මා දෑසේ වේදනා – මතුකරපු චෞරයා

මා දෑසේ වේදනා ගීතය මුල්වරට සවනත වැකුනේ එහි පද වල අරුත් පවා හරිහැටි නොතේරෙන කුඩා අවදියේ ය.අර්ථය නොතේරුන ද එදා පටන් ම එම ගීතයට ප්‍රිය කළේ රෝයි පීරිස් නම් ගායකයා එය ගැයූ ශෝකී රාවයත් එහි සංගීතයත් තදින් සිතට වැදුන නිසාය.(රෝයි පීරිස් ගයන “අම්මේ යන්න එපා දුරු රටකට”, “හද සාගරේ”, “ඔබ නෑසූ කතාවක්” ආදී  අදටත් ජනප්‍රිය ගීත පුද්ගලිකව ලේඛකයාගේ ද ප්‍රියතම ගී ලැයිස්තුවේ ඉහලින්ම සිටී)

අදටත් නව්‍යතාවයකින් රසවිඳිය හැකි මේ ගීතය (මා දැසේ වේදනා) ගැන කතා කිරීමට සිදුවූයේ එක්තරා චෞර සුපිරිතරුවක් මේ ගීතය නැවත ගායනා කිරීමය.ඒ එහි මුල් ගායකයා වන රෝයි පීරිස් ගේ කිසිදු අවසරයකින් තොරවය. එපමණක් ද නොව මේ සම්බන්ධව රෝයි තම විරෝධය ද පලකොට තිබියදී රෝයි විසින් ම වසර 20කට පසු මේ ගීය නව සංගීතයට ද ගයා තිබීයදී, මේ චෞරයා එම ගීය (තමාගේ මෙන්) රිගින් ටෝන්ස් වලට ද ගයා අසීමිත ලෙස මුදල් උපයයි.

මේ කාළකන්නි සිද්ධිය මගින් පෙන්නුම් කරන්නේ සුපර්ස්ටා හරහා බිහිවන ඊනියා තරු, බංකොලොත් නිර්මාණකරුවන් පමණක් ම නොව මානුශික හා සදාචාරාත්මක සීමා ද අතීක්‍රමණය කර මුදල් පසුපස හබා යන මංකොල්ලකරුවන් පිරිසක් බව නොවේද? (එක අතකට බාල පෙට්‍රල් ගෙනා නිළධාරීන්, ඊට දඬුවම් නොලැබ යලිත් බාල ගුවන්යානා තෙල් ගෙන්වීමට වරම් ලබන රටක, අධිආරක්ෂක කලාපයේ ඇති කෞතුකාගාරය පහසුවෙන් හොරු බිඳින රටක, ආධුනික කළාකරුවන් ද සොරුන් හෝ වංචනිකයන් වීම පුදුමයක් ද නොවේ).

සුපර්ස්ටාර් ගායන තරග වලින් ජයලබා දොරට වඩින්නෝ කවරහුද?මේ නම් ගායනයෙහි දක්ෂයෝ බවට ලේඛකයාට වාදයක් නැත.දහස් ගනණක් අතරින් තේරී, විනිශ්චය මණ්ඩලයක විනිශ්චයට ලක්ව නිවැරදිව ස්වර හා අලංකාර ගයන, නිසිලෙස සෘතියේ පිහිටා ගීත ගයන මේ තරඟකරුවන් ගේ ගායන කුසලතාව ගැන ගැටලුවක් නැත.(අවසන් තීරණාත්මක අදියර වලදී සුපිරිතරු තෝරන SMS මනාප ක්‍රමයට ආවේණික දූෂණ ආදිය මදකට පසෙකින් තබමු) එසේනම් ගැටලුව ඇත්තේ කොතැනද?ගායනයේ දක්ෂයන් මේ සුපර්ස්ටාර් තරඟ හරහා බිහිකළ (තෝරාගත) හැකි වුව ද දක්ෂ සංගීත නිර්මාණ කරුවන් හෝ නිර්මාණ මෙලෙස (කෘතිමව ?) කිසිවෙකුට බිහි කළ නොහැකි වීමයි.උදාහරණයක් ලෙස මාදෑසේ වේදනා සොරකම් කළ සොරදෙටුවා මීට වසර කීපයකට පෙර තමන්ම ගීත ලියා, තමන්ම තනු නිර්මාණය කොට, තමන්ම ගයමින් ගීත ඇල්බමයක් නිතුක් කළේය.මෙහි සාමාන්‍ය ශ්‍රාවක හද දිනාගැනීමට සමත් වූ එකද ගීයක් හෝ නොතිබිණි.

ලංකාවේ (මෙන්ම ඕනෑම රටක) දක්ෂ ගායකයන් ඕනෑ තරම් සිටිනමුත් දක්ෂ ගීතනු නිර්මාපකයින් සිටින්නේ අතලොස්සකි.නම් වශයෙන් කිවහොත් පණ්ඩිත් අමරදේව, ප්‍රේමසිරි කේමදාස, වික්ටර් රත්නායක, රෝහණ වීරසිංහ, එච්.එම් ජයවර්ධන, ගුණදාස කපුගේ, ෂෙල්ටන් ප්‍රේමරත්න, ඔස්ටින් මුණසිංහ, සරත් ද අල්විස්, සරත් දසනායක, නවරත්න ගමගේ, එඩ්වඩ් ජයකොඩි  ආදීන් හැරුනු විට රූකාන්ත ගුණතිලක,(මේ ලිපියට මාර්තෘකාවන ගීය නිර්මාණය කළ) නිහාල් ගම්හේවා, ශර්ලි වෛජයන්ත, ආන්නද පෙරේරා, චන්න ජයනාත් ආදී අතලොස්සක් පමණි  දක්ෂ තනු නිර්මාපකයින් අපට (සිංහල සංගීතයට) සිටිනුයේ.

රූපවාහිනී නාලිකා කීපයකින් සුපිරි තරු පමණක් නොව මුල් ස්ථාන 10 හෝ 20 අතරට එන “ජනප්‍රිය-සුපිරි” ගායකයින් බුරුතු පිටින් බිහිවන සීග්‍රතාවයට සමානුපාතිකව දක්ෂ සංගීතවේදීන් හෝ සංගීත නිර්මාණ බිහිවීමක් සිදු නොවේ.

ශිහාන් අනුන්ගේ ගීයක් සොරකම් කොට ගයන්නේ මේ නිසාය.සුපර්ස්ටාර් වේදිකාවේදී මාධ්‍ය විසින් අනවශ්‍ය ලෙස පුම්බා ඇති නිසා බඩ රස්සාව හොයාගැනීමට අන් මගක් ද නැති නිසාය.

ඔහුට එක් දෙයක් මතක් කොට දිය යුතුය. ඒ බස් රථ වලට ඩොල්කියක් හෝ අත් රබානක් ගෙනගොඩවී ගීත ගයා මගීන්ගෙන් රුපියල දෙක උපයාගන්නා වීදී කළාකරුවා ඔහුට වඩා නම්බුකාර බවයි.ඒ ඔහු “පුංචි දෝනි තරහා වෙලා” යන්න ගයන්නේ එය ජෝතිපාල ගේ ගීයක් මිස තමා ගේ ගීයක් ලෙස ශ්‍රාවකයින් නොරවටා බැවිණි.

ළදරු පාසල් වියේ දී අපි කවුරුත් වැඩිහිටියන් ඇද දෙන රේඛා චිත්‍ර පාට කරමු.ඒ අත හුරු වීමටය.ඒවා වැඩිහිටියන්ට පෙන්වා සතුටු වෙමු.ප්‍රශංසා ලබමු.සමහර විට පොඩි පොඩි තෑගි ද ලබමු. නමුත් ඉහල පංති වලදී හෝ වැඩිහිටියන් බවට පත් වූ කළෙක හෝ එසේ අන් අයගේ රේඛා චිත්‍ර පාට කොට අපේ නම ගසාගෙනවිකුණා මුදල් නොඋපයමු.ඒ එය විහිලුවක් මෙන්ම ආත්ම වංචාවක් ද වන බැවිණි.

මෙවැනිම තවත් ලිපියකට පිවිසෙන්න.

ලේඛකයා වඩා ප්‍රිය කරන මුල්ම ගීය සොයාගත නොහැකි විය.මේ රෝයි සන්ෆලවර්ස් සමග ගයන ගීතයයි.

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 13/05/2012, in මතවාද, සාහිත්‍යය/කළා. Bookmark the permalink. 12 Comments.

  1. මචං ලංකාවේ නීතියේ හැටියට ගායකයාට ගීතයේ අයිතියක් නැහැ. අයිතිය තියෙනේ පද රචකයාටයි, සංගීත නිර්මාතෘටයි විතරයි (හේතුව නිර්මාණාත්මක අයිතිය ). ඒක හින්දා හැඟීම් වලට වහල් වෙලා මිනිස්සුන්ට චෝදනා කරන එක නවත්තන්න. නීතියට ඔබ අකැමති වෙන්න පුළුවන්, ඒකට අනිත් මිනිස්සු පලි නැහැ.

    • 1.සදාචාරය හා හෘද ශාක්ශිය ඇත්තේ නීතියට ඉහලිනි.
      2.නීතිය යනු මානවයා ගේ යහපත උදෙසා මානවයා විසින් ම ගොඩනගා ගන්න ලද්දක් මිසක් ස්ථිතික දේව භාෂිතයක් නොවේ.මහජන පොදු යහපත උදෙසා පවතින නීතියක් වෙනස් කිරීමට අවශ්‍ය පාර්ලිමේන්තුවේ සරල බහුතරයක් පමණි.

      • 1.සදාචාරය හා හෘද ශාක්ශිය ඇත්තේ නීතියට ඉහලිනි.
        – වෙන්න පුළුවන්, නමුත් සදාචාරය හෝ හෘද සාක්ෂිය කියා පවතින නීතියට පිටින් යා නොහැක.
        2. නීතිය යනු මානවයා ගේ යහපත උදෙසා මානවයා විසින් ම ගොඩනගා ගන්න ලද්දක් මිසක් ස්ථිතික දේව භාෂිතයක් නොවේ.මහජන පොදු යහපත උදෙසා පවතින නීතියක් වෙනස් කිරීමට අවශ්‍ය පාර්ලිමේන්තුවේ සරල බහුතරයක් පමණි.
        – අනිවාර්යයෙන්ම. නමුත් තාම වෙනස් කරලා නැහැනේ?

        සදාචාරය ගැන කථා කරනවානම් කියන්න තියෙන්නේ ගායකයන්ට ගීතයක අයිතිය ඉල්ලීමට කිසිම සදාචාරාත්මක අයිතියක් නැති බවයි. ගායකයකු යනු නිර්මාපකයකු නොවේ. ගායකයා කරන්නේ තව අයෙකුගේ නිර්මාණයක් ඉදිරිපත් කිරීම පමණි. වාදකයෙකු සංගීත නිර්මාපකයෙකුගේ වාදනයක් ඉදිරිපත් කලද එයට අයිතියක් නොලැබේ. නළුවෙකු අධ්යක්ෂකයෙකුගේ අදහස ඉදිරිපත් කලද නාට්‍යයේ අයිතියක් නොලැබේ. ගායක්යෙකුද එසේමය.

  2. මා දන්නා තරමින් රෝයි පීරිස් යන්තම් එදා වේල හොයාගෙන කන මනුස්සයෙක්.එක ෂෝ එකකට ලක්ෂයක් අයකරන ගායකයෙක්(?) කරපු මේ වැඩේ හිඟන්නාගේ පාත්තරේට හෙනහුරා වැටුනා වගේ වැඩක්.

  3. Karunaratne

    ඉතිං ඔය මොබයිල් කොම්පැනි මොකටද ගීත චෞරයන්ට මුදල් දෙන්නේ උන් හොරු බව දැන දැන? ඒක නවත්වන්න ක්‍රමයක් නැද්ද?

    • ඔව්, ඒ කොම්පැනි විතරක් නෙවෙයි, රෝයි ගයන ගීතය පැත්තක තිබිය ද ශිහාන් ගයන ගීතයම ප්‍රචාරය කරන සමහර ගුවන් විදුලි නාලිකාත් සදාචාර විරෝධීයි.

  4. මේකට නම් එකග වෙන්න බෑ ජයශ්‍රී, මම නම පවුදගලිකව කමතිය් එකම ගීතය වෙනම කටහඩ වලින් අහන්න, විවිදත්වය හැමවිටම සුන්දරය් … ඔබ කැමති version එක අහන්න
    බටහිර රටවල මේක මෙච්චර ලොකු ප්‍රශ්නයක් කරගන්නේ නෑ
    SAME SONG/DIFFERENT VERSIONS
    a.k.a. “the cover records”
    ANOTHER VERSION CAN MAKE IT AN ENTIRELY NEW AND UNIQUE
    LISTENING EXPERIENCE.CHOOSE YOUR FAVORITE
    http://en.wikipedia.org/wiki/Cover_version
    http://www.esquire.com/the-side/music/cover-songs-list-082009

    • නෑ මිත්‍රයා.මේක මංකොල්ලයක්.ඊනියා සුපිරිතරු තම පැවැත්ම වෙනුවෙන් කරන පහත් ක්‍රියාවක්.
      එකම ගීය වෙන වෙන ගායකයන් ගැයීමේ සීමාව කුමක් ද? ගීතයේ අනන්‍යතාවයට වන්නේ කුමක්ද?

  5. @Mahesh, ඇත්ත මිත්‍රයා ඒත් ගීත නිර්මාණයේදී ගායකයා ගේ දායකත්වය සුවිශේෂී වූ අවස්ථා අප ගීත ඉතිහාසයේ අනන්තයි.
    මගේ මතය නම් ගායකයාට ද යම් අයිතියක් හිපිවියයුතු බවයි.

  6. ```Outsider```

    කොහෙත්ම ගායකයා කියන්නෙ ඉදිරිපත් කරන්නෙක් පමණයි කියන දේ පුද්ගලිකව මමනම් පිළිගන්න කාරණාවක් නෙවෙයි. ඒක සාධාරණ වෙනව තමන්ට කියල ඉදිරිපත් කිරීමක්වත් හරියට කරගන්න බැරි ෂිහාන් මිහිරංග වැන්නවුන්ටනම්.
    ඇත්ත තත්වෙ ඒක නෙවෙයි ජෝතිපාලගෙ, කපුගේගෙ, මිල්ටන් මල්ලවආරච්චිගෙ, අමරදේවගෙ, වික්ටර්ගෙ ගීත ගායනා ඉදිරිපත් කිරීම් විදියට සලකන්න බැරි ‍ඔවුන්ගේ ගීත වෙන අය කලින් කලට මූල්‍යමය වාසි බලාපොරොත්තුවෙන් ගායනා කලත් මුල් ගායකයාගේ අහලකින්වත් යන විදියේ ගුණාත්මකභාවයක් හෝ සෞන්දර්යයක් රඳවා ගන්න අපොහොසත් වීමයි.

    තරු කියන ඒව බිහිකරන්න බෑ. ඒවා බිහිවිය යුතුයි.

ඔබේ අදහස් දහස් වටී ....................