නාග නළඟන, ජනමාධ්‍යය හා අප – Snake dancer, media & ourselves

Naga nalagana

නිරෝශා විමලරත්න මෙරට ජනවිඥානය මැනවින් හඳුනාගත් තැනැත්තියකි. කලකට පෙර රටේ බොහෝදෙනා මෙන්ම ඇය ද තම රැකියාවේ නියැලෙමින් (තමන්ගේ පාඩුවේ) ජීවත්වූවාය. ඇය ගේ රැකියාව වූයේ නර්ථනයයි. නමුත් කොල්ලුපිටියේ සමාජශාලාවක නාගයෙක් සමඟ රංගනයේ යෙදෙමින් (මෙය කියවන ඔබත් ලියන මමත් මෙන්ම) ජීවන අරගලයේ නිරතවෙමින් සිටි ඇය නීතිය හමුවට පමුණුවන්නේ සමාජය විසින්මය. (ඇයට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් යොමුවන්නේ ඇය සේවය කළ සමාජශාලාවේ  කළමණාකරු සමග ඇති කෝන්තරයක් පිරිමසා ගැනීමට යයි ඇය මාධ්‍යයට පවසා තිබිණි  – මෙහි සත්‍යසත්‍යතාව අපි නොදනිමු). සමහරවිට මෙම නාගයා   හුදෙක් තනිවම නර්තනයේ යෙදෙනවාට වඩා තම ප්‍රේක්ශකයන් වෙත අලුත් අත්දැකීමක් ලබාදීම උදෙසා නිරෝශා විසින් නිර්මාණශීලීව යොදාගත් මෙවලමක් පමණක් ම වියහැක. කෙසේ වුව ද  නයා පොලිස් අත්අඩංගුවට ද, අනතුරුව දෙහිවල සත්වෝද්‍යානයේ භාරකාරීත්වයට ද පමුණුවනු ලදී.

නිරෝශා අධිකරණය වෙත ගියාය.අ ධිකරණය විසින් නයා ගේ ගැටලුව විසඳනු ලැබූ අතර ඌ නැවත නිරෝශාට ම හිමිවිය. මේවන විට නිරෝශා නොහොත් නාග නලඟන මෙරට ජනමාධ්‍ය වල ප්‍රමුඛ මාර්තෘකාවක් ව සිටියාය.

 ජනවිඥානය තුල නාගයාට හිමිව තිබෙන සුවිශේෂී ස්ථාන දැනසිටි නිරෝශා, නාගයා සහ තමා පිළිබඳව අප අසන්නට කැමති දේම ජනමාධ්‍යයට හෙලි කළාය.මේ නාගයා වෘත්තීය නයි නටවන්නෙකු වන අහිකුණ්ටක තරුණයෙකුගෙන් මිලදී ගත්තේ යයි ඇසීමට අප කැමති නැත.අප රටේ ජනමාධ්‍යය ද ඊට කැමති නැත. ඒනිසා නිරෝශා තමා දොඩම්වල දේවායේ භාවනා කරනවිටක මෙම නාගයා තමාට ලැබුණ බව පැවසුවාය. එපමණක් ද නොව තම මව ද  ඉන්දීය කාණ්තාවක බැව් ඈ පැවසුවාය. අපේ ගවේශනශීලී ජනමාධ්‍යය මේ බේගල් කිසිදු විචාරයකින් තොරව එලෙසම පල කළේය. සිත දියුණු කිරීමට, ධ්‍යාන වැඩීමට හෝ ලෝ තතු අවබෝධ කොට ගෙන සසරින් එතෙරවීමට නොව හුදෙක් අන්ධානුකරයෙන්  විලාසිතාවක් ලෙස “භාවනා ටියුෂන්“ වෙත යන අපි මේ පුවත හිස් මුදුනින්ම පිලිගත්තෙමු. තව තවත් දිරිමත් වූ නිරෝෂා තමා සහ ණයා පිළිබදව ද තවත් විවිධාකාර අත්භූත ප්‍රබන්ධ කොට ජනමාධ්‍ය වෙත පැවසූ අතර මාධ්‍ය මේවා ජනතාව අතරට ගෙන ගියේ මහා තරගයක නියැලෙමිනි. ජනතාවෝ ද තලුමරමින් මෙපුවත් රසවින්දෝය.

ජනමාධ්‍ය නිරෝශා සම්බන්ධ ව පෙන්වූ චිත්‍රය කෙටියෙන් මෙලෙස දැක්විය හැක.

“මේ බලන්න හරිම ආශ්චර්යයක් නේද?“

හදිසියේම තව ජනමාධ්‍යවේදියෙකුට නිරෝශා පිලිබඳ සත්‍ය තොරතුරු අහම්බෙන් මෙන් දැනගන්නට ලැබිණි. ඇය ගේ මව්පිය භාරකරුවන් ගැන, ළමාකාලය ගැන කෙහෙන් දෝ තොරතුරු සොයාගත් ඔහු ඒවා මාධ්‍ය වල පල කලේය. මෙතැන් සිට තරගය ඇති වුයේ නිරෝශා ගේ සැබෑ තොරතුරු සොයා පලකිරීම සඳහාය. සමහරු කොහෙන් දෝ ඇයගේ අ.පො.ස සාමාන්‍ය පෙල සහතිකය පවා සොයා ගෙන ස්කෑන් කොට පලකරමින් තමන් කියන කරුනු සනාථ කිරීමට උත්සාහ කලේය. සමහරු දොඩම්වල දේවාලයට ද සමහරු නිරෝශා ගේ ගම් ප්‍රදේශය ලෙස හදුනාගත් දන්තුරේට ද ගොස් පුවත් පල කලේය. ඇගේ භාරකරුවන් ද, දේවාල කපුවාද සමඟ සම්මුඛ සාකච්චා පලකරන ලදී.ඉන් පසු ඇය මාධ්‍ය වලින් වසන්වීමට උත්සාහ කල බව ද වාර්ථා කෙරිනි.

ජනමාධ්‍ය මෙවිට නිරෝශා සම්බන්ධ ව පෙන්වූ චිත්‍රය කෙටියෙන් මෙලෙස දැක්විය හැක.

“මේ බලන්න මේකි කියල තියෙන පට්ටපල් බොරු“

ලේඛකයාට ජනමාධ්‍ය කරුවන්ගෙන් ඇසීමට ප්‍රශ්න කීපයකි.

1. නාටිකාංගනාවක් තම නර්ථනය උදෙසා (නිර්මාණාත්මකව) නාගයෙක් යොදාගත් පලියට එම සිද්ධිය නීතිය හමුවට ගිය පලියට, එයට අත්භූත බවක් ආරෝපනය කොට පල කලේ ඇයි?

2. නාගයා සහ තමා පිලිබදව නිරෝශා පවසන ප්‍රබන්ධ  විචාරයකින් තොරව පල කලේ ඇයි?

3. මොකක් දෝ අහම්බයකින් සත්‍ය හෙලි වූ පසු නිරෝෂාට එරෙහිව කසය මෙහෙයවන විට තමන්ට ද ඉන් පහර කීපයක් ගසා නොගත්තේ ඇයි?

4. සමකාලීනව රටේ පැවති ප්‍රේක්ශක ජනතාව වෙත ගෙනයායුතු සැබෑ ප්‍රශ්න මේ මේ නාග සෙවනැල්ලෙන් වසා දැමූවේ ඇයි?

කෙටි විවේක කාලයකින් පසු නාග නලඟන යලි අවධී කරවා ඇත. ඒ ඇගේ පෙම්වතාගෙන් පහර කා රෝහල්ගත වූ බව කියමිනි. මේ තලුමරමින් රසවිදිය හැකි පුවතකි. ඇය මානසිකවෛද්‍ය වරයෙකු වෙත ද යොමුකළ බව සඳහන්ය. මේ තරුණිය මානසික රෝගියෙක් කිරීමට ද අපේ ජනමාධ්‍යයට හොදින් ම හැකියාව ඇත. (නමුත් “සබ්බේ පෘතග්ජනා උම්මත්තකා“ යනුවෙන් බුදුන්වහන්සේ දේශනා කොට ඇති බව, එනම් අප සැවොම අඩු වැඩි වශයෙන් උම්මත්තකයින් බැව් අමතක නොකල යුතුය). නමුත් (වාර්තාවන අන්දමට) කුඩා කළ ම මාපිය රැකවරණය අහිමි ව තම ජීවතය ගොඩනගාගැනීමට වෙහෙසෙන නිරෝශා ගැන හෝ අප රටේ සිටින තවත් දහස් ගනණක් නිරෝශා ලා ගැන සාකච්චා කිරීමට අපේ ජනමාධ්‍යය උත්සුකවන්නේ ද යන්න ගැටලුවකි.

සති කීපයකට පෙර අගවිනිසුරුට එරෙහි දෝශාභියෝගය නයා විසින් යටපත් කළාක් මෙන් අද එළවලු මිල වැඩිවීම, හසිත මඩවල ඝාතනයෙන් පසු කැළණිය, පොලිස් අත්අඩංගුවේ පැය 48ක් රදවා ගතහැකී නීතිය බඳු කාලීන වැදගත්කමක් ඇති මාර්තෘකා සඳහා ඇති කාලය නාග නලඟන ගේ සුල්තාන් පෙම්වතා ගැන සෙවීමට ද ඔවුන් ගේ ගෙදරදොර පවුල් ප්‍රශ්න විසඳීමට ද යෙදවෙනු ඇත.

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 27/01/2013, in කාලීන. Bookmark the permalink. 10 Comments.

  1. සහතික ඇත්ත. රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දී මේ වගේ සිල්ලර මාතෘකා ගැන ජනමාධ්‍ය කතා කරන්නේ ඇයි? මේවා යට සැඟවී ඇති න්‍යාය පත්‍ර කාගේද? විචාරාක්ෂිය ඇති ඕනෑම කෙනෙකුට මෙය තේරුම් ගැනීම අපහසු නැත.

  2. අපේ රටේ උගත් යැයි කියන උනුත් නම්බර් වන් හරක් කියලා තේරෙන්නේ මේකෙන් නෙම්යි. සමහර විට උඹලට මතක නැතුව ඇති. ඒ මුළු කොමිසමම ඇන්දුවා ඉස්කෝලෙවත් නොගිය ගෑණියෙක්.. අන්තීමෙදි චොර කරලා දැම්මා. එහෙම හරක් ඉන්න රටක් මේක. මුලින්ම කේස් එක අවුට් මට නම්. ඇයි බන් නයි නටවන් උන් නයි 4-5 තියාගෙන ඉන්නේ. ඉතින් මේකි කරන්නෙත් නයා නටවන ගමන් එයත් නටන එක. එච්චරයි වෙනස. අපේ බූරූවන්ට හැම එකම ගුප්ත දේවල්. “සෙක්ස්” පවා එහෙම තමයි…

  3. කොබ්බෑකඩුව කොමිසම..

  4. හොද ලිපියක් යාළුවා අපේ පැත්තෙත් එන්න http://sinhapedia.blogspot.com/

  5. ස්තූතියි මේ කියවීමට.. මාධ්‍ය අමේධ්‍යය-

  6. @ඩිල්ශාන් , පැහැදිලිවම
    @මාතලන්, අනුර හොරේෂශ් ගේ “සොඳුරු දඩබිම“ චිත්‍රපටයට තේමාවෙන්නේ මේ සිද්ධිය නේද?
    @යසිරු, හොදයි එන්නම් මල්ලි
    @කඳු,ජඩමාධ්‍යය නේද?

  7. 1 “මේ බලන්න හරිම ආශ්චර්යයක් නේද?“
    2 “මේ බලන්න මේකි කියල තියෙන පට්ටපල් බොරු“
    3 “මේකි බඩුවක්”

    ඔය තුනම කියන්නෙ එකා වුනාට මිනිස්සුන්ට ඔය තුනම ඇත්ත. මේක මාරයි.

  8. kathandarakaraya

    නිවරද යෙදුම Ourselves

ඔබේ අදහස් දහස් වටී ....................