X නගරයේ පොල් වෙළඳාම – Competition that makes the consumer a king

[W3Lanka හි පලවූ ලිපියකට ප්‍රතිචාර ලෙස දැක්වූ උදිත ගේ අදහස ට පිලිතුරක් ලෙස මේ ලිපිය ලියැවේ.]

වෙලඳපොල තරගකාරීත්ව නිසා පාරිභෝගිකයන්ට උපරිම වාසි ලැබෙන බවට මා මිත්‍ර උදිත තර්ක කරයි. ඒ සඳහා ඔහු උදාහරණ ලෙස ගන්නේ ලංකාවේ ජංගම දුරකතන  සේවා සපයන සමාගම් අතර ඇති තියුණු තරගකාරීත්වය නිසා ජංගම දුරකථන ගාස්තු අඩුවීමයි.

වෙළඳපොල තරඟකාරීත්වයේ ස්වාභාවය හඳුනාගැනීම සඳහා අපි උදාහරණයක් ගමු.

පියදාස මුදලාලි පරම්පරාවෙන් අක්කර ගණනක පොල් ඉඩමක් හිමි ව්‍යාපාරිකයෙකි. ඔහු Xනගරයේ වෙළඳපලට රු.50 ක මුදලකට පොල් ඉදිරිපත් කරයි. මේ පොල් සඳහා ඔහුගේ පිරිවැය වන්නේ ගෙඩියක් සඳහා රු.30 කි. එනම් පොල් වෙළඳාමෙන් ඔහු ගෙඩියක් සඳහා රු.20 ක ලාභයක් ලබයි. ඔහු මසකට පොල් දහසක් විකුණයි නම් ඔහු ගේ මාසික ලාභය රු.20,000 කි.

 සිරිසේන මුදලාලි ද පරම්පරාවෙන් අක්කර ගණනක පොල් ඉඩමක් හිමි ව්‍යාපාරිකයෙකි. ඔහු ද Xනගරයේ වෙළඳපලට රු.50 ක මුදලකට පොල් ඉදිරිපත් කරයි. මේ පොල් සඳහා ඔහුගේ ද පිරිවැය වන්නේ ගෙඩියක් සඳහා රු.30 කි. එනම් පොල් වෙළඳාමෙන් ඔහු ද ගෙඩියක් සඳහා රු.20 ක ලාබයක් ලබයි. ඔහු මසකට පොල් දහසක් විකුණයි නම් ඔහු ගේ මාසික ලාභය ද රු.20,000 කි. නමුත් ඔහුට පියදාස සමඟ තරඟයට පිවිසිය හැක. එනම් ඔහුට පොල් ගෙඩියකින් ලද රු.20 ලාබය රු15 දක්වා අඩුකොට රු.45 ක මිලකට පොල් වෙළඳපලට ඉදිරිපත් කළ හැක. මෙහි අනිවාර්ය ප්‍රතිපලය වන්නේ සිරිසේන මුදලාලි ගේ වෙළඳාම වැඩිවීමයි. සැබැවින් ම ව්‍යාපාරිකයෙක් මෙලෙස තරඟකාරීව මිල අඩු කරන්නේ ද ඔහු සතුව අතිරික්ත නිශ්පාදනයක් ඇති විටය. මිල අඩු කල පසු ඔහු පොල් 1,400ක් අලෙවි කිරීමට සමත් වූයේ නම් දැන් ඔහු (1,400X 15) රු21,000 ක ලාභයක් ලබයි. මෙය පෙරටත් වඩා වැඩි ලාභයක් බව පැහැදිලිය. එනම් එක් පොල් ගෙඩියකින් ලබන ලාභය රු5 කින් අඩු වුව ද ඔහුට සමස්ථ  ලාභය වැඩිවීම ද අතිරික්ත පොල් 400ක් අලෙවි කරගැනීමට හැකිවීමේ ප්‍රතිලාභය ද ලැබේ. Xනගරයේ පාරිභෝගිකයන්ට ද අඩුමිලට පොල් මිලදී ගැනීමේ ප්‍රතිලාභය ලැබේ.

මේ කතන්දරයේ අනෙක් කොටස නම් පියදාස මුදලාලිගේ භූමිකාවයි. තම පොල් වෙළඳාම සාර්ථකව කිරීම සදහා ඔහු ද බොහෝ විට පොල් මිල අඩු කිරීම ට පෙලඹේ (අනිවාරයයෙන් ම මේවන විට ඔහු ගේ වෙළඳාම අඩ වන නිසා). ඔහු තම පොල් ගෙඩියක් රු.40 දක්වා අඩු කරයි. මෙලෙස ව්‍යාපාරිකයන් දෙදෙනෙක් හෝ වැඩිගණනක් සිටින වෙළඳපලක තරගකාරීත්වය නිසා භාණ්ඩ මිල අඩු වීමේ වාසිය ලැබෙන්නේ පාරිභෝගිකයාටය. එහි තර්කයක් නැත. පොල් විකිණීමට සදහා සිටින්නේ පියදා මුදලාලි හෝ සිරිසේන මුදලාලි පමණක් ම නම් එවන් වාසියක් පාරිභෝගිකයන්ට නොලැබෙන  බව ද සත්‍යයකි.මේ වෙළඳපල තරගකාරීත්වය පාරිභෝගිකයාට ලැබෙන ආකාරය පිලිබඳ සරල උදාහරණයකි.

පියදාස මුදලාලිට හා සිරිසේන මුදලාලිට මෙලෙස තරගකාරීව පොල් මිල පහත දැමීමට හැකිවූයේ පොල් නිශ්පාදකයා ද තමන් ම වීම හා ස්ථාවර ප්‍රාග්ධනයකට (පොල් ඉඩම) හිමිකම් කී නිසාය. එසේ නොවී මේ  ව්‍යාපාරිකයන් දෙදෙනා පොල් අලෙවි කරන්නේ තොග වෙළෙන්දෙකු ගෙන් මිලට ගෙන නම් හෝ අලුතින් මිලට ගත් පොල් වත්තකකින් නම් හෝ මෙලෙස තරඟකාරීව මිල අඩුකිරීමට ඔවුන්ට ඇති හැකියාව සීමිතවේ.මක්නිසා ද ඒ ස්ථාවර ප්‍රාග්ධනය අත්පත් කරගැනීමට වැය වන පිරිවැයේ යම් ප්‍රතිශතයක් ද පොල් ගෙඩියේ මිලට අනිවාර්යයෙන් ම එකතු වීමයි.

දැන් මේ පොල් උදාහරණය අපරටේ ජංගම දුරකථන සේවාව හා සන්සන්දනය කර බලමු. මෙරට ජංගම දුරකථන සේවා සපයන ආයතන දැන් දශක කීපයක් තිස්සේ මෙරට ස්ථාපිතව සිටින ස්ථාවර සමාගම්ය. සන්නිවේදන කටයුතු වලට අවශ්‍ය මූලික යටිතල පහසුකම් වෙනුවෙන් ඔවුන්ට දැන් විශේෂ පිරිවැයක් දැරීමට සිදු නොවේ. පරම්පරාවෙන් හිමිවූ පොල් ඉඩමක් හිමි පියදාස හෝ සිරිසේන මුදලාලි බඳුය. දුරකථන සමාගම් වලට වාර්ශිකව දරන්නට සිදුවන්නේ සේවක වැටුප්, නඩත්තු කටයුතු, ප්‍රචාරන ආදී වියදම් සහ දුරබැහැර ප්‍රදේශයක ඉදිකරන සම්ප්‍රේෂණ කුලුනක බරපැන බඳු සාපේක්ෂව  කුඩා වියදමක් පමණි. පියදාස මුදලාලිගේ ද වියදම් පොල් පොහොර දැමීමට, මුරකරුවාට වැටුප් ගෙවීමට සීමාවන්නාක් මෙනි. පරම්පරාවෙන් හිමි වූ ඉඩමක් නිසා ඉඩම අත්පත් කරගැනීමේ වියදමේ කොටසක් පොල් ගෙඩියක මිලට නොඒ.

ජංගම දුරකථන සේවා සපයන ව්‍යාපාරිකයාට ඇති තවත් වාසියක් නම් වෙළඳපල වැඩිකැගැනීමට ඇති හැකියාවයි. අපේ උදාහරණය ම ගතහොත් Xනගරවැසියන්ට පොල් අවශ්‍යය වන්නේ එක්තරා සීමිත ප්‍රමාණයක් පමණි. පොල් මිල අඩු වුනා කියා ව්‍යංජනයකට යොදන පොල් කිරි වැඩි කරන්නේ හෝ,  රසකැවිල්ලක් ලෙස පොල් ටෝෆී සාදන්නේ සහ ඒ වෙනුවෙන් වැඩිපුර පොල් මිලදී ගන්නේ  සීමාසහිත ප්‍රමාණයකට පමණි.

නමුත් දුරකතන සේවා එසේ නොවේ. අයකරන ගාස්තුව අඩුවීම මත ග්‍රාහකයන් ගේ කතා කාලය අසීමිතව වැඩිවේ. එපමණක් ද නොව දුරකථන සමාගම් විවධ අතිරේක සේවා සම්පාදනය කරමින් [VAS, Internet] (අලුත් අලුත් භාණ්ඩ වෙළදපලට ඉදිරපත් කරමින්) අලෙවිය වැඩි කරගනී. අපේ උදාහරණයේ මුදලාලිලා දෙදෙනා ගේම පොල් අලෙවිය 2000ක් හෝ 2250ක ට සීමා වුවද ජංගම දුරකථන සම්බන්ධයෙන් එය එසේ නොවේ. සමහර අතිරේක සේවා පාරිභෝගිකයන් විසින් මිලදී ගනු ලබන්නේ නොදැනුවත්වමය. (ලොතරැයි ප්‍රතිපල, දෛනික රාශි පලාපල, නිවුස් ඇලර්ට්ස්, පුවත් සිරස්තල, දිවියට උපදෙස්, ප්‍රරශ්න විචාරක……….)

එසේ ම  Xනගරයට පොල් වෙළදපලට අලුතින් එක්වන ව්‍යාපාරිකයෙක්ට පවතින රු45 හෝ රු 40 මිලට වඩා අඩු මිලකට පොල් අලෙවි නොකර ස්ථාවරවීමට ඇති හැකියාව ද අවමය. ඒ සඳහා අලුත් ව්‍යාපාරිකයා ද පැරණි දෙදෙනාට සන්සන්දනාත්මක විය යුතුමය. ලාංකීය වෙළදපලට අලුතින් ම පිවිසි එයාර්ටෙල් සලකන්න. මෙරටට අලුත් වුව ද එය ඉන්දියාව තුල මනාව ස්ථාවරව ව්‍යාප්තව සිටින බැවින් ඔවුන්ට ද අනෙක් සමාගම් වලට කදිම තරඟයක් දිය හැකිය. වෙනත් සාර්ථක ව්‍යාපාර රසක් හිමි මුදලාලි කෙනෙකුට ද  වෙළඳාමට පිවිස තරඟකාරී මුදලකට වෙළඳාම කල හැක. මෙවිට ඔහුට තම අලාභය අනෙක් ව්‍යාපාර වලින් අවරණය කළ යුතු වෙයි.

(කෙසේ වුව ද මෙලෙස මිල අඩු කිරීම කවරෙකුටහෝ කළ හැක්කේ රු30 හෝ ඊට කිට්ටු වැඩි සීමාව සදහා පමණි.මක්නිසා ද යත් එතැනින් එහාට මිළ අඩු කිරීමෙන් ඔවුන්ට අලාභ ලැබීමට සිදුවීමයි).

තරඟකාරීත්වය තුලින් පාරිභෝගිකයාට ප්‍රතිලාභ අත්වීමේ කතන්දරය මෙයයි. මේ කතාව සම්පූර්ණ වීමට L.P ගෑස් චරිතය ද විදුලි බල චරිතය ද මීට එක් කල  යුතු නමුත් අවිවේකය ඊට හරස් කපයි. ඉඩ ලැබුනොත් අලුත් ලිපියකින් ඒ කතන්දරය ද ඉදිරිපත් කරමි.

Advertisements

විදුලි අර්බුදය, වෙනස් කියැවීමක් – Take a look by a different angle

විදුලි බිල වැඩිවීම ජනතාවට දරාගත නොහැක. ඒ ගැන වාදයක් නැත. වැඩි කල ආකාරය ජුගුප්සාජනකය (එකවර වැඩි නොකර ජනතා අදහස් විමසුවේ මොන ඇන්නෑවකටද?) නමුත් විදුලි මිල පිලිබඳව පුද්ගලිකව මවිසින් කල විස්තරාත්මක නොවන ලඝු විමර්ශනයකට අනුව පැහැදිලිවන්නේ විදුලි බිල වැඩිවීම රටේ සමස්ථ ආර්ථික අර්බුදයේ ම කොටසක් බවයි.සැබැවින් ම මාසික පරිභෝජනය ඒකක 90 ට අඩු පාර්භෝගිකයන් ගේ විදුලි ගාස්තුව විදුලි නිශ්පාදන පිරිවැයට සාපේක්ෂව එතරම් අසාධරණ ගාස්තුවක් නොවේ. අප රටේ සැබෑ අර්බුදය නම් එවන් සාධාරන මිලක් ගෙවීමට තරම් වත් ආර්ථික වශයෙන් සවිබල තත්වයක රටේ බහුතර ජනතාව නොසිටීමයි.

පහත වගුව දෙක දෙස අවධානය යොමු කරන්න. මෙහි සංශෝධිත විදුලි ගාස්තුව විදුලි පරිභෝජනය ඒකක 10 න් 10ට ගණනය කොට ඇත්තේ, ස්ථාවර ගාස්තුව හා ඉන්ධන ගැලපුම් ගාස්තුව ද එකතු කොටය.

 ElE per unit

දෙවන වගුවෙන් දැක්වෙන්නේ පර්භෝජන ඒකක ගනන අනුව පාරිභෝගිකයා ඒකකයකට ගෙවිය යුතු ගාස්තුව වෙනස් වන අන්දමය.

ElE per unit2

තෙවන වගුවෙන් ලංකා විදුලි බල මණ්ඩලය විදුලි ඒකකයක් මිලට ගන්නා මිල ගනන් දැක්වේ. එය ඒකකයකට රු 17 පමණ සිට 25 දක්වා පරාසයක විහිදේ.

ELE pay

සිව්වන වගුවෙන් විදුලි ඒකකයක නිපැයුම් පිරිවැය (යොදාගන්නා ක්‍රමය අනුව) දක්වා ඇත.ඇමරිකානු ඩොලරයක විනිමය අනුපාතය රු130 ලෙස ගෙන මේ වගුවේ අවසාන කොලම සකසා ඇත. ඒ අනුව විදුලි ඒකකයක නිපැයුම් පිරිවැය රු9 ත් 20ත් අතර වන බව පැහැදිලිය.(අධික පිරිවැයක් ඇති එනම් රු 31ක් දරන සූර්ය ශකිත්ය අමතක කොට දමමු). මේ නිපැයුම් පිරිවැයට වෙනත් උඩිස් වියදම් හා ලාභය ද එකතු විය යුතුය. වගු අංක 2 නැවත බලන්න. තවමත් අප රටේ ඒකක 90 ට අඩු මාසික පරිභෝජනයක් ඇති පාරිභෝගිකයන්ට විදුලිය ලබා දෙන්නේ නිපැයුම් පිරිවැයටත් වඩා අඩු මුදලකටය. එනම් පාඩුවටය. 

ElE per unit3

මූලාශ්‍රය, http://www.eia.gov/forecasts/aeo/electricity_generation.cfm

විදුලි බලය නිපදවන මිලට සාපේක්ෂ මිලකට එය මිලදී ගැනීමට නොහැකි ජනතාවක් වීම පිලිබඳව අප ද, අප එවන් තත්වයකට පත් කිරීම ගැන මෙහි පාලකයන් ද ලජ්ජා විය යුතුය.

කොරියාවෙත් ගිණි (ප්‍රබන්ධයකි) – Korea is on fire (A fiction)

ලැබුවා වූ අලුත් අවුරුද්දේ වැඩ අල්ලන්නේ කොහොමදැයි කල්පනා කරමින් සිටි මහරජතුමාට එකපාරටම කල්පනා වූයේ කොරියානු අර්බුදයට මැදිහත් වුනොත් කොහොමදැයි කියාය. අතීතයේ දවසක ජපානය ද මෙවන් යුද්දෙකට පැටලෙන්න ගිය මොහොතේ තමාගේ අතිජාත ගුරු පප්පා මහරජතුමා, “නහී වේරේන වේරානී” යන ධම්මපද ගාථාව දෙසා ඒ යුද්ධය නතර කළ බවට වූ කතාවක් මහරජතුමා ගේ සිහියට ආවේය. ඒකට තෑග්ගක් හැටියට ලු ආශ්චර්ය දීපෙට ටැලිවිසොං පෙට්ටියත්, ඇදං එක්දහස් එකක් තියෙන ශ්‍රී පප්පාපුර ඉස්පිරිතාලෙත් හම්බ වුණේ. මේ පාරත් කොරියානු යුද්දෙ නතර කලොත් මොනාහරි තෑග්ගක් හම්බවෙන බවට මහරජතුමාට හොදටම ශුවර්ය.

ඒ කෝපි කාලේ ආශ්චර්ය දීපයේ ටැලිවිසොං සංස්ථාවක් නොතිබුණ නිසා ඒකක් තෑගි ලැබුණත් අද තෑගි හැටියට ලැබෙන්ට ආශ්චර්ය දීපෙට අඩු මොනවාදැයි මහරජතුමා කල්පනා කළේය. ඒ හම්බවෙච්ච ටැලිවිසොං එකෙත්, පස්සේ ආණ්ඩුවට ගත්තු නයිටීඑන් එකෙත්, වැවේ ගෙදර පත්තරෙත් කියන හැටියට දැන් ආශ්චර්ය දීපෙට මොනවායින් වත් අඩුවක් පාඩුවක් නැති නිසා දෙන්නට තෑගි හොයන්නට ගොස් කොරියාව තවත් අර්බුධයක පැටලේ යයි මහරජතුමාට බියක් ද දැනෙන්නට විය. ආශ්චර්ය දීපයේ දෙවෙනි සැටලයිටය (පළවෙනි එක දැනටමත් උඩු ගුවනනේය), තව අධිවේගී මාර්ග දෙක තුනක්, කොටුවේ වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් වගේ කණු දෙකක් හම්බන්තොටටත්, නෙලුම්පොකුණ වගේ තව පොකුණක්, හම්බන්තොටටත් ගොල්ෆේස් පිට්ටනියක් (නෑ යාල ෆේස්), හම්බන්තොටත් මුහුද ගොඩකර තවත් නගරයක් ආදී වශයෙන් විකල්ප යෝජනා රාශියක් ඉදිරිපත් කොට එම අනාගත අර්බුදයෙන් ද කොරියාව ගලවාගමියි මහජරතුමා සිතීය. මේ මොන ප්‍රොජක්ට් එකෙන් උනත් යුවරජවරුන්ට සෙසන්ට්ප්‍රේජ් ලැබෙන විදියට ගිවිසුම් ගහගත්තොත් ඒ ඈයෝ ද ගොඩය. මොනව හැදුවත් මහරජතුමා ගේ නම නම් ගහගන්නවා මය.

නේපාලය වැනි රටවලට රාජතාන්ත්‍රික කටයුතු වලට ද උපදෙස් දෙමින් (ඒ රටවල් ඉරිසියාවට පස්සේ නැතැයි කීවද) ජාත්‍යන්තර වශයෙන් තමන් ලබා ඇති ප්‍රතිරූපය මෙමගින් තවත් පුම්බාගත හැකි වනු ඇතැයි ද රජතුමා කල්පනා කළේය. මේවා ඉතිං මට ම කල්පනා වෙන්ට ඔනි, හැටහුටාමාරක් ඉන්න රාජ උපදේශකයෝ එකෙකුට මෙව්වා මතක් වෙන්නේ නෑනේ යි තමාටම කියාගත් රජතුමා රාජඋපදේශකයන් ගැන ඇත්තටම දුක්විය.

හරි එතකොට දැන් මොකක් ද කොරියාවේ රජාට දෙසාබාන ධර්ම පාඨය. පප්පා රජතුමා කිව් එක නම් පට්ට වුණාට ඒකම කීවොත් නෝන්ඩිය. පප්පා රජතුමා ගේ බෑන කුමාරයා ද අයිතිවාසිකම් කියාගෙන එන්නට බැරි නැත.(කලු කෝපි බොන්නට දී ශේප් කිරීම වෙනම වැඩකි). පිරිවෙන් පුස්ථකාලයේ ජොබ් එක කර තිබුණ ද ධම්මපදය තමුන්ට “වැඩිය බැරි” බව මතක් වී රජතුමා විස්සෝප වූයේය. ඒත් අවුලක් නැත දේවදත්ත නිකායේ හාමුදුරු සෙට් එක හැම තිස්සේම තමා වටා ඉන්න නිසා උදව්වක් ගන්නට බැරිකමක් නැත.

හාමුදුරුවන්ට කෝල් කරන්න යනවිටම රජතුමා ගේ දුරකථනය රිං වූ අතර එහා පැත්තෙන් කතා කළ එකා කිවේ උතුරේ පලවන දවාලන් පුවත්පතට කවුදෝ ගිණි තබා ඇති බවකි. සුදුසු දහම් පාඨයක් සෙවීමේ කටයුත්ත සෙකට්‍රි හීරෝතුංගට පැවරූ රජතුමාට දවාලන් පත්‍රය ගිණිගත්තේ කෙසේදැයි රාජ පුරුෂ සේවාවේ මාධ්‍ය ප්‍රකාශක ගෙන් වහාම විමසා සිටියේය.

“මේක රජතුමනි ඒ පත්තරයේ ම කට්ටිය අවුරුදු චාරිත්‍ර සමරන්ට ගිහින් වෙච්ච කේස් එකක් – අපිට ඒක හොයාගන්න පැය හතරයි ගියේ”

“මොකක්, කවුද බං පත්තර කන්තෝරු වල අවුරුදු සමරන්නේ?” රජතුමා විස්මයට පත්විය.

“මේකනේ රජතුමනි, පත්තරේ කර්තෘ ඇතුලු සෙට් එක කන්තෝරුව ඇතුලෙම නැකැත් චාරිත්‍ර කරන්ට ගිහින්. ලිපි ගිණි මොලවද්දි වෙච්ච අත්වැරැද්දකින් තමයි ප්‍රින්ටිං මැෂින් ගිණි අරං තියෙන්නේ. වැඩේ වැරදුණාම උන් එතනින් මාරු වෙලා” මාධ්‍ය ප්‍රකාශක පැහැදිලි කරන්නට විය.

අනේ මේ මිනිස්සුත් කරගන්න දේවල්. රජතුමා කම්මුලේ අත තබාගෙන කල්පනා කරන්නට විය.

බූස්ටන් මහා බක්මහ උලලේ මැරතං තරගයට එල්ල වූ බෝම්බ ප්‍රහාරය ගැන රජතුමාට ආරංචිය ආවේ මෙලෙස කල්පනා කරමින් සිටින අතරතුරය. එතුමාට එකපාරට ම සිහිපත් වූයේ තම ලෝකොලේජ් මිත්‍ර රාජ් ඇමතිවය. ඕකනේ කියන්නේ ත්‍රස්තවාදය ඉවරකරන්න ඕනි කියලා යයි තමාටම කියාගත් රජතුමා දැන් ආශ්චර්ය දීපයේ ත්‍රස්තවාදය, ප්‍රචාතන්ත්‍රවාදය, අමරාවිකක්කේපවාදය තබා පානදුරාවාදයවත් ඉතිරි නොකොට සුද්ද කර දැමීමට තමන්ට හැකිවීම ගැන මහත් ආඩම්බරයට පත් විය (බෙහෙතකට වගේ දැන් ආශ්චර්ය දීපයේ ඇත්තේ බඩගෝස්තරවාදය පමණි). පසුව එතුමා ඔබා රජතුමාට කතාකරන්න ඔනි යයි සිතා ඇමතුමක් ගත්තේය. ඊට කලින් තම මාළිගයේ ද කැබිනෙට්ටුවේ ද සිටින ඇමරිකන් පුරවැසියන්ට එතුමා  බූස්ටන් ප්‍රහාරය ගැන තම හදපිරි ශෝකය පල කලේය.

“හා ඔබා ප්ලීස් ඇක්සෙපිට් මයි ඩීපස්ට් සිම්පති රිගාරඩින් ද බූස්ටන් ටෙරර් ඇටෑක්” යනුවෙන් පටන්ගත් රජතුමා “යූ නෝ හව් වී ඩිෆීටඩ් ද ටෙරරිසම් ඉන් ආශ්චර්ය දීප්?” යනුවෙන් ත්‍රස්තවාදය පරදවන ආකාරය ගැන හෙන පොරටෝක් ලෙක්චර් එකක් ඔබා රජුට දීමට සැරසුනේය.

“මේ හලෝ, ඔහෙලයි හමුදාව ට්‍රේන් කරල, වෙපන්ස් දීල, ටෙක්නිකලි ඇඩ්වයිස් කරල ටෙරා වැනිශ් කරන් උදව් කලේ අපි නෙවෙයි ද? – විස්සක් කපපු එක පනහ කරගන්න ඔනෙද?” යනුවෙන් මහරජු නෝන්ඩි කර ඔබා දුරකථනය විසන්ධි කළේය. මූ කියන්නෙත් ඇත්ත නේන්නම් යයි කල්පනා කළ රජතුමා සෙකට්‍රි හීරෝතුංගට කතා කොට සුපිරි ම දහම් පාඨයක් ඉගෙන ගත්තේය.

දහම් පාඨය හොදින් කටපාඩම් කරගත් රජතුමා කිං ජෝං ඉල් රජතුමාට දුරකථන ඇමතුමක් ගත්තේය.

“හෙලෝ මචං, මොකක්ද බං උඹල ඔය යුද්ධයක් කරන්න යන්නේ ඔන්න ඔය …………….

රජතුමාට කියන්න ලැබුණේ එපමණකි.

“ඇයි මීට කලින් යුද්ධ කරනව දැල නැද්ද? නිකං යනව මනුස්සයෝ වැඩක් බලාගෙන”

යනුවෙන් කෑගැසූ කිං ජෝං ඉල් රජතුමා මහ හඬින් රිසීවරය තැබුවේය. ආශ්චර්ය දීපයේ ආශ්චර්ය කොරියාවේ පිහිටෙන් තවත් වැඩි දියුණු කිරීමට සිතා සිටි රජතුමා  ගේ සිහින බොඳවී ගියේය.

නව අවුරුදු සුභපැතුම් – New year wishes !

2013 - sinhala NY2

අවිවේකය බ්ලොග් ලිවීමට දිගින් දිගටම භාදා කරයි. කාලීන මාර්තෘකා වලට සිතෙන් කටුගෑ ලිපි කීපයක් ම කල් ඉකුත් වී හමස් පෙට්ටියේ ය. කෙසේ වුවද බ්ලොග් ලිවීම කිසිසේත් ම අත් නොහරිමි. ඉක්මනින් ම අලුත් මාර්තෘකාවකින් මුණගැසෙමු. එතෙක් පිළිගන්න මේ පැතුම් !

1970-77 රජය, ජාතිය ගෙනගියේ ඉදිරියටයි! – It was a “Golden era”, I bet

Sirimavo

මාතලන් ගේ ලිපියකට ප්‍රතිචාරයක් ලෙස බුවා දැක්වූ අදහසක තිබූ පහත වාක්‍ය ඛණ්ඩය දැක ඇතිවූ කම්පනයෙන් මෙම ලිපිය ලියැවේ

“සිරිමා විසින් අන්ත ගෝත්‍රික ජාතියක් බවට ඇදගෙන යමින් තිබු රට”

සිරිමා බණ්ඩාරණායක මැතිණිය ප්‍රමුඛ සමගි පෙරමුණ රජය මෙරට ගෙන ගියේ අනාගතයටයි. වෙන කවරදාකටත් වඩා අනාගතයටයි. ඒ කෙසේදැයි අප එකින් එක කරුණු විමසා බලමු.

1972 ආණ්ඩුක්‍රම ව්‍යයවස්ථා සංශෝධනය

අප රට පූර්ණ වශයෙන් නිදහස් ජනරජයක් බවට පත් උනේ 1972 ව්‍යවස්ථාව මගිනි. 1948 දී ඩොමිනියන් තත්වය ලබා තිබුණ ද එතෙක් අප රට පැවතියේ අර්ධ වශයෙන් බ්‍රිතාන්‍ය කිරීටයට යටත්වය. ඒ හස්තයෙන් මුලුමනින්ම නිදහස් වීමී ගෞරවය සිරිමා  බණ්ඩාරනායක මැතිණිය ප්‍රමුඛ සමගි පෙරමුණු රජයට ද අචාර්ය කොල්වින් අර් ද සිල්වා මහතාට ද හිමි විය යුතු. එමෙන් ම  මූලික මිනිස් අයිතිවාසිකම් පිලිබඳව ලංකාවෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මුල් ම වරට ඇතුලත් වන්නේ ද 1972 දීය. මෙය රට ඉදිරියට යාමක් ද නැද්ද?

තෙල් ජනසතුව සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව.

1970 වනවිට මෙරට ඛනිජ තෙල් වෙලඳ ඒකාධිකාරය පැවතියේ ෂෙල් සමාගම සතුවය. එය ෂෙල් බූවල්ලා ගෙන් නිදහස් කර ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පිහුටුවීමේ ගෞරවය ද හිමිවන්නේ සමගි පෙරමුණු රජයට ය.එපමණක් නොව පිරිපහදු කරන ලද ඛණිජ තෙල් වල අවසන් නිශ්පාදන  (ඩීසල්, පෙට්‍රල්, භූමිතෙල්….) වෙනුවට බොර තෙල් ආනයනය කොට, ඒවා මෙරට දී පිරිපහදු කිරීමට සපුගස්කන්ද තෙල් පිරිපහදුව පිහිටුවන්නනේ ද මේ රජය යි. මෙය රට  ඉදිරියට ගෙනයාමක් ද ආපස්සට ගෙනයාමක්ද? ඛනිජ තෙල් කර්මන්තය ඇරඹුණේ ද ඒහරහා ඛනිජ තෙල් වල අතුරු නිශ්පාදන රැසක් ( LPගෑස් ද ඇතුලුව) මෙරට ඇතිවන්නෙ ඉන් අනතුරුවය. මෙරට ජනතවගේ පරිභෝජනයට අවශ්‍ය එම නිශ්පාදන ආනයනයට වැය වූ විදේශ විනිමය රටට ඉතිරි වූ බව ද අලුත් රැකිය අවස්ථා රැසක් තෙල් ජනසතුව හරහා බිහිවූ බව ද නොකිවමනාය. මේ ජාතියේ ඉදිරි ගමනක් ද ආපසු යෑමක් ද? තීරණය කිරීම ඔබට භාර කරමි.
අද වන විට, තෙල්පිරිපහදු අකර්මන්‍යය කොට, ඩීසල් පෙට්‍රල් අනයනය කරමින්, ඉන්දියන් ඔයිල් කොම්පැණියට තෙල් ටැංකි හා බෙදාහැරීම (2/3ක් වියයුතුයි) පවරා, LP ගෑස් යලිත් ෂෙල් බූවැල්ලාට ම භාරදී පසුකාලීනව විවිධ රජයන් කලේ ඉදිරියට යාමක් ද? ආපස්සට යාමක් ද? (අද නම් බාල තෙල්, හෙජින් සූදූ ආදී අතුරු කතා රැසක් ම මීට ඇතුලත්ය)

මහවැලි ව්‍යාපාරය

මහා ජලස්කන්ධයක් රැගෙන, කිලෝමීටර 300 ක් මග ගෙවා ගෙන නිකරුනේ මුහුදට ගලාගිය මහවැලි ජලය උතුරට හරවා රජරට වී වගාව දියුණු කිරීම සමගි පෙරමුණු රජයේ සංකල්පයකි. වසර 30 ක දීර්ඝ කාලීන සංවර්ධන යෝජනා ක්‍රමයක් ලෙස පොල්ගොල්ල හැරවුම් වේල්ල ඉදිකරමින් මේ ව්‍යාපෘතියේ මුල් පියවර තැබුවේ සිරිමා බන්ඩාරණායක මැතිණිය යි. මීලඟට බලයට පත්වූ එ.ජා.ප රජය මහවැලි ව්‍යාපෘතිය අත් හැර නොදැමීම අගය කලයුතු උව ද (UNP රජයේ විශාලතම සංවර්ධන යෝජනා ක්‍රමය වූයේ ද මෙයයි), වසර 30ක ව්‍යාපෘතිය වසර 6 කට හකුලුවා “කඩිනම් මහවැලිය” බවටපත් කිරීම විවාදාපන්නය. විශේෂයෙන් ම  පරිසරය හා සම්බන්ධ ව්‍යාපෘතියක් බැවින් කඩිනම් කිරීම තුල පරිසර හානිය ද වැඩිය. වසර 30 ක දීර්ඝ කාලීන ක්‍රියාවලියක දී පරිසර හානිය විශාල නොවන්නේ පරිසරයට තම විසින්ම තම හනිය ප්‍රති පූරන කිරීමට ප්‍රමාණවත් කාලයක් ලැබෙන බැවිනි. කෙසේ උව ද ජනතාවට ප්‍රතිලාභ ලැබීම ඉක්මන් වීම කඩිනම් මහවැලියයේ සාධනීය ලක්ෂනය යි.
UNP රජය විසින් කඩිනමින් ක්‍රියාත්මක කල ද පොල්ගොල්ල වේල්ල ඉදිකරමින් මෙම ව්‍යාපෘතිය අරඹා කෘශිකාර්මික නවෝදයකට ද , අදටත් ලබදායී ම ශක්ති ප්‍රභවය වන ජල විදුලි බලාගාර හරහා රට නව ලොව වෙත ගෙන යාම ඇරඹුවේ සමගි පෙරමුණු රජය නොවේද? මේ ඉදිරියට යාමක් ද පසුපසට යාමක් ද?

විදුලිය පරිභෝජනය කරන සමස්ථ ජනතාව ද (පරිඝනකය ඉදිරියේ වාඩී සිටින ඔබ ද මා ද ඇතුලත්ව), මහවැලි කලාප වලින් එන බත් ඇටයක් හෝ ආහරයට ගෙන ඇති සියලු දෙනා ද, මහවැල් ගොවිජනපද වාසීන් ද ඒ අතින් සමඟි පෙරමුණු රජයට සිය කෘතඥතාව දැක්විය යුතුමය. (නොබෝදා ජාතික විදුලි බල පද්ධතියට මෙගා වොට් 150 ක් එක්කළ ඉහල කොත්මලේ ජලවිදුලි බලාගාරය ද විවිධ භාධා කිරීම් නිසා ප්‍රමාද වූ මහවැලි ව්‍යාපාරයේ ම අවසන් විශාල ජලාශය බැව් බොහෝ දෙනා දන්නේ නැත)

ජනවසම

ජනතා වතු සංවර්ධන මණඩලය හරහා වැවිලි කර්මාන්තය රජයට පවර ගත්තේ ද ඒ හරහා විදේශයන්ට ඇදී ධනස්කන්ඩය මෙරට රඳවා ගත්තේ ද සමගි පෙරමුණු රජයයි. අද වනවිට නැවත මේ වතු වල පරිපාලනය පුද්ගලික අංශයට පවරා ඇත. කඳුකර තේ වතු වල පිවිසුම් මාර්ගවත් නිසි ලෙස නඩත්තු නොකරමින් මේ සමාගම් වතු වලින් ලාභ ලබයි.

රාජ්‍ය සංස්ථා

ශ්‍රී ලංකාව සාපේක්ශව ස්වභවික සම්පත් බහුල රටකි.  මෙරට යුරෝපීය අධිරාජ්‍යය වාදීන් ගේ ග්‍රහනයට නතු වූ පසු  (විශේෂ ම බ්‍රිතාන්‍යය) මේ සම්පත් වලින් සමහරක් නෙලාගනු ලැබිණි. ‍යුරෝපයේ ඇතිවූ කර්මික විප්ලවයෙන් පසු යුරෝපා රටවල් දේශගවේශනයේ යෙදුනේ ද, යටත්විජිත්කරනයේ යෙදුනේ ද තම රටවල කර්මන්ත සඳහා කාර්මික අමුද්‍රව්‍යය සොයා ය. ඒනිසා ඉංග්‍රීසින් ද මෙරට ස්වාභාවික සම්පත් එලෙසින් ම අපනය කලා මිසක් ඉන් මෙරට කර්මන්ත කිරීමට උත්සුක වූයේ නැත. ඊට ඔවුන්ට දොසක් කිව නොහැක.
ණමුත් 1948 දී නිදහස් ලැබීමෙන් පසු අපේ ම පාලකයන් ද අනුගමනය කලේ ඒ පිලිවෙතම ය. ඉන් අපගමනය වීමක් පෙන්නුම් කලේ සමගි පෙරමුණ රජය පමණි. 1970-77 යුගයේ සමගි පෙරමුණු රජය විසින් අරම්භ කරන ලද කර්මාන්ත ගනණාවකි.

පුත්තලම සිමෙන්ති  – අද හොල්සිම් 

කැළණිය ටයර් – අද පුද්ගලික අංශයේ

ඇබිලිපිටිය කඩදාසි  – අද වන විට නැත්තට ම නැතිවී ඇත

ඔරුවල වානේ  – අද චිකෝ

ගින්තොට තුනී ලෑලි – අද ගිංතොට ප්ලයිවුඩ්

වේයන්ගොඩ සහ පුගොඩ පෙහෙකම්හල් –අද වන විට නැත්තට ම නැතිවී ඇත

හිඟුරාන සිනි – (පාඩු ලබන්නක් නිසා දෝ) යලි රජයට පවරාගෙන ඇත

රත්තොට පිඟන් – නොරිටාකේ සමාගමට පවරා ඇත

මේ කර්මන්ත ශ්‍රී ලංකාව තුල ඇරඹීම රට ඉදිරියට යාමක් මිස ආපස්සට යාමක් වන්නේ කෙසේද? නමුත් අද වනවිට ‍‍මේ බොහොමයක් ආයතන දුර්වල පලනය නිසා ගරා වැටී තිබීම හෝ පුද්ගලික අංශයට පවරා තිබීමම නම් ආපස්සට යාමක්මය. සමඟි පෙරමුණු රජයට පසු පත් වූ රජයන් සමහර ආයතන මුදලට විකුණා මඩි තර කරගත්තේ රත්තරන් බිජු දාන කිකිලිය ගේ කතාව සිහිපත් කරමිනි.

එසේම ලක් ඉතිහාසයේ අයවැය පරතරය ශුන්‍ය වූ අයැවැයක් ඉදිරිපත් කලේ ද සමගි පෙරමුණු රජයයි. මහාචාර්ය සේනක බිබිලේ මහතා ගේ මූලිකත්වයෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හා ඔසුසල පිහුටුවන්නේ ද සමගි පෙරමුණූ රජයයි. (බිබිලේ මහතා ගේ අකල් වියෝවෙන් දශක 4කට පසු අද වන විටත් “සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය“ ක්‍රියාත්මක කරගත නොහැකිව රජය තටමයි.

ඉඩම් ප්‍රතිසංස්කරන කොමිසම හරහා අක්කර 50ට වැඩ් ඉඩම් රජයට පවරාගෙන ඒවා ජනතාව අතට පත් කළේ ද මේ රජයයි. මෙයින් අගමැති සිරිමා මැතිණීය, හෙක්ටර් කොබ්බෑකඩුව බඳු අමාත්‍යවරු ද තම පාරම්පරික දේපල අහිමි කරගත්හ. 1970 රජයේ අවසානයත් සමගම මේ ජනහිතකාමී මහත්මා දේශපාලනයේ අවසාන ද සනිටුහන් වීම ජනතාවගේ අහේතුවයි.

මෙතරම් ජනතවාදී රජයක් මීලඟ මැතිවරණයේදී පාර්ලිමේන්තුව තුල 1/6 ක වත් බලයක් නොමැතිව පරාජය වුයේ ද  UNPය 5/6 ක විශාල ජයග්‍රහනයක් ලැබුවේ ද මන්දැයි පාඨක ඔබට සධාරණ ගැටලුවක් ඇතිවාට සැක නැත.

මුලින් ම කිව යුත්තේ 1977 මැතිවරණයෙන් UNPය පාර්ලිමෙන්තුව තුල 5/6 ක බහුතරයක් ලැබීම එවකට ක්‍රියත්මක වූ මැතිවරණ ක්‍රමයේ විකෘතියක් මිස සැබෑ ජනමතයේ නිරූපනයක් නොවන බවය. සැබැවින් ම එදා UNP ය ලැබුවෙ 50% යන්තමින් ඉක්ම වූ බලයක් පමණි. මේ පිලිබඳව සවිස්තර වාර්තාවක් ලියුම්කරු විසින් මීට පෙර පල කර ඇත.

කෙසේ වුව ද 1977 දී සමඟි පෙරමුණු රජය පරාජයට පත් විය.ඊට හේතු කීපයකි.

    • ස්වයංපෝශිත පරිභොජන රටාව වෙත ජනතාව බලෙන් දැක්කීමට යත්න දැරීම.

    කිරිපැණි වත් ජනතාවට බලෙන් දිය නොහැක. විශේෂයෙන් ම හාල් පොලු, මිරිස් පොලු, පාන්න පෝලිම් ජනතාව නොඉවසුවා වන්නට ඇත. රොබට් නොක්ස් තම “එදා හෙල දිව” ග්‍රන්ථයේ ද දැක්වූ පරිදි අපේ රටේ  සිටින්නේ තමන් ගේ දේ පිලිඹද වටිනාකමක් නොදන්නා ජනතාවකි, මේ රටේ හොදම දේවල පල ලබන්නේ පිටස්තරයින් යයි ඔහු කීවේය .(අද ද අපේ ගැමියෝ ගෙදර ඇති පිරිසිඳු එළකිරි පිටට විකුණා ඒ මුදලින් කිරිපිටි ගෙනත් බොති). ඒ ජනතාව බලහත්කාරයෙන් නීතිරීති මගින් වෙනස් කිරීමට උත්සහා නොකොට සිටියා නම් සමඟි පෙරමුණ් රජයට යහපතක් ම වන්නට ඉඩ තිබිණි.

          2. රාජ්‍ය කාලය දිගු කරගැනීමට උත්සාහ කිරීම

    පස් අවුරුදු නිළ කාලය අවසානයේ මැතිවරණයට ඉදිරිපත් නොවී පාලන කාළය වසර දෙකකින් දිගු කරගැනීම ද, ඇත්ත පත්‍රයට සීල් තැබීම බඳු මර්ධනකාරී ක්‍රියාවන් ද රජයේ ප්‍රතිරූපය බිඳවැටීමට හේතුවන්නට ඇත. ජේ.ආර්.ජයවර්ධන රජය පසු කලෙක බන්ඩාරණායක මැතිණිය ගේ ප්‍රජා අයිතිය කෘර ලෙස අහෝසි කරනුයේ ද මේවා දඩමීමා කරගෙනය.

     කෙසේ වුව ද අවසාන ප්‍රතිඵලය වූයේ ශ්‍රී.ල.නි.ප යට වසර 17 ක් ම විපක්ෂයේ සිටීමට සිදුවීමය. විධායක ජනපති ධූරය ද ඇති කර බලවත් එ.ජා.ප රජයක ග්‍රහනයට ජනතාව ලක්වීමය.

    යලිත් මේ ලියුම්කරු අවධාරනය කරන්නේ 1970-77 යුගයේදී අපරට ජාතියක් වශයෙන් දැවැන්ත ඉදිරි පියවර රැසක් ගනුලැබුව ද ඒවා සියල්ල ආපසු හැරවූයේ පසුකාලීන රජයන් විසින් බවයි. ඒ රිද්මයේ ම අප ගසමන් කලා නම් ජාතියක් වහයෙන් විශාල දියුණුවක් ලැබීමට හැකිව තිබූ බව ලියුමුකරු ගේ පුද්ගලික අදහසයි.

    සුදු අලි පුරාණය (අතීත කතාපුවතකි) – An old story

    අල්ලපු ගෙදර ලොකු අයියා දුන්    මහරූ
    තෑගි රැසක් ඇත අප පින් බිම        ඇතිරූ
    ඒ හැම තෑගි පරදා අප සිත්              පෑරූ
    මරාලයක් ඇත මේබිම හෙලු        රුහිරූ

    නවසිය අසූහත වන විට රටම            පෙලූ
    කොටි සටනකට උත්තර ලෙස      දුන්නාලු
    රජිව් සමග ජනපති ජේඅර්                 මහලු
    ඒ ගැසු ගැටය තවමත් අපි            ලිහනවලු

    ඉන්දු ලංක ගිවිසුම ලෙස                 පරසිද්ද
    ඒ ගිවිසුමෙන් සිදුවිය ලොකු දේ           සිද්ද
    අගමැති රජිව් පිලිගත් හැටි දී                සද්ද 
    නාවික බැටන් පොල්ලකි හිස මත        විද්ද

    උතුරේ තිබුණු ගින්දර නිවනා         ලෙසින
    ගිවිසුම ගැසුව මුත් අයියා හා           කලණ
    සිදුවූ අබග්ගය කිමදැයි අසනු             මැන
    තව ගින්දරක් ඇති උනි සිරිලක       දකුණ

    මව්බිම නොමැති නම් මරණය සැපයි              කියා
    අවිගත් දකුණෙ කොල්ලොත් පෙරමුණට        ගියා
    කුලුගෙඩියකින් බිත්තරයක් බිඳිනු                  නියා
    ටයර් සෑය මත කොල්ලන් දැවී                       ගියා

    ඉඳුරුව ගමේ ආචරිට                      උනුදේම
    අප ආචරියට මෙදවස                         සිදුවීම
    දෛවය කුරිරු වී සරදම්                   ඉඟිපෑම
    වැසියන් නෙතින් බලමින් ඉවසනු       කෝම

    පලා බබා නම් සුදු අලියෙක්                   ලැබුණා
    නැගෙනහිරට උතුරත් එක් වී                  බෙදුනා
    කොටි හා සටන් කෙරුමට කියමින්      නොමනා
    ඉන්දිය සාම හමුදාවක් මෙහි                    ඇදුනා

    උතුරේ ගැටුම විසදන්නට                     ගෙනාවක්
    උනමුත් අදත් උතුරේ නෑ                        සභාවක්
    ලෙඩාට නෑ ඔසු පැන් එක                    ඇබිත්තක්
    ලෙඩ නැති අයට දෙයි අවුසද                  ගුලාවක්

    ඉන්දිය සාම හමුදාවම ගෙදර                    යවා
    උතුරින් නැගෙනහිර වෙන්කර යලි         හරවා
    ඊලම හෙව්ව කොටියා බිම                දනගස්වා
    අදවන විටදි වැරදි හුඟක් ඇත                 හදවා 

    කාලය සමග මේ අමිහිරි                       අන්දරය
    නිමවී ඇතත් හිසරදයක් ඇත                     සගය
    පලාත් සභා සුදු අලි රට කරන                    ණය 
    එලවා ලන්ට ගමු සුදුඅලි                      මන්තරය

    (හුදෙකලාව දුම්රිය ගමනක යෙදෙන අතර ජංගම දුරකථනයේ සටහන් කළ මේ පද්‍ය, කාලීන වැදගත්කමක් හෝ විශාල අදාලත්වයක් නැතත් තනිවම රසවිඳිනවාට වඩා තව පිරිසක් සමග බෙදා ගැනීම හොදයයි සිතූ බැවින් මෙසේ බ්ලොගයේ පල  කෙරේ.)

    ඇයි මීට කලින් මාව දැකල නැද්ද? – Haven’t you ever seen me before?

    Malinga

    ලසිත් මාලිංග වීරයකු කලේ ජනමාධ්‍යය යයි කීම, ජනමාධ්‍යයේ ස්වයං අධිතක්සේරුව පිලිබඳ කදිම නිදසුනකි. නලුවෙකු, ගායකයෙකු, හෝ සමහර විට දේශපාලකයෙකු, හෝ ජොතිර්වේදියෙකු සමාජයේ ඉහලට ඔසවා තැබීමේමී හැකියාවක් ජනමාධ්‍යය සතුව ඇතිමුත් ක්‍රීඩකයෙකු එලෙස ඉහලට එසවීමට ජනමාධ්‍යය සතු ශක්‍යතාව විවාදාපන්නය.මක්නිසාද  යත් ක්‍රිකට් හෝ මොනයම් ක්‍රීඩකයෙකු සමාජයේ ලබන ප්‍රතිරූපය තනිකරම පාහේ ඔහු ගේ කුසලතවය මත ගොඩනැගෙන්නක් බැවිනි. ලංකවේ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රකට් ක්‍රීඩකයින් විශල පිරිසක් (මින් අදහස් කරනුයී පුහුණු සංචිතය ද ඇතුලුව ය) සිටින මුත් ජනතව අතර වීරයන් බවට පත්ව සැලකුම් ලබන්නෙ ඉන් අත්ලොස්සක් පමණි. සනත්, අර්ජුන, මුරලි, සංගක්කාර, මහේල, එවැනි වීරයන් කීප දෙනෙකි. මාලිංග ද අයත්වන්නෙ එම කුලකයටයි. ඔහුගේ වීරත්වය පිටුපස තනිකරම ඇත්තේ ඔහුගේ කුසලතාවයයි. උදාහරණයක් ලෙස ලෝක කුසලන තරගවලියකදී පිටපිට පන්දු 4ක දී කඩුලු 4 දවාලමින් ඔහු පෑ අසාමාන්‍ය දක්ශතාවය ප්‍රේක්ෂක දෑස් වලින් සැඟවීමේ හැකියාවක් කිසිදු ජනමාධ්‍යයක් සතුව නැත.

    ලසිත් මාලිංග මාධ්‍යයයට බැන වැදුන විට “ඔයාව ඔතෙන්ට ගෙනවෙ අපි, දැන්  වට්ටන් නම් හිටපු තැනටම” කියමින් වහසි බස් දෙඩීම පල රහිත වන්නෙ එබැවිනි.එදින මාලිංග ගේ හැසිරීම ක්‍රීඩකයෙකුට හෝ කිසිදු මහත්මයෙකුට නොගැලපෙන්නක් බවට තර්කයක් නැත. නමුත් මෙහිදී මාධ්‍යයයේ යී සිත් රිදුනා කියා මාලිංගට පාඩුවක් වීද? නැත. ඔහු හොදින් ක්‍රීඩා කරන තාක් මාධ්‍යයට ඔහුට එරෙහිව කලහැකි කිසිවක් නොමැත. මෙහි  මාලිංග සිටින තැනට ඔහු වෙනුවට ගායකයෙකු ආදේශ කරන්න. මාධ්‍යය සමග ගැටුමක් ඇතිකරගන්නා ගායකයෙකුට ප්‍රතිචාර ලෙස මාධ්‍යය එකටෙක කිරීමක් වශයෙන් ඔහුගෙ ගීත වාරණය කලේ යයි මොහොතකට සිතන්න. මෙයින් එම ගයකයාට සිදුවන බලපෑම කෙබඳු ද? සමහරවිට ඒ ඔහු ගේ විනාශයම විය හැක.

    ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ජනමාධ්‍යය අවශ්‍යවේ නම්  අවශ්‍ය වන්නෙ ඔහු ජාතික කණ්ඩයමෙන් පිටත සිටින විටෙක ජාතික කණ්ඩායමට ඇතුලත් වීම සදහා බලධාරින් ගේ දෑස් ඔහු වෙත යොමු කරවීමටය. මාලිංග ජාතික කණ්ඩායමේ ස්ථාවරව සිටින නිසා ඔහු මේ අවදිය පසු කොට ඇති බව පැහැදිලිය.අඩු කුසලතාව නිස කණ්ඩායමෙන් ඉවතට විසි වී සිටින කලෙක නැවත කණ්ඩායම තුලට ඇතුල් වීම සදහා නම් මාධ්‍යයට යම් තීරණාත්මක වැඩ කොටසක් කල හැකි නමුත්, බලධාරීන් ක්‍රියාකරන්නෙ මාධ්‍යයට හෝ ජනතාවට අවශ්‍ය පරිදි නොව වෙනයම් න්‍යාය පත්‍රයකට අනුව බව මෑත කාලීන උදාහරණ රැසකින් පෙන්විය හැක.මාධ්‍යය හා ක්‍රීඩකයන් අතර අනෙක් සම්බන්ධය නම් වෙලඳ ප්‍රචාරක දැන්වීම්ය. මෙය ද ක්‍රීඩකයාගේ කුසලතාව හ වෙලෙන්දාගේ මුදල් මත පවතින ගනුගෙනුවක් බැවින් මාධ්‍යයට කල හැකි බලපෑම ශුන්‍යය.

    එසේ නම් මාලිංග (හෝ ඕනීම ක්‍රීඩකයෙකූ ) හොදින් ක්‍රීඩා කරන තාක් ඔහුගෙ ප්‍රතිරූපය බිද වැට්ටවීමට මාධ්‍යයයට කලහැකිදේ සීමිත බව පැහැලිය.

    නමුත් මොන තරමී වීරයෙකු වුවද මාධ්‍යය සහ ජනතාව ඉදිරියේ හැසිරීමට නොදන්නේ නම් ඒ ඔහුගේ නොහැදියාව මිස අන් කිසිවක් නොවන බව ද සටහන් කලයුතුය. 

    ධවල තිමිරය – The white mist

    Tea estate

    (සිංහලය මුලුමනින් ම සුදු අධිරාජ්‍යයට නතුවී පසුගිය මාර්තු දෙවෙනිදාට වසර 198 කි. මේ සටහන ඒ වෙනුවෙනි)

    බ්‍රිතාන්‍ය කිරීටයට යටත් වීමට පෙර මෙරට පැවතියේ ස්වයංපෝෂිත ආර්ථිකයක් යයි කියනු ලැබේ. එහි අදහස  නම් තම මූලික අවශ්‍යතාවන් තමා අවටින් ම සපයාගෙන මෙහි ජනයා දිවි ගෙවූ බවයි. යටත්විජිත යුගයට පෙර අපරටේ ජනතාව සුඛෝපභෝගී කුවේර ජීවිතයත් ගතකළේ යයි කීමට මම ඉක්මන් නොවෙමි. නමුත් සාපේක්ෂව අඩු අවශ්‍යතාවන් ගෙන් හෙබි මෙරට වැසියන් තම එදාවේල සොයා ගැනීමට නොරටට අතනොපෑ බව නම් සත්‍යයකි. මෙරට ඒ ස්වයංපෝෂිත ආර්ථික රටාව බිඳවැටීම ඇරඹුණේ  ක්‍රි.ව. 1505 දී සිදුවූ යුරෝපා ආක්‍රමණයත් සමගයි.

    විශේෂයෙන් ඉංග්‍රීසීන් විසින් ක්‍රි.ව. 1815 දී කන්ද උඩරට ඇතුලුව සමස්ථ ශ්‍රී ලංකාව ම යටත් කරගැනීමෙන් පසු අපේ ආර්ථිකය අනුන් මත යැපෙන ආර්ථිකයක් බවට පත්වීමේ ක්‍රියාවලිය ආරම්භ විය. යටත්විජිතවාදින් අලුත් අලුත් රටවල් යටත් කරගන්නේ අල්ලාගන්නා රටේ ජනතානගේ සුභසිද්ධිය තකා නොවන බව සත්‍යයකි. ඉංග්‍රීසීන් ද අපේ දිවයින අල්ලාගත්තේ තම මව් රටේ ආර්ථිකය තවතවත් දියුණු කරගැනීමේ ලා මෙරට ස්වාභාවික සම්පක් උපයෝගී කරගැනීමේ අභිලාශයෙන් මිස වෙනකක් නිසා නොවේ. මෙරට බහුල ව  තිබූ මිනිරන්, ඛණිජ වැලි, හුණුගල් ආදී ස්වාභාවික සම්පත් අපනයනය කළේ තම රටේ කාර්මික දියුණුව උදෙසාමය.

    ඉංග්‍රීසීන්  වාණිජ වගාවන් ලෙස මෙරට භූමිය තුල කෝපි, තේ, රබර් ආදිය වගා කළේ මෙහි ස්වාභාවික පරිසරය තම උන්නතිය උදෙසා යෙදවීමේ තවත් පියවරක් ලෙසය. නමුත් මේ වාණිජ භෝග වගාව මෙරටට කළ විනාශය සුලු පටු නොවේ. අද ද අප පීඩා විදින සමාජ, ආර්ථික, දේශපාලන, පාරිසරික ගැලටු බොහොමයක මූලාරම්භය මෙයයි.

    තේ යනු මෙරටට ආවේණික ශාකයක් නොවේ. එහි නිජබිම මධ්‍යම ආසියාවයයි (මා වැරදි නම් නිවැරදි කරන්න). ඉංග්‍රීසි ජාතිකයන් වාණිජ භෝගයක් ලෙස තේ මෙරටට හදුන්වා දෙන්නේ පුස් රෝගයක් පැතිරීම නිසා කෝපි වගාව මෙරටේ අසාර්ථක විමත් සමගය. මෙහි කඳුකර දේශගුණය, භුවිෂමතාව ආදී පාරිසරක සාධක තේ වගාවට මනාව ගැලපුනේ අපගේ ම අවාසනාවයට යැයි ලේඛකයාට විටෙක සිතේ. සුද්දා තේ වගාවට අවශ්‍ය මෙරට කඳුකර ඉඩම් ලබා ගත්තේ පැහැදිලිවම බලහත්කාරයෙනි. අපේ මුතුන්මිත්තන් බුක්ති විඳි (නමුත් සුද්දා ගේ නීතියට අනුව නිසි ලෙස අයිතිය තහවුරු කළ නොහැකි වූ) ඉඩම්  “මුඩු බිම් පනත“ මගින් රජයට පවරා ගනු ලැබිණි. අපෙ ් ජනතාව උපන් බිමවලින් පන්නා දන්නේ ඉන් අනතුරුවය. ඊට අමතරව කඳුකරයේ ව්‍යාප්තව තිබූ තෙත් කලාපීය කඳුකර වනාන්තර එලි පෙහෙලි කරන්නේ ද තේ වගාව උදෙසාය.

    තේ අධික ලෙස තම්කරු ශ්‍රමය අවශ්‍ය වන වගාවකි. සුද්දාගේ තේ වගාවට අවශ්‍ය කරන ශ්‍රමය මෙරටින් ම සම්පාදනය කරගරනීමේ හැකියාව තිබුණ ද තමන්ගෙන් මංකොල්ලකෑ ඉඩම් වල වැටුපකට සේවය කිරීමට අපේ මුතුන්මිත්තන් අකැමැති වූහ. එය ඉතා සාධාරණය.  අපි ආඩම්බර ජාතියක් වීමු.

    තේවතු වල සේවයට ඕනෑ තරම් ලාබ ශ්‍රමය තිබූ දකුණු ඉන්දීය කුලීකරුවන් මෙරටටගෙන එන්නේ මේ හේතුවෙනි.මෙය අප රෙට් තවත් සමාජ ගැටලු ගණනාවක ආරම්භයයි.මේ ආගන්තුක ජනකොටස නඩත්තු කිරීමට අමතරව පත්වන රජයන්ට තම බලතුලනය උදෙසා මේ ජනතාවෙග් ඊනියා නායකයන්ට කප්පම් ලබාදීමට සිදුවීම අද දක්වාම අප අතිවිඳිනඛේදවාචකයකි.

    තේවගාව නිසා කඳුකර නොඉඳුල් වැසි වනාන්තර ඛේදජනක ‍ලෙස විනාශයට පත්විය. ආදේශ වන වගා ලෙස සුද්දා මේ ප්‍රදේශ වලට හදුන්වා දුන් ෆයින්ස්, ටර්පන්ටයින් ආදී වගාවන් තවතවත් මේ පරිසර හානිය  වර්ධනයකලේය. පරිපර තුලනය මුලුනමින් බිඳ වට්ටන මේ ෆයිනස් කැලෑ තුල කුරුල්ලෙක් වත් නොරැඳේ. සාමාන්‍ය යෙන් ගසක කොළයක් ගසෙන් ගිලිහී කෙටි කලක් තුල දිරා ගොස් පස් බවට පත් වන නමුදු ෆයිනස් ශාක පත්‍ර සෑ‍හෙන කාලයකට දිරා නොයයි. ෆයිනස් කැලැයක් තුලට පිවිසෙන්නෙකුට   ගස් අතර දක්කට ලැබෙන්නේ පස් නොව අඩි කීපයක ගනකමට ඇති දිරා නොගිය දුඹුරු පැහැ වියලි ෆයිනස් පත්‍රයන් ය. කඳු ගැට වල තේ වගාවෙන් සිදුවන පාංශු ඛාදනය අද දින විශාල පාරිසරික ගැටලුවකි. මෙහි තරම වටහාගැනීමට වැසි කලක නඳුකරයෙන් පහලට ගලාබසින බොරපැහැ ගංඟාවන් දෙස බලා සිටීම ප්‍රමානවත්ය.

    සුද්දා ගෙන් අපට වූයේ අගතියක් ම පමණකැයි කීමට තරම් ලේඛකයා අන්තගාමී නොවේ. මෙරට ස්ථාපිත කළ අධ්‍යාපන පද්ධතිය, (අද අප විසින් වැරදි වැරදි ලෙස භාවිත කරන මුත්) වෙස්මින්ස්ටර් ආණ්ඩු ක්‍රමය  , අද පවා භාවිතයට ගන්නා මහාමාර්ග, දුම්රිය මාර්ග, රාජ්‍ය පරිපාලන ආයතන ආදිය සුද්දා‍ ගෙන් අප ලැබූ දායාදයන්ය. සත්‍යය වශයෙන් ම මේවා තම යටත් විජිතය පාලනය කිරීමේ පහසුව උදෙසා තම  ප්‍රයෝජනය උදෙසා ම සුද්දා විසින් ඇති කළ දේ වුව ද අද ඉන් පල ලබන්නේ අපය.

    එ සුද්දා ලබා දුන්දේය. ලබා නොදුන් දේ පිලිබදව ද සටහනක් තැබිය යුතුමය. සුද්දා තම කාර්මික හෝ තාක්ෂණික දැනුම මෙරට වැසියන්ට ලබා දුන්නේ නැත. ඒ වෙනුවට කළේ මිනිරන්, ඛණිජ වැලි ආදිය අමුද්‍රව්‍ය ලෙස රට පටවා යුරෝපයේ කර්මාන්ත කිරීමය. මෙහි රබර් ෆීට් අපනයනය කර විදේශයන්හි නිපදවන ටයර් නැවත මෙරටට ගෙන්වීමය.

    මේ ලිපිය ලිවීමෙහිලා ලේඛකයා පෙලබූ මුඛ්‍ය කාරණය වෙත දැන්  ප්‍රවේශ වෙමු. තම යටත්විජිතයේ ජනතාව ගේ ආර්ථික, සමාජීය සවර්ධනය කෙරෙහි කිසිදු වගකීමක් නැති බ්‍රිතාන්‍යය අධිරාජ්‍යවාදීන් එදා එසේ කිරීමේ විශ්මයක් අපට නැත. නමුත් අප දැන් හැටපස් වසරකට පෙර ඒ අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස් වීමු. ඒත් එදාට වඩා වෙසක් අද තිබේ ද? අද ද අපේ ආර්ථිකය රැඳී පවතින්නේ එදා මෙන් ම මේ කෘශිකාර්මික භෝග කීපයක් හා කාර්මික අමුද්‍රව්‍ය කීපයක් අපනයනය කිරීම මතය (මැදපෙරදිග වහල් සේවය හා ඇඟලුම් කර්මාන්තය හැරුන විට). 1970 දශකයේ ශ්‍රී.ල.නි.ප රජය යටතේ ඉංජිනේරු සංස්ථාව, සිමෙන්ති සංස්ථාව, ටයර් සංස්ථාව ආදිය පිහුටුවමින් මේ වලෙන් ගොඩ ඒමට සාධනීය පියවර ගත්ත ද පසු කාලීනව ඒ රජයේ අනුප්‍රාප්තිකයන් විසින්  ද, වෙනත් පාලක පක්ෂ විසින් ද, ඒ සියල්ල කනපිට හරවා තිබීම ඉතා කනගාටුදායකය. අපේ ම ඡන්දයෙන් පත්වන අපේ ම පාලකයන් එදා අපව බලෙන් යටත් කරගත් සුදු අධිරාජ්‍යයට විකල්පයක් වී නැති වීම බරපතල ම ඛේදවාචකයයි. 

    අපි තවමත් ඒ ධවල තිමිරයෙන් වැසී සිටිමු !

    විස්කෝතු කෑ දරුවා ගේ මරණය – Untimely death of a child

    [ලේඛකයා  Holiday blogger කෙනෙක් බවට බවට පත්ව සිටින නිසා කල් ඉකුත් වූ මාර්තෘකාවක්  ගැන ලිවීම පිලිබඳව  පාඨකයෝ සමාවෙත්වා.]

    මුලින් ම කිව යුත්තේ ලේඛකයා උපන්දා සිට අත්දැක තිබූ බිහිසුණු ත්‍රස්තවාදය මෙරටින් තුරන් කිරීමට ද, වේලුපිල්ලේ පිරබාහිරන් නමැති හිත්පිත් නැති ඝාතකයා විනාශ කිරීමට ද ශ්‍රී ලංකා රජය සහ ආරක්ෂක හමුදාවන් දියත් කළ මානුශික මෙහෙයුම සහ එහි ජයග්‍රාහී අවසානය ද කිසිදු දෙගිඩියාවකින් තොරව ජාතියක් ලෙස අප ලැබූ විජයග්‍රහණයක් යයි සලකණ බහුතර ශ්‍රී ලාංකිකයන් අතර ජයශ්‍රී ද සිටින බවයි. ඒ සම්බන්ධව අදාල පාර්ශවයන්ට කෘතඥතාව පල කිරීමට ද නොපැකිල ඉදිරිපත් වෙමි.

    නමුත් ඊයේ පෙරේදා කරලියට ආ පිරබාහිරන් ගේ බාල පුතු ගේ යයි කියන ඡායාරූප කීපය ලේඛකයා ගේ සිත ද බලවත් සේ කම්පනයට පත් කළ බැව් නොකියා ම බැරිය.

    නමුත් මේ ඡායාරූප දැකීමෙන් සිතේ හටගත් කුකුස මෙසේ සටහන් කොට තබමි. මේ සේයාරූ වල සිටින්නේ බාලචන්ද්‍රන් හෝ වෙනයම් දරුවෙක් හෝ වේවා මිය ගොස් සිටින්නේ වෙඩි වැදීමෙන් බොහෝ දුරට ස්තිරය. නමුත් වෙඩි වැදී මියයාමට පෙර ඔහුට කෑමට යමක් ද බීමට යමක් ද දී ඇති බැව් අනෙක් ඡායාරූප වල දැක්වේ. ඝාතනය කිරීමට නියමිත අයෙකුට ඝාතකයාගෙන් ආගන්තුක සත්කාර කීරීමක් බලාපොරොත්තු විය හැකිද? මේ පරස්පරය පැහැදිලි කළ හැක්කේ කෙසේද?

    ඒ දරුවා බිලිගත්තේ බහුතර මතයට පිරින් ගිය එක් ද්‍රෝහී තුවක්කුකරුවෙකු විසින් විය නොහැකි ද? ඔහුට ආහාර වලින් සංග්‍රහ කළේ ද, වෙනත් අවස්ථාවක පිරබාහිරන් ගේ දෙමාපියන් කරේ තබාගෙන ගෙනවිත් උපස්ථාන කළේ ද මේ බහුතර මතවාදයයි. (මේ මහලු යුවල පසු කළෙක ස්වාභාවිකව මියයන තුරුම මෙරට දිවි ගෙවීය). එසේම ඒ යුද සමයේ දයා මාස්ටර් බඳු දස දහස් ගනනක් සාමාන්‍ය ජනතාව (මහල්ලන් මෙන්ම කුඩා දරුවන්) අතින් අල්ලාගෙන රජයේ පාලන ප්‍රෙද්හ වෙත ගෙන ගොස් රැක ගත්තේ මේ බහුතර මතවාදදයි.

    (බහුතර භාරතීයන් ගේ අසහාය වීරයෙක් වූ මහත්මා ගාන්ධිතුමා ගේ ජීවිතය, ඔහුට එරෙහි එක් සීක් ජාතිකයෙකු විසින් විනාශ කරන ලද බව පාඨක ඔබට මතක් කරදීමට අවසර දෙන්න.)

    අනෙක් අතට මේ දරුවා සිටින්නේ කොටි කඳවුරකය, ඔහු ඝාතනයට ලක් කරන්නේ කොටි සංවිධානය විසින්ය යන මතය ද කිසිසේත් ම බැහැර කල නොහැක්කකි.

    කලකට ඉහත මෙලෙස ම අහිංසක දරුවන් ගේ, මෙන්ම නිරායුධ වැඩිහිටියන්ගේ ද රුධිරයෙන් මේපොලව තෙත් වූ වාරගණන් අපමණය. ඒ පිරබාහිරන් නම් අලුගෝසුවා ගේ අණින් ක්‍රියාත්මක වූ ආත්මඝාතක මිනිස් බෝම්බ මගිනි. එලෙස මියගිය සිංහලයන් ගැන කටේ කෙල බිඳක් නොහෙලූ සමහරුන් අද මේ දරුවා සහ ඔහුගේ මරණය ගැන කිබුල් කඳුලු හෙලීම වටහාගත නොහැකි තවත් උහතෝකෝටිකයකි.

    යුද්ධය, මිනිසුන් දෙපිරිසක් අතර ඇති ගැටලුවක් විසඳා ගැනීමට ඇති නරක ම මෙන්ම අවසාන විකල්පයයි. උතුරේ එල්ටීටීය හා තිබූ ගැටලුව විසඳීම සඳහා ශ්‍රීලංකා රජයට යුද්ධයට යොමුවන්නට සිදුවූයේ කිහිපවිටක් ම ත්‍රස්තවාදීන් විසින් රවටනු ලැබ වෙන විකල්පයක් නොමැතිව බිත්තියටම හේත්තු කොට සිටි මොහොතකය. ඒ යුද්ධය ජයග්‍රාහීව අවසන් කළ නිසා අද අපි සියලු දෙනා සැනසීමෙන් ජීවත් වෙමු. (මෙහි අපි යනු මෙහි වසන සියලු ජාතීන්ට අයත් ජනතාවය – පිරබාහිරන් ගේ උන්ඩයට/බෝම්බයට බිලි වූයේ සිංහලයන් පමණක් නොවන බවට උදාහරණ ගණනාවක් ගෙනහැර දැක්වීම අනවශ්‍යයයි සිතමි). මේ එල්ටීටීය එදා විනාශ නොකලා නම්, අද වනවිට කොතෙක් නම් අහිංසක ජීවිත රටට අහිමිවන්නට තිබුණාද?

    මේ ලිපිය අවසන් කළ යුතු ආකාරයක් ලේඛකයාට නොපෙනේ. එක් දෙයක් පමණක් අවධාරනය කරමි. බුදුරජානණ්වහන්සේ දේශනා කළ පරිදි සියල්ලෝම තම ජීවිතයට ආදරය කරයි, එසේ නම් මේ බිමමත උපදින කිසිවෙකුට අකාලයේ ජීවිතයෙන් සමුගැනීමට සිදු නොවේවා !

    මේඝය සිංහල බ්ලොග් ප්‍රහේලිකා 6 නිවැරදි විසඳුම – crossword puzzle on Sinhala blog 6, The correct answer

    මේඝය සිංහල බ්ලොග් ප්‍රහේලිකා 6 රවි සහෝදරයා නිවැරදිව විසඳුවා (සුභපැතුම් !). කෙසේ වුවද අද නිවැරදි විසදුම මෙලෙස පලකරමි.

    Puzzle 06 - Answer

    අලුත් ප්‍රහේලිකාවක් සමග වෙනත් දිනෙක හමුවෙමු.

    මේඝය සිංහල බ්ලොග් ප්‍රහේලිකා 6 – crossword puzzle on sinhala blog 6

    හරස්පද ප්‍රහේලිකා පිරවීම ලේඛකයා ගේ පරණ ම විනෝදාංශයක්. හරස්පද ප්‍රහේලිකා හැදීම අලුත් විනෝදාංශයක්. ඒවා කීපයක් බ්ලොගයේත් පල කළා. 2013 වසර ආරම්භ වෙලා මාස එකහමාරක් ගතවුන මුත් තවමත් වසරේ පළමු හරස්පද ප්‍රහේලිකාව පල කල නොහැකි වුණේ අවිවේකය නිසා. මෙන්න එය උත්සහා කර බලන්න විසදන්න.

    Puzzle06

    PZ6 - Q

    කලින් පල වූ ප්‍රහේලිකා සදහා පිවිසෙන්න පහත යොමු වලින්

    මේඝය හරස්පද ප්‍රහේලිකා අංක 5

    මේඝය හරස්පද ප්‍රහේලිකා අංක 4

    මේඝය හරස්පද ප්‍රහේලිකා අංක 3

    මේඝය හරස්පද ප්‍රහේලිකා අංක 2

    මේඝය හරස්පද ප්‍රහේලිකා අංක 1

    කැබිනට් මණ්ඩලයක් යනු? – What could be a cabinet

    පූර්විකාව

    “එහෙම දෙන්න ඇමතිකමක් නැත්නම් අලුතින් එකක් හදන්න කියල අපි බල කරනවා. මොකෝ අද මේ රටේ ඇමතිකම් හදන එක කජ්ජක් ද? ඕනි නම් රෙදි ඇපිල්ලිල්ලටත් ඇමතිකමක් හදන්න පුලුවන්.එහෙම එකක් හදල මට ඒකේ රෙදි සෝදන සංස්ථාවේ සභාපතිකම ගත්තත් ඇති………………………උඹලට තව ටිකදවසකින් ආරංචි වෙයි අපේ යාලුවා රෙදි ඇපිල්ලීම පිලිබඳ නව ඇමතිවරයා ලෙස ජනාධිපති උතුමාණන් ඉදිරියේ දිවුරුම් දුන්න බව.”

    -ගුණදාස අමරසේකර ශූරීන්, ගල්පිළිමය සහ බොල් පිළිමය (ඇමතිගේ අස්වීම) P120-

    අලුතින් පත්වන රජයක් තමන්ට ජනතා සේවයක් සිදුකිරීමේ හෝ අඩුවශයෙන් රටේ පරිපාලනය අවුලක් නැතිව කරගෙන යාමේ හෝ අවංක වුවමනාවක් නැති බව මුලින් ම ලොවට හඬගා කියන්නේ තම  අමාත්‍ය මණ්ඩලය පත් කිරීමෙනි. එසේම රජය තම රාජ්‍ය කාලය තුල එය නැවත නැවත ජනතාවට මතක්කර දෙන්නේ වරින් වර කරණු ලබන “කැබිනට්  සංශෝධන“ මගිනි.  සෑම “කැබිනට්  සංශෝධන“ යකම අනිවාර්ය අවසන් සංසිද්ධිය වන්නේ ජනතාවට බඩ අල්ලන් සිනාසිය හැකි අමාත්‍යංශ කීපයක් එක්වී කැබිනෙට්ටුවේ ප්‍රමාණය විශාලවීමේ ප්‍රහසනයත්, ඒ වැඩිවන ඇමතිලාගේ කුදුමහත් ඕනෑ එපාකම් වල බරපැන ජනතාවට දරන්නට සිදුවීමේ දුඛාන්තයත් එකවර රඟදැක්වීම ම පමණෙකි.

    අලුත් සීනී ඇමතිගේ වගකීම් මොනවා විය හැකිද? උක්වගා කිරීම, සීනි නිශ්පාදනය, සීනි ආනයනය, (දයා ගමගේ මහතාගේ බඩට ගසා රජයට පවරාගත්) සීනි කම්හල් පාලනය, එසේ නැත්නම් ජනතාවගේ රුධිරයේ සීනී මට්ටම ඉහලයාම වැලැක්වීම? (අනුන්ගේ/තමාගේ සීනී කිරීම?)

    රටක තිබිය යුත්තේ තර්කාණුකූල පදනමකින් සකස් කළ නිශ්චිත කැබිනට් අමාත්‍යංශ ගනණක් බව අපගේ හැඟීමයි. නව රජයක් පත්වූ පසු එහි අගමැති අසවලාය යනුවෙන් කියන්නාක් මෙන්, නව රජයේ අසවල් අමාත්‍යධූරය දරනුයේ කවුරුන්ද යන පැනයට නිශ්චිත පිලිතුරක් තිබිය යුතුය. (උදාහරණයක් ලෙස අද “අප රටේ කෘශිකර්ම ඇමති කවුද?“ යන ප්‍රශ්නයට නිශ්චිත පිලිතුරක් නොමැත – “ඇමතිවරු කීදෙනෙක් ඉන්නවද?“ යන පැනයට පිලිතුරක් තිබේද?).

    පාඨක ඔබේ අවධානය පහත සදහන් ලේඛණය වෙත යොමුකරන මෙන් කාරුණිකව ඉල්ලමි.

    අධ්‍යාපන

    සෞඛ්‍ය

    බලශක්ති

    රාජ්‍ය පරිපාලන

    විදේශ කටයුතු

    ආරක්ශක

    මුදල් හා ක්‍රමසම්පාදන

    ජනමාධ්‍ය හා සංනිවේදන හා සංස්කෘතිත කටයුතු

    කාර්මික හා තාක්ෂණ

    ප්‍රවාහන

    කෘශිකර්ම

    ධීවර

    කම්කරු

    නිවාස හා ඉදිකිරීම්

    පරිසර හා ස්වාභාවික සම්පත්

    ක්‍රීඩා

    වාණිජ හා ආර්ථික කටයුතු

    නිසි ලෙස රාජ්‍යය ආයතන බෙදා හැර ක්‍රමවත්ව සංවිධනය කළ ඉහත අමාත්‍යංශ 17 අප රටට හොදටම ප්‍රමාණවත් නොවේද? මේ අමාත්‍යංශ වලට අවශ්‍ය පරිදි අනු විශයයන්ට උප ඇමතිවරු ද පත් කළ හැක. උදාහරණ ලෙස අධ්‍යාපන ආමාත්‍යංශය යටතේ උසස් අධ්‍යාපන, පාසල් අධ්‍යාපන, කාර්මික අධ්‍යාපන ආදී උප අමාත්‍ය ධූර ඇති කළ හැකි නොවේද?

    මේ අමාත්‍යංශ ලැයිස්තුව (මෙයම නොවිය හැක, ඒත් තර්කාණුකූලව සැකසූ වෙනත් ලැයිස්තුවක් හෝ) 19 වෙනි (නැතිනම් 20 වෙනි) සංශෝධනය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුල් කල නොහැකි ද?

    ප.ලී. දුරුතු මහට සීතලට සිහින පෙනේ යයි මතයක් ඇත. දැන් නම් දුරුත්ත ගෙවී නවම් මහ ද ලබා ඇතිමුත් මට නම් තවම සිහින පෙනේ ! 

    නාග නළඟන, ජනමාධ්‍යය හා අප – Snake dancer, media & ourselves

    Naga nalagana

    නිරෝශා විමලරත්න මෙරට ජනවිඥානය මැනවින් හඳුනාගත් තැනැත්තියකි. කලකට පෙර රටේ බොහෝදෙනා මෙන්ම ඇය ද තම රැකියාවේ නියැලෙමින් (තමන්ගේ පාඩුවේ) ජීවත්වූවාය. ඇය ගේ රැකියාව වූයේ නර්ථනයයි. නමුත් කොල්ලුපිටියේ සමාජශාලාවක නාගයෙක් සමඟ රංගනයේ යෙදෙමින් (මෙය කියවන ඔබත් ලියන මමත් මෙන්ම) ජීවන අරගලයේ නිරතවෙමින් සිටි ඇය නීතිය හමුවට පමුණුවන්නේ සමාජය විසින්මය. (ඇයට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් යොමුවන්නේ ඇය සේවය කළ සමාජශාලාවේ  කළමණාකරු සමග ඇති කෝන්තරයක් පිරිමසා ගැනීමට යයි ඇය මාධ්‍යයට පවසා තිබිණි  – මෙහි සත්‍යසත්‍යතාව අපි නොදනිමු). සමහරවිට මෙම නාගයා   හුදෙක් තනිවම නර්තනයේ යෙදෙනවාට වඩා තම ප්‍රේක්ශකයන් වෙත අලුත් අත්දැකීමක් ලබාදීම උදෙසා නිරෝශා විසින් නිර්මාණශීලීව යොදාගත් මෙවලමක් පමණක් ම වියහැක. කෙසේ වුව ද  නයා පොලිස් අත්අඩංගුවට ද, අනතුරුව දෙහිවල සත්වෝද්‍යානයේ භාරකාරීත්වයට ද පමුණුවනු ලදී.

    නිරෝශා අධිකරණය වෙත ගියාය.අ ධිකරණය විසින් නයා ගේ ගැටලුව විසඳනු ලැබූ අතර ඌ නැවත නිරෝශාට ම හිමිවිය. මේවන විට නිරෝශා නොහොත් නාග නලඟන මෙරට ජනමාධ්‍ය වල ප්‍රමුඛ මාර්තෘකාවක් ව සිටියාය.

     ජනවිඥානය තුල නාගයාට හිමිව තිබෙන සුවිශේෂී ස්ථාන දැනසිටි නිරෝශා, නාගයා සහ තමා පිළිබඳව අප අසන්නට කැමති දේම ජනමාධ්‍යයට හෙලි කළාය.මේ නාගයා වෘත්තීය නයි නටවන්නෙකු වන අහිකුණ්ටක තරුණයෙකුගෙන් මිලදී ගත්තේ යයි ඇසීමට අප කැමති නැත.අප රටේ ජනමාධ්‍යය ද ඊට කැමති නැත. ඒනිසා නිරෝශා තමා දොඩම්වල දේවායේ භාවනා කරනවිටක මෙම නාගයා තමාට ලැබුණ බව පැවසුවාය. එපමණක් ද නොව තම මව ද  ඉන්දීය කාණ්තාවක බැව් ඈ පැවසුවාය. අපේ ගවේශනශීලී ජනමාධ්‍යය මේ බේගල් කිසිදු විචාරයකින් තොරව එලෙසම පල කළේය. සිත දියුණු කිරීමට, ධ්‍යාන වැඩීමට හෝ ලෝ තතු අවබෝධ කොට ගෙන සසරින් එතෙරවීමට නොව හුදෙක් අන්ධානුකරයෙන්  විලාසිතාවක් ලෙස “භාවනා ටියුෂන්“ වෙත යන අපි මේ පුවත හිස් මුදුනින්ම පිලිගත්තෙමු. තව තවත් දිරිමත් වූ නිරෝෂා තමා සහ ණයා පිළිබදව ද තවත් විවිධාකාර අත්භූත ප්‍රබන්ධ කොට ජනමාධ්‍ය වෙත පැවසූ අතර මාධ්‍ය මේවා ජනතාව අතරට ගෙන ගියේ මහා තරගයක නියැලෙමිනි. ජනතාවෝ ද තලුමරමින් මෙපුවත් රසවින්දෝය.

    ජනමාධ්‍ය නිරෝශා සම්බන්ධ ව පෙන්වූ චිත්‍රය කෙටියෙන් මෙලෙස දැක්විය හැක.

    “මේ බලන්න හරිම ආශ්චර්යයක් නේද?“

    හදිසියේම තව ජනමාධ්‍යවේදියෙකුට නිරෝශා පිලිබඳ සත්‍ය තොරතුරු අහම්බෙන් මෙන් දැනගන්නට ලැබිණි. ඇය ගේ මව්පිය භාරකරුවන් ගැන, ළමාකාලය ගැන කෙහෙන් දෝ තොරතුරු සොයාගත් ඔහු ඒවා මාධ්‍ය වල පල කලේය. මෙතැන් සිට තරගය ඇති වුයේ නිරෝශා ගේ සැබෑ තොරතුරු සොයා පලකිරීම සඳහාය. සමහරු කොහෙන් දෝ ඇයගේ අ.පො.ස සාමාන්‍ය පෙල සහතිකය පවා සොයා ගෙන ස්කෑන් කොට පලකරමින් තමන් කියන කරුනු සනාථ කිරීමට උත්සාහ කලේය. සමහරු දොඩම්වල දේවාලයට ද සමහරු නිරෝශා ගේ ගම් ප්‍රදේශය ලෙස හදුනාගත් දන්තුරේට ද ගොස් පුවත් පල කලේය. ඇගේ භාරකරුවන් ද, දේවාල කපුවාද සමඟ සම්මුඛ සාකච්චා පලකරන ලදී.ඉන් පසු ඇය මාධ්‍ය වලින් වසන්වීමට උත්සාහ කල බව ද වාර්ථා කෙරිනි.

    ජනමාධ්‍ය මෙවිට නිරෝශා සම්බන්ධ ව පෙන්වූ චිත්‍රය කෙටියෙන් මෙලෙස දැක්විය හැක.

    “මේ බලන්න මේකි කියල තියෙන පට්ටපල් බොරු“

    ලේඛකයාට ජනමාධ්‍ය කරුවන්ගෙන් ඇසීමට ප්‍රශ්න කීපයකි.

    1. නාටිකාංගනාවක් තම නර්ථනය උදෙසා (නිර්මාණාත්මකව) නාගයෙක් යොදාගත් පලියට එම සිද්ධිය නීතිය හමුවට ගිය පලියට, එයට අත්භූත බවක් ආරෝපනය කොට පල කලේ ඇයි?

    2. නාගයා සහ තමා පිලිබදව නිරෝශා පවසන ප්‍රබන්ධ  විචාරයකින් තොරව පල කලේ ඇයි?

    3. මොකක් දෝ අහම්බයකින් සත්‍ය හෙලි වූ පසු නිරෝෂාට එරෙහිව කසය මෙහෙයවන විට තමන්ට ද ඉන් පහර කීපයක් ගසා නොගත්තේ ඇයි?

    4. සමකාලීනව රටේ පැවති ප්‍රේක්ශක ජනතාව වෙත ගෙනයායුතු සැබෑ ප්‍රශ්න මේ මේ නාග සෙවනැල්ලෙන් වසා දැමූවේ ඇයි?

    කෙටි විවේක කාලයකින් පසු නාග නලඟන යලි අවධී කරවා ඇත. ඒ ඇගේ පෙම්වතාගෙන් පහර කා රෝහල්ගත වූ බව කියමිනි. මේ තලුමරමින් රසවිදිය හැකි පුවතකි. ඇය මානසිකවෛද්‍ය වරයෙකු වෙත ද යොමුකළ බව සඳහන්ය. මේ තරුණිය මානසික රෝගියෙක් කිරීමට ද අපේ ජනමාධ්‍යයට හොදින් ම හැකියාව ඇත. (නමුත් “සබ්බේ පෘතග්ජනා උම්මත්තකා“ යනුවෙන් බුදුන්වහන්සේ දේශනා කොට ඇති බව, එනම් අප සැවොම අඩු වැඩි වශයෙන් උම්මත්තකයින් බැව් අමතක නොකල යුතුය). නමුත් (වාර්තාවන අන්දමට) කුඩා කළ ම මාපිය රැකවරණය අහිමි ව තම ජීවතය ගොඩනගාගැනීමට වෙහෙසෙන නිරෝශා ගැන හෝ අප රටේ සිටින තවත් දහස් ගනණක් නිරෝශා ලා ගැන සාකච්චා කිරීමට අපේ ජනමාධ්‍යය උත්සුකවන්නේ ද යන්න ගැටලුවකි.

    සති කීපයකට පෙර අගවිනිසුරුට එරෙහි දෝශාභියෝගය නයා විසින් යටපත් කළාක් මෙන් අද එළවලු මිල වැඩිවීම, හසිත මඩවල ඝාතනයෙන් පසු කැළණිය, පොලිස් අත්අඩංගුවේ පැය 48ක් රදවා ගතහැකී නීතිය බඳු කාලීන වැදගත්කමක් ඇති මාර්තෘකා සඳහා ඇති කාලය නාග නලඟන ගේ සුල්තාන් පෙම්වතා ගැන සෙවීමට ද ඔවුන් ගේ ගෙදරදොර පවුල් ප්‍රශ්න විසඳීමට ද යෙදවෙනු ඇත.

    2013 නව වසරට සුභපැතුම් – New year wishes

    Wishes 2013

    අහිවාතක පැතිරේ – ඝෝෂක මෙන් පලායමුද ? Escape is better ?

    බුද්ධ කාලීන භාරතයේ වසංගතයක් ලෙස පැතිර ගිය “අහිවාතක“ නම් රෝගයක් ගැන බෞද්ධ සාහිත්‍යයේ සඳහන්වේ. මාරාන්තික මේ රෝගයෙන් මුලින් ම වැළදෙන්නේ නිවෙසක වෙසෙන මැසි මදුරු ආදී කුඩා සතුන්ටය. අනතුරුව සුනඛ, බිලාල ආදී තරමක් විශාල සතුන්, ගව-මහීෂාදී සතුන් ආදී වශයෙන් නිවසේ සහ ඒ ආශ්‍රිතව ජීවත් වන ජීවීන් පියවරෙන් පියවර මෙම රෝගයට ගොදුරුවීම එහි ස්වාභාවයයි. නිවසේ මිනිසුන් ඊට ගොදුරුවන්නේ අවසානයටය. කෙසේ වුව ද රෝගයේ අවසාන ප්‍රතිඵලය නියත වශයෙන් ම මරණයයි.

    මෙම රෝගයෙන් ගැලවීමට ඇත්තේ එකම ක්‍රමයකි. එනම් නිවසේ බිත්තියක් කඩාගෙන පලාගොස් නිවෙසින් ඈත පලාතක ජීවත් වීමයි. (මෙය කෙම් ක්‍රමයක් විය යුතුය – මෙහි සත්‍ය අදහස නම් විෂබීජ සහිත නිවෙසින් ඈත්ව විසීම යයි සිතමි)

    එකල එක්තරා සිටුගෙදරක් ද මෙම රෝගයට ගොදුරු වූ කතා පුවතක් බෞද්ධ සාහිත්‍යයේ සදහන් වේ. අසූ කෙලක් ධනස්කන්ධයට උරුමකම් කීව ද රෝගයෙන් ගැලවීමක් නොලද  සිටු පවුල පත්ව සිටියේ මහත් අභාග්‍ය සම්පන්න ඉරණමකටය. නමුත් සිටු යුවල ගේ ළමා වයසේ සිටි පුත්‍රයා මේවනවිට රෝගයට ගොදුරුව නොසිටියේය. සිටු යුවල තම පුත්‍රයා ගේ හෝ ජීවිතය ආරක්ෂාකිරීමට සිතා ඔහුට නිවසේ බිත්තියක් කඩා පිටවීමට ඉඩ සලසා දුන්හ. ඊට පෙර, කවදා හෝ වසංගතය නිමා වූ හෝ දිනෙක පැමිණ සිටු පුත්‍රයාට ලබාගතහැකි වන සේ තමා සතු ධනය නිවෙසේ ම සගවා තැබීය.

    නිවෙසින් පිටව ජීවිතය රැකගත් මේ සිටු පුත්‍රයා වැඩිවියපත්ව රැකියාව ලෙස තෝරාගත්තේ නගරයේ “ඝෝෂක“ තනතුරයි. ඒ රැකියාවේ වගකීම වන්නේ උදෑසන ශබ්ධ නගා නගරයේ ජනතාව අවධිකිරීමයි. (එකල අදමෙන් එලාර්ම් ඔරලොසු, ජංගම දුරකථන නොතිබූ වබ සැලකිය යුතුය). කෙසේ නමුදු මේ තරුණයා ශබ්ද නගන ආකාරය සවනත වැකුන ශබ්ධ විද්‍යාවේ කෙල පැමිණියෙකු ගේ මැදිහත් වීමෙන්,ඔහු තම ජන්මය පිලිඹද රහස රජුට හෙලිදරවු කොට තම මාපියන්ගේ ධනය නැවත උරුම කොටගෙන සිටු තනතුරක් ද ලැබූ බව සදහන්ය. “ඝෝෂක සිටු“ ලෙස පතල වූයේ මේ සිටුවරයාය.

     ශ්‍රීලාංකික සමාජය ද කලක සිට අහිවාතක වසංගතයකට ගොදුරු වෙමින් සිටී. එදා මැසි මදුරුවන් රෝගයට ගොදුරු වන විට වගේ වගක් නැතිව බලා සිටියාක් මෙන් අප සමාජය ද අනෙකා ව්‍යසනයට ගොදුරුවන විට නිහඩව බලාසිටී. නමුත් දැන් රෝගය ටිකෙන්ටික ව්‍යාප්ත වී ඇත. අපේ එලිපත්තට ම පැමිණ ඇත. නොබෝ දිනෙක දොරට ද තට්ටු කරනු නැතැයි කාට නම් කිව හැකි ද?

    එදා මෙන් ම අද ද නිවෙසේ බිත්තියක් බිඳ පලාගොස් මේ ව්‍යසනයෙන් ගැලවිය හැකියයි මතයක් ඇත. ඇත්තවශයෙන් ම අපි එලෙස පලා යමින් සිටිමු. හැකියාව ඇත්තවුන් නිත්‍යාණුකූලව PR ලබා ද, අනෙක් ජනතාව සරණාගතයින් ලෙස දේශපාලන රැකවරණ ඉල්ලමින් ධීවර යාත්‍රා උපයෝගී කර සයුර තරණය කර ද, බටහිර රටවලට හෝ ඔස්ට්‍රේලියාවට යන්නේ මේ වසංගතයෙන් බේරීමටද? (ධීවර යාත්‍රා හැරුන විට වෙනත් විකල්ප ක්‍රම ද බිත්තිය බිඳීමට භාවිතාවේ – “මචං“  සිනමාපටය ගෙතී ඇත්තේ   මෙවන් අපූරු උපක්‍රමයක් වටාය).

    කෙසේවුවද එදා ඝෝෂක පලාගියාක් මෙන් මෙන් අද පලායන ඝෝෂකලා තම උරුමය සොයා පෙරලා  පැමිණේ ද යන්න නම් සැක සහිතය.

    තේරීම් කාරක සභා විමර්ශනය අවසන් ! PSC’s investigation finished

    අගවිනිසුරු වරියට එරෙහි විස්වාශභංග යෝජනාව විමර්ශයනට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විපක්ෂ සාමාජිකයන් තොරව තම වාර්තාව කථානායකවරයාට භාරදී ඇත.ඉදිරිපත් වූ චෝදනා 14ක් අතරින්  විමර්ෂණයට භාදනය කෙරුණු චෝදනා 5 සරල බසින් මෙසේයි,

    1.ගෝල්ඩන් කී නඩුවට අදාල ට්‍රිලියම් නිවාස සංකීර්ණයෙන් ඔස්ට්‍රේලියාවේ පදිංචි සහෝදරිය හා ඇගේ ස්වාමියා වෙනුවෙන් නිවසක් මිලදී ගැනීම.මේ නඩුවේ විනිසුරු මඩුල්ල වෙනස් කිරීම.
    2.ඒ සඳහා රු මිලියන 19ක පමණ මුදලක් අදාල සමාගමට ගෙවීම.
    3.රුපියල් මිලියන 34ක පමණ මුදලක් (විදේශ මුදල්) වසරකට ආසන්න කාලයක් තම බැංකු ගිණුමේ තබාගැනීම.(ඒ පිලිබඳව වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදී සිටීම)
    4.තවත් බැංකු ගිණුම් 20 ක ඇති මුදල් ගැන වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදී සිටීම.
    5.ඇයගේ ස්වාමියා සම්බන්ධ අල්ලස්/දූෂණ නඩුව හා සම්බන්ධ කරුණු

    මෙයින් 1, 4 සහ 5 යන චෝදනා වලට ඇය වරදකරු යයි තීරනය කෙරිණි.

    (අනෙතුත් චෝදනා 9 විමර්ශනයට හෝ ලක් නොකෙරුනේ, සාක්ශි නැති පුහු චෝදනා වීම නිසා හෝ අගවිනිසුරුවරිය වරදකරු කිරීමට ඇති හදිසිය නිසා ඒවා විමර්ශනය සදහා යෙදීමට කාලවේලාව මද වීම නිසා හෝ වීමට ඉඩ ඇත)

    මේ සමහර චෝදනා වලට පිළිතුරු අගවිනිසුරුවරිය තම නීතිඥයින් මාර්ගයෙන් ජනමාධ්‍ය වල පල කොට තිබිණි. (එසේම ‍ෙත්රීම් කාරක සභාව ඉදිරිෙය් පිලිතුරු ගොනුකිරීමට ඇය කාලය ඉල්ලා තිබිණි). ඒ අනුව සත්‍ය වශයෙන්ම ඇය අදාල නිවෙස මිලදී ගෙන තිබුනේ ඔස්ට්‍රේලියාවේ පදිංචි සොයුරිය හා ඇගේ ස්වාමියටය.තේරරීම් කමිටු වාරතාවෙන් ද එය පිලිගෙන ඇත. තම බැංකු ගිණුමේ විදේශ මුදල් තැම්පත් කොට ඇත්තේද ඒ සදහාය.වරද නම් ලෙස පෙන්වා ඇත්තේ වත්කම් ප්‍රකාශයේ මේ ගැන සදහන් නොවීමය.නමුත් එම වත්කම් ප්‍රකාශ රජයට හෙලි කල බව ඇය මාධ්‍යයට පවසා තිබිණි. මේ සම්බන්ධ සාක්ශි ද අදාල තේරීම් කාරක සභාවට ඉදිරිපත් වන්නට ඇත.

    නමුත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පිලිබද විශ්වාසයක් නැති බැවින් අගවිනිසුරු වරිය ද, එහි විපක්ෂ නියෝජිතයන් සිව්දෙනා ද එයින් ඉවත්ව යන මොහොතක, පාලුගෙයි වලං බිදින්නාක් මෙන් ආණ්ඩු පක්ෂ නියෝජිතයන් අගවිනිසුරුවරියට එරෙහි චෝදනා වලට ඇය වරදකරු කර තම වාර්තාව නිකුත් කලා යයි සාධාරන සැකයක් පොදුජනතාවට ඇතිවීම ස්වාභාවිකය.

    දැන් මේ යෝජනාව තව මසකින් පාර්ලිමේනතුව තුල සාකච්චා වනු ඇත.(ඉන් පහසුවෙන් ම සම්මත වී) පසුව අතිගරු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් වනු ඇත.සැකයකින් තොරවම අගවිනිසුරුවරිය ධූරයෙන් ඉවත් කෙරෙනු ඇත.ප්‍රශ්නය නම් නීතියේ ආධිපත්‍යයට හා අධිකරණයේ ස්වාධීනත්වයට මේ සිදුවීම කෙසේ බලපාවීද යන්නය.

    ප.ලි – දිවිනැගුම පනත පිලිබඳ කිසිවක් දෝශාභියෝග යෝජනාවේ චෝදනා 14 අතර සදහනක් නොවුණු බව සැලකිය යුතුය.

    සබැඳි ලිපි –

    ඇය ඉල්ලා අස්වීම වඩාත් හොදය – Resignation is better

    ආස්චර්යයේ පෙරමග ලකුණු සුබයි – Miracle is on the way

    ආස්චර්යයේ පෙරමග ලකුණු                සුබයි

    රේසිං කාර් හැටට හැටේ ගමෙත්            දුවයි

    අපට නැතත් අනේ සාදු හොදම          හොදයි

    පුහුදුන් සිතෙන් සංතෝසය දෝරෙ       ගලයි

    චන්ද්‍රිකාව හෙට ගුවනට යනව               ඇත

    මුදලට ගත්තු බව හුඟ දෙන දන්නෙ      නැත

    ලෝක බලවතුන් අතරේ අපිත්               ඇත

    කියමින් සතුටු වේ කඳුලින් පිරුනු        නෙත

    කොළඹින් ගාල්ලට ඉස්සර පැය          තුනකි

    ඊ-වන්      නිසා අද යන්නේ   එක       පැයකි

    කොට්ටාවට එන්න යන්නෙ පැය        දෙකකි

    ඔක්කොම එකතු කල විට යලි පැය      තුනකි

    නෙලුම් පොකුණ රඟහල දැක සතුටු       වෙමි

    කවුදැයි නොදන්නෙමි ඔය            කුමරස්සාමි

    පර නම් ඕනි නෑ අප සැම                දේශප්‍රෙමි

    කීයක් ගියත් ගෙවලා ෂෝ එක               බලමි

    අගවිනිසුරුගෙ කෙරුමන්           විෂමාචාරයි

    ඒක නිසා ඇයහට හිමි ඇගෙ             නිවසයි

    නඩුව අහන්නට ගජයන් ලොකු      රොත්තයි

    සාපෙල නැතත් ඇමතී බලයෙන්        ඉහලයි

    ඉගෙනගන්න ළමයින් හට දෙන්න        කියා

    සියයට හයක් වෙන් කෙරුමට ගමන්     ගියා

    එච්චර ඕනි නෑ හතරක් ඇතියි              කියා

    ලොක්කා ඇවිත් සබයට පවසලා           ගියා

    දෝරෙගලන ආස්චර්ය මෙහෙම              නමුත්

    පාරේ යන්න බිය සැක නැති නිසා             අපත්

    ණය වී නමුත් පිනවමු නෙත සිතත්           ගතත්

    අවුලක් නෑනෙ සොමියෙන් ඉඳ හෙට  මැරුණත්

    ඇය ඉල්ලා අස්වීම වඩාත් හොදය – Resignation is better

    අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායන මහත්මිය මේ මොහොතේ කලයුත්තේ වහාම සිය ධූරයෙන් ඉල්ලා අස්වීම යයි අපි යෝජනා කරමු.

    අප එසේ කියන්නේ නිකම්ම නොවේ. ඇය සටන් වදින්නට සැරසෙන්නේ අතිශයෙන් බලගතු පාලනයක් සමගය. විධායක බලතල, ව්‍යවස්ථාදායකය තුල 2/3 බලය, රජයේ හොරනෑ මගින් ඇදබාන ඕනෑම බේගලයක් හිස්මුදුනින් පිලිගන්නා ජනතාවක්. හිමි මේ පාලනය සමග හැපෙන්නට ගිය බොහෝදෙනාට සිදුවූයේ පරාජය භාරගෙන පැත්තකට වීමටය. ආසන්නතම උදාහරණය නම් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ප්‍රමුඛ සරසවි ආචාර්ය සංවිධානය (FUTA)ගෙන ගිය අරගලයයි. තම වැටුප් වැඩිකරගැනීමේ පුද්ගලික අරමුණට එහා ගිය රටේ අධ්‍යාපනය වෙනුවෙන් දල දේශීය නිශ්පාදිතයෙන් 6%ක් වෙන් කළ යුතුය යන වඩා පුලුල් සටන් පාඨය මුල්කරගනිමින් එය සිදුකල වෘත්තීය අරගලය මාස 3කට අධික කාලයකට පසු නිමා වූයේ කිසිදු ජයග්‍රහණයක් නොලබාය. (කෙසේ නමුදු මේ අරගලය ජනතාවගේ ඇස් ඇරවූ අරගලයක් වූ බව ඊට සහභාගී වූ ආචාර්ය වරුන්ට ගෞරවයක් ලෙස සටහන් කල යුතුය – එමෙන්ම ෆූටාව රජය සමග ස්වෙච්චා බේරුම් කරණයකට [voluntary Arbitration] යොමුවූවා නම් යම් ජයග්‍රහණයක් ලබාගත හැකිව තිබූ බව ද ලේඛකයා ගේ අදහසයි).

     මෙවන් පරාජිත සටන් වලට උදාහරණ ඕනෑ තරම් ගෙන ආ හැකි නමුදු පාලකයන් සමග හැප්පී ජයලැබූවන් පිලිබඳව නම් කිවහැක්කේ ඔවුන් ඉතාම අතලොස්සක් පමණක් ම බවයි.පෞද්ගලික අංශ විශ්‍රාම වැටුප් පනත පැරදූ සේවක ප්‍රජාව (මෙහිදී  රොෂේන් චානක නම් කරුණයා තම ජීවිතය ද කැපකලේය),  ප්ලාස්ටික් කූඩ නීති පැරදවූ ගොවියන් හා වෙළද ප්‍රජාව, බඳු අතේ ඇඟිලි ගණනටත් අඩු අවස්ථා ගණනකදී පමණි මේ පාලනය පරාජය වී ඇත්තේ.

    එවන් පසුබිමක අගවිනිසුරුවරියට එරෙහි විස්වාසභංග යෝජනාව පරාජය කිරීමට ඇති ඉඩකඩ ඉතා අඩු බව පැහැදිලිය. කොමිනියුට්ස්/සමසමාජ වැනි පක්ෂ වල සාමාජිකයින් කීප දෙනෙක් මේ යෝජනාව සම්බන්ධයෙන් රජයට එරෙහි ස්ථාවරයක සිටිය ද ඒ අඩුව පිරිමසාගැනීමට එදා 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යයවස්ථා සංශෝධනයට අවශ්‍ය 2/3 බලය සපයාදීම වෙනුවෙන්  ඉදිරිපත් වූ උපේක්ෂා ස්වර්ණමාලිලා ද මනූෂ නානායක්කාරලා ද වැන්නවුන් ඕනෑම මොහොතක සපයා ගැනීමට රජයට හැකියාව ඇත. අනෙක විස්වාසභංගයක් ජයගැනීමට අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තුව තුල සරල බහුතරයක් පමණි.

    අගවිනිසුරුවරියට එරෙහි චෝදනා විභාග කිරීමට පත්ව ඇති තේරීම් කාරක සභාව තුල විනිශ්චයකරණයේ හසල අත්දැකීම් ඇති අය කෙසේවුව ද , නීතිය පිලිඹද ප්‍රාමාණික දැනුමක් නොමැති අය ද ඇතුලත් වීම හාස්‍යජනකය. (ඔවුන් විනිශ්චයට ලක්කිරීමට යන්නේ නීතිය පිලිඹද ආචාර්ය උපාධිධාරිනියකි)

    අගවිනිසුරුවරියට එරෙහි චෝදනා වලට පිලිතුරු පසුගිය දා එතුමියගේ නීතිඥවරුන් විසින් මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කොට තිබිණි. එසේම තේරීම්කාරකභාවට මුහුණදීම සඳහා එතුමිය සති 6 ක කාලයක් ඉල්ලා ඇති බව ද අද පුවත්පත් වල පලවිය. එසේ නම් එතුමිය මෙයට මහුණදීමට සූදානම්ය. අපි ඊට සුභපතමු.

    නව ඡන්ද ක්‍රමය පාර්ලිමේන්තුවට – ජනතා පරමාධිපත්‍යයට තර්ජනයක් (අනතුරු ඇඟවීමකි)

    පලාත් පාලන ආයතන සඳහා නව මැතිවරණ ක්‍රමයක් (පවතින සමානුපාතික නියෝජන ක්‍රමය වෙනුවට) හදුන්වාදෙමින් ඉදිරිපත් කොට ඇත. ලේඛකයා සමානුපාතික නියෝජන ක්‍රමයට පක්ශව කලක සිට බ්ලොග් අවකාශයේ හඩ නගන්නෙකි. ඔක්කොම කුණු බේරුවල බොක්කට කීවාක් මෙන් වත්මනෙහි අප අත්විඳින දහසකුත් එකක් සමාජ, ආර්ථික හා දේශපාලන ගැටලු වලට හේතුව මේ සමානුපාතික නියෝජන ක්‍රමය යැයි දේශපාලන විචාරකයින් ද, ඒ අනුවම යමින් (ගිරා පොතක වත සිහිගන්වමින්) බොහෝ හුදී ජනයා ද එකහෙලා පවසද්දී එයට එරෙහිව ලේකඛයා කලෙක සිට මේ අවකාශයේ තර්කාණුකූලව කරුණු පෙලගැස්වීය. සමානුපාතික නියෝජන  ක්‍රමය අහෝසි කිරීම (ලේකඛයා ගේ මතය අනුව) ජනතා පරමාධිපත්‍යය යේ මළගම ද වියහැකි බවට එහි කරුණු පෙලගස්වා ඇත.

    සහෝදර බ්ලොග්කරුවන් මේ සම්බන්ධව ලියා ඇත්දැයි නිවැරදි මතකයක් ලේඛකයාට නැත. ඒ අතරින් බුවා, ලේඛකයා හා සමගාමී මතයක ද. මාතලන් ප්‍රතිවිරුද්ධ මතයක ද සිටින බැව් සටහන් වී ඇත.

    කෙසේ නමුත් සමානුපාතික නියෝජන ක්‍රමය අහෝසිකරන යක්ෂයා දොරකඩටම පැමිණ ඇති මේ නිමේශය පරණ මතකයන් නැවත අවදි කිරීමට සුදුසුම කාලයයි.

    (හුදෙකලා බ්ලොග්කරුවෙක් යටිගිරියෙන් කෑගැසූ පලියට අදාල ක්‍රියාදාමය නොනවතින බැවි හොදින්ම දන්නා මුත්, මෙයට වඩා දස දහස් වාරයක් ප්‍රබල සාධාරණ හඬවල් යටපත්ව වියැකී යන යුගයක මෙවන් සටහනක් හෝ ලියාතැබීම සිතට මද අස්වැසිල්ලකි)

    පහත සබැඳි ඔස්සේ උක්ත සටහන් වෙත යොමුවන මෙන් ඉල්ලා සිටිමි.

    සමානුපාතික නියෝජන ක්‍රමයේ අවාසි? – ටෙරන්ස් පුරසිංහ මහතාට පිළිතුරකි

    මනාප ක්‍රමය හා බැදුන මිත්‍යාවන්

    සමානුපාතික නියෝජන ක්‍රමය දිගටම අවශ්‍ය ඇයි ?

    කේවල කොට්ඨාශ මැතිවරණ ක්‍රමය නැවත ගේන්න එපා!

    1977 දී UNPය හයෙන් පහක් ලැබුවේ, ජනමතය විකෘති කළ කේවල ඡන්ද ක්‍රමය නිසයි

    ඡන්ද ප්‍රහසනය – Election comedy or Comedy election

    තවත් ඡන්ද  ප්‍රහසනයක් ඊයේ නිමාවිය. මෙයට ප්‍රහසනයක් යයි කියන්නේ එය අනවශ්‍ය මොහොතක පැවැත් වූවක් නිසා, පලාත් සභා හදුන්වා දුන් කාලයේ ඒවා එපා කියා ඒවා වර්ජනය කල පිරිසක් දැන් ඒවායේ බලය ලබාගැනීමට පොරකන නිසා , සෛද්ධාන්තිකව මැතිවරණයක දී වැදගත්ම පුද්ගලයා වන ඡන්දදායකයා ගේ සහභාගීත්වය උදාසීන වීම නිසා ආදී හේතු කීපයක් ම නිසා මෙන්ම එක් දිනකදී පවත්වා නිමා කළහැකි මැතිවරණයක් දිගු කාලයක් තිස්සේ පවත්වමින් මහජන මුදල් කාබාසිනියා කර ජනමතය උරගා බලන අවස්ථාවක් වීම ද නිසාවෙනි. කලින් මැතිවරණයෙන් පත් වූ ජනතා නියෝජිතයන්ට මැතිවරණයට වියදම් කල මුදල සොයාගැනීමට වත් සම්පූර්ණ ධූරකාලය නොලැබීම ද   තවත් හාස්‍යයකි.(අපට එසේ වුව ද අදාල අපේක්ෂකයන්ට නම් ශෝකාන්තයක් විය හැක). කෙසේ වුවද දැන් ඒ මැතිවරණය නිමියේය. ඡන්දදායකයන්ට නන්දිකඩාල් කලපුව හොදින් මතක තිබූ නිසා ද (අවසාන මොහොතේ ජයලලිතා ද එය මතක් කර දුනි) ආණ්ඩුවේ වැරදි පෙන්වා ඊට එරෙහිව ජනතාව පෙලගැස්වීමට හෝ තම ඡන්දදායකයින් ඡන්ද පොලට කැදවීමට දුර්වල විපක්ෂය අසමත් වූ නිසා ද රජය ම සුපුරුදු පරිදි මැතිවරණය ජයගත්තේය.

    මේ සටහනේ අරමුණ අවසන් වූ මැතිවරණය පිලිබඳ පසුවිපරමක යෙදීම නොවේ. මැතිවරණ පැවැත්වීමේ මෑත කාලීන ප්‍රවනතාවයෙහි ඇති භයානක ස්වාභාවය විමසා බැලීමටයි.එනම් කඩින්කඩ මැතිවරණ පැවැත්වීමේ වැරදි පූර්වාදර්ශය විමසා බැලීමටයි.

    ඉන්දියාව ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයයි. එනම් එරට මැතිවරණයක දී ඡන්දය ප්‍රකාශකිරීමට අති විශාල ඡන්දදායකයන් පිරිසකට අවස්ථාව ලැබේ. රජයට මේ අතිවිශාල මෙහෙයුම එක් දිනකදී නිසිලෙස කලමණාකරනය කරගත නොහැකි නිසා එරට මහ මැතිවරණ පැවැත්වෙන්නේ කඩින් කඩ කොටසින් කොටසය. නමුත් සඉන්දීය ප්‍රාන්ත රාජ්‍යයක ජණගහනයටත් වඩා අඩු කුඩා ජනගහණයක් (එනම් කුඩා ඡන්දදායකයන් පිරිසක්) සිටින ශ්‍රීලංකාවේ මහමැතිවරණයක් එක් දිනකදී පැවැත්වීමේ කිසිදු අපහසුතාවක් නැත. ඔනෑම තරම් මැතිවරණ ගනණාවක් එලෙස සාර්ථකව පැවැත්වීමේ අත්දැකීම් ද අප රටේ රාජ්‍ය සේවයට ඇත. නමුත් එකවැර පැවැත්විය හැකි පලාත්සභා මැතිවරණය විශාල කාලයක් තුල කඩින් කඩ පැවැත්වූවාක් මෙන් ම මහමැතිවරණය ද එක්දිනක දී නොපවත්වා කඩින් කඩ පැවැත්වුවහොත්?

     කඩින්කඩ මැතිවරණ පැවැත්වීමේ වාසි කීපයකි. පළමු මැතිවරණයේ ප්‍රතිඵල අනිවාර්යයෙන් ම දෙවැන්නට බලපායි. (සමහර විට පරාජිත පක්ෂයේ ඡන්දදායකයින් අධෛර්ය වීම ද සිදුවිය හැක). තමන්ට හොදටම වාසිදායක ප්‍රදේශයක මැතිවරණය පවත්වා මැතිවරණ පෙලක මංගල පස්පිඩැල්ල කැපුව හොත් එහි කවර හෝ ප්‍රතිඵලය අනෙක් පලාත් වල ඡන්දදායකයා ද උත්තේජනය කිරීමට බලපානු ඇත. (1994 මහ මැතිවරණය එක් වැඩිපුර ආසනයකින් ජයගත් පොදුපෙරමුණ ඒ ආසන්නයේ ම පැවති ජනපතිවරණය ජයගත්තේ 60% ඉක්ම වූ ඡන්ද ප්‍රතිශතයකිනි). අනෙක් අතට වටකොට පහර දීම හෙවත් මුලු රටේම සම්පත් රටේ සීමිත ප්‍රදේශයකට නාභිගතකර මැතිවරණ ව්‍යාපාරය දියත් කීරිම ද අතිශයින් ම වාසිදායකය. (දුටුගැමුණු රජුට කිරිබත් දුන් මහලු කාණ්තාව ඉගැන්වූ පාඩම සිහියට නගාගන්න). එමෙන්ම සංවර්ධන සංදර්ශන (රාජකාරි කරන විදුලි කණු?) පැවැත්වීම ද මෙවිට පහසුය. නාට්‍යකරුවන්/සර්කස්කරුවන් තමන්ට අවශය කුදුමහත් උපකරන/ආම්පන්න රැගෙන ගමින් ගමට සංචාරය කරමින් තම නිර්මාණ ජනතාවට ඉදිරිපත් කරති.

    මේ ප්‍රහසනාත්මක මැතිවරණ ජනමතය උරගා බැලීමේදී නම් සාධාරණ නොවන බව  අප අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. මෙවන් මැතිවරණ (ඇත්තෙන් ම මැතිවරණ ශ්‍රේණි) වලින් පැහැදිලිවම ජනමතය විකෘති කරයි. එමෙන්ම මේ සදහා නිකරුනේ විනාශවන මහජන මුදල් ප්‍රමාණය අසීමිතය. මෙවර මැතිවරණ ශ්‍රේණිය ආරම්භයේ දී මැතිවරණ කොමසාරිස්තුමා මෙය ජනමාධ්‍යය ඉදිරියේ පිලිගත්තේය.

    මේ මැතිවරණ හරහා ආර්ථික වාසියක් ලබනවා නම් ලබන්නේ මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන ව්‍යාපාරිකයන් ම පමණක් බැව් පැහැදිලිය.

    දැනට පලාත්සභා මැතිවරණ සදහා ද, පසුගිය වර පලාත්පාලන ආයතන සදහා ද ආදේශ කළ මේ ක්‍රමය අනෙක් මැතිවරණ සදහා ආදේශ නොවේ යයි උදක් ම ප්‍රාර්ථනා කරමු.

    ප.ලි. මැතිවරණ හරහා ජනතා නියෝජිතයෝ ආශ්චර්යය උදාකරදීමට කැපවන මොහොතේ, එම උත්සාහය තඹයකට ගණන් නොගත් වැසියන් 145 දෙනෙක් ත්‍රිකුණාමළයේ සිට දකුණුකුරු දිවයින බලා යාත්‍රාකිරීමට උත්සහ කිරීමේදී අත්අඩංගුවට ගත්බවට ප්‍රවෘත්තියක් ඊයේ පලවිය.