකරගැනීමේ කොන්දේසිය මත හෝ සේවයකයන්ට වැඩිපුර මුදලක් ලබාදීම සිදු කරයි. තමාගේ ම ව්‍යාපාර හෝ ව්‍යවසායක යෙදෙන්නන් ද එසේමය. කුමන ක්‍රමයකින් හෝ ජනතාව අත වැඩිපුර එක්රැස් වන මුදල් එලෙසම රඳානොසිටි.රෙදිපිළි,අහාර ද්‍රව්‍ය ව්‍යාපාරික ස්ථාන වෙතට මේ මුදල් ගලායන්නේ අසුරු සැනිනි.මේ සමතුලිතයේ ස්වාභාවයයි.

අතට මුදල් නොලැබෙණ යම් කෙනෙකු වේ නම් තම ඉතිරි කිරීම් නිදහස් කරගනිමින් හෝ අතැති මුදල් ප්‍රමාණය වැඩි කරගන්නේ මෙකළය. බැංකු වල ඒ.ටී.එම් යන්ත්‍ර අසල දිගු පෝලම් දක්නට ලැබෙන්නේ එබැවිණි.දැන් බොහෝ ආයතන වල සේවක වැටුප් ගෙවන්නේ ද බැංකු ගිණුම් හරහා බැවින් බැංකු වල මුදල් ඉවත්ට ගලායාම සිග්‍රය.සමහර විට මෙය බැංකු තුල මුදල් අසමතුලිතයක් නිර්මාණය කිරීමට ද හේතු වේ. නමුත් සිංහල අලුතු අවුරුදු ක්‍රියාදාමය තුල මමීට කදිම විසදුමක් දී තිබීම සැනසීමට හේතුවකි. එනම් නැකත් චාරිත්‍ර වල “ගණුදෙනු“ සදහා ලබාදී ඇති සුවිශේෂී අවස්ථාවයි. බෙහෝ බැංකු අවුරුදු නැතකට ගනුදෙණු කරයි. ගනුදෙණු කරුවන්ට විවිධාකර ත්‍යාග පිරිනමමින් ඉතිරිකිරීම් දිරිගන්වයි. බොහෝ විට අවුරුදු නැකතට භාර ගන්නේ වසර ඉක්මවා කාලයකට වලංගු වන ස්තිර තැම්පතුය. මෙ මගින් බැංකු තමන් වෙතින් ඉවතට ගිය මුදලි නැවත අද්දවා ගනී. බොහෝ විට පූර්ව අවුරුදු සමයේ හොදින් මුදල් උපයාගත් ව්‍යාපාරිකයින් තම මුදල් ද බැංකු ගත කරන්නේ මේ නැකතටය.සමතුලිතය සම්පූර්ණ වන්නේ මෙලෙසයි.

 මුදල් පමණක් නොව අන් බොහෝ සමතුලියන් ද අවුරුදු සමයේ මෙලෙස විචලනය වන බැව් හොදින් නිරීක්ෂනය කළ විට පැහිදිලි වේ. නිවාඩු හෙවත් විවේකය අවුරුදු සමයේ වැඩිපුර ලැබේ. නමුත් ඊට හිලව්වට අවුරුදු සමයට පෙර හෝ පසුව සේවයකයන් අතිකාල සේවයේ යෙදෙනු අප දැක ඇත. අවුරුදු චාරිත්‍ර කුල ම නොනගත සමය තුල උපවාසයක් සිදුවන්නේ පරිභෝජනය කරන කැලරි ප්‍රමාණය වැඩි වීම තුලිත කිරීම සඳහාය. අවුරුදු නැකැත් අතර ම රැකීරක්ෂා සඳහා පිටත්ව යාමක් දක්වා ඇත.

අවුරුදු චාරිත්‍ර සහ ක්‍රීඩා ආදිය හරහා සාම්ප්‍රදායික දැනුම අලුත් පරම්පරාව වෙත ගලායාම සිදුවේ.පවුල් අතර අසල්වැසියන් අතර ගම තුල රට තුල ප්‍රජාව තුල සුහදත්වය හුවමාරු වීම තවත් සුවිශෙෂී අත්දැකීමකි.

පාඨක ඔබ සැමගේ සිත් සතන් නැවුම් වී සුභ නව වසරක් උදාවේවා යයි ඉත සිතින් පතමු!

රූපාන්තරණ බැලුවෙමි – Watched the Ruupantharana

Ruupantharanaya1

රූපාන්තරණය යන නම ඇසූ විට සිහිපත් වූයේ ෆ්‍රාන්ස් කෆ්කා ගේ කෙටි කතාවයි. නින්දෙන් අවදි වී බලන පුද්ගලයෙකු තමන් කැරපොත්තෙකු බවට රූපාන්තරණය වී තිබීමේ ඛේදවාචකයක් එම කෙටි කතාවට වස්තුබීජය වී තිබිණි. නමුතක් නාලක විතානගේ ගේ කුලුඳුල් සිනමා නිර්මාණය “රූපාන්තරණ“ තුල නම් එවැන්නක් දක්නට නොතිබුණු බව කණගාටුවෙන් වුවද  කිව යුතුය. මෙහි ප්‍රධාන චරිතයක් වන ත්‍රස්තවාදී නායකයා ත්‍රස්තවාදී නායකයකු බව හෙලිදරව් වීම මහා විශාල රූපාන්තරණයක් නොවේ. මක්නිසා ද කතාවේ මුල සිට ම ඔහු තම පෙමිවතිය හමුවේ නිරූපණය කළේ දුෂ්ට (කලු) චරිතයක් ම බැවිණි. කතාව අවසන් හරියේ දී සිදුවන්නේ ඔහු ගේ දුෂ්ඨ බව තවත් තීව්ර කරමින් ඔහු පස්වන ඊලාම් යුද්ධය ඇරඹිමට පැමිණියෙකු බව පෙම්වතියට හෙලි වීම පමණකි. නමුත් ඔහු මුල සිට ම ඇයට අකාරුණික දුෂ්ට පෙම්වතෙකු ම වූවා විණා චිත්‍රපටය තුළ කිසිදු විටෙක ඔහු පුද්ගල චරිතය රූප විපර්යාසයකට නම් බඳුන්වූයේ  නැත.

රූපාන්තරණ හි කතා තේමාව උසස් මට්ටමේ සිනමා නිර්මාණයක් උදෙසා මනාව පෑහෙන්නක් බවට කිසිදු විවාදයක් නැත. නමුත් මේ තේමාව නාලක විසින් ආකර්ශනීය සිනමා නිර්මාණයක් සදහා මනාව ගලපාගෙන ඇත්දැයි යන්න ගැන නම් ඇත්තේ ප්‍රශ්නාර්ථයකි. ත්‍රස්තවාදී නායකයාගේ ප්‍රයත්නය අසාර්ථක කොට පාත්‍රවර්ගයා “ජයපැන් බීම“ අභව්‍ය අත්භුත සිදුවීම් මත සිදුවන්නක් විනා, යුධ හමුදාමය බුද්ධී මෙහෙයුමක් හෝ හෝ වෙනයම් ආකාරයක මනා සැලසුමක ප්‍රතිඵලයක් ලෙස සිදුවන්නක් බව පෙන්වීමට තිර රචකයා කිසිදු විටෙක උත්සාහයක් නොදරයි. ඔහු පෙන්වන්නේ මෙය “මැජික් එකක්“ ලෙස විනා මහ පොළව මත සිදුවන තර්කාණුකූල ක්‍රයාදාමයක් ලෙස නොවේ. ප්‍රේක්ශකයා ගේ ත්‍රාසය භීතිය හා තුකුහලය වර්ධනය වන අයුරින් දිගහැරීමට ඔනෑ කරම් අමුද්‍රව්‍ය ච්ත්‍රපටය තුළට ගොනු කර තිබූ මුත් එනි නිසි පල නෙලාගෙන නොතිබීම ගැන ඇත්තේ කණගාටුවකි.

ජේශ්ඨ හමුදා නිළධාරියා තම දියණිය ගේ පෙම්වතා දුහුබඳින ආකරයක් මෙහි කොතැනකවත් පෙන්නුම් නොකරයි.(අවසාන මොහොතේ නිදහස් සැමරුම් දිනය දා සියල්ල හෙලිදරවු වන මොහොතේ ද ඔහුගේ මුහුණේ ඇත්තේ විස්මයක් ම පමණකි).දියණිය පෙම්වතා සමග නිවෙසට පැමිණි අවස්ථාවේ ඔහු තවත් හමුදා නිළධාරියෙකු දුරකථනය ඔස්සේ අමතන දසුනක් පෙන්වන මුත් ඉන් එහාට එහි ගලායාමක් දක්නට නොලැබේ. මෙහිදී සාරංග දිසාසේකර නම් පුංචි තිරයේ නලුවාට විශාල අසාධාරණයක් සිදුවන බව මගේ අදහසයි. හමුදා නිළ ඇදුමින් සැරසී ඉහල නිළධාරියෙකුට “යර්ස් සර්“ කියනවා හැර වෙනත් රඟපෑමක් ද ඔහුට මේ නිර්මාණය කුල ඉතිරිව නොතිබිණි. (මේ චරිතය සඳහා ආධුනික නලුවෙකු පහසුවෙන් යොදාගත හැකිව තිබිණි).
Ruupantharanaya4
මෙහි පෙම්වතිය “මම තවමත් නුඹට ආදරෙයි, ඒත් මගේ රටට මම ඊට වඩා ආදරෙයි“ කියමින් ත්‍රස්ත නායකයාට වෙඩි තබන දර්ශනය චිත්‍රපටයේ වඩා උද්වේගකර අවස්ථාවක් වන නමුදු, ඇය අතට ස්වංක්‍රීය ගිනි අවියත් පත් වන්නේ කෙසේද? යන පැනයට නිර්මාණය තුල පිළිතුරක් නැත. ආබාධිත ගෘහ සේවකයෙකු ලෙස වෙස්වලා ගෙන සිටිය බුද්ධි අංශ නිළධාරියාට/බෝම්බ නිශක්‍රීය සෙබලා වෙත මේ වගකීම පහසුවෙන් පැවරිය හැකිව තිබුණ මුත්, එය අසාර්ථක වන්නේ මේ සෙබලා ගේ අනන්‍යතාව ඇය විසින් හඳුනාගන්නනේ මේ “නිදහස් දින අවසාන මෙහෙයුම“ අවස්ථාවේ බැව් පෙන්වන නිසාවෙනි. ඇය ඒ ගිණි අවිය සොරකම් කරන්නේ තම පෙම්වතා වන ත්‍රස්ත නායකයා ගෙන් ම නම් එය බෙහෙවින් අතාත්විකය. පස්වන ඊලාම් යුද්ධය ඇරඹිමට එන ත්‍රස්ත නායකයා තමා සතු ගිණි අවි වත් රැකගත නොහැකි දුබලයෙක් ද?

මේ චිත්‍රපටයේ අගක් මුලක් නැති චරිත ද සිදුවීම් ද බහුලය. අන්ධ වයලීන් වාදන ශිල්පිනිය මුලුමනින් ම අපභ්‍රංශයකි. “අහිංසක පෙම්වතාට“ දාර්ශනික පොර ටෝක්ස් දෙන ඇය හිටිගමන් ඇස් පෙනීම ලැබ බිහිසුණු ජාවාරම් වල යෙදේ.ගිණි අවි හසුරුවමින් වෙඩි තබයි;ඝාතන වල යෙදේ. අවසාන රූපරාමුවට ද රිංගා ගන්නා ඇය ආරක්ෂක අංශ වල ද ඇස් වසා, තමා කරණ ලද අපරාධ හා රාජ ද්‍රෝහී ක්‍රියා වලට දඬුවමක් ද නොලබා විදේශ ගතවෙයි.

රෝද පුටුවේ සිටින පිස්තෝලධාරියා ද උහතෝකෝටිකයකි. චිත්‍රපටයේ අවශ්‍යතාව උදෙසාම බුද්ධි අංශ නිළධාරියෙකු තම නිවසේ සේවකයෙකු ලෙස තබාගෙන පරපීඩක වෘතයක් සපුරන ඔහු සියලු මෙහෙයුම් අවසානයේ නැවත ඒ දෙයම කරන්නේ ඇයි? බුද්ධි අංශ හෝ බෝම්බ නිශ්ක්‍රීය අංශ සෙබලා (සියල්ල අවසන) යලි ලෑලි කාමරයේ සිරගත වන්නේ කුමකට ද? නැවතත් ත්‍රස්තවාදී නායකයෙකු අල්ලපු ගෙදර තාවකාලිකව පදිංචි වී පස්වන ඊලාම් යුද්ධය ඇරඹිමට පිඹුරුපත් සකසන තුරුද? වෙස්වලාගෙන සැඟවී සිටින්නේ මීලඟ ත්‍රස්ත මෙහෙයුම අසාර්ථක කිරීමේ චේතනාවෙන්ද?

“අහිංසක පෙම්වතා“ රිය අනතුරකට බදුන් වී අසාධ්‍ය රෝගියෙකු බවට පත්වීම ද වසර තුනක ඈවෑමෙන් “ ආශ්චර්යයකින්“ ඔහු සම්පූර්ණ සුවය ලැබීම ද කතාව ගලායාමට අවනශ්‍ය දෙයකි.රැකියාව අහිමි වීම පවා මදහසපාමින් උපේක්ෂාවෙන් දරාගන්නා ඔහු, අපරීක්ෂාකාරී ලෙස මහමග ගමන්කිරීම හේතුවෙන් අනතුරකට ලක්කිරීම ඒ චරිතයට පිටපත විසින් කරන ලද බලවත් අසාධාරණයකි.

පාත්‍රවර්ගයා ගේ රඟපෑම් වල කිවයුතු දොසක් නැතැයි සිතේ. ප්‍රධාන චරිත නිරූපනය කළ ආධුනික ශිල්පීන් ශක්ති ප්‍රමාණයෙන් තම චරිත වලට සාධාරණය ඉටු කළහ. සංගීතය ද “අද කාලෙට“ ගැලපෙන ලෙස ගලපා තිබිණි. කෙසේ වුවද මෙම චිත්‍රපටය “රූපාන්තරණ“ යන නාමයට සාධාරණයක් ඉටු කළ බව මාගේ හැඟීමයි.සිනමා සිතුවම ආරම්භයේ දී “අලුත් යමක්“ දක්නට ලැබුණ ප්‍රේක්ශකයන්ට නැවුම් අත්දැකීමක් ( නාමාවලියෙන් පවා) ලබාදීමට උත්සහ කළ චිත්‍රපටය අවසාන හරියට එන විට එනම් අද්භූත සිදුවීම් ජාලයකට පසුව පෙම්වතිය තම (සැබෑ) පෙම්වතා සම ග එක්වී ගී ගයමින් සයුරු වෙරළේ කරදිය ස්නානය කරන දර්ශනය වන විට චිත්‍රපටය මුලුමනින් ම සාම්ප්‍රදායික “වට්ටෝරු චිත්‍රපටයක්“ බවට රූපාන්තරණය වී තිබිණි.
Ruupantharanaya3

ගව ඝාතනයට එරෙහිව ප්‍රචන්ඩත්වය – Violence against the cattle saughter

ගව ඝාතනයට එරෙහි තවත් විගඩමක් පසු ගියදා කොටුව දුම්රියපල ඉදිරියේදී රඟ දක්වනු ලැබිණි.මහ මඟ අවහිර කරමින් දෙනෝදාහක් ජනතාව පෙලමින්,ආවේගශීලීව ප්‍රතිවාදීන්ට ගුටිබැට දමින් මේ චීවරධාරීන් කරනා රඟපෑම මෙරටට ද උතුම් වූ බුද්ධශාසනයට ද කරන්නාවූ හානිය සුලු පටු නොවේ.

ඔවුන් නියෝජනය කරන (එසේ යයි කියන)නිර්මල බුදු දහම යථාර්තවාදී,අවිහිංසාවාදී දර්ශනයකි.එය සත්ව ඝාතනය මුලු මනින් ම ප්‍රතික්ෂේප කරයි.ඒ ගැන විවාදයක් නැත.නමුත් “අපට ප්‍රයෝජනවත් සතුන් ඝාතනය නොකරන්න“,“අපට ප්‍රයෝජනයක් නැති සතුන් නම් ඝාතනය කළාට කම් නැත“ ආදී ආත්මාර්ථකාමී මිත්‍යා අදහස් ඒ තුල නැත.

කර්මය හෙවත් ක්‍රියාව පිලිබඳ බුදුන්වහන්සේ දීර්ඝ ලෙස දේශනා කොට ඇත.ඒ සෑම විටෙකම දක්වා ඇත්තේ තමා කරනා වූ ක්‍රියාවක ප්‍රතිපලය තමා ම බුක්ති විදිනා බවයි.යහපත් ක්‍රියා වල යහපත් ප්‍රතිපල ද අයහපත් ක්‍රියාවල අයහපත් ප්‍රතිපල ද ඇති බව උන්වහන්සේ මනාකොට දේශනා කලසේක.එසේ වුව ද කිසිදු විටෙක උන්වහන්සේ වැරදි කරන්නවුන් ඒවායින් මුදවීම සඳහා බලහත්කාරය,බිය වැද්දීම භාවිතා කළේ නැත.නොමඟ ගියවුන් සුමඟට ගැනීමට උන්වහන්සේ භාවිතා කළේ අවිහිංසාවයි.මුසාව සත්‍යයෙන්ද,වෛරය මෛත්‍රීයෙන් ද,මැඬලනවා මිසක ඇසට-ඇස,දතට-දත න්‍යායක් බුදුදහමේ කොතැනක හෝ නොඉගැන්වේ.අන්‍යයන් සෙවීම නොව වැදගත් වන්නේ තමන් ව සෙවීම බව බදුහිමයන් එදා භද්දවල්ලිය කුමාර වරුන් ට දේශනා කල සේක.ලෝකය ඇත්තේ බඹයක් පමණ වූ ශරීරය තුල බවත් බුදු දහමේ ඉගැන්වේ. 

වෛරය ඇග පුරා දවටාගෙන පාරට බැස ඇති ඒ චීවරධාරීන් ඉල්ලා සිටිනනේ කුමක්ද?සමහර විට ඒ ගව ඝාතනය ශ්‍රී ලංකාව තුල මුලුමනින් ම නවතා දමන ලෙස නීති පැනවීම විය හැක.මෙවැන්නක් කළ හොත් ගවඝාතනය සම්පූර්ණයෙන් නතරවනු ඇතැයි ඔවුන් කල්පනා කරනවා විය හැක.

මෙය මුලුමනින් ම මිත්‍යාවක් බව සාමාන්‍ය බුද්ධියක් ඇති ඔනෑම අයෙකුට ඉතා ම පැහැදිලිය.නීතියෙන් තහනම් අපරාධ ඕනෑ තරම් මේ රටේ දිනපතා සිදුවේ.ඒවායේ චූදිතයන් දිනපතා නීතිය හමුවට පැමිණවේ.දඬුවම් ලබයි.ඒත් ඒ වරද වල් කිසිවක් හෝ කවදාවත් මුලුමනින් ම නතර වී නැත.නතර වන්නේ ද නැත.

ගව ඝාතනය වැලැක්වීමේ අරමුණක් ඇත් නම් කළ යුතු වන්නේ ගව මස් කෑමෙන් සහ මස් පිණිස ගවයන් විකිණීමෙන් වැලකීමය.

රට තුල මස් පිණිස ගවයන් ඝාතනය වීමට වඩා භයානක අනතුරු ගණනාවකට අද වින විට මෙරට මිනිස් ප්‍රජාව මුහුණ දී සිටී.ඒ සම්බන්ධව වියයුතු සක්‍රීය මැදිහත්වීමක් දක්වනවා වෙනුවට මේ භික්ෂූන් වහන්සේ කරනුයේ සමාජයේ අවධානය නොවැදගත් දෙයකට යොමු කර සමාජය අගතියට යන වේගය තවත් වැඩි කිරීම නොවන්නේද?

මේ චීවරධාරීන් ගමන් කරන්නේ ලොව්තුරා බුදුහිමයන් දෙසූ මාරගයෙහි නොවේ.සුරියුත් මුගලන් ආදී ආර්ය මහා සංඝ රත්නයට නිගා දෙමින් ඔවුන් මේ ගමන් ගන්නේ බුදුහිමියන් දෙසූ මාර්ගයට ප්‍රතිවිරුද්ධමාරගයේය.ගව ඝාතනයට විරුද්ධව යයි කියමින් පාරට බැස ඇති මේ චීවරධාරීන් කරනුයේ උත්තරීතර බුදු දහම ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට ලක්කිරීම පමණකි.

සරාගී දේශපාලනය – Acting in the politics

Gayeesha

නිළියන් හා නිරූපිකාවන් එළබෙන බස්නාහිර සහ දකුණු පලාත් සභා මැතිවරණය සඳහා නාමයෝජනා භාරදීම ගැන සැම තැනම කතා වෙයි.මේ නිළියන් දේශපාලනයට අවතීර්ණ වූ මුලු ම අවස්ථාව නොවේ.නිළි රැජිණ විරුදාවලිය ලත් මාලනී ෆොන්සේකා දැනටමත් (ජාතික ලැයිස්තුවෙන්)පාර්ලිමේන්තුව නියෝජනය කරයි.උපේක්ෂා ස්වර්ණමාලී හෙවත් “පබා“පක්ෂ මාරු කරමින් පාර්ලිමේන්තුවේ රැඳී සිටී.අනාර්කලී දකුණු පලාත්සභාවේය.ගීතා කුමාරසිංහ පිරිමින් සමඟ කෙහෙවලු පටලගනිමින් බෙන්තර සංවිධායක ධුරය දරයි.සමහර විට දැන් නාමයෝජනා දෙන නිළියන්ට පූර්වාදර්ශ සපයන්ට ද ඇත්තේ මේ දෙශපාලක නිළි ජේශ්‍යටයන් වන්නට ඇත.වඩාත් ම භයාකන ද එයයි.  

අනි කිසි රැකියාවකට වඩා දේශපාලනයේ ඇති විශේෂත්වය නම් ඊට පිවිසීම උදෙසා කිසිදු මූලික අධ්‍යාපනික සුදුසුකමක් අවශ්‍ය නොවීමයි.මේ ඉඩ හසරඉහලින් ම ප්‍රයෝජනයට ගත් විවිධාකාර දූෂිතයන් දැන් කලක් තිස්සේ උත්තරීතර පාර්ලීමේන්තුව ආක්‍රමණය කොට සිටී.ව්‍යවස්ථාදායක සභාවේ වරප්‍රසාද වලට මුවාවී තමන් ගේ ආත්මාර්ථකාමී අරමුණු මුදුන්පත් කරලනු වස් තම පාලිතයන් අමු අමුවේ පෙලමින් සිටී.රටේ නීතිය අතට ගෙන තම දූෂණ වංචා සියල්ල වසා සුදු පිරුවටයෙන් වසා උපාසකයින් ලෙස පෙනී සිටිති.මේ දූෂිත දේශපාලුවන් අතර මහා පරිමාණ මත්ද්‍රව්‍ය වෙළෙන්දන් ද, සොරුන් හා වංචාකාරයින් බහුල බව ද ප්‍රසිද්ධ රහසකි.

ඒ අතරට නිළයන් හෝ නිරූපිකාවන් ද එක්වීම කුමන ආකාරයක වෙනසක් සිදු කරයිද?

මේ පල් වලම ඉහගෙන කනු මිසක් පැහැදිලි වෙනසක් සුදු නොකරනු ඇතැයි යන්න අපගේ අදහසයි.හුදු ජනප්‍රියත්වය නිසා ම ජනතා මනාපය ඉහලින් ම ලැබ මැතිවරණ දිනා පාර්ලිමේන්තුවට (හෝ අදාල ආයතනයට)පිවිසෙන මුත් දේශපාලනය පිලබඳ නොදැනීම ද උන්නතිකාමය ද නිසා මොවුන් ද අවසානයේ නතරවන්නේ අනෙක් දූෂිතයින් සිටිනා මඩ ගොහොරුවේමය.නොඑසේ නම් මංත්‍රී ධූරය හරහා ඔවුන් සතුවන බලයෙන් පල ලබන්නේ ඔවුන් ව අතකොලු බවට පත් කරගන්නා වෙනත් කපටි කෛරාටිකයින්ය.පබා තම පුද්ගලික ජීවිතය ද අවුල් කරගන්නේ මෙවන් කුමන්ත්‍රණයක් නිසා බැයි පතලය.

කෙසේ වුවද දින පසුගිය දිනෙක විද්‍යාවේදී පිටිදූවේ සිරිධම්ම හිමයන් ඉතා නිවැරදිව ප්‍රකාශ කලාක් මෙන් මෙරට ජනතාව “මහ මෝඩයෝය“.උත්තරීතර මිනිසුන් කළ යුත්තේ මේ මෝඩයින් ගේ මෝඩ කම් නැති කොට ඔවුන්ට ඥානාලෝකය ලබාදීම වුවද ජනනායකයින් බහුලව සිඳුකරන්නේ මෝඩ කම ප්‍රයෝජනයට ගෙන තමන් ගේ දියුණුව සලසා ගැනීමය.ඒ අතින් මේ නිළි බලකාය ද තම අලුත් ම රඟපෑම හොදින් ම කරනු ඇති බවට සැකයක් නම් නැත.  

සංඝරාජ හිමියන් ගේ දානය සහ කුඩු කන්ටේනරය-An useless struggle

DOg fighttingවැලිවිට අසරණ සරණ සරණකර සංඝරාජ හිමියන් මෙරට බෞද්ධ ඉතිහාසයේ අතිශයින් වැදගත් චරිතයකි.වැලලී යාමට ගිය බුදු සසුන යලි නගාසිටුවනු වස් බුරුමයේ සිට මෙරටට වැඩම කරවා උපසම්පදාව යලි ස්ථාපිත කිරීමට අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව කටයුතු කලේ උන් වහන්සේ ය.සිදු කරන ලද ශාසනික සේවාව නිසා උන්වහන්සේ එවකට සෙංකඩගල රජ ව සිටි පළමුවෙනි විමලධර්මසූරිය රජතුමා ගේද නොමද ගෞරවයට ලක්ව සිටිසේක.

මහනුවර මල්වතු විහාරයේ වැඩ සිටින අතර දිනක් උන්වහන්සේට අපූරු සිතිවිල්ලක් පහල විය.එනම් බලු-කපුටු දානයක් දීමේ අදහසයි.කුඩා පරිමාණයෙන් බල්ලන් දෙතුන් දෙනෙකුට නොව මේ පුණ්‍යකර්මය මහ ඉහලින් ම කළ යුතු යයි කල්පනා කළ උන්වහනසේ රජතුමා ගේ ද සහයෝගය ලැබ හැකි ඉහලම මට්ටමින් බලු-කපුටු දානය සංවිධානය කළේය.ඉස්තරම් ම ආහාර ද්‍රව්‍ය රැස් කොට අහල ගම් හතක පමණ සිටින බල්ලන් ද මල්වත්තේ පංසල් මිදුලට රැස්කෙරිණි.පුංචි සිරීපාද කන්දක් මෙන් පෙනෙන ලෙස දන් ගොඩ ගොඩ ගස්වා බල්ලන් කැදවා කෑමට සලස්වන ලදී.අහෝ ! බල්ලන් දන් වැළඳුවේද?නැත එතැන සිටි බල්ලන් සියල්ලන්ට වේල් තුන හතරකට සෑහෙන පමණ ආහාර ප්‍රමාණයක් එහි තිබුණ ද බල්ලන් ඒවා කෑවේ නැත.ඒ වෙනුවට අනෙක් බල්ලා තමාගේ කෑම ඩැහැ ගනී සිතා සෑම බල්ලෙක් ම වෙනත් බල්ලෙක් සමග පොරයට පිවිසිණි.දානය දී ස්වල්ප වේලාවකින් බලන විට දන් ගොඩ එහෙමම පැත්තකය-මිදුලේ අනෙතක් කෙලවර බල්ලන් එක පොදියට “බලු පොරයේය“.

මේ දුටු රජතුමා “සඟ රජ වුනත් ඉතිං ගම තුම්පනේ නේ“යයි කියූ බවත් ඒ ප්‍රස්තාව පිරුල ජන වහරට එක් වූයේ ඉන් පසුව බවත් ජන සාහිත්‍යයේ  දැක්වේ.

මේ අතීත කතාව මතක් වූයේ මේ දින වල කුඩු කන්ටේනරයක් සම්බන්ධව රටේ දෙපිරිසක් මහා බලු පොරයකට වැටී සිටිනු දක්නට ලැබෙණ විටය.

කුඩු කන්ටේනරය රේගුවෙන් නිදහස් කිරීමට අගමැතිතුමා ගේ ලේකම් වරයෙකු ලිපියක් දුන්නේ යයි වාර්තා පලවෙයි.එය පදනම් කරගෙන අගමැති තුමා තනතුරෙන් ඉල්ලා අස්විය යුතු යයි හෙළ උරුමය කෑගසයි.චීවරධාරියෙක් තමන් අස්වන්නට බලකරන්නේ යයි අගමැති කෑගසයි.චීවරධාරියා යයි තමන් අපහාස කළ අගමැති තමන්ගෙන් සමාව ගතයුතු යයි හිමි නම කෑගසයි.හිමි නම ගේ නියෝජිතයෙකුට නගරසභාවට නාමයෝජනා නොදුන් බැවින් තමන්ට පහර ගසන බව අගමැති යලි පවසයි.නායක හිම නමකට අපහාස කළ අගමැති ගෙදර යනු කියමින් හෙළ උරුමය උසාව  ගොස් නඩු දමයි ,යලි කෑගසයි.තමන් සමාව ගැනීමට සූදානම් නැතැයි අගමැති යලි කෑගසයි.අගමැති කාර්යාලයට පෙලපාලියෙන් යල හිමි වරු පිරිසක් කලහකාරී ලෙස හැසිරෙමින් පොලීසිය සමඟ ගැටේ.හිමි නමක් පහර කෑමට ලක් වන අතර ඊට අගමැති වගකිව යුතු යයි අර හිමි වරු නැවත කෑගසයි.

මේ සියල්ල අතරේ මිදුලේ ගොඩ ගැසුන දානය ගොඩ කාට කාටත් අමතකය.දකුණු ආසියාවෙන් හමුවූ විශාලතම මත්ද්‍රව්‍ය තොගය කාටත් අමතකය.අනුර දිසානායක මන්ත්‍රී වරයා පවසන පරිදි මේ අතර කුඩු වලින් භාගයක් පමණ මේවන විට අතුරුදන් වීලාය.රූපවාහිනී කැමරා ද ඒ හරහා රටම ද බලු පොරය තලු මරමින් බලා සිටින අතර කුඩු ගෙනා එකා පාඩුවේ තමන් ගේ බිස්නස් එක කරගෙනය.

තමන්ට සිදු වන අපහාසය ගැන තම ආඩම්බරය ගැන සංවේදී වනු මිසක මේ ජාවාරම් කරුවා කොටු කරගැනීම පිලිබදව කිසිවෙකු ගේ හෝ අවධානයක් යොමුවන බවක් නොපෙනේ.මේ ජාවාරම් කාර දුර්ජනයා නිසා රටේ තරුණ පරපුරට සිදුවන විනාශය කිසිවෙකුටත් නොපෙනේ.අගමැති ගෙදර යාම හෝ නැතහොත් රුපියල් වලින් අපහාස වන්දි ගෙවීම හෝ එසේත් නැත්නම් හෙළ උරුමය ගෙදර යාම හෝ මත්ද්‍රව්‍ය ජාවාරම හා සසදන විට නොගිනිය හැකි තරම් කුඩා දේය.මේ ජාවාරම් කරුවා අල්වාගත යුතුය.ඔහු ගේ අලගිය මුල් ගිය තැන් සොයාගත යුතුය.නීති ප්‍රකාරව දඬුවම් කළ යුතුය.

හෙරොයින් මිලී ග්‍රෑම් ගනනක් ලඟ තබාගැනීම අපරාධයක් වන පසුබිමක කිලෝග්‍රෑම් තුන්සිය ගණනක හෙරොයින් වෙළඳාම් කරනා ජාවාරම්කරුට ගැවීයාමට ඉඩ දීම ජාතික අපරාධයකි.එයින් සිදු වන්නේ මේ ජරමර අස්සේ තවත් විස මත්ද්‍රව්‍ය තොගයක් ශරීරගතව පරපුරක් දංගෙඩියට යාම පමණකි මේ ඛේදවාචකය වැලැක්වීම බලධාරීන් ගේ වගකීමයි.

පූසා ගේ ගෙල බැඳි මිණි ගෙඩිය – Bell on cat’s neck

Bell to catලෝකය බිහිවුන දා සිටම මීයා ගේ පරම ප්‍රතිවාදියා වූයේ බළලා හෙවත් පූසාය.ඒ මීයා යනු පූසා ගේ රසවත්    ෝජනය වූ බැවිණි(කුප්පමේනිය සලාදයටවත් දෙවෙනි නොවන!).මීයෙක් දුටු වහාම ලුහුබැඳ ගොස් ඌ දඩයම් කිරීම සූසා ගේ සිරිතයි.එක පහරින් ඝාතනය කරනවා නම් ඒත් කමක් නැත.පූසා මීයෙක් අල්ලාගත්විට ඌ සෙල්ලමට ගනී.තම තියුණු නිය වලින් පහරදී මීයා අඩපන කරන පූසා මීයාට දිවයාමට ඉඩදේ.යලි පසුපස එලවා ගොස් අල්වාගනී.අතින් අල්වා උඩ දමයි.බිම වැටුණ විට අහක බලා ගෙන සිටී.සූසා තමා ගැන අවධානයක් නැතැයි සිතන මීයා බැරි මරගාතේ නැවත දිවයන්නට උත්සාහා කරයි.සූසා නැවත එලවා ගොස් මීයා ව අල්වාගනී.මෙලෙස පැය ගණනක් පූසාට ක්‍රීඩා භාණ්ඩයක් වන මීයා මිය ගිය පසු සමහර විට පූසා විසින් අතහරිනු ලබයි.(කනවා නම් ඒත් කමක් නැත)

පූසා,ලොව බලවත් ම සත්‍යවයා වන මිනිසා ගේ (වඩාත් ම නිවැරදිව කිව හොත් ගැහැණිය ගේ)හොඳම මිතුරක් වීම නිසා මීයා පත්වූයේ වඩාත් අභාග්‍ය සම්පන්න ඉරණමකටය.විශේෂයෙන් ම කුස්සියේ ඇති උම්බලකඩ කෑල්ල,පොල් බෑය,චීස් පෙත්ත ආදී ආහාර මීයා ගේ රජ බොජුන් වීම නිසාත්,ඒවා උන්හිටි ගමන් අතුරුදන් වීමට එකම හේතුව මීයා බව ගෘහණිය දැනගැනීමත් නිසා ඇය මීයා සමඟ ඇතිකරගත් විරකසයත් මීයා ගේ අවාසනාවන්ත ඉරමණක තව තවත් තීව්ර කළේය.

පූස් තර්ජනයෙන් ගැලවීමට මීයන් සංවිධානගතවූයේ අද ඊයෙක නොවේ.ක්‍රි.ව.1—- දී රහසිගත ස්ථානයක දී රැස්වූ මූසික මහ සභාවේ කෘත්යාධීකාරී මණ්ඩලය පූස් තර්ජනයෙන් ගැලවීමේ උපාය සෙවීම උදෙසා කමිටුවක් පත් කරන ලදී.සෑම ක්ෂේත්‍රයක ම මී ප්‍රවීනයන් නියෝජනය වන පරිදි පත්කළ මී කමිටුව ඉදිරියේ සකල මී ප්‍රජාව ම බාහේ සාක්ශි දුන් අතර ජාතික මී පුරවැසියෝ අතර කමිටුව පිලිබද මහත් පැහැදීමක් ද බලාපොරොත්තුවක් ද දැල්වී තිබිණි.වසරක පමණ කාලයක ඈවෑමෙන් කමිටුව මූලික සාක්ශි විභාගය අවසන් කොට තම වාර්තාව කෘත්යාධීකාරී මණ්ඩලය හමුවට ඉදිරිපත් කරන ලදී.

කමිටු වාර්තාවේ සාරාංශය මෙසේය.

1.මීයන් පූසා ගේ අකාරුණික ග්‍රහණයට ලක්වන්නේ පූසා නිහඬව සිට මීයන් වෙත කඩාපනින බැවිණි.(පූස් ග්‍රහණයට ලක්ව ජීවිතක්ෂයට පත් වූ මීයන් පිලිබඳ සිද්ධි තුන්හසකට වඩා වැඩි ගනණක ඇසින් දුටු සාක්ශි කමිටුව ඉදිරියේ ඉදිරිපත් වූ අතර ඒ පිලබඳව කළ සියුම් විස්ලේශනයන් ද ඇතුලත් සවිස්තර වාර්තාව වෙනම ම අමුණා තිබිණි) 

2.පූසා යන එන තැන් කල්තියා දැනගත හැකි නම් මීයන්ට පහසුවෙන් පූසාගෙන් ගැලවිය හැක.(ප්‍රිවෙන්ශන් ඊස් බෙටර් දෑන් කියෝ!-මේ මී බුද්ධිමතුන් විශාල පිරිසක ගේ ඒකමතික අදහසකි)

3.ඒ නිසා පූසා යන එන විට හැඬවෙන පරිදි උගේ කරේ මිණි ගෙඩියක් බැඳීමට කමිටුව නිර්දේශ කරයි.

යෝජනාව මූසික කෘත්යාධී කාරී මණ්ඩලය තුල ඒකච්චන්දයෙන් සම්මත වූ අතර,මූසික මහ සභා රැස්වීමේ දී සකල මී ප්‍රජාව ම මේ යෝජනාව සම්මත කළේ මී ලොක්කා ගේ විමසීමට අනුව තම ආසන වලින් නැගී සිට එකගතාව පලකිරීමෙනි. 

ඉතින් එදා සිට මී ප්‍රජාවට සාමය උදාවූයේ යයි ඔබ සිතනවාද.කොහත් ම නැත.මේ අති විශිෂ්ඨ යෝජනාව ක්‍රියාත්මක කිරීමට තරම් කිසිදු එඩිතර මීයෙක් ඉදිරිපත් නොවීම නිසා පූසා ගේ ගෙල බැඳීමට සැකසූ මිණිගෙඩිය තමන් ගේ පාඩුවේ පැත්තකට වී සුරක්ෂිතව තිබූ අතර,මේ කිසිවක් නොදත් පූසා සුපුරුදු පරිදි තම දඩයම කරගෙන සතුටින් දිවි ගෙවීය.

ඒ අසාර්ථක උත්සාහයෙන් පසු නැවත එවන් උත්සාහයක් දරණ ලද්දේ 1960 ගනන් වලදීය.ඒ මහනුවර චන්ද්‍ර අනගිරත්න මහතා ගේ නිවෙසේ රැස් වූ මහනුවර “කුස්සියේ මී සම්මේලන“හරහාය.නිහඩව මී සම්මේලනයට අනුග්‍රාහකත්වය ලබාදෙමින් සිටි අනගිරත්න මහතා ගේ සරම ප්‍රාණ ඇපයට ගෙන ඒ මහතා ලවා ම මර නින්දේ සිටි පූසා ව මහවැලි නදියට දැමීමට රැඩිකල් මීයන් සමත් විය.මේ පිලිබඳව සවිස්තර වාර්තාවක් අනගිරත්න මහතා විසින් ම ලිය ලද “නවීන ගජබින්නාලංකාරය“ කෘතියේ දැක්වේ.

කෙසේ වුවද පිහිනීමේ මනා දක්ශයෙකු වූ බලල් තඩියා මහවැලි ගඟින් ද ගොඩවී ජීවිතය රැකගත් බව පසුව වාර්තා විය.මද නිහැඩියාවකින් පසු පූසා නැවතත් මීයාට එරෙහිව ක්‍රියාත්මක විය.

පූසාගෙන් ගැලවීමේ අලුත් ම උත්සාහය වාර්තාවන්නේ මීට වසර කීපයකට පෙරය.ඒ රූපවාහිනී වෙළඳ ප්‍රචාරක දැන්වීමක් හරහාය.පූසා සමඟ ඇති සියලු එදිරිවාදීකම් අතහරින මීයන් ඌ සමඟ සමඟි සන්ධානයකට එලැබේ.පූසාට නත්තල් තෑගි ලබාදීමට මී ගැටවුන් තිදෙනෙක් මේ දවස් වල කැමතිම ගීතය වන “වී විශ් යූ අ මෙරි ක්‍රිස්මස්“ගීතය ගයමින් පූසා වෙත යයි.අනාදිමත් කලෙක සිට පැවති විරසකය නිමවමින් පූසා ත්‍යාගය භාරගන්නේ කඳුලි පිරි දෙනෙතෙනි.තෑගි පාර්සලය තුල ඇති මිණිගෙඩිය සහිත මාලය ඌ තම දෑතින් ම ගෙන ගෙල පැලදගනී.

ප.ලි. මේ සටහන ලියුවේ නිර්මාණශීලී වෙළඳ දැන්වීමක් ගැන වුව ද සමහර විට අප ද මිතුරු වෙසින් එන සතුරන් ගෙන එන විනාශයන් දෑතින් ම ගෙන ගෙල පලඳ ගන්නේ යයි මට සිතේ.

“වාත වැඩේ” හෙලිවෙයි ! – it was revealed

වාත වැඩේ කුමක් ද යන්න රාජ් විසින් සාර්ථකව හෙලිදරව් කරනු ලැබුවා.මේ ඒ සියලු තුන් තේරවිලි වල විසඳුම්.

1.නොයෙක් පලතුරු = නොයෙක් නම් නන්, පලතුරු නම් පල

නන්පල ~ පන්නල

(කුරුණෑගල දිස්ත්‍රික්කයේ මෙන් ම නුවරඑළිය දිස්ත්‍රික්කයේද මෙනමින් ගමක් ඇත)

2.දණ්ඩේ යන්න = දණ්ඩේ නම් පොල්ලෙ, යන්න නම් පල,

පොල්ලෙපල ~ පල්ලෙපොල

(මාලලේ දිස්ත්‍රික්කයේ  පිහිටි ගමකි)

3.පුෂ්ප පැතිරුණු රෙද්ද = පුෂ්ප නම් මල, පැතිරුණු නම් පතල, රෙද්ද නම් සලුව

මලපතලසලුව ~ සලපතලමලුව

(පැතලි ගල් අතුරා සකස් කරන ලද මලුව යන්නයි)

4.වාත වැඩේ = වාත නම් සුලං, වැඩේ නම් කාරිය,

සුලංකාරිය ~ කලංසූරිය

(ප්‍රවීන නලු අමරසිරි කලංසූරිය එහෙම දන්නවා නේ?)

5.කැලේ දිහාව = කැලේ නම් වල, දිහාව නම් පැත්ත, 

වලපැත්ත ~ පැලවත්ත

(අගනුවරට නුදුරු පැලවත්ත රාජ්‍ය ආයතන විශාල ගණනක් පිහිටි නගරයක්)

6.සුලං රඹ පුෂ්පය = සුලං නම් වා, රඹ නම් කෙහෙල්, පුෂ්පය නම් මල

වාකෙහෙල්මල ~ මාකෙහෙල්වල

(කඩුගන්නාවට නුදුරු ගමකි – පුද්ගල නාමයක් ද වෙයි)

7.ගව භාගය = ගව නම් ගොං, භාගය නම් අඩ

ගොංඅඩ ~ අංගොඩ

(කොළඹ ට නුදුරු අංගොඩ ප්‍රසිද්ධ වන්නේ මානසික රෝහල නිසයි)

8.ඔහු පුෂ්ප ඇස = ඔහු නම් ඌ, පුෂ්ප නම් මල්, ඇස නම් නයන

ඌමල් නයන ~ නාමල් උයන

(දඹුල්ල ආසන්නයේ පිහිටි නාමල් උයන දැන් රක්ෂිතයක්,ලොක උරුමයක්)

9.මලු හයිය ඇඳ = මලු නම් උර, හයිය නම් සවි, ඇඳ නම් සයන

උරසවිසයන ~ සරසවි උයන

(දුම්රියපොල පෙම්වතුන් ගෙ සරසවි උයන කියනවා නේ)

තවත් නැවුම් අත්දැකීමක් සමගින් හමුවෙමු!

පොතක් ගැන යමක් – Its about a scientific fiction

Ubbhayajeeva

මා කියැවූ සංවේදී ම විද්‍යා ප්‍රබන්ධය ගැනයි මේ සටහන.

සල්වාතර් ආර්ජන්ටිනාවේ වෙසෙන ජීව විද්‍යාඥයෙක්(දකුණු ඇමරිකාව ආක්‍රමණය කළ සුදු ජාතිකයින්ගෙන් පැවත එන්නෙක්).ඔහු තම අභිරහස් පර්යේෂණාගාරය තුල විවිධාකාර අත්හදා බැලීම් කරන්නේ ජීවීන් ශල්‍යකර්ම වලට භාජනය කිරීමෙන්.රියෝදිලාප්ලාතා හි සැඟවුණ වෙරළබඩ පෙදෙසක ලෝකයාට රහසක් ව පවත්වා ගෙන යන මේ පරීක්ෂණාගාරය තුල විවිධාකාරයට ශරීරාංග වෙනස් කරන ලද ජීවීන් විශාල ගනනක් ජීවත්වෙනවා.(දෙවියන් වහන්සේ ගේ නිමැවුම් වෙනස් කරන්නේ යයි විටෙක සාම්ප්‍රදායික ආගමික විශ්වාස සල්වාතර් සමඟ ගැටෙනවා).

ස්වදේශික සාමාන්‍ය ජනතාවට සල්වාතර් යනු වෛද්‍යවරයෙක්.නිකන් ම වෛද්‍ය වරයෙක් නොවේ.සුව කළ නොහැකි රෝග සුවකරන විස්කම් වෙදැදුරෙක්.දිනක් ඔහු වෙත එන ගැමියෙක් අලුත උපන් දුර්වල බිලිඳු දරුවෙක් ගෙනත් දෙන්නේ දරුවා ගේ ජීවිතය කෙසේ හෝ බේරාදෙන ලෙස අයැදිමින්.සල්වාතර් කොහොමත් ජීවත් කරවිය නොහැකි මේ මේ ළදරුවා තම පර්යේෂණයක් සඳහා යොදාගන්නවා.ඔහු ළදරුවා ගේ ගේ දුර්වල පෙනහලු සමඟ මත්ස්‍ය කරමලක් බද්ධ කර ගොඩබිම ද ජලයේ ද ජීවත් විය හැකි අපූරු “උභයජීවියෙක්“නිර්මාණය කරනවා.නමුත් ඔහු දරුවා ගේ භාරකරුවන් ගෙන් මේ බව සඟවනවා.ඔහු ලෝකය පවසන්නේ දරුවා මියගිය බවයි.

අර්ධමිනිස් අර්ධ මත්ස්‍ය දරුවා සල්වාතර් ගේ විද්‍යාගාරය තුල වැඩෙනවා.ඔහු “පියා“කියන්නේ සල්වාතර්ට.එක දිගට දිගු කලක් ගොඩබිම ජීවත් විය නොහැකි මේ මීන මානවයා (ඔහු ගේ නාමය වන්නේ ග්‍රීක බසින් මීන මානවයා යන අර්ය ඇති ඉක්තිඇන්දර් යන්නයි)ඔහු ගේ “පියා“විසින් මහ සයුරට හුරු කරනු ලබනවා.විද්‍යාගාරය තුල ඔහු ජීවත් වන ටැංකිය කෙලින් ම විවර වන්නේ මහ සයුරට.මහ මුහුදු කෙලිබිම වන ඔහු ගේ මිත්‍රයා වන්නේ ඩොල්ෆින් මසෙක්.පොදුවේ සියලු මුහුදු ජීවින් ද විශේෂයෙන් ම මාලුන් ඔහු ගේ සමීප මිතුරන්.

මහ සයුරේ ඉහලින් වැටෙන දැල් වල පැටලෙන මාලුවන් ගේ ජීවිත ආරක්ෂා කිරීම උදෙසා ඉක්තිඇන්දර් එම දැල් කපා දමනවා.ගෙබ්බෙකු මෙන් විශාල ඇස් ඇති,මාලු දැල් කපා දමන මේ අත්භූත ජීවියා සමහර ධිවරයන් විසින් කීප විටක් දකිනවා.මේ “මුහුදු යකා“ නිසා භීතියට පත්වන ධිවර ප්‍රජාව එපෙදෙසේ මූදූයාම නතරකරනවා.

නමුත් මේ අභිරහස පිලබඳව උනන්දුවන පේද්‍රෝ සුරිතා ඉක්තියැන්දර් පිලිබඳව හෙලිදරව් කරගැනීමට උත්සහ දරනවා.ඔහු ගැඹුරු මුහුදේ මුතු ගවේශනය කරන ව්‍යාපාරිකයෙක්.

මුදලට කමාට මෙහෙකරන කුලීකරුවකු මාර්ගයෙන් ඉක්තියැන්දර් තමාසතු කරගැනීමට සුරිතා සමත්වනවා.මුතු සොයන මිනිසෙකු මෙන් විනාඩියක් දෙකක් නොව ඕනෑම තරම් වේලාවක් දියයට සිටිය හැකි ඉකියැන්දර් ගැඹුරු මුහුදේ මුතු සොයන ඔහුට මිල කල නොහැකි සම්පතක්.කාළය හෝ දේශසීමා බිලිඹද වෙනසකින් තොරව කපටි ව්‍යාපාරිකයින් සියල්ලන්ට ම පොදු වූ අධික ධන තණ්හාවෙන් සුරිතා ද පෙලෙන නිසා ඉක්තියැන්දර් පත්වන්නනේ දැඩි පීඩනයකට.ඒ අතර  ඔබ මා මෙන් ම මොලොව සියල්ලෝ ම දිවි දෙවෙනි කොට අගයන පුද්ගලික නිදහස නැතිවීම අහිංසක ඉක්තියැන්දර්ට දරාගත නොහැකි වනවා.

හැලහැප්පීම් ගණනාවක් මැද ගලායන මේ මීන මානවා ගේ ජීවිතය අවසානයේ යොමු වන්නේ ඔහු උපන් ප්‍රදේශයෙන් බොහෝ දුරබැහැර මූදුකරයට.ඒ ඔහු ගේම යහපතටයි.

නමුත් ඔහු ගේ වියෝගය දරාගත නොහැකි වේදනාවක් බවට පත් වන අයෙක් ද මේ කතාවේ පාත්‍රවර්ගයා අතර සිටිනවා.ඒ ඉක්තියැන්දර් ගේ සැබෑ පියා.ඔහු සුරිතා වෙත මේ “මුහුදු යකා“ලබාදීම උදෙසා ඔහුට මුදලට බැල මෙහෙ කරන්නේ මේ උපන් විගසම මිය ගියා යයි සැලකූ තම පුත්‍රයා බව කිසිසේත් ම නොදැනයි.කලකට පෙර තම සොයුරා වෛද්‍ය සල්වාතර්ට තම බිලිඳු දරුවා සුවකිරීමට භාර දුන් බවත් මේ මුහුදුයකා යනු අන්කවරෙකුවත් නොව ඒ දරුවාම බව ඔහු දැනගන්නාවිට බොහෝ ප්‍රමාදවීලාය.

මේ “උභයජීව“කතාන්දරයේ (අසම්පූර්ණ)සාරාංශය.මුල සිට අගටම එක හුස්මට කියවා නිම කළ හැකි අතිශයින් රසවත් මේ කෘතිය දකුණු ඇමරිකාව පසුබිම් කොට ලියැවූවක් වුවද රචකයා රුසියානු ලේඛක ඇලෙක්සැන්ඩර් බෙල්යායෙව්.(අවාසනාවට මෙය සිංහලට නැගූ පරිවර්තකයාගේ  නම මගේ මතකයේ නැහැ.මෙය කියවන ඔබ දන්නවා නම් සටහන් කරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා-තිසර සහ තවත් පාඨක මිතුරක් ගෙන් දැනගත් පරිදි මෙය සිංහලට පරිවර්තනය කලේ ජේ.ඊ.ගුණසේකර මහතා.ස්තුතියි !)

විද්‍යාප්‍රබන්ධයක් ගැන කීමේදී “සංවේදී“යන වචනය අදාල වන්නේ කෙසේදැයි සමහර විට ඔබට සිතේවි.ඒත් උභයජීව අවසන් වන්නේ එක්තරා ඛේදාන්තයකින්.කිසිදා නැවත එතැයි බලාපොරොත්තු විය නොහැකි ඈතකට ගොස් සිටින තම ලෙයින් උපන් පුත්‍රයා එතැයි බලාපොරොත්තුවෙන් තෙරක් නොපෙනෙන මහ සයුර දෙස බලා හිදින පියෙක් ගෙන් තමයි කෘතිය අවසන් වන්නේ.

මොකක්ද මේ “වාත වැඩේ” ? ~ Try to solve this

තවත් අලුත් තුන් තේරවිලි කීපයක් දයාබර පාඨක මිතුරන් වෙත ඉදිරිපත් කරන්න හිතුවා.බලන්න විසඳන්න හැකිද කියල.

1.නොයෙක් පලතුරු

2.දණ්ඩේ යන්න

3.පුෂ්ප පැතිරුණු රෙද්ද

4.වාත වැඩේ

5.කැලේ දිහාව

6.සුලං රඹ පුෂ්පය

7.ගව භාගය

8.ඔහු පුෂ්ප ඇස

9.මලු හයිය ඇඳ

විසඳීමේ සම අවස්ථා සියලු පාඨකයන්ට හිමිකළ යුතු බැවින් ප්‍රතිචාර පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බව කරුණාවෙන් සලකන්න.

ශර්මා එයි, සිංග් නැත – Sharma arrives, No sign of singh

CHOGM sym

[පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේෂ් ශර්මා මහතා ඊයේ (නොවැම්බර් 9)දිවයිනට ලඟාවීමෙන් පසු,මෙරට ප්‍රමුඛ පෙලේ ජනමාධ්‍යයක් සමග කළ සම්මුඛ සාකච්ඡාවකින් උපුටා ගැනිනි.]

ප්‍රශ්නය-ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුලුව ගැන ඔබේ අදහස කුමක්ද?

පිළිතුර-හිරු නොබසින අධිරාජ්‍යයේ සාඩම්බර යටත් වැසියන් වශයෙන් ඇත්ත වශයෙන් ම අපි කාටත් සතුටු වෙන්න පුලුවන් අවස්ථාවක් මේක.කවදත් මුල අමතක නොකරන ලංකාව ශතවර්ෂ කීපයක් තමන් ගේ ස්වාමියා වෙලා හිටපු බ්‍රිතාන්‍යය යට කෘතගුණ දැක්වීම උදෙසා සංවිධානය කරන මෙම සමුලුව ලෝක රාජ්‍ය නායක සමුලු ඉතිහාසය උඩු යටිකුරු කල විප්ලවීය මොහොතක් ලෙස බය නැතිව මට ප්‍රකාශ කරන්න පුලුවන්.

ප්‍රශ්නය-ඇයි ඔබ එසේ කියන්නේ

පිළිතුර-එසේ කියන්නේ හේතු ඇතුව.බලන්න මේ උත්සවය වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ සහ එහි ජනතාව ගේ කැපවීම.බලන්න මෙහි බුද්ධිමත් පාලකයන් මේ සමුලුව ගැන අධ්‍යයනය කිරීමට ම සියලුම විශ්ව විද්‍යාල සිසුන්ට සතියක අධ්‍යයන නිවාඩු පවා ලබාදෙන හැටි.බලන්න අගනුවර නගරසභාව තමන් ගේ බැංකු ගිණුමේ අන්තිම සතයත් වියදම් කරල නගරය ලස්සන කරන අපූරුව.බලන්න මේ සතියක විතර කාලයේ පිටින් එන රාජ්‍ය නායකයන් ගේ ගමන්බිමන් වලට පමණක් රුපියල් ලක්ෂ 1,600ක වියදමින් ලංකා රජය යොදවන අධි සුඛෝපභෝගී බෙන්ස් රථ.ඒ විතරක් ද අධිවේගී මාර්ග,නවීකරණය කළ ගුවන්තොටුපල,දැවැන්ත සම්මන්ත්‍රණ ශාලා,රාජ්‍ය නායක බිරින්දෑ වරුන් ගේ ගෙල පලදින වටිණා ආභරණ.සමුලුව වෙනුවෙන් ඔබරටේ කැපවීම අති විශිෂ්ඨයි.ඒ ගැන කතා දෙකක් නෑ.

ප්‍රශ්නය-ඔබ හිතනවද මේ පුංචි රට ලොවටම ආදර්ශයක් සපයනවා කියා?

පිළිතුර-පැහැදිලිවම.මා යෝජනා කරනවා ලෝකය ඒ ආදර්ශය ලංකාවෙන් ලබාගත යුතුයි කියල.ඒ වගේ ම  මම විශ්වාස කරනවා මීලඟට නිව්යෝර්ක් නුවර යූඑන් සමිට් එක පැවැත්වෙන විට හාර්වඩ් ඇතුලු සියලු විශ්ව විද්‍යාල වලට රජයෙන් නිවාඩු දෙයි කියල.ඒ වාගේ ම මම හිතනවා ජීනීවා වල පැවැත්වෙන සෑම වැදගත් සමුලුවකදීම ඒගැන අධ්‍යයනය කරන්න සූරික් ඇතුලු සියලු විශ්වවිද්‍යාල වලටත් ස්විස්ටර්ලන්තයේ රජය නිවාඩු ලබා දෙයි කියා

ප්‍රශ්නය-සමුලුව පිලිබඳ මේ රටේ ජනතාව ගේ කැපවීම ඔබ දකින්නේ කොහොමද?

පිළිතුර-රජයට මනා සහයෝගයක් රටේ ජනතාව ගෙන් ලැබෙනවා,එය විශිෂ්ටයි.මට දැනගන්න ලැබුණා මේ උත්සවය වෙනුවෙන් රඟන,ගයන පාසැල් දරුදැරියන් ඒ වෙනුවෙන් යන සියලුම වියදම් ස්වේචාවෙන් ම දරනවා කියල.ඒ තමන් ගේ අධ්‍යයන කාලයෙන් කරන කැපකිරීමට අමතරව වසර අවසාන වාරවි භාගය කට උඩ තියෙද්දිත්.ඒ වගේ ම අගනුවර ජනතාව සමුලුව වෙනුවෙන් තම ගෙවල් දොරවල් පිලිසකර කරල තීන්ත ගාගන්නේ තමන්ගේ ම වියදමින්.තමන් ගේ එදිනෙදා කාර්යයන් මදකට නතර කරලයි මේ එන රාජ්‍ය නායකයන්ට පාරතොටේ ඉඩ වෙන්කරල දෙන්නේ.මේ රටේ ජනතාව ගේ කැප කිරීම් ගැන එක් සුලු උදාහරණ කීපයක් පමණයි.

ප්‍රශ්නය-සමුලුවේ සංවිධාන කටයුතු ගැන ඔබේ අදහස් කොහොමද?

පිළිතුර-අනභිබවනීයයි.සමුලුවට සහභාගී වෙලා දේශන කරල ඒවා අහල අතට අත දීල,ද්විපාර්ශවික සාකච්චා පවත්වනවාට අමතරව මෙරට විසින් ආගන්තුක රාජ්‍ය නායකයන් වෙනුවෙන් ලබාදෙන අත්දැකීම් සුවිශාලයි.දක්ෂිණ අධිවේගී මාර්ගය,මත්තල ගුවන් තොටුපල,හම්බන්තොට වරාය,නෙලුම්පොකුණ මේවාගේ දෙවල් ඒ රාජ්‍ය නායකයන්ට දැක බලාගන්න ලැබීම මොනතරම් දෙයක්ද?එත් ඔබේ රටේ ජනතාවට ලැබෙන සමහර අමිල වරප්‍රසාද මේ රාජ්‍ය නායකයන්ට ලබානොදීම ගැන නම් මගේ එච්චර සතුටක් නෑ.

ප්‍රශ්නය-මොනවද ඒ වරප්‍රසාද?

පිළිතුර-අධිවේගී මාර්ගයේ පයින් ගමන්කිරීම වගේ වරප්‍රසාද.කමක් නෑ අපි ඒවා අමතක කරමු.මම හිතනවා ආගන්තුක රාජ්‍ය නායකයින් මෙය ඉවසා දරාගනී කියල.

ප්‍රශ්නය-සමුලුව වෙනුවෙන් රජයෙන් සැපයෙන ආරක්ෂාව ගැන ඔබතුමා සෑහීමකට පත් වෙනවාද?

පිළිතුර-මම අතිශයින් ම තෘප්තිමත්.රාජ්‍ය නායකයන්ට මැස්සෙක්ගෙන් වත් හිරිහැරයක් නොවෙන විදියට ආරක්ෂාව තරකොට ඇති බවට මට හොදටම විස්වාශයි.රජු ගේ ඇඟේ වසන මැස්සා කඩුවෙන් කොටල විනාශ කරන ආරක්ෂකයින් ඔබේ රටේ ඉන්න බව ලෝකයේම ප්‍රසිද්ධයි නේ.

ප්‍රශ්නය-එතකොට සෞඛ්‍ය පහසුකම්

පිළිතුර-ඉතාමත් ම හොදයි.මම සොයා බලපු විදියට පැය 24 ම ක්‍රියාත්මක ගිලන්රථ බලකායක්,ජාතික රෝහලේ සුඛෝපභෝගී වාට්ටු කීපයක්,දැඩි සත්කාර ඒකකය,සුවිශාල වෛද්‍ය කාර්යමණ්ඩලයක් රාජ්‍ය නායකයන් වෙනුවෙන් සූදානම්.මම ආරාධනා කරනවා ඒ නායකයන්ට හා අනෙක් සම්භාවනීය විදේශ අමුත්තන්ටත් ඒ අයගේ පවුල් වල උදවියටත් තමන්ට තියෙන අට අනූවක් ව්‍යාධි මේ ලැබුණ අමිල අවස්ථාවෙන් පල ලබා සුවකරගෙන යන්න කියල.අපි අමතක කරන්න හොදනෑ සචින් තෙන්දුල්කාර්ට වෙදකම් කළ විස්මිත වයිට් වෙදැදුරා පවා ඉන්නේ මෙ රටේ කියල.

ප්‍රශ්නය-කෙසේ නමුත් මේ සමුලුව සඳහා රැජිණ සහභාගී වන්නේ නෑ නේද?

පිළිතුර-ඇත්ත රැජිණ සහභාගී වන්නෙ නෑ තමයි.එත් රැජිණ දැන් යල්පැන ගිය චරිතයක්.ඒ වෙනුවට චාර්ල්ස් කුමාරයා එන්නේ.නමුත් මටත් පොඩි කණගාටුවක් තියෙනවා විලියම්,කේටී සහ චූටි බබා ජෝර්ජ් මෙරටට නොඑන එක ගැන තමන්ගේ අතීත උරුමයක් දැක බලා ගෙන ආශ්චර්ය විඳල යන්න.

ප්‍රශ්නය-පොදුරාජ්‍ය මණ්ඩලීය තරුණ සමුලුව හෙට(නොවැම්බර් 10) ඇරඹෙනවා.මේ ගැන ඔබේ අදහස කුමක්ද?

පිළිතුර-ඇත්තටම මේක ඉතා සුවිශේෂී අවස්ථාවක්.අනික් තරුණ සම්මේලන වගේ නෙවෙයි මේ “තරුණ සම්මේලනය”නියෝජනය කරන්නේ 60%ක් ම “තරුණයින්”.තරුණයින් තමයි ලොකයේ හෙට දිනය.මම හුගක් ම සතුටු වන්නේ ඒකයි ඒ ගැන.ඒ වාගේ ම සතුටු වෙන්න පුලුවන් කාරණයක් තමයි මේ “රාජ්‍ය නායක සමුලුව”ට ත් සහභාගී වන්නේ 60%ටත් වඩා “රාජ්‍ය නායකයින්”.මොන තරම් ශ්‍රේෂ්ඨද?

ප්‍රශ්නය-හොදයි තිස් වසරක යුද්ධයෙන් පසුව අද අපේ රට පිලිබද ඔබේ අදහස කුමක්ද?

පිළිතුර-මම හිතනවා ඔබේ රට දැන් නියම මාර්ගයේ ගමන් කරනවා කියලා.ජනගහණයෙන් ලක්ෂ 3කට එක් කැබිනට් ඇමතිවරයෙක් ගණනේ සිටින ඔබේ රට නොබෝ දිනකින් ම ලෝකයේ ම ආශ්චර්ය රාජ්‍යය බවට පත්වනවාට මට කිසිම සැකයක් නෑ.බොහෝ විට මේ සමුලුවෙන් පසු ඔබ රට ඒ ජයග්‍රහණය ලබා ගනීවි.

ප්‍රශ්නය-අවසාන වශයෙන් අපට කියන්න සමහර රටවල්,සමහර නායකයින් මේ සමුලුව වර්ජනය කිරීම ගැන ඔබතුමා ගේ අදහස කුමක්ද කියලා?

පිළිතුර-මම හිතන්නේ අපි ඒ ගැන එච්චරම සැලකිලිමත් විය යුතු නෑ කියලයි.හැමදාම කසිකබල් ඉන්දියන් කාර් එකක එහේ මෙහේ යන මන්මෝහන් මහත්තයට සතියකට වත් බෙන්ස් එකක යන්න පින නෑ කියල තමයි කියන්න තියෙන්නේ.

Compair car

(නම්-ගම්,සිදුවීම්,ස්ථාන සියල්ල කතුවරයා ගේ සිතේ මැවුණු හුදු කල්පිතයන් ම පමණක් බව කරුණාවෙන් සලකන්න.)

නිශ්ඵල ම අමත්‍යංශය – The most useless ministry

PVT Bus

පඳුරක් ගණනේ ඇති කැබිනට් අමාත්‍යංශ අතර වඩාත් ම ජන පීඩක අමත්‍යංශය පුද්ගලික බස් අමත්‍යංශය යයි සිතේ.කෝප් වාර්තාවෙන් හෙලිදරව් කොට ඇති පරිදි ජනතා මුදල් මිලියන ගණනින් විනාශ කරන රාජ්‍ය ආයතන ඇතත් ජනතාවට දැනෙන වඩාත් ම පීඩාකාරී ආයතනය පුද්ගලික බස් අමත්‍යංශයයි.මා එසේ කියනුයේ මේ ආයතනය තම නඩත්තුව වෙනුවෙන් අති විශාල ජනතා මුදල් සම්භාරයක් වාර්ශිකව ගිලදමනමුත්,එය ජනතාව වෙනුවෙන් සිදු කරණු ලබන අබමල් රේණුවක තරම්වත් සේවාවක් නම් නොපෙනෙන බැවිණි.

කලකට පෙර මෙරට ප්‍රවාහන සහ මහාමාර්ග අමත්‍යංශය නමින් ආයතනයක් විය.එය භාර අමාත්‍යවරයාට ලංගමය,දුම්රිය,පුද්ගලික බස් සේවය මෙන්ම රටපුරා ඇති මහාමාර්ග ද පිලිබද වගකීම පැවරී තිබිණි.එවන් වගකීම් ප්‍රමාණයක් තනි මිනිසෙකුට දැරීම අපහසු යයි අප මොහොතකට සිතමු.(නමුත් දක්ශ පරිපාලකයෙකුට මේවා කිසිසේත් ම අපහසු කාර්යයන් නොවේ).නමුත් අද වනවිට පුද්ගලික බස් රථ ඇමතිතුමා ගේ  වෘත්තීයමය වගකීම ඉතා කුඩා ක්ෂ්‍රේත්‍රයකට ලඝු කොට ඇති බැවින් ඔහුට තම සම්පූර්ණ අවධානය මේ සේවාව වෙත පමණක් ම යොමු කොට එහි ගුණාත්මක භාවය කොතරම් දුරට ඉහල නැංවිය හැකි නොවේද?

නමුත් අදවනවිට අප රටේ පුද්ගලික බස්රථ සේවාව කෙබඳුද?

  • දුරගමන් සේවා හැර කිසිදු පුද්ගලික බස් රථයකින් මගියාට ප්‍රවේශ පත්‍රයක් ලබාදෙන්නේ නැත.(සිනහවට කාරනය නම් 2007 ජනවාරි සිට ටිකෙට් නොමැතිව ගමන් කරන මගීන් ට දඩ ගසන බවට වූ දැන්වීමක් තවමත් සමහර බස්රථ වල ඇලවී තිබීමය).
  • පුද්ගලික බස් සේවාවේ ගුණාත්මක වර්ධනයක් දක්නට ඇත්තේ ම නැත(අනවශ්‍ය ලෙස ප්‍රමාදවීම/කොට කොටා යාම,තරගයට වේගයෙන් ධාවනය කොට අනතුරු සිදු කිරීම,මගීන්ට අවමන් ලෙස සැලකීම,ඉතිරි මුදල් නොදීම ආදී නොමනා ක්‍රියා එලෙසමය).
  • මගීන් ට අමතර පහසුකම් කිසිවක් නොදී ගමන් ගාස්තුව මෙන් එකහමාර ගුණයක් අසාධාරණ ලෙස අයකරන ඊනියා අර්ධ සුඛෝපභෝගී බස් සේවාව එලෙසමය.
  • රාත්‍රී 7.00 න් පසු බොහෝ මාර්ග වල පුද්ගලික බස්රථ ධාවනය වන්නේ ම නැත.
  • මගීන්ට ලැබෙණ ප්‍රතිලාභ කෙසේ වෙතත් අඩුම තරමින් බස්රථ සේවකයන් අර්ථසාධක අරමුදල් හිමි යම් තරමකට හෝ ස්ථාවර රැකියාවකට හිමිකම් නොකියයි.

එසේ නම් මේ අමත්‍යංශය සිදුකරණු ලබන කිසිදු කාර්යයක් ඇත්තේ ම නැතැයි ඔබ සිතන්නේ ද?එය වැරදිය.වරන් වර බස් ගාස්තු වැඩිකිරීමට සක්‍රීයව දායක වන්නේ මෙම අමත්‍යංශයයි.නොවැම්බර් පළමුවෙනිදා සිට 7%කින් යයි කියමින් බස්ගාස්තු වැඩි කළ ද සීයට 7 යන්න හරියට ගණනය කළ හැකි නිලධාරියෙක් වත් මෙහි සිටීදැයි සැකය.

බස්රථ වලට අලුතින් ධාවන බලපත් ලබාදෙන්නේ ද මේ ආයතනයයි.මෙවන් “අමතර ආදායම් මාර්ගයක්“ වත් නොතිබුණා නම් ඇමතිතුමාට සහ ඔහු ගේ නෑදෑයන්ට මැතිවරණ වලට වියදම් කිරීමට මුදල් සොයාගැනීම ද අසීරුවන්නට ඉඩ තිබිණි.

කැසිනෝ නම් දැලිපිහිය – CASINO needed or not?

Casino

කැසිනෝ යනු සූදුවකි.එනයින් අනෙක් සූදූ ක්‍රීඩා මෙන්ම එය ද  එය බැහැර කළ යුත්තක් බවට විවාදයක් නැත.සිඟාලෝවාද සූත්‍රයෙහි සූදුවෙහි ඇති ආදීනව පැහැදිලිව දක්වා තිබේ.සූදුවෙන් පරාජය ලැබූ විට (සාතිශය බහුතරයක් සූදූ කෙලින්නෝ ලබන්නේ පරාජයයි) ධනය හානිවේ.කලාතුරකින් හෝ ජය ලැබූ විට සතුරන් ඇතිවේ.මහන්සියකින් තොරව ලබාගන්නා ධනය පාපයක් බව මහත්මා ගාන්ධි තුමා දේශනා කොට ඇත.

සෑම සූදුවකට ම පොදු වූ ලක්ෂණ ඇත.මුලින් කියූ පරිදි විශාල පිරිසක් පරාජය ලැබීම හා කීප දෙනක් පමණ ජය ලැබීම ඉන් එකකි.ඇබ්බැහී වීම අනෙක් ලක්ෂණයයි.

තමන්ට හදිසියේ අති විශාල ධනස්කන්ධයකට උරුමකම් කීමට ලැබේ යයි විශ්වාසයක් බොහෝ තුන්වන ලෝකයේ රටවල ජනතාව තුල ඇත.රේස්බුකී වලට දිනපතා තුණ්ඩු දාන්නේ ද,සතියේ දින සතෙහි ම රූපවාහිනියෙන් දිනුම් අදින ලොතරැයි මිලට ගන්නේ ද මේ සිහිනය සැබෑ කරගැනීමේ පරමාර්ථයෙනි. ලැබෙතැයි සහින මවන අතිවිශාල ධනස්කන්ධය පිලිබද බලාපොරොත්තුවට අමතරව සූදු කෙලීම විනෝදාංශයක් බවට පත් කරගත්තෝ ද විරල නොවේ.(බොහෝ විට බටහිර රටවල ධන කුවේරයන් කැසිනෝ ක්‍රීඩා කරනුයේ විනෝදයටයි).මේ අරමුණු දෙකම පෙරදැරි කරගත්තෝ ද සිටිති.සූදුවේ ජය පරාජය අවිනිශ්චිත බැවින් ඒ පිලිබඳ කුතුහලයට ඇති ආශාව නිසා ම මේ සදහා යොමුවන්නෝ ද සිටිති.

සූදුවෙන් පරිබාහිරව ගත්ත ද මිනිසා ජීවත් කරවන්නේ “බලාපොරොත්තුවයි“.

ජය හෝ පරාජය අවිනිශ්චිත වුව ද සූදුවෙන් අනිවාර්යයෙන් ම ජය ම පමණක් ලබන්නෝ ද සිටිති.ඒ මේවා පවත්වාගෙන යන අය,පහසුකම් සපයන අය සහ ඒවායි බදු ලබාගන්නා රජයයි.සූදූ පිටියේ “තෝන්“ ගන්නෝ ද,රේස් බුකියේ “කොමිස්“ගන්නෝ ද සැමදා ම ජයග්‍රාහකයෝ වෙති.

සුරාවෙහි අයහපත් ප්‍රතිවිපාක දැන දැන ම සුරාවට යොමුවන්නෝ සිටින්නාක් මෙන් ම සූදුවේ ප්‍රතිවිපාක දැන දැන ම සමාජයේ පිරිසක් සූදුවට යොමුව සිටී.සුරාව මෙන් ම සූදුව ද නීතිරීති මගින් වැලැක්විය හැක්කක් යයි ලේඛකයා නොසිතයි.රජය මැදිහත් වී සියලු මත්පැන් හල් වල බලපත් අවලංගු කොට ඒවා වසා දැමුවහොත් එහි අනිවාර්ය ප්‍රතිපලය වන්නේ නිතීවිරෝධි මත්පැන් නිශ්පාදනය ඉහලයාමය.සූදුවට සම්බන්ධයෙන් ද එය එසේමය.යම් හෙයකින් රජය මැදිහත් වී සියලුම සූදූ (ලොතරැයි ඇතුලුව)නීති මගින් තහනම් කලහොත් ඒ රික්තකය අනිවාර්ය යෙන් ම නීතිවිරෝධි ක්‍රම හා කලු මුදලාලිලා විසින් පුරවනු ලබව බවට කිසසිදු සැකයක්  නැත.එබැවින්  දුශ්චරිතයන් දුරලීමට ඇති වඩාත් ම සාර්ථක ක්‍රමය වන්නේ මේ සම්බන්ධ සමාජ ආකල්ප වෙනස් කිරීමයි. 

ධනවත් විදේශ සංචාරකයන් ආකර්ශණය කරගැනීමේ පරමාර්ථයෙන් සංචාරක පාරිභෝගිකයන් ඉලක්ක කරගත් කැසිනෝ ක්‍රීඩා පහසුකම් ද සහිත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස ජේම්ස් පැකර් ගේ විදේශ ආයෝජයක් මෙරටට ලැබීම වරදක් නොවේ යයි කෙනෙකුට තර්ක කළ හැක.ජෝකිම් එලවා දැමුව ද කැසිනෝ තවමත් මෙරට තුල ක්‍රියාත්මකවේ.එනම් රට තුලකොහොමටත් ක්‍රියාත්මක කැසිනෝ නීතිමය රාමුවකට ගොනු කිරීම වඩාත් සාධනීය නොවේ දැයි සැලකිය නොහැකිද?

එය එසේ වුව ද මේ ව්‍යපෘතියේ බරපතල ම නිශේධනීය කාරණය වන්නේ ජේම්ස් පැකර්ට හිමිවන අතිවිශාල බදු සහනයයි.ආයෝජකයාට සියලු ප්‍රතිලාභ ලැබෙන මුත් රජයට තඹ සතයක බදු ආදායම දශකයකට වැඩි කාලයක් (වාර්තා වන අන්දමටයි)නොලැබෙන්නනේ නම් මෙය පල රහිත ව්‍යයාමයක් බව නොකිවමනාය.කැසිනෝ සහ අපරාධ අතර සෘජු සබඳතාවක් ඇති බව අමතක නොකළ යුතුය.දැලිපිහියක් නිසි ලෙස භාවිත කොට විපුල ප්‍රයෝජන ලද හැක්කාක් මෙන්ම,අවභාවිතයෙන් අත-පය පමණක් නොව බෙල්ල ම කැපීයාමට ද ඉඩ තිබෙන බව අමතකනොකළ යුතුය.

වෙස්සන්තර ජාතකය, බෝසතුනට කළ අපහාසයක් නොවන්නේද? – It is an insult !

Wessantharaබුදුරජාණන්වහන්සේ ගේ පූර්ව උප්පත්තීන්න් හීදී බෝසතුන් මතු බුදු බව පතා දස පාරමිතාවන් පිරූ අයුරු පිලිබඳ ලියැවී ඇති සාහිත්‍යය කෘතී ජාතකකථා නම් වෙයි.පන්සිය පනස් ජාතකකතා පොතේ ජාතකකථා අතර බොහොමයක් අද සමාජයට මනාව ගැලපෙන පාඨකයාට ජීවිතාවබෝධය ලද හැකි සර්වකාලීන වටිනාකමකින් යුතු නිර්මාණයන් බවට කිසිදු විවාදයක් නැත.නමුත් මේ කෘතියේ කථා අතර අවසාන කොටසේ දක්වා ඇති වෙස්සන්තර ජාතකය නම් බෝධිසත්වයන් ගේ ශ්‍රී නාමයට කැලැල් වන පරිදි කිසිවෙකු හෝ ගොතන ලද්දක් හෝ අධික ශ්‍රද්ධාව නිසා නොමග ගොස් කළ ප්‍රබන්ධයක් බවට සැකයක් මාතුල ඇත.(වෙස්සන්තර ජාතකය,ගම්පොළ යුගයේ ලියැවුණ පන්සිය පනස් ජාතකකථා පොතට පසුකාලීනව එක්කරන ලද්දක් බවට මතයක් ඇතත් මූලාශ්‍ර සොයාගත නොහැකි විය)

දස පාරමිතාවන්ගෙන් මුල් ම පාරමිතාව වන දාන පාරමිතාව ඉස්මතු වන ලෙස ගොතා ඇති මේ කතාන්දරයේ මුල් කොටසේ දැක්වෙන පරිදි වෙස්සන්තර රජතුමා තම රජකම දන්දීම හෝ ,තමා සතු මඟුල් ඇතු හෝ අනෙක් වස්තු සම්භාරය දන්දීම උසස් දානපාරමිතා පිරීමක් බවට ගැටලුවක් නැත.(අවිචාරවත් ලෙස දුගීන්ට දන් දීමෙන් අලසයන් බෝවනවා මිසක දුප්පත්කම නැති නොවන බව සත්‍යයකි.නමුත් දානය පිරිනමන පුද්ගලයා ගේ චේතනාවේ පාරිශුද්ධත්වය සලකා අපි මොහොතකට එය අමතක කරමු).නමුත් ලේඛකයා ගේ ගැටලුව නම් වෙස්සන්තර රජු තම ආදරණීය දරු දෙදෙනා (ජාලිය හා ක්‍රිශ්ණජිනා)මහලු ජූජකයාට දන්දීමෙන් පිරීමට බලාපොරොත්තු වන පාරමිතාව කුමක්ද?යන්නයි.

වයසට නොගැලපෙන විවාහයක් කරගෙන සිටින ජූජකයා මේ දරුවන් රැගෙන යන්නේ මෙහෙකාරකමට බව මුලින් ම පැහැදිලිය.“පුත්ථා වත්ථු මනුස්සානං -දරුවන් මිනිසුන්ට වස්තූන් වේ“යනුවෙන් බුදුදහමේ ඉගැන්වේ.වෙස්සන්තර රජු තමාගේ ඒ වටිනා සම්පත ජූජකයාට දන් දෙන්නේ ජූජකයාට දරු සම්පත් ලබාදීම උදෙසා නොවේ.ඔහු දරුවන් රැගෙන යන්නේ හදේ උපන් දාරක ස්නේහයක් මුල්කොට ගෙන දරුවන් ලෙස හදාවඩා ගැනීමට නොවේ,මෙහෙකාරකමටය.මේ දරු දෙදෙනාට උපතින් ම උරුමව තිබූ රාජ සම්පත්  අහිමි කොට ඔවුන් දුෂ්කර වනගත දිවියකට යොමුකිරීම ද වෙස්සන්තර රජු ඒ දරුවන්ට කළ අසාධාරණයක් බව මාගේ හැඟීමයි.නමුත් එය ද ඉවසා සිටිය හැක්කේ රජමාළිගයෙන් පිටමං වී නමුදු තවදුරටත් ඒ දරු දෙදෙනා මාපිය රැකවරණයේ ම සිටින බැවිණි.දරුවනට දෙමාපිය රැකවරණය රාජසම්පත් වලට වඩා වටින්නේය.නමුත් ඒ අසරණයන්ට එය ද අහිමි කොට මහලු බමුණෙකුට සහ ඔහුගේ යොවුන් බිරිඳට අත්පා මෙහෙ කිරීම උදෙසා (ඒ බැව් දැන දැනම)යැවීම කිසිලෙසකට හෝ බෝධිසත්ව චරිතයක් විසින් සිදු කරනු ලබන්නක් යයි කිව හැකිද?මගේ මතය නම් එය එසේ සිදුවිය නොහැකි බවයි.

වෙස්සන්තර රජු මෙය කළේ මතු බුදු බව පතා යයි කෙනෙකු මෙහිදී තර්කයක් නගනු ඇත.නමුත් තමාගේ ම දරුවන් විපතට පත් කර තමන්ට විමුක්තිය ලබාගත හැකි යයි බෝධිසත්වන් වහන්සේ සිතීයයි කීම කිසිසේත් ම පිලිගත නොහැක්කි.තම දෑස් ඉදිරිපිටම දෑත් වලින් ලේ ගලද්දී ජූජකයා දරුවන් වැල්පටවලින් බැඳ ගෙන යන බව වෙස්සන්තර ජාතකකථාවේ දක්කවා තිබේ.මෙය පැහැදිලි ලෙසම බෝධිසත්වයනට කල අපහාසයක් බව කිවයුතුය.

අසවලා ගෙන් ඇසුවා කියා හෝ අසවල් පොතේ තිබුණා කියා හෝ පරම්පරාවෙන් ඇසුවා කියා හෝ යමක් පිලි නොගන්නා ලෙස ද,තම තර්කඥානයට ගැලපේ නම් ම පමණක් යමක් පිලිගන්නා ලෙස ද බුදුන්වහණ්සේ දේශනා කොට ඇත(කාලාම සූත්‍රය?).මට නම් වැටහෙන්නේ වෙස්සන්තර ජාතකය බෝධිසත්ව චරිතයට දැන හෝ නොදැන එල්ල කළ මඩ පැල්ලමක් බවයි.

පිංගුත්තර ගේ ගැටලුව ඌණ සේවානියුක්තිය ද? – The issue is the under employment

Ummaggaya

උම්මග්ග ජාතකයේ එන (සමහර විටෙක වෙනම ම ජාතක කථාවක් ලෙස ද දැක්වෙන)සිරි කාළකණ්නි කථාව පිලිබඳ විග්‍රහයක් කරන ප්‍රවීන බ්ලොග් රචක කතන්දර පවසන්නේ එහි එන පිංගුත්තරයා,කතුන් ප්‍රිය නොකරන සමරිසියෙකු බවයි.නමුත් මා සිතන්නේ මේ කතාව පසුපස ඇත්තේ ඇත්තේ ජීව විද්‍යාත්මක ගැටලුවක් නොව වත්මනෙහි ජාතියක් වශයෙන් අප ද පීඩා විඳින ආර්ථික හා දේශපාලනමය ගැටලුවක් බවයි.ඒ ගැටලුව නම් විරැකියාව හෝ ඌණ සේවා නියුක්තිය යි. 

ඒ බැව් හෙලිවන්නේ සිරි කාලක්ණ්ණි කථාවේ අපර කොටසිනි.දිනක් වෙදේහ රජු ගේ බිසවක් බවට පත්ව සිටින උදුම්බරා දේවිය (පිංගුත්තර විසින් ප්‍රතික්ෂේපිත බිරිඳ),උයන් කෙළිය නිමවා රජු සමඟ  පෙරලා මාළිගයට එන විට පිංගුත්තර මුණගැසේ.ඒ මාර්ගය පිලිසකර කරන කම්කරුවෙකු ලෙසය.සූසැට ශිල්පය උගෙන තක්සලාවේ හොදම ශිෂ්‍යයා ලෙස අධ්‍යාපනය නිමා කළ පිංගුත්තරට රැකියාව ලෙස ලැබෙන්නේ මහපාර සුද්ද කිරීමය.මෙය ඔහු ගේ උගත්කම හා කිසිසේත් ම නොගැලපෙන්නක් බව පැහැදිලිය.එසේ වූයේ ඇයි?

භාරත සමාජය කුල සතරකට බෙදී පැවතින.ඒ බ්‍රාහ්මණ,ක්ශත්‍රීය,වෛශ්‍ය හා ක්ශුද්‍ර වශයෙනි.පුද්ගලයකු ගේ ජීවන වෘත්තිය තීරණය වූයේ ඔහු උපතින් ම අයත් වන කුලය අනුවය.සමාජයේ ඉහලම කුලය වූ බ්‍රාහ්මන කුලයට අයත් වූවෝ රාජඋපදේශකයන් හෝ ආගමික පූජකවරයන් ලෙස ඉහලම ජීවන තත්වයක් ලදහ.මීලඟට සිටි ක්ශත්‍රීයන් නම් රට පාලනය කළ රජවරුන් හා වෙනත් පාලක පැලැන්තියට අයත් වූවන් සහ වෙළඳාමෙන් ධනය රැස් කළ සිටුවරුන්ය.වෛශ්‍යන් යනු කෘශිකර්මය බඳු වෘත්තීන් හි නියැලෙමින් ජීවිකාව සරි කළ සාමාන්‍ය ජනතාවය.පහත් ම කුලය හෙවත් ක්ශුද්‍රයන් නම් කසලශෝධනය බඳු රැකියාවල නියැලෙමින් සිටි කුල හීන ජනතාවය.

අද මෙන් එදවස ද මත රජයේ රැකියා ලැබුණේ සුදුසුකම් වලට නොවන බවට උම්මග්ග ජාතකය කදිම නිදසුන් සපයයි.වේදේහ රජතුමා ගේ උපදේශකයන් සිව් දෙනා වන සේනක,පුක්කුස්ස,කාවින්ද හා දේවින්ද යනපඬිවරු ඔවුන් දැරූ උපදේශක තනතුරු සඳහා අවම සුදුසුකම් පවා සපුරා නොතිබුණු බැව් එම කෘතියේ එන සිද්ධි වලින් ගම්‍ය වේ .ප්‍රඥාසම්පන්නභාවය පිළිබදව පතල කීර්තියක් තිබූ නමුත් ගොවි පවුලක සාමාජිකයෙක් වූ මහෞෂධ පඬිතුමා ද රාජසේවයට එක්වීමට එරෙහිව ඒ පඬිවරු සිව් දෙනා ක්‍රියා කළ අයුරු උම්මග්ග ජාතකයේ විස්තර කෙරේ.(රජතුමා ගේ පැහැදීම මත රජවාසල සේවයට පැමිණි පසුද ඔවුන් සෑම විටෙකම මහෞෂධ පඬිතුමා අමතන්නේ “ගොවියා පුතු“යන අවඥා සහගත යෙදුමිනි).

මෙවන් පරිසරයක් තුල පිංගුත්තර තරුණයාට තම උගත්කමට සරිලන රැකියාවක් සොයාගත නොහැකිවීම විස්මයක් නොවේ.ඔහු ගේ දෙමාපියන් වෙහෙසවී උපයාගත් ධනයෙන් ඔහු ට තක්සලාවේ අධ්‍යාපනය ලබාදුන්නා විය හැක.හොදම ශිෂ්‍යා ලෙස අධ්‍යාපනය නිමා කළ ද (බ්‍රාහ්මණ කුලයක නූපන් බැවින්)ඔහුට දෙමාපියන් ගේ පැතුම් ඉටු කිරීමට සුදුසු රැකියාවක් නොලැබෙන බැව් ඔහු දැන සිටියේද?ඒ අතර විවාහ දිවියට ඇතුලු වී බිරිඳකට යුතුකම් ඉටුකිරීමට ද සිදුවීම ඔහුට තවත් මරාලයක් වීද?ලැබුණ පලමු අවස්ථාවෙන් ම ඔහු උදුම්බරාගෙන් ගැලවුණේ එනිසාද ?පාර සුද්ධ කිරීම බඳු රැකියාවකින් ජීවිතය රැකගැනීමට ඔහුට සිදු වුණේ එදා සමාජය ද අද මෙන්ම විරැකියාවෙන් හා ඌණ සේවා නියුක්තියෙන් පීඩා විඳි නිසාද?

[නිවාඩු දින බ්ලොග් කරුවෙකු බවට පත්ව සිටින බැවින්,මෙයට නිමිත්ත සැපයූ කතන්දර ගේ පෝස්ටුවට කියවීමට ලැබුණේ තවත් අලුත් පෝස්ට් දෙකක් ම කතන්දර බ්ලොගයේ පලවූ පසුවය.එනිසා එකී ලිපියට ප්‍රතිචාරයක් ලෙස ගැලපූ ඉහත ලේඛණය (පසුව දිනක ආ සුභපැතුමක් වීම වැලැක්වීම සදහා)වෙනම පෝස්ටුවක් ලෙස  මෙහි පල කරන්නට සිදුවිය. ]

මේඝය සිංහල බ්ලොග් ප්‍රහේලිකා ~ අංක7 (නිවැරදි විසඳුම) – Crossword puzzle on Sinhala blog ~NO:7(The answer)

සුගිය සැප්තැම්බර් මස 13 වන දින ඉදිරිපත් කරන ලද මේඝය සිංහල බ්ලොග් ප්‍රහේලිකා අංක07 හි නිවැරදි විසඳුම මෙසේය.

Puzzle07 - ANS

මේඝය ඔස්සේ මෙතෙක් පලවූ අනෙක් හරස්පද ප්‍රහේලිකා වලට පහත ලින්ක් ඔස්සේ යොමුවිය හැක. 

1 , 23456

Follow

Get every new post delivered to your Inbox.

Join 32 other followers