රතු පසට නල ජලය – Water supply for red soil

රෙඩ් සොයිල් පිට් හි ඝාතන වලට විරෝධය පා පැවති උද්ඝෝෂණය දුටු මහරජතුමා හොදටම බය විය.එහිදී විපස්ස කුමාරය,ආදර සේවක කුමරයා,ඇඩ්වෙන්චර්ආර්ම්ස් ආදීන් ටීවී චැනල් හැටක විතර මයික් අල්ලං කළ කතා ඇසූ එතුමාට හීන් දාඩිය දැම්මේය.මේ ආරම්භයක් පමණ ලු.ඒ කිව්ව විදියට නම් හෙට අනිද්දම තමුන් ගේ රාජ පයින්ඩෙත් ගහල යන්නට ඉඩ ඇති බව තේරුම් ගත් රජතුමා “මේකට නම් මොනව හරි කරන්නම ඕනී“ යි කල්පනා කළේය.

ර්‍රජතුමාගෙ මීටරේට එක පාරටම වැටුණේ,ජනතාවගේ දැවෙන ප්‍රශ්න හැම එකකටම  කෝකටත් තෛලය මෙන් භාවිතා කරන “මහරජ පරීක්ෂණ කොමිසමක්“දමා වැරදි කරුවන්ට දඬුවම් දුන්නොත් කොහොමදැයි කියාය.ඒත් එක්කම එතුමාට මතක් වූයේ “මහරජ පරීක්ෂණ කොමිසම“ පත් කරන්නෙ ප්‍රශ්න යට ගැහීමට මිසක් විසඳීමට නොවන බවයි.

“නෑ මේපාර හරියට ම කරමු“.මහරජතුමා දැඩි ලෙස අදිටන් කර ගත්තේය.

“හරි දැන් කවුදැයි කොමිසමට දාන්නේ?වෙනද වගේ පැන්සොං ගිය නඩුකාරයෙක් දැම්මොත්……බෑ බෑ,ඕකුන් සුවර් කරන්න පුලුවන් ඩයල් නෙවේ.අර සරාවැව දැක්කනෙ කලු කොඩි නැටුමෙදි අනික් පැත්ත ගහපු හැටි.අන්න පොර පලා බබාටත් ඉල්ලනවලු විපස්සයෙන්.ඒ විතරක්යෑ තව හිටපු දෙමළ නඩුකාරයෙක් උතුරෙ පලා බබාට ඉල්ලනව අපට විරුද්ධව.පොරනම් මහ ඇමති වෙන්නම යන්නෙ.තව ඔය හිටපු නඩුකාර ලොක්කෙක් මගෙ රජකමටත් කෙලින්න හැදුවේ ඒ දවස්වල ජනරාල පස්සෙ ගිහින් (දැන් නම් ටීවී එකේ බණ කියකිය යනවා).අර අඟල් හයේ පරල ඇණයක් වෙලා ඉදපු නඩුකාර ලොක්කි හිටපු නඩුකාරයෙක් බවට පත්කරන්නත් කොච්චර ගේමක් දෙන්න උණාද?“

“කවුද එතකොට කොමිසමට දාන්නේ………….?

“කවුරුත් ඕනි නෑ,මම ම කරනව කොමිසමේ වැඩ.එතකොට ජනතා විස්වාශයත් ඇති වෙයිනේ“.කොහොමත් එකසිය ගානට ඇමතිල හිටියට ආයතන හැටටුටාමරක් තිබ්බට රාජ සභාවේ වැඩක් කරන්නෙ තමන් පමණක් බව රජතුමා මෙන්ම රටවැසියා ද හොඳින් ම දනී.

රජතුමා තමාගේ මූලිකත්වයෙන් යුත් “මහ රජ පරීක්ෂණ කොමිසම”ස්ථාපිත කොට වැඩ ආරම්භ කළේය.මේක නම් එසේ මෙසේ කොමිසමක් නොවන බවට රජ වාසල ද රාජ සභාව ද පුරා කට කතා පැතිර ගියේ රජතුමා ම ගේමට බැස සිටි නිසාය.කොමිසම වැඩ පටන්ගත්තේ ම කොමිසමේ ලේකම් ගේ  රැකියාව අහිමි කරමිනි.ඒ “මහ රජ පරීක්ෂණ කොමිසම”යන්නෙහි මුල් අකුරු වලින් කෙටි යෙදුමක් සාදා මහරජතුමාගෙ අසුන ඉදිරිපිට තැබීමේ වරදටය.ඔහුට වැරදුණේ සිංහලෙන් වැඩ කරන්නට ගොස්ය.

කෙසේ වෙතත් පරීක්ෂණ කමිටු යාන්ත්‍රනය සාක්ශි විමසීම ආරම්භ කළේය.මුලින්ම සාක්ශි දීම සඳහා කැඳවූයේ බේබී නෝනා මාතාවයි.

“ඇයි ආතම්මේ එදා පාරට බැහැල කෑගහන්න ගත්තේ“

“අනේ මහරජ පුතේ, අපේ ලිං වල වතුරේ ඇසිඩ් නේ“

“දැන් කවුද කියන්නේ ලිං වතුරේ ඇසිඩ් කියල“

“ඇයි පුතේ බොනකොට තේරෙනවානේ“

“ඒ කිව්වේ ආතම්මා මීට කලින් ඇසිඩ් බීල තියෙනවද?“

“පිස්සු ද පුතේ, අන්න අර පහල වෙලේ ගෙදර ලොකු කෙලී නම් මළේ මොකක්ද හුටප්පරේකට ඇසිඩ් වතුර බීල“

“හරි එහෙනම් දන්නේ කොහොමෙයි ලිං වතුරේ ඇසිඩ් කියල“

“ඔය හැමෝම කියන්නනේ“

“හැමෝම කිව්වේ ගමේ අය ද පිට අයද?“

“ගමේ අය පිට අය සේරම“

“ඔය තියෙන්නේ සාක්ශි, මේකට තුන්වෙනි පාර්ශවයක් සම්බන්ධයි දෙකක් නෑ“

“අනේ මහරජ පුතේ,බෝධිපූජා තියපු අත් දෙකින් වැඳල කියන්නම් අපට බොන්න පිරිසිඳු වතුර ටිකක් අරං දෙන්න“

“හරි හරි ආතම්මේ,මම වතුර ලයින් එකක් දාල දෙන්නම්.සල්ලි ලෑස්තිකරල තියන්නකෝ“

මහරජතුමා දෙවෙනි වාක්‍යය කීවේ ඇහෙන නොඇහෙන තරම් හෙමිහිටය.

“ඇහුන්නෑ පුතේ“

“නෑ ආතම්මේ,මම බට ලයින් එකක් දාල දෙන්නම් ගමට.නුවර පෙරහැර පටන් ගෙන නේද නරකද ගිහින් බැලුවොත් පවුල් පිටන්?“

පෙරහැර පෙන්වා බබානෝනා පිටත් කළ මහරජතුමා ඊළඟට සාක්ශි විමසීම සඳහා කැදෙව්වේ උසස් පෙල ශිෂ්‍යයෙකි.

“මොකක් ද ළමයා මේ කළබලේ“

“මහරජතුමනි, අප ප්‍රදේශයේ වතුරේ pH අගය අඩු වීම නිසා තමයි මේ ප්‍රශ්නේ පටන්ගන්නේ.“

“දැන් කොහොමෙයි ඔහෙල ඒක දැනගන්නේ“

“ඇයි රජතුමනි,රජයේ නිළධාරීන් ම තමයි අපට මේ වතුරේ අගය අඩු වෙලා බොන්න එපා කියල කිව්වේ.එදා…..“

“අන්න අන්න තුන්වෙනි පාර්ශවය.මම කිව්වේ“

“නෑ රජතුමනි.අපටම උනත් පුලුවන් පරීක්ෂා කරල බලන්න“

සිසුවා පිටේ එල්ලාගෙන සිටි බෑගය විවෘත්ත කර කඩදාසි පටි කීපයක් එලියට ගත්තේය.

“ඔය මොනවද?“

“රජතුමනි මේ බ්‍රෝමෝතයිමෝල් බ්ලූ, මේ ලිට්මස්, මේ………“

“මොනව මොනව මොනව?“

“මේ පුර්ණ පරාස දර්ශක රජතුමනි.මේවා………

“හරි හරි මට තේරෙනවා.තුන්වෙනි පාර්ශවය මේ ළමයින් ව හොදටම නොමග යවල.මම ඔය ළමයිගේ ගමට ටැප් ලයින් එකක් දාලා දෙන්නම්.තාත්තලට කියන්න සල්ලි ලෑස්ති කරගන්න කියල.අන්න අපි කොළඹ හදල තියෙනවා ආසියාවේ අබිමං තොට ගිහින් බලන්න පුලුවන්“

මෙලෙස විවිධ පාර්ශව සාක්ශි විභාගය සඳහා කැදවූ රජතුමා,ඔක්කෝටම මුල වූ තුන්වෙනි පාර්ශවය මනාව හඳුනා ගැනීමෙන් පසු සාක්ශිකරුවන්ට සීනී බෝල හා කැරට් දී පිටත් කර හැරියේය.

අවසානයට සාක්ශි දීමට පැමිණියේ ආශ්චර්යදීපයේ රාජපුරුෂ සේවයේ ප්‍රධානියා ය.එක වතාවක් මෙවැනිම සිද්ධීයකදී හිටපු රාජපුරුෂ ලොක්කාට පිටරට තානාපත් කමක් ලැබුණාක් මෙන් තමන්ට ද යමක් ලැබේ යයි බලාපොරොත්තුවෙන් ඔහු සාක්ශි දීමට ආවේ පස්වනක් ප්‍රීතියෙන් පිනා ගොසිනි.

“හොඳයි මොකක්ද එදා සිද්ධ වුණේ?“

“මේකනේ රජතුමනි,එදා ගමේ මිනිස්සු අහිංසක විදියට පාරට වෙලා හිටිය.අර තර්ඩ් ක්ලාස් පොරවල් සෙට් එක තමයි අපිට ගල් මුල් වගේ භයානක ආයුධ වලින් ගහන්න ගත්තේ“

“ඉතින් බොලා ලේස්ති කරං ඉදපු වතුර ප්‍රෙශර් කරල මිනිස්සුන්ට ගහල එලවල දාන්න තිබ්බණේ.මොන බම්බුවටද වතුර බවුසර් තියාන හිටියේ තනියට ද?“

“මිනිස්සුන්ට ගහන්න තමයි රජතුමනි ඒවා ගෙනාවේ.ඒත් අපිට දුක හිතුන“

“හැක්… දුක හිතුණා?“

“එහෙමයි රජතුමනි.මේ මිනිස්සු ලිං වල වතුර ඇසිඩ් නිසා බොන්න,නාන්න බැරි නිසානේ මේ උද්ඝෝෂණය කළේ“

“ඉතිං“

“අපි හදිසියට මේ බවුසර් පුරවං හිටියේ ඒ පැත්තේ ලිං වතුරෙන් ම නේ“

“ඉතිං“

“ඉතිං ඒ ඇසිඩ් වතුරම මිනිස්සුන් ගේ ඇඟට විදින්න අපට දුක හිතුණා“

“ඒක නිසා වෙඩි තිබ්බා?“

“වෙඩි උණ්ඩ වල pH අගයේ ගැටලුවක් නෑනේ රජතුමනි – මට කොයි රටේ තානාපති කමද දෙන්නේ?“

“උඹට උඹට උඹට දෙන්න වටින්නේ අපායේ තානාපතිකම, පලයන් යන්න මගේ දෑහැට නොපෙනී“

[හුදු කල්පිත ප්‍රබන්ධයකි.මෙහි චරිත, සිද්ධී, ස්ථාන සියල්ල නිර්මාණයන් ම පමණි]

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 15/08/2013, in ප්‍රබන්ධ. Bookmark the permalink. 10 Comments.

  1. හප්පේ ළොකු දෙයක් මෙහෙම වත් දෙයක් ලියපු එක… පට්ට රහයි ඈ

    • තැන්කූ කැන්කූ.
      කලිනුත් කියල ඇති, මෙහෙම ලියන්න ගුරුකම් ගත්ත කනෙක් තමයි ඔබතුමා.

  2. මේ යන තාලෙට ගියොත් නම් අනිත් අයට රටවල් තෝරල දෙන්න කලින් රජාටත් රටක් තෝර ගන්න වේවි ජීවිතේ ඉතුරු කාලෙ ගතකරන්න.

    ජයශ්‍රී දැන් දැන් ලියන්න කම්මැලි වෙලානේ, ඔන්න ඔහොම එපෑය ලියන්න. 🙂

  3. සුපිරි!

  4. නියමයි ජයශ්‍රී…..දාන්න පහක්…හරි..පහ දැම්ම නම් මේකට උත්තර දීහං බලන්න..

    P.H. අගය යන වදනෙහි P.H. අකුරු දෙකෙන් හැඟවෙනුයේ කුමක්ද? ද්‍රාවණයක හයිඩ්‍රජන් අයන වල සාන්ද්‍රතාවය අරක මේක කියන්න එහෙම එපා හොඳද?…එව්ව ඔය තුන්වන පාර්ශ්වයෙ උදවිය මිනිස්සුන්ගෙ මනස අවුල්කරන්ට කියන එව්ව 🙂

  5. ජයශ්‍රී..මම උඹගේ මේ වගේ සටහනක් කියෙව්වමයි.ගතියට ලියලා තියෙනවා.

  6. @DDT- ලියන්න විවේකය අඩුයි ඒත් කොහොම හරි ලියනවා.
    @රැඩිකල් අදහස්, රාජ් – ස්තුතියි!
    @රවි – මෙන්න 5ක් දැම්මා. H3O+ අයන සාන්ද්‍රනය 🙂 (තුන්වෙනි පාර්ශවයක් තමයි කියන්නේ)
    @අරූ – තව තියෙනව ප්‍රබන්ධ කැටගරිය යටතේ බලපංකෝ වෙලාව තියෙනව නම්.පද්‍ය යටතේ ත් තියෙනවා.

  7. කාලෙකින් ජය ශ්‍රී බලන්න ආවේ !.

ඔබේ අදහස් දහස් වටී ....................