Category Archives: Uncategorized

පූසා ගේ ගෙල බැඳි මිණි ගෙඩිය – Bell on cat’s neck

Bell to catලෝකය බිහිවුන දා සිටම මීයා ගේ පරම ප්‍රතිවාදියා වූයේ බළලා හෙවත් පූසාය.ඒ මීයා යනු පූසා ගේ රසවත්    ෝජනය වූ බැවිණි(කුප්පමේනිය සලාදයටවත් දෙවෙනි නොවන!).මීයෙක් දුටු වහාම ලුහුබැඳ ගොස් ඌ දඩයම් කිරීම සූසා ගේ සිරිතයි.එක පහරින් ඝාතනය කරනවා නම් ඒත් කමක් නැත.පූසා මීයෙක් අල්ලාගත්විට ඌ සෙල්ලමට ගනී.තම තියුණු නිය වලින් පහරදී මීයා අඩපන කරන පූසා මීයාට දිවයාමට ඉඩදේ.යලි පසුපස එලවා ගොස් අල්වාගනී.අතින් අල්වා උඩ දමයි.බිම වැටුණ විට අහක බලා ගෙන සිටී.සූසා තමා ගැන අවධානයක් නැතැයි සිතන මීයා බැරි මරගාතේ නැවත දිවයන්නට උත්සාහා කරයි.සූසා නැවත එලවා ගොස් මීයා ව අල්වාගනී.මෙලෙස පැය ගණනක් පූසාට ක්‍රීඩා භාණ්ඩයක් වන මීයා මිය ගිය පසු සමහර විට පූසා විසින් අතහරිනු ලබයි.(කනවා නම් ඒත් කමක් නැත)

පූසා,ලොව බලවත් ම සත්‍යවයා වන මිනිසා ගේ (වඩාත් ම නිවැරදිව කිව හොත් ගැහැණිය ගේ)හොඳම මිතුරක් වීම නිසා මීයා පත්වූයේ වඩාත් අභාග්‍ය සම්පන්න ඉරණමකටය.විශේෂයෙන් ම කුස්සියේ ඇති උම්බලකඩ කෑල්ල,පොල් බෑය,චීස් පෙත්ත ආදී ආහාර මීයා ගේ රජ බොජුන් වීම නිසාත්,ඒවා උන්හිටි ගමන් අතුරුදන් වීමට එකම හේතුව මීයා බව ගෘහණිය දැනගැනීමත් නිසා ඇය මීයා සමඟ ඇතිකරගත් විරකසයත් මීයා ගේ අවාසනාවන්ත ඉරමණක තව තවත් තීව්ර කළේය.

පූස් තර්ජනයෙන් ගැලවීමට මීයන් සංවිධානගතවූයේ අද ඊයෙක නොවේ.ක්‍රි.ව.1—- දී රහසිගත ස්ථානයක දී රැස්වූ මූසික මහ සභාවේ කෘත්යාධීකාරී මණ්ඩලය පූස් තර්ජනයෙන් ගැලවීමේ උපාය සෙවීම උදෙසා කමිටුවක් පත් කරන ලදී.සෑම ක්ෂේත්‍රයක ම මී ප්‍රවීනයන් නියෝජනය වන පරිදි පත්කළ මී කමිටුව ඉදිරියේ සකල මී ප්‍රජාව ම බාහේ සාක්ශි දුන් අතර ජාතික මී පුරවැසියෝ අතර කමිටුව පිලිබද මහත් පැහැදීමක් ද බලාපොරොත්තුවක් ද දැල්වී තිබිණි.වසරක පමණ කාලයක ඈවෑමෙන් කමිටුව මූලික සාක්ශි විභාගය අවසන් කොට තම වාර්තාව කෘත්යාධීකාරී මණ්ඩලය හමුවට ඉදිරිපත් කරන ලදී.

කමිටු වාර්තාවේ සාරාංශය මෙසේය.

1.මීයන් පූසා ගේ අකාරුණික ග්‍රහණයට ලක්වන්නේ පූසා නිහඬව සිට මීයන් වෙත කඩාපනින බැවිණි.(පූස් ග්‍රහණයට ලක්ව ජීවිතක්ෂයට පත් වූ මීයන් පිලිබඳ සිද්ධි තුන්හසකට වඩා වැඩි ගනණක ඇසින් දුටු සාක්ශි කමිටුව ඉදිරියේ ඉදිරිපත් වූ අතර ඒ පිලබඳව කළ සියුම් විස්ලේශනයන් ද ඇතුලත් සවිස්තර වාර්තාව වෙනම ම අමුණා තිබිණි) 

2.පූසා යන එන තැන් කල්තියා දැනගත හැකි නම් මීයන්ට පහසුවෙන් පූසාගෙන් ගැලවිය හැක.(ප්‍රිවෙන්ශන් ඊස් බෙටර් දෑන් කියෝ!-මේ මී බුද්ධිමතුන් විශාල පිරිසක ගේ ඒකමතික අදහසකි)

3.ඒ නිසා පූසා යන එන විට හැඬවෙන පරිදි උගේ කරේ මිණි ගෙඩියක් බැඳීමට කමිටුව නිර්දේශ කරයි.

යෝජනාව මූසික කෘත්යාධී කාරී මණ්ඩලය තුල ඒකච්චන්දයෙන් සම්මත වූ අතර,මූසික මහ සභා රැස්වීමේ දී සකල මී ප්‍රජාව ම මේ යෝජනාව සම්මත කළේ මී ලොක්කා ගේ විමසීමට අනුව තම ආසන වලින් නැගී සිට එකගතාව පලකිරීමෙනි. 

ඉතින් එදා සිට මී ප්‍රජාවට සාමය උදාවූයේ යයි ඔබ සිතනවාද.කොහත් ම නැත.මේ අති විශිෂ්ඨ යෝජනාව ක්‍රියාත්මක කිරීමට තරම් කිසිදු එඩිතර මීයෙක් ඉදිරිපත් නොවීම නිසා පූසා ගේ ගෙල බැඳීමට සැකසූ මිණිගෙඩිය තමන් ගේ පාඩුවේ පැත්තකට වී සුරක්ෂිතව තිබූ අතර,මේ කිසිවක් නොදත් පූසා සුපුරුදු පරිදි තම දඩයම කරගෙන සතුටින් දිවි ගෙවීය.

ඒ අසාර්ථක උත්සාහයෙන් පසු නැවත එවන් උත්සාහයක් දරණ ලද්දේ 1960 ගනන් වලදීය.ඒ මහනුවර චන්ද්‍ර අනගිරත්න මහතා ගේ නිවෙසේ රැස් වූ මහනුවර “කුස්සියේ මී සම්මේලන“හරහාය.නිහඩව මී සම්මේලනයට අනුග්‍රාහකත්වය ලබාදෙමින් සිටි අනගිරත්න මහතා ගේ සරම ප්‍රාණ ඇපයට ගෙන ඒ මහතා ලවා ම මර නින්දේ සිටි පූසා ව මහවැලි නදියට දැමීමට රැඩිකල් මීයන් සමත් විය.මේ පිලිබඳව සවිස්තර වාර්තාවක් අනගිරත්න මහතා විසින් ම ලිය ලද “නවීන ගජබින්නාලංකාරය“ කෘතියේ දැක්වේ.

කෙසේ වුවද පිහිනීමේ මනා දක්ශයෙකු වූ බලල් තඩියා මහවැලි ගඟින් ද ගොඩවී ජීවිතය රැකගත් බව පසුව වාර්තා විය.මද නිහැඩියාවකින් පසු පූසා නැවතත් මීයාට එරෙහිව ක්‍රියාත්මක විය.

පූසාගෙන් ගැලවීමේ අලුත් ම උත්සාහය වාර්තාවන්නේ මීට වසර කීපයකට පෙරය.ඒ රූපවාහිනී වෙළඳ ප්‍රචාරක දැන්වීමක් හරහාය.පූසා සමඟ ඇති සියලු එදිරිවාදීකම් අතහරින මීයන් ඌ සමඟ සමඟි සන්ධානයකට එලැබේ.පූසාට නත්තල් තෑගි ලබාදීමට මී ගැටවුන් තිදෙනෙක් මේ දවස් වල කැමතිම ගීතය වන “වී විශ් යූ අ මෙරි ක්‍රිස්මස්“ගීතය ගයමින් පූසා වෙත යයි.අනාදිමත් කලෙක සිට පැවති විරසකය නිමවමින් පූසා ත්‍යාගය භාරගන්නේ කඳුලි පිරි දෙනෙතෙනි.තෑගි පාර්සලය තුල ඇති මිණිගෙඩිය සහිත මාලය ඌ තම දෑතින් ම ගෙන ගෙල පැලදගනී.

ප.ලි. මේ සටහන ලියුවේ නිර්මාණශීලී වෙළඳ දැන්වීමක් ගැන වුව ද සමහර විට අප ද මිතුරු වෙසින් එන සතුරන් ගෙන එන විනාශයන් දෑතින් ම ගෙන ගෙල පලඳ ගන්නේ යයි මට සිතේ.

ඉබ්බා (2කොටස)

බඩගිණි වූ නරියෙක් දිනක් පණ පිටින් ඉබ්බෙක් අල්ලාගත්තේය.තම ඉරණම නරියා අතින් විසඳීමට යන බව දුටු ඌ නරියා රැවටීමට උපායක් යෙදීය. ඌ “යාලුවේ ඔහේට මාව දැන්ම ම කන්න බෑ.මේ අව්වේ සැරට මගේ ඇඟ හොදටම වේලිලා.බොරුනම් බලන්න අල්ලලා” යනුවෙන් කීවේ ලු. ඉබ්බා ගේ පිට අතගා බැලූ නරියාට අසු වුනේ උගේ සවිමත් පිටකටුවයි. “මූ කියන්නේ ඇත්ත ඒත් අල්ල ගත්තු ගොදුර අතහරින්නත් බෑනේ” යනුවෙන් නරියා කල්පනාවට වැටිණි.

මෙවිට නරියාට පිහිටට ආවේ ඉබ්බා මය.

” මං කියන්නං උපායක්.ඔයා මාව අර පේන ගඟට දාල පොඟවල ගන්න.ටික වේලාවක් මගේ පිට උඩින් කලුල තියාගෙන මාව වතුරේ ඔබාගෙන හිටියම මාව පෙගිප මෙලෙක් වෙනව.ඊට පස්සේ කිසි කරදරයක් නැතිව කන්න පුලුවන්”

. ඉබ්බා ගේ උපදෙස් පිලිගත් නරියා ඉබ්බා ගේ පිටකටුව පයින් පාගාගෙන ඌව ගඟට ඔබාගෙන සිටියේය.

“දැන් පෙඟිල ඇත් ද ඉබිරා‍ළේ”

පැයකට පමණ පසු නරියා ඇසීය.

“අනේ නරිරාළේ දැන් නම් මුලු ඇඟම වගේ හොදටම පෙඟිල.හැබැයි ඔයා කකුලෙන් පාගගෙන ඉන්න හරිය තමයි තාම පෙඟිල මදි.පොඩ්ඩක් කකුල බුරුල් කරන්න”

. නරියා කකුල බුරුල් කළ අවසරයෙන් ඉබ්බා ජලය තුලට කිමිදී ගොස් ජීවිතය බේරා ගත්තේලු.

එම සිද්ධියෙන් පසුව, ඉබ්බා දියට දානකොට ඇන්නෑවේ කිව්වලු යන පිරුල සිංහල ජනවහරට එක්විය. එය කපටි නරියා ද උගත් පාඩමකි. ඩීසල් මිල වැඩිවූ පසු සහනාධාරයක් වෙනුවට බස්ගාස්තු වැඩි කිරීමට රජය ඉඩ දුන් විට පුද්ගලික බස් රථ හිමියයෝ ද හැසිරුනේ ඉබ්බා දියේ දාන විට ඇන්නෑවේ(=ඔන්න ඔහේ ඕනි එකක්) කී ඉබ්බා මෙනි.

කාලයක් තිස්සේ අප රටේ ආර්ථිකය ඉබිගමනේ යන බව කියති.(සමහරු කියන්නේ කක්කුටු ගමනේ යනබවයි).සුද්දා ඉදිකළ උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටියේ සිට ඉහලට තවමත් අප යන්නේ සුද්දා ගියාට ද වඩා අඩු ඉබි ගමනකිනි.

ඉබිමස් කෑවාම අපේ සම ශක්තිමත් වන්නේ යයි කියනු ලැබේ.නික්ශේපන කටු පවා කැඩේලු.ඉබි මස් කෑම නීතියෙන් තහනම් ය.මාතලන් නම් කියන්නේ ඒ එක්තරා දූපතක වසන ගල් ඉබ්බන්ගේ ජීවිතාරක්ෂාවට ගත් පියවරක් ලු.

සමහර සත්ව හිංසකයින් ඉබ්බෙක් දුටුවිට දැල්වූ ඉටිපන්දමක් උගේ කටුවේ සවිකරන්නේ හුදු විනෝදයට ලූ.ඉටිපන්දම එසේම තිබිය දී ඉබ්බා ඉබිගමනින් යන්නේලු.ඉටිපන්දම දැල්වි අවසාන මොහොතේ ඒ අසරණ සතාට දැනෙන වේදනාව යන්තම් හෝ ගින්දරට නිරාවරනය වී ඇති මිනිසෙක්ට තේරිය යුතුය.

ඉබ්බන්නේ පුච්චන්නේ අනෙක් පිට නම් හොර උපාසක කතාවස්තුව සිත්මණ්ඩිය විසින් මතක් කර දී තිබිණි.

ඉබ්බා වැනිම පෙනුමක් ඇති මුහුදේ වසන කැස්බෑවා ගැන පෙර ලිපියේ ද සදහන් කළෙමි.මිනිසත් බව ලැබීම කන කැස්බෑවා විය සිදුරෙන් සඳ දකින්නාක් මෙන් දුලබ සිද්ධියක් යයි බුදුදහමේ කියැවේ. එලෙස සඳ බැලූ දිනක් අමාවක දිනයක් වීම නිසා අපේක්ෂා භංගත්වයටපත් වූ වෙකු ගැන ප්‍රවීන සංගීතවේදී වික්ටර් රත්නායකයන් ගීයක් ගයා ඇත.

“කන කැසබෑ නෙත බලා ඉන්නවා

අහස දකින්නට විය සිදුරෙන්

පෙරුම් පුරාගෙන අහස බැලූ දා

සඳ නැත අහසේ අමාවකයි”

කිකිළිය පැයගානක් කෙකරගගා ඉද එක බිත්තරයක් දමන නමුත්, කැස්බෑවී නිහඬව වෙරළට විත් බිත්තර 1500 ක් පමණ දමන්නේ යයි කියනු ලැබේ.නමුත් අසීරු ම කාරනය මේ බිත්තර රැකගැනීමයි.මෙයින් බිත්තර පුපුරා කැස්බෑ පැටවුන් කීපදෙනෙක් පමණක් මුහුදට යාමට වාසනාවන්ත වනබව කියනු ලැබේ.වෙරළේ මේ බිත්තර රැකීමට අභිජනන මධ්යඩස්ථාන පිහිටුවා ඇත්තේ එබැවිණි.වඳවීමේ තර්ජනයට ලක්ව ඇති කැස්බෑවා ලක්මවගේ වටිනා ජෛව සම්පතකි.

කැස්බෑවාගේ පිට කටුව විවිධ නිර්මාණ සඳහා යොදාගැනේ.ඉංග්‍රීසි අකුරේ හැඩයට ඇති කැස්බෑ ලෙලි පනාව පාවිච්චි කරනුයේ කොණ්ඩය පීරීමට නම් නොවේ.තම නිළය බලය අන් අයට පෙන්වීමටය.(මා මේ කියන්නේ සුදු අධිරාජ්‍යවාදී යුගයේ සිටි ස්වදේශික මුලාදෑනීන් ගැනය).කොටින් ම මුවන් පැලැස්සේ කොරලේ මහත්තයා ද මෙය පැළදියේ ලු.අපේ රටේ සිටි එක්තරා නායකයෙක් නැමි පනාවක් හිසට ගැසී තම පියා ගේ පිළිරුවක් ඉදිකළේලු.(නමුත් සත්‍ය වශයෙන් ම ඔහුගේ පියා එවන් ප්‍රභූවරයෙකු නොවුණේ ලු).

 පිළියන්දල කැස්බෑව නම් කැසබෑවන් වසන පෙදෙසක් වීමට බැරිය.එය මුහුදුබඩ ප්‍රදේශයක් නොවේ.

ඉබ්බා

ඉබ්බා ගැන ලියන්න සිත් වූයේ මාතලන් මීයා ගැන ලියූ පසුවය.ඔහුට ප්‍රණාමය

ඉබ්බා උපතින් ම නිවසක් හිමි සතුන් අතලොස්ස අතරින් එකෙකි.එනිසා ඌ ගම්උදාව, ජනඋදාන, නිවාස දශ ලක්ශය, පසලොස් ලක්ශය ආදියෙන්  නිදහස්ය.(කෙසේ වෙතත් සමහර නිවාස වැඩසටහන් නම් තවමත් ඉබි ගමනේය).ඉබ්බාට ම වෙන්වූ ගම ඉබ්බාගමුවයි.මෝදර ඉබ්බගෙ වත්ත ඌටම හිමි වත්තකි.දඹුල්ලේ අන්තර්ජාතික ක්‍රිකට් ගැසූ කාලයේ ලෝකයම රූප පෙට්ටියෙන් දුටු ඉබ්බන්කටුව වැව තවමත් ඉබ්බාගේ ජල අවශ්‍යතා පිරිමහයි.

මේ සියල්ලටම වඩා බොහෝ දෙනා දන්නේ, ඉබ්බන් කලක් ඉබ්බන්වල හන්දියේ ජීවත් වූ බවයි.නියං සමයක මේ වලේ ජීවත් වූ ඉබ්බෙක් වෙනත් විලක් සොයා කොක්කු දෙදෙනෙකු ගේ සහ රිටක ආධාරයෙන් ගුවනින් ගොස් සිදුකරගත් විනාශය පුංචි ළමෝ පවා දනිති.මේ කතාවේ අලුත් අලුත් සංස්කරණයන් ද පසුව නිකුත් විය.ඒ අනුව කලින් වතාවේ මිය ගිය ඉබ්බාගේ මළයා ද අයියා ගිය පරිදිම ගුවනින් ගිය අතර කට නිසා අයියාට වූ විපත දන්නා ඌ දැඩි අධිශ්ඨානයකින් කට වසාගෙන සිටියේලූ. නමුත් මෙවර “මූ නම් පුදුම ඉබ්බෙක්” යයි කීමට කොකෙක් මුව විවර කළ නිසා පද්ධතියේ සමබරතාව ගිලිහීයාමෙන් ඇදවැටී ඌට ද ජීවිතය අහිමි වූයේ ලු.

ධාවන ශූර “හිච්චි පිච්චි හාවා” සමග තරගයට දිවූ ඉබ්බා ද පෙරපාසල් වියේ සිට අපි හඳුනමු.නමුත් ඌ ලබා දුන් “සතුරා අවතක්සේරු නොකරනු” යන ආදර්ශය පිළිපදිනවා ද යන්න සැකය.

හෙමින් ගමන් ඇතිමුත් ඉබ්බා දිගුකල් ජීවත් වන සත්වයෙකි.අවුරුදු 250 ක් වුවද ජීවත්වන ඉබ්බන් සිටින බැව් කියනු ලැබේ.(හෙමින් යන විට ගොඩක් දුර යා හැක-“ඉක්මන් කොටයි” කියා ද කියති).

අනතුරක් ඉව වැටුණ විට ඉබ්බා කටුව තුලට රිංගා ආත්මාරක්ෂාව සලසා ගනී.මේ පිලිවෙත අනුකරණය කරන්නෝ අප අතරද සිටිති.සමහරවිට ඒ ණය හිමියන් දුටු විට කරුවන් වියහැක.නමුත් බොහෝ විට මෙය සිදුවන්නේ පුද්ගලික බස්රථ තුලදී කොන්දොස්තරගෙන් ගැලවීමටය.මෙය විස්තර කිරීමට “ඉබ්බා ගැසීම” යන පාරිභාෂික වචනය භාවිතා කෙරේ.ඉබ්බා ගොඩ බිම පමණක් ජීවත් වුව ද ඉබ්බා වැනිම බාහිර පෙනුමකු ඇති කැස්බෑවා දිය ගොඩ දෙකේම ජීවත් වේ.ඒ අර්ථයෙන් කැස්බෑවා ඉබ්බාට වඩා ගොඩක් දියුණු සතෙකි.පුද්ගලික බස්වල ද මෙවන් කැස්බෑවන් හමුවේ.ඒ බස් ගාස්තු නොගෙවා ගෙවු පරිදි ඉතිරි මුදල් ලබාගන්නා අයයි.මේ ගැන ඇන්ටිසියඔලා කතාවක් චාර්මි ගේ පැති දොරටුවේ දී සිතිවිලි මණ්ඩිය කියා තිබිණි. විශේෂයෙන් මගීන් බහුල නාගරික සේවා පුද්ගලික බස්වලදී මෙලෙස කොන්දොස්තරගේ කනින් රිංගායාම පහසුය.(ටිකෙට් නොදෙන නිසා වඩාත් පහසුය). අවම බස්ගාස්තුව රු 9 ද වී ඇති අද බස්රථ වල ඉබ්බන් බහුල වී ඇතුවාට සැක නැත.

ඩීසල් මිල වැඩිවූ විට ඉන්ධන සහනාධාරයක් වෙනුවට බස්ගාස්තු වැඩි කිරීමට අවරස දුන්විට පුද්ගලික බස් හිමියන්ගේ සංගමය හැසිරැනේ “ඉබ්බා දියට දාන විට ඇන්නෑවේ” කී ඉබ්බා මෙනි.නමුත් බස් කොන්දොස්තරගෙන් ඉතුරු සල්ලි ලබාගැනීම ඉබ්බාගෙන් පිහාටු ඉල්ලා ගන්නවාටත් වඩා අමාරුය.වඩාත් ම දුක මේ සම්බන්ධව අදාල බලධාරීන් ගේ කටට ඉබ්බන් වැටී තිබීමය.

“ආර” යන්නෙහි තේරුම ක්‍රමය හෝ පුරුද්ද යන්නයි.(ආරෙට යනවා, පිහිනීමේදී සමණල ආර – ලයආර ආදී වශයෙනි).එසේ නම් “කිරිඉබ්බන් ආර” යනු කිරි ඉබ්බන්ගේ ක්‍රමවේදයයි.කිරි ඉබ්බා යනු ශරීර ප්‍රමාණයෙන් කුඩා ඉබි විශේෂයකි.

මහනුවර ශ්‍රී දළදා මාළිඟාව වැඳ පුදාගැනීමට වරක් විදේශීය ප්‍රභූ පිරිසක් පැමිණියේ ලු.මාළිගය ඉදිරිපිට දිය අගලේ සිටි ඉබ්බන් දුටු ඔවුන් ඒ කුමක් දැයි ඇසුවේලු.මෙහි දී පිළිතුරු දුන් අපේ ප්‍රභුවරයෙක්  “That is padlock” කියා කීවේලු.

වරක් දේශ සංචාරය අතරතුර දී ඉබ්බෙකු දුටු රජතුමා පසුදා රාජ සභාවේ දී මෙසේ ඇසුවේ ලු.

“දාර කෙයි එක නම මුල්කර    තැනුවා

පාර තිහක් ගැසුවට බියකුත්    නැතිවා

කණු හතරයි මුලු හතරයි ගෙට ඇතුවා

තෝරාපන් ඊයේ මගදී               දුටුවා”

රජතුමාට පොඩි හින්ට් පාරක් ද ගසමින් අන්දරේ මෙය විසදුවේ මෙසේ ලු.

“දාරදෙකක් එක මැද එක        ගැවසීය

පාර කිහක් ගැසුවක් බියකුත්    නැතිය

වටපිට යන කලට කනු හතරෙන් යාය

මට හිතෙනා ලෙසට මහරජ    ඉබ්බාය”

ඒ රජතුමා ඉහත කාර්ටූනයේ ඉන්නා ඉබ්බා බඳු ඉබ්බෙක් ද?

සදාකාලික කතා පුවතක්

පහත පලවන්නේ ලේඛකයා කලකට ඉහත ඇසූ සර්වකාලීන වටිණාකමක් ඇති කතා පුවතකි.මෙහි මූලාශ්‍රය නිවැරදිව නොදන්නා බැවින් එය සදහන් කළ නොහැකි වීම පිළිඹදව පාඨකයෝ කමත්වා.(දන්නා කෙනෙක් මෙහි සටහන් කරන්න)

ඈත අතීතයේ එක්තරා රාජ්‍යයක් දරුණු රාක්ෂයකුගේ කෘර ග්‍රහණයට නතුව තිබුණේය. රටේ තැන් තැන් වල තරුණයන් හිටි ගමන් රාත්‍රියේ දී අතුරුදන් වන්නට විය.පසුදින හමු වූයේ බිහිසුණු ලෙස විනාශකරන ලද මළ සිරුරයි.ගම්වැදුණු රකුසා ගොවිබිම් සාහසික ලෙස විනාශ කළේය.එමෙන්ම ගොවීන් වෙහෙස මහන්සියෙන් වගාකළ කුඹුරේ අස්වැන්න සොරකම් කරන බවක් ද දක්නට ලැබිණි.ගවගාල් වල ගව මහීෂා දී සතුන් ද දින දින අතුරුදන් වීමට විය.වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම එය අවිචාර සමයක් විය.

මේ කුරිරු ඝාතකයා කිසිවෙකු විසින් හරිහැටි දැක නොතිබුණ මුත් උගේ වාසබවණ හෙවත් තිප්පල මහ ඝන වනන්තරයේ වූ එක්තරා ගල් ගුහාවෙක් බව ගැමියෝ විශ්වාස කළහ.නමුත් එපෙදෙසට යැමට තබා කිට්ටු වීමටවත් කිසිවෙකු එඩිතර නොවූයේ රකුසා ඇස ගැටුණ හොත් එකෙනෙහිම තම ඉරණම තීන්දු වන බව හොදින්ම දැන සිටිනිසාවෙනි.

නමුත් රකුසාගෙන් වන පීඩනය ඉවසිය නොහැකිම තැන කඩුශිල්ප, දුනුශිල්ප, මල්ලව පොර ආදියෙහි කෙල පැමිණි එක් වීර තරුණයෙක් රකුසාට එරෙහිව සටනට ඉදිරිපත් විය.රටේ සෑම කොනකම විසිරී සිටින සකල විධ ජනතාවගේ ආශීර්වාදය මෙම වීර තරුණයාට හිමිවිය.දෙමාපිය වැඩිහිටි දෙපා නමැද අවසර ගෙන ඔහු සටන පිණිස රකුසා ගේ අඩවිය බලා නික්මිණ.

කාළය දින සති මාස ගණන් ගෙවී ගියේය වීර තරුණයා ආපසු ආවේ නම් නැත.රකුසාගෙන් වන උපද්‍රව වල අඩුවක් වූයේ ද නැත.තරුණයා සටන පැරදී ඇත.කුරිරු රකුසා ජය ලබා ඇත.ජනතාව සුසුම් හෙලමින් තමන් වෙනුවෙන් ජීවිතය දන්දුන් වීර තරුණයාට පින් පෙත් අනුමෝදන් කරමින් පුරුදු පරිදිම භීෂණයට මුහුණ දෙමින් කාළය ගත කළහ.

කාළය ගතවී ගියේය.වසර විස්සක් පමණ.තම මව්පියන් ද ආච්චි-සීයා ලා ද මුහුණ දුන් රකුසු භීතිකාවට විසදුම් සෙවීමට තවත් තරුණයෙක් ඉදිරිපත් විය.නමුත් අවාසනාවක මහත ඔහු ද විසි වසරකට පෙර තම ඥාතියා මුහුණ දුන් ඉරණමටම මුහුණ දුන්නේය.මෙලෙස කලින් කලට උපදින ජනතා වීරයන් රකුසා හා සටනට යන මුත් රකුසා පැරදවීමට නම් කිසිවෙකු හෝ සමත් වූයේ නම් නැත.ජනතාව මුහුණ දුන් කම් කටොලු ල අඩුවක් ද වූයේ නැත.

අද ද ඒ සමාජය ශත වර්ෂ ගනණාවකට පෙර දී මෙන්ම රකුසු බියෙන් සැලෙමින් කිසිවකු හෝ කමන් මේ උවදුරෙන් ගලවා ගනු ඇතැයි යන අපේක්ෂාවෙන් දිවි ගෙවයි.එය කෙතරම් ඛේදවාචකයක් ද?

සටහන

මතුපිටින් පෙනෙන කතාව මෙය වුව ද මෙහි සත්‍ය කතාව මීට වඩා තරමක් වෙනස්ය.එදා මෙන්ම අද ද වීර තරුණයා සැබවින්ම රකුසා පරදවා සටන ජය ගනී.එතැන් සිට ඊළඟ වීරයා එනතුරු රකුසාට පණ දෙමින් ජනතාව පෙලන්නේ ඔහුයි.

සාජහන්, කාශ්‍යප හා (නොනිමි) තවත් කතාවක්

පහත ඉතා සැකෙවින් දක්වා ඇත්තේ කතන්දර 3කි.මින් එකකවත් සත්‍ය අසත්‍යතාව පිලිබදව මේඝය වගකියනු  නොලැබේ.

අංක 1.

භාරතයේ සාජහන් නම් රජෙක් රාජ්‍ය විචාලහ.ඔහුගේ දේවිය මුන්ටාස් මහල් නම් වූවාය.රජු තම දේවියට පණ මෙන් ආදරය කළේය.නමුත් ස්වාභාවධර්මයේ නියමයන්ට අනුව දිනක ඇය මෙලොව හැර ගියාය.ප්‍රිය වියෝගයෙන් පීඩිත සාජහන් තම සොව තුනීකරගැනීමට මගක් සෙවීය.ටජ්මහල් නම් ලොව සුපතල ආදරයේ සිහිවටනය බිහිවූයේ එහි ප්‍රතිඵලයක් ලෙසය.තනිකර කිරිගරුඩ පමණක් යොදා කරණ ලද මෙම සුවිසල් නිමැවුම පසු කලෙක ලෝක පුදුම 7ට ද එක් වීමෙන් එහි ඇති විශිෂ්ඨත්වය පැහැදිලිවේ.මෙවන් නිමැවුමක් කළ නිමැවුම් ශිල්පියා විශ්වකර්මයෙක් ම වියයුතුය.ඔහුට තම රජුගෙන් කොපමණ තුටු පඩුරු,කීර්ති ප්‍රශංසා හිමිවියයුතුද?නමුත් අවාසනාවට තවත් මෙවන් නිමැවුමක් ඔහු අතින් නිමවේ යයි බිය වූ රජු ඔහු අන්ධ කළේ ලු.

අංක 2.

කාශ්‍යප නම් රජෙක් මෙරට වාසය කළේය.යම් අවාසනාවකට පීතෘ ඝාතකයෙක් වූ ඔහු තම බාල සොයුරු තමා පසුපස එතැයි බියෙන් රටේ අගනගරය වූ අනුරපුරයෙන් පිට බලකොටුවක් තනවා වාසය කලේය.සීගිරිය නම් මෙම බලකොටුව ද අසමසම නිර්මාණයකි.ස්වාභාවික ශේෂ කන්දක් වූ සීගිරි කන්ද  තුල බලකොටුවක් ඉදිකර,රජමාළීගයක් ද කරවා,ජලය සම්පාදනය කර විශීෂ්ඨ කළාගාරයක් ද ඒ තුල කරවූ නිර්මාණ ශිල්පියා කවර නම් දක්ශයෙක් ද?ඔහුට තම රජුගෙන් කොපමණ තුටු පඩුරු,කීර්ති ප්‍රශංසා හිමිවියයුතුද?නමුත් අවාසනාවට තවත් මෙවන් නිමැවුමක් ඔහු අතින් නිමවේ යයි බිය වූ රජු ඔහු දෑත් කපාදැමුවේලු.

අංක 3.

එක්තරා රටක රජෙක් විසීය.ඔහුට බරපතල අන්දමේ පරසතුරු උවදුරකට මුහුණදීමට සිදුව තිබිණි.ඔහු සහ ඔහුගේ යටත් වැසියන් දිගුකාළයක් තිස්සේ මිලේච්ච ආක්‍රමණිකයකුට එරෙහිව නොනිමි සටනක නිරතවෙමින් දැඩි පීඩනයකින් සිටියහ.නමුත් මෙම මිලේච්ච ආක්‍රමණිකයා මුලුමනින් ම පරාජය කීරමේ දැඩි අධිෂ්ඨානයක් රජුට තිබිණි.ඔහුට රණකාමී සෙන්පතියෙක් ද ලැබිණ.සියල්ලෝම එකාවන්ව පොදු සතුරාට එරෙහිව යුධවැදිණි.අවසන් තීරණාත්මක සටන ඇරබිණ.සෙන්පතියා රණ බිම පුරා අණසක පතුරුවමින් පිලිමල් බලකොටු එකින් එක බිදහෙලමින් ජයග්‍රාහීව ඉදිරියට ගියේය.රජු යුධ බිම ද ඉන් පිටත ද සෙන්පතිට යුද්ධයට වුවමණා දේ සපයමින් සංග්‍රාම විජයග්‍රහණයට පාරකැපීය.සැවොම නෙත් අයා බලාසිටි ජයග්‍රාහී මොහොත උදාවිය.ජන පීඩක ආක්‍රමණිකයාගේ ඔද තෙද සිදිමින් ඔහු රණබිම දීම ඝාතනය කර ජයග්‍රාහීව යුද්ධය නිමා කිරීමට සෙන්පති සමත්විය.

රජුගේ මෙන්ම සෙන්පතිගේ ද කීර්තිය දසත පැතිරෙන්නට විය. සෙන්පතිට තම රජුගෙන් කොපමණ තුටු පඩුරු, කීර්ති ප්‍රශංසා හිමිවියයුතුද? මුල් කතා දෙකට වඩා මෙහිදී කතාව තරමක් වෙනස්ය.ජයග්‍රහණයෙන් ටිකකලක් ගතවනතුරු සෙන්පති රජුගෙන් දහසින්බැදි පියලි ලැබීය.නමුත් කාළයාගේ ඈවෑමෙන් රජතුල මුල්කතා දෙකේ රජවරුන්ට ඇතිවූ ආකාරයේ හැගීමක් යමකු විසින් ඇතිකරන ලදී.රජු තමා ගේ දෑස අන්ධ කරතියී හෝ දෑත් කපාදමතැයි අස්ථාන සැකයක් සෙන්පති තුල ද  ඊට සමාන්තරව ඇතිවිය.මේ හැගීම් වල අවසාන ප්‍රතිඵලය වූයේ රජකම පතා සෙන්පති රජුට එරෙහිව සටන්වැදීමය.(ඉතිරිව සිටි රජුගේ ද සෙන්පතිගේ ද පොදු සතුරන්, මිතුරු වෙස්ගෙන මෙම ගින්නට හොදින් පිදුරු දැමීය).

ජනතා සහය ද මනාව ලැබ රජු සටන ජයගත්තේය.ජයගත් විගස රජු තම කළණ මිතුරු සෙන්පතිගේ දෑස් අන්ධ කළේවත් දෑත් කපා දැමුවේවත් නැතිමුත්  රාජද්‍රෝහී චෝදනා මත සෙන්පති දගගෙයි ලූවේය .

1 හා 2 කතා අවසන් වුව ද 3 වන කතාව තවම අවසන් නැත.එය කෙසේ වේදැයි ඔබට සිතන්නට පුලුවන්ද?

Hello world!

Welcome to WordPress.com. This is your first post. Edit or delete it and start blogging!