Category Archives: සාහිත්‍යය/කළා

රූපාන්තරණ බැලුවෙමි – Watched the Ruupantharana

Ruupantharanaya1

රූපාන්තරණය යන නම ඇසූ විට සිහිපත් වූයේ ෆ්‍රාන්ස් කෆ්කා ගේ කෙටි කතාවයි. නින්දෙන් අවදි වී බලන පුද්ගලයෙකු තමන් කැරපොත්තෙකු බවට රූපාන්තරණය වී තිබීමේ ඛේදවාචකයක් එම කෙටි කතාවට වස්තුබීජය වී තිබිණි. නමුතක් නාලක විතානගේ ගේ කුලුඳුල් සිනමා නිර්මාණය “රූපාන්තරණ“ තුල නම් එවැන්නක් දක්නට නොතිබුණු බව කණගාටුවෙන් වුවද  කිව යුතුය. මෙහි ප්‍රධාන චරිතයක් වන ත්‍රස්තවාදී නායකයා ත්‍රස්තවාදී නායකයකු බව හෙලිදරව් වීම මහා විශාල රූපාන්තරණයක් නොවේ. මක්නිසා ද කතාවේ මුල සිට ම ඔහු තම පෙමිවතිය හමුවේ නිරූපණය කළේ දුෂ්ට (කලු) චරිතයක් ම බැවිණි. කතාව අවසන් හරියේ දී සිදුවන්නේ ඔහු ගේ දුෂ්ඨ බව තවත් තීව්ර කරමින් ඔහු පස්වන ඊලාම් යුද්ධය ඇරඹිමට පැමිණියෙකු බව පෙම්වතියට හෙලි වීම පමණකි. නමුත් ඔහු මුල සිට ම ඇයට අකාරුණික දුෂ්ට පෙම්වතෙකු ම වූවා විණා චිත්‍රපටය තුළ කිසිදු විටෙක ඔහු පුද්ගල චරිතය රූප විපර්යාසයකට නම් බඳුන්වූයේ  නැත.

රූපාන්තරණ හි කතා තේමාව උසස් මට්ටමේ සිනමා නිර්මාණයක් උදෙසා මනාව පෑහෙන්නක් බවට කිසිදු විවාදයක් නැත. නමුත් මේ තේමාව නාලක විසින් ආකර්ශනීය සිනමා නිර්මාණයක් සදහා මනාව ගලපාගෙන ඇත්දැයි යන්න ගැන නම් ඇත්තේ ප්‍රශ්නාර්ථයකි. ත්‍රස්තවාදී නායකයාගේ ප්‍රයත්නය අසාර්ථක කොට පාත්‍රවර්ගයා “ජයපැන් බීම“ අභව්‍ය අත්භුත සිදුවීම් මත සිදුවන්නක් විනා, යුධ හමුදාමය බුද්ධී මෙහෙයුමක් හෝ හෝ වෙනයම් ආකාරයක මනා සැලසුමක ප්‍රතිඵලයක් ලෙස සිදුවන්නක් බව පෙන්වීමට තිර රචකයා කිසිදු විටෙක උත්සාහයක් නොදරයි. ඔහු පෙන්වන්නේ මෙය “මැජික් එකක්“ ලෙස විනා මහ පොළව මත සිදුවන තර්කාණුකූල ක්‍රයාදාමයක් ලෙස නොවේ. ප්‍රේක්ශකයා ගේ ත්‍රාසය භීතිය හා තුකුහලය වර්ධනය වන අයුරින් දිගහැරීමට ඔනෑ කරම් අමුද්‍රව්‍ය ච්ත්‍රපටය තුළට ගොනු කර තිබූ මුත් එනි නිසි පල නෙලාගෙන නොතිබීම ගැන ඇත්තේ කණගාටුවකි.

ජේශ්ඨ හමුදා නිළධාරියා තම දියණිය ගේ පෙම්වතා දුහුබඳින ආකරයක් මෙහි කොතැනකවත් පෙන්නුම් නොකරයි.(අවසාන මොහොතේ නිදහස් සැමරුම් දිනය දා සියල්ල හෙලිදරවු වන මොහොතේ ද ඔහුගේ මුහුණේ ඇත්තේ විස්මයක් ම පමණකි).දියණිය පෙම්වතා සමග නිවෙසට පැමිණි අවස්ථාවේ ඔහු තවත් හමුදා නිළධාරියෙකු දුරකථනය ඔස්සේ අමතන දසුනක් පෙන්වන මුත් ඉන් එහාට එහි ගලායාමක් දක්නට නොලැබේ. මෙහිදී සාරංග දිසාසේකර නම් පුංචි තිරයේ නලුවාට විශාල අසාධාරණයක් සිදුවන බව මගේ අදහසයි. හමුදා නිළ ඇදුමින් සැරසී ඉහල නිළධාරියෙකුට “යර්ස් සර්“ කියනවා හැර වෙනත් රඟපෑමක් ද ඔහුට මේ නිර්මාණය කුල ඉතිරිව නොතිබිණි. (මේ චරිතය සඳහා ආධුනික නලුවෙකු පහසුවෙන් යොදාගත හැකිව තිබිණි).
Ruupantharanaya4
මෙහි පෙම්වතිය “මම තවමත් නුඹට ආදරෙයි, ඒත් මගේ රටට මම ඊට වඩා ආදරෙයි“ කියමින් ත්‍රස්ත නායකයාට වෙඩි තබන දර්ශනය චිත්‍රපටයේ වඩා උද්වේගකර අවස්ථාවක් වන නමුදු, ඇය අතට ස්වංක්‍රීය ගිනි අවියත් පත් වන්නේ කෙසේද? යන පැනයට නිර්මාණය තුල පිළිතුරක් නැත. ආබාධිත ගෘහ සේවකයෙකු ලෙස වෙස්වලා ගෙන සිටිය බුද්ධි අංශ නිළධාරියාට/බෝම්බ නිශක්‍රීය සෙබලා වෙත මේ වගකීම පහසුවෙන් පැවරිය හැකිව තිබුණ මුත්, එය අසාර්ථක වන්නේ මේ සෙබලා ගේ අනන්‍යතාව ඇය විසින් හඳුනාගන්නනේ මේ “නිදහස් දින අවසාන මෙහෙයුම“ අවස්ථාවේ බැව් පෙන්වන නිසාවෙනි. ඇය ඒ ගිණි අවිය සොරකම් කරන්නේ තම පෙම්වතා වන ත්‍රස්ත නායකයා ගෙන් ම නම් එය බෙහෙවින් අතාත්විකය. පස්වන ඊලාම් යුද්ධය ඇරඹිමට එන ත්‍රස්ත නායකයා තමා සතු ගිණි අවි වත් රැකගත නොහැකි දුබලයෙක් ද?

මේ චිත්‍රපටයේ අගක් මුලක් නැති චරිත ද සිදුවීම් ද බහුලය. අන්ධ වයලීන් වාදන ශිල්පිනිය මුලුමනින් ම අපභ්‍රංශයකි. “අහිංසක පෙම්වතාට“ දාර්ශනික පොර ටෝක්ස් දෙන ඇය හිටිගමන් ඇස් පෙනීම ලැබ බිහිසුණු ජාවාරම් වල යෙදේ.ගිණි අවි හසුරුවමින් වෙඩි තබයි;ඝාතන වල යෙදේ. අවසාන රූපරාමුවට ද රිංගා ගන්නා ඇය ආරක්ෂක අංශ වල ද ඇස් වසා, තමා කරණ ලද අපරාධ හා රාජ ද්‍රෝහී ක්‍රියා වලට දඬුවමක් ද නොලබා විදේශ ගතවෙයි.

රෝද පුටුවේ සිටින පිස්තෝලධාරියා ද උහතෝකෝටිකයකි. චිත්‍රපටයේ අවශ්‍යතාව උදෙසාම බුද්ධි අංශ නිළධාරියෙකු තම නිවසේ සේවකයෙකු ලෙස තබාගෙන පරපීඩක වෘතයක් සපුරන ඔහු සියලු මෙහෙයුම් අවසානයේ නැවත ඒ දෙයම කරන්නේ ඇයි? බුද්ධි අංශ හෝ බෝම්බ නිශ්ක්‍රීය අංශ සෙබලා (සියල්ල අවසන) යලි ලෑලි කාමරයේ සිරගත වන්නේ කුමකට ද? නැවතත් ත්‍රස්තවාදී නායකයෙකු අල්ලපු ගෙදර තාවකාලිකව පදිංචි වී පස්වන ඊලාම් යුද්ධය ඇරඹිමට පිඹුරුපත් සකසන තුරුද? වෙස්වලාගෙන සැඟවී සිටින්නේ මීලඟ ත්‍රස්ත මෙහෙයුම අසාර්ථක කිරීමේ චේතනාවෙන්ද?

“අහිංසක පෙම්වතා“ රිය අනතුරකට බදුන් වී අසාධ්‍ය රෝගියෙකු බවට පත්වීම ද වසර තුනක ඈවෑමෙන් “ ආශ්චර්යයකින්“ ඔහු සම්පූර්ණ සුවය ලැබීම ද කතාව ගලායාමට අවනශ්‍ය දෙයකි.රැකියාව අහිමි වීම පවා මදහසපාමින් උපේක්ෂාවෙන් දරාගන්නා ඔහු, අපරීක්ෂාකාරී ලෙස මහමග ගමන්කිරීම හේතුවෙන් අනතුරකට ලක්කිරීම ඒ චරිතයට පිටපත විසින් කරන ලද බලවත් අසාධාරණයකි.

පාත්‍රවර්ගයා ගේ රඟපෑම් වල කිවයුතු දොසක් නැතැයි සිතේ. ප්‍රධාන චරිත නිරූපනය කළ ආධුනික ශිල්පීන් ශක්ති ප්‍රමාණයෙන් තම චරිත වලට සාධාරණය ඉටු කළහ. සංගීතය ද “අද කාලෙට“ ගැලපෙන ලෙස ගලපා තිබිණි. කෙසේ වුවද මෙම චිත්‍රපටය “රූපාන්තරණ“ යන නාමයට සාධාරණයක් ඉටු කළ බව මාගේ හැඟීමයි.සිනමා සිතුවම ආරම්භයේ දී “අලුත් යමක්“ දක්නට ලැබුණ ප්‍රේක්ශකයන්ට නැවුම් අත්දැකීමක් ( නාමාවලියෙන් පවා) ලබාදීමට උත්සහ කළ චිත්‍රපටය අවසාන හරියට එන විට එනම් අද්භූත සිදුවීම් ජාලයකට පසුව පෙම්වතිය තම (සැබෑ) පෙම්වතා සම ග එක්වී ගී ගයමින් සයුරු වෙරළේ කරදිය ස්නානය කරන දර්ශනය වන විට චිත්‍රපටය මුලුමනින් ම සාම්ප්‍රදායික “වට්ටෝරු චිත්‍රපටයක්“ බවට රූපාන්තරණය වී තිබිණි.
Ruupantharanaya3

Advertisements

පොතක් ගැන යමක් – Its about a scientific fiction

Ubbhayajeeva

මා කියැවූ සංවේදී ම විද්‍යා ප්‍රබන්ධය ගැනයි මේ සටහන.

සල්වාතර් ආර්ජන්ටිනාවේ වෙසෙන ජීව විද්‍යාඥයෙක්(දකුණු ඇමරිකාව ආක්‍රමණය කළ සුදු ජාතිකයින්ගෙන් පැවත එන්නෙක්).ඔහු තම අභිරහස් පර්යේෂණාගාරය තුල විවිධාකාර අත්හදා බැලීම් කරන්නේ ජීවීන් ශල්‍යකර්ම වලට භාජනය කිරීමෙන්.රියෝදිලාප්ලාතා හි සැඟවුණ වෙරළබඩ පෙදෙසක ලෝකයාට රහසක් ව පවත්වා ගෙන යන මේ පරීක්ෂණාගාරය තුල විවිධාකාරයට ශරීරාංග වෙනස් කරන ලද ජීවීන් විශාල ගනනක් ජීවත්වෙනවා.(දෙවියන් වහන්සේ ගේ නිමැවුම් වෙනස් කරන්නේ යයි විටෙක සාම්ප්‍රදායික ආගමික විශ්වාස සල්වාතර් සමඟ ගැටෙනවා).

ස්වදේශික සාමාන්‍ය ජනතාවට සල්වාතර් යනු වෛද්‍යවරයෙක්.නිකන් ම වෛද්‍ය වරයෙක් නොවේ.සුව කළ නොහැකි රෝග සුවකරන විස්කම් වෙදැදුරෙක්.දිනක් ඔහු වෙත එන ගැමියෙක් අලුත උපන් දුර්වල බිලිඳු දරුවෙක් ගෙනත් දෙන්නේ දරුවා ගේ ජීවිතය කෙසේ හෝ බේරාදෙන ලෙස අයැදිමින්.සල්වාතර් කොහොමත් ජීවත් කරවිය නොහැකි මේ මේ ළදරුවා තම පර්යේෂණයක් සඳහා යොදාගන්නවා.ඔහු ළදරුවා ගේ ගේ දුර්වල පෙනහලු සමඟ මත්ස්‍ය කරමලක් බද්ධ කර ගොඩබිම ද ජලයේ ද ජීවත් විය හැකි අපූරු “උභයජීවියෙක්“නිර්මාණය කරනවා.නමුත් ඔහු දරුවා ගේ භාරකරුවන් ගෙන් මේ බව සඟවනවා.ඔහු ලෝකය පවසන්නේ දරුවා මියගිය බවයි.

අර්ධමිනිස් අර්ධ මත්ස්‍ය දරුවා සල්වාතර් ගේ විද්‍යාගාරය තුල වැඩෙනවා.ඔහු “පියා“කියන්නේ සල්වාතර්ට.එක දිගට දිගු කලක් ගොඩබිම ජීවත් විය නොහැකි මේ මීන මානවයා (ඔහු ගේ නාමය වන්නේ ග්‍රීක බසින් මීන මානවයා යන අර්ය ඇති ඉක්තිඇන්දර් යන්නයි)ඔහු ගේ “පියා“විසින් මහ සයුරට හුරු කරනු ලබනවා.විද්‍යාගාරය තුල ඔහු ජීවත් වන ටැංකිය කෙලින් ම විවර වන්නේ මහ සයුරට.මහ මුහුදු කෙලිබිම වන ඔහු ගේ මිත්‍රයා වන්නේ ඩොල්ෆින් මසෙක්.පොදුවේ සියලු මුහුදු ජීවින් ද විශේෂයෙන් ම මාලුන් ඔහු ගේ සමීප මිතුරන්.

මහ සයුරේ ඉහලින් වැටෙන දැල් වල පැටලෙන මාලුවන් ගේ ජීවිත ආරක්ෂා කිරීම උදෙසා ඉක්තිඇන්දර් එම දැල් කපා දමනවා.ගෙබ්බෙකු මෙන් විශාල ඇස් ඇති,මාලු දැල් කපා දමන මේ අත්භූත ජීවියා සමහර ධිවරයන් විසින් කීප විටක් දකිනවා.මේ “මුහුදු යකා“ නිසා භීතියට පත්වන ධිවර ප්‍රජාව එපෙදෙසේ මූදූයාම නතරකරනවා.

නමුත් මේ අභිරහස පිලබඳව උනන්දුවන පේද්‍රෝ සුරිතා ඉක්තියැන්දර් පිලිබඳව හෙලිදරව් කරගැනීමට උත්සහ දරනවා.ඔහු ගැඹුරු මුහුදේ මුතු ගවේශනය කරන ව්‍යාපාරිකයෙක්.

මුදලට කමාට මෙහෙකරන කුලීකරුවකු මාර්ගයෙන් ඉක්තියැන්දර් තමාසතු කරගැනීමට සුරිතා සමත්වනවා.මුතු සොයන මිනිසෙකු මෙන් විනාඩියක් දෙකක් නොව ඕනෑම තරම් වේලාවක් දියයට සිටිය හැකි ඉකියැන්දර් ගැඹුරු මුහුදේ මුතු සොයන ඔහුට මිල කල නොහැකි සම්පතක්.කාළය හෝ දේශසීමා බිලිඹද වෙනසකින් තොරව කපටි ව්‍යාපාරිකයින් සියල්ලන්ට ම පොදු වූ අධික ධන තණ්හාවෙන් සුරිතා ද පෙලෙන නිසා ඉක්තියැන්දර් පත්වන්නනේ දැඩි පීඩනයකට.ඒ අතර  ඔබ මා මෙන් ම මොලොව සියල්ලෝ ම දිවි දෙවෙනි කොට අගයන පුද්ගලික නිදහස නැතිවීම අහිංසක ඉක්තියැන්දර්ට දරාගත නොහැකි වනවා.

හැලහැප්පීම් ගණනාවක් මැද ගලායන මේ මීන මානවා ගේ ජීවිතය අවසානයේ යොමු වන්නේ ඔහු උපන් ප්‍රදේශයෙන් බොහෝ දුරබැහැර මූදුකරයට.ඒ ඔහු ගේම යහපතටයි.

නමුත් ඔහු ගේ වියෝගය දරාගත නොහැකි වේදනාවක් බවට පත් වන අයෙක් ද මේ කතාවේ පාත්‍රවර්ගයා අතර සිටිනවා.ඒ ඉක්තියැන්දර් ගේ සැබෑ පියා.ඔහු සුරිතා වෙත මේ “මුහුදු යකා“ලබාදීම උදෙසා ඔහුට මුදලට බැල මෙහෙ කරන්නේ මේ උපන් විගසම මිය ගියා යයි සැලකූ තම පුත්‍රයා බව කිසිසේත් ම නොදැනයි.කලකට පෙර තම සොයුරා වෛද්‍ය සල්වාතර්ට තම බිලිඳු දරුවා සුවකිරීමට භාර දුන් බවත් මේ මුහුදුයකා යනු අන්කවරෙකුවත් නොව ඒ දරුවාම බව ඔහු දැනගන්නාවිට බොහෝ ප්‍රමාදවීලාය.

මේ “උභයජීව“කතාන්දරයේ (අසම්පූර්ණ)සාරාංශය.මුල සිට අගටම එක හුස්මට කියවා නිම කළ හැකි අතිශයින් රසවත් මේ කෘතිය දකුණු ඇමරිකාව පසුබිම් කොට ලියැවූවක් වුවද රචකයා රුසියානු ලේඛක ඇලෙක්සැන්ඩර් බෙල්යායෙව්.(අවාසනාවට මෙය සිංහලට නැගූ පරිවර්තකයාගේ  නම මගේ මතකයේ නැහැ.මෙය කියවන ඔබ දන්නවා නම් සටහන් කරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා-තිසර සහ තවත් පාඨක මිතුරක් ගෙන් දැනගත් පරිදි මෙය සිංහලට පරිවර්තනය කලේ ජේ.ඊ.ගුණසේකර මහතා.ස්තුතියි !)

විද්‍යාප්‍රබන්ධයක් ගැන කීමේදී “සංවේදී“යන වචනය අදාල වන්නේ කෙසේදැයි සමහර විට ඔබට සිතේවි.ඒත් උභයජීව අවසන් වන්නේ එක්තරා ඛේදාන්තයකින්.කිසිදා නැවත එතැයි බලාපොරොත්තු විය නොහැකි ඈතකට ගොස් සිටින තම ලෙයින් උපන් පුත්‍රයා එතැයි බලාපොරොත්තුවෙන් තෙරක් නොපෙනෙන මහ සයුර දෙස බලා හිදින පියෙක් ගෙන් තමයි කෘතිය අවසන් වන්නේ.

විකෘති කර විකිණීම – Selling after contorting

Show

දුරගමන් බස් රථය ගමන් ඇරඹීමටත් පෙර සිටම ශබ්ධවාහිනිය ගමන් අරඹා තිබිණි.බස් රථය ඉදිරියේම වහලයේ සවිකොට තිබූ පැතලි තිර මොනිටරයේ දර්ශන ප්‍රචාරය වෙමින් පැවතිණි.අතට මයික්‍රෆෝනය ගත් ගායකයා ජනප්‍රිය පැරණි ගීත මරමින් රංගනයේ යෙදෙයි.ගීතයේ සමහර වචන ඔහු ශබ්ධ නොකරයි.සමහර තැන් අනවශ්‍ය ලෙද අදී.හිටිගමන් වචන අමතක ද වේ.බොහෝ විට ශ්‍රැතියක් ඇත්තේ ම නැත.ගීතය අතර මැද නරඹන්න් ගෙන් අත් උස්සන ලෙස ඉල්ලයි.ගීතයේ නැති වාක්‍ය කියයි.සමහර විට සංගීතය  මේ වාදනයක් ම පමණකැයි සිතෙන තරමට ම ගායකයාගේ හඩ අභිබවා යයි.ඔක්ටපැඩ් ශිල්පියා හා ඩ්‍රම්ස් වාදකයා තම වාදක භාණ්ඩ වලට තඩිබාන්නේ ආවේශ වූ කපුවන් මෙනි.බැනියමක් වැනි උඩුකය ඇඳුමක් ඇඳ සිටින වාදක ශිල්පීන් අනවශ්‍ය තැන් වලදී ද ගීතයට අත්වැල් අල්ලයි.අතරමැදි සංගීත ඛන්ඩ දීර්ඝ ලෙස අදී.

ගීතයක් හෝ ශිල්පියෙකු ගේ ගීත පෙලක් අවසානයේ වේදිකාව වෙත නිවේදකයෙකු ගේ ආගමනය සිදුවේ.කට හඩ මධුර වුව ද මේ ශිල්පියා බස හසුරැවන්නට නොදනී.වාක්‍යයක් අරඹන්නේ දුනුගමුවෙනි.කතාව අවසන් කරන්නේ සබරගමුවෙනි.(මැද කිතලගමුවයි හෝ මීගමුවයි).පැහැදිලි අර්ථයක් ප්‍රකාශ නොවේ.ප්‍රසංගය සංවිධානය කළ දේශපාලකයෙකු ඇතුලු ව්‍යාපාරිකයන් කීපදෙනෙකුගේ නම් ගම් නිතරම දොඩයි.වෙළද දැන්වීම් ද කියයි.ඔහු ද අත්පුඩි ඉල්ලයි.කේජු කැබැල්ලට ගිජුකමින් කපුටා ගේ ගැයුම වැනූ නරියා මෙන් මීලඟ ගායකයා ව වර්ණනා කරයි.

ගායකයා,නිවේදකයා,සංගීත කණ්ඩායමේ නායකයා වරින් වර එකිනෙකා ගේ පිටකසා ගනී.

සමහර ගීත වලට නර්තන කණ්ඩායම් ද එකතු වේ.උදරය අඟල් හයක් පමන නිරාවරණය කරගෙන නටන සුරඟනන් බඳු මේ ශිල්පිනියන්ගේ නර්තනය නම් ශෘංගාරත්මකය.

Show3

මේ එළිමහන් සංගීත ප්‍රසංග වල ස්වාභාවයයි.මේ පිළිබදව අපට ගැටලුවක් නැත.මේවා නැරඹීමට එන ප්‍රේක්ශකයන් ද එන්නේ දැහැනකට සමවැද සුභාවිත ගීත රසවිඳීමට නොවේ. ප්‍රසංගයේම කොටසක් බවට පත්වී සජීවි අත්දැකීම උපරිමයෙන් ම (දෙසවනින් ද දෙපා වලින් ද) රසවිඳ ගෙදරට යාමටය.

ලේඛකයා ගේ ආරෝව නම් මේ ප්‍රසංග DVDතැටි වලට නගා අලෙවි කිරීමයි.මෙය වත්මන් ශ්‍රී ලාකීය සංගීත ක්ෂේත්‍රය පිලිබඳ තවත් එක් ඛේදවාචකයකි.

ගීතයක් බිහිකරන ශිල්පීන් ඒ සඳහා මනා කැපකිරීමක් කරන බැව් අපි දනිමු.බාහිර භාදාකිරීම් වලින් තොරව ශබ්ධාගාරයක් තුල පහසුකම් යටතේ,දක්ෂ වාදන ශිල්පීන් ද,තාක්ෂණ ශිල්පීන් ද එක්ව  උසස් තත්වයෙන් පටිගත කර තැටි වලට නගා රසිකයන් අතට පත් කරනු ලබයි.වරදින ගීත කොටස් නැවත නැවත ගයමින් වයමින් හොදම නිශ්පාදනයක් බිහිකිරීමට ඔවුහු වෙහෙසෙති.ගුණාත්මක බවින් වැඩි නිසා මේවායේ නිශ්පාදන පිරිවැය වැඩිය.එනිසා ම නිශ්පාදනය අලෙවි කරන මිල ගණන් ද ඉහලය.රසිකයන් උසස් නිර්මාණයක් වෙනුවෙන් මේ මිල ගෙවීමට සූදානම් ව සිටිය යුතු බව ලේඛකයා ගේ අදහසයි.එසේ ගෙවන රසිකයන් ඕනෑතරම් සිටින බව ද අපි දනිමු.

නමුත් එකම ගීතයම අල්ප වශයෙන් මුල් ගායකයා ම ද,බහුල වශයෙන් වෙනත් සුපිරි තරුවක් විසින් ද අඩු ප්‍රමිතියකින් ඝෝෂාකාරී පරිසරයක නැවත ගායනා කොට බාල තැටියක ගබඩා කොට රුපියල් සියයකට අලෙවි කිරීම තවත් කූට ව්‍යාපාරයක් නොවන්නනේද?මෙයින් සංගීත ප්‍රසංග වලදී අදාල ගීත වල නිර්මාපකයන්ට කොතරම් මූල්‍යමය ප්‍රතිලාභයක් ලැබෙන්නේදැයි මම නොදනිමි.(බොහෝ විට ඔවුනට සතයක් වත් නොලැබේ).නමුත් වේදිකාව මත සිට බෙරිහන් දුන් ගායකයාට නම් යම් මුදලක් ලැබෙනු ඇත.පැහැදිලි සත්‍යය නම් මේ ප්‍රසංගය පටිගත කොට අලෙවි කරන කූට ව්‍යාපාරිකයා නම් හොද ලාභයක් ලබන බවයි.විකාශය අතරතුර වරින් වර ඒ ව්‍යාපාරයේ හිමිකම් ගැන ප්‍රකාශ අකුරු පේලී ගමන් කරවනුයේ එබැවිණි.හාස්‍යජනක කාරනය නම් මේ අකුරු පේලී හරහා අදාල ව්‍යාපාරයෙන් මිලදී නොගත් DVDතැටි “හොර බඩු” යනුවෙන් ඔවුන් ප්‍රේක්ශකයන්ට අවවාද දිමයි.

වඩාත් ම ශෝචනීය කාරනය නම් ඉහල ප්‍රමිතියෙන් යුත් ගීතය මිලදී ගෙන රසවිඳිනවා වෙනුවට මේ බොල් ගීත රසවිඳීමට රසිකයන් ද සැදී පැහැදී සිටීමය.

පාරමීදම් පුරමු අප දෙදෙනා – Have you got the real meaning ?

කළා කෘතියක් රස විඳිය හැකි ආකාරය පුද්ගලානු බද්ධය.එකම ගීතයක් රසවිඳීමෙන් ඔබ ලබන වින්දනය මා ලබන වින්දනයට වඩා වෙනස්ය.ඒ අප ගීතයේ පද තම තමන් ගේ අත්දැකීම් අනුව අර්ථදක්වාගන්නා බැවිණි.එයට කිසිවෙකුට දොසක් කිව නොහැක.නමුත් කළා කෘතියක නිර්මාපකයා ගේ සිතැඟි වලට වඩාත් සමීප වී, ඔහු සන්නිවේදනය කිරීමට උත්සාහ කරන දෙය හොදින් ම ග්‍රහණය කරගැනීමට හැකි නම් එය නිර්මාණයක් රසවිඳින්නාට යෙදෙන “සහෘදයා“ (ලේඛකයා සමඟ සමාන හෘදයක් ඇත්තා) යන්න වඩාත් අරුත් ගන්වයි.

නීලා වික්‍රමසිංහ ගයන “පාරමීදම් පුරමු අප දෙදෙනා“ ගීතය කුඩා කළ සිටම අසා ඇති මුත් එම ගීතයේ  සැබෑ අරුත පසක් වූයේ නොබෝදා අහම්බෙන් ලක්හඬ ගුවන් විදුලියට සවන් දුන් අවස්ථාවකය.(“පවුලේ නාලිකාවේ“ සොහොයුරා වන මේ නාලිකාව කිසිදා මගේ අතින් සුසර නොවන්නක් උවද ප්‍රවෘත්ති හැරුණ විට මේ නාලිකාවේ අනෙක් වැඩසටහන් ප්‍රශස්ථ මට්ටමක ඇති බව කිව යුතුය. ) ලක්හඬ සංගීත වැඩසටහනකට ආරාධිත ශිල්පිනියක් ලෙස සහභාගී වූ නීලා වික්‍රමසිංහ ගායිකාව උක්ත ගීතය දැක්වූ අදහස් මතයි, මේ කෙටි ලිපිය ලැයැවෙන්නේ.

පාරමීදම් පුරමු අප දෙදෙනා

මට ම අයියන්ඩියක වී නුඹ

නැඟණි වී මා එකම මව් කුස

සසර මතුදා උපත ලබනට

පාරමීදම් පුරමු අප දෙදෙනා

මේ පරාජිත ප්‍රේම වන්තියක ගේ අවිහිංසක ප්‍රාර්ථනාවයි.පෙම්වතාට දැක්වූ අසීමිත ප්‍රේමය මල් පල නොදරා අතරමග නැවතුන කළ ඇය පතන්නේ තම අහිමි පෙම්වතා තම එක් කුස උපදින සොහොයුරා ලෙස සසර ගමනේ අතරමග දී හමුවන්නටය.පෙම් කරනා කළ පෙම්වතියක ගේ එකම පැතුම තම පෙම්වතා සමඟ එක් වහලක් යට ජීවත් වීමය.ඇය ද එදා සිහින මවන්නට ඇත්තේ එයටය.නමුත් යම් අවාසනාවකට මේ පැතුම් බිඳ වැටුණ විටෙක,ඒ තමන්ට එරෙහි වූ පෙම්වතාට හෝ වෙනත් අයෙකුට සාප කිරීම වෙනුවට ඇය පතන්නේ මතු භවයෙක ඔහු සමඟ එක ම මව් කුසක උපත ලබන්නටය.තමා ලැබූ පරාජය ඈ උපේක්ෂාවෙන් විඳදරාගනී.

ගවුම් පොඩියක් මටත් අන්දා

කොන්ඩ කරලක් හිස පලන්දා

යනෙන මාවත දකුණු පැත්තෙන්

මාව පාසල් එක්කරං යන

මට ම ඔබ අයියන්ඩියක වේවා!

ජාති ජාතිත් සංසාරේ

මේ ආදරණිය සොහොයුරෙක් තම නැගණිය ආරක්ෂා කරනා අන්දමය.විශේෂයෙන් ම දෙසොහොයුරන් අතර වසර කීපයක පරතරයක් ඇති විටෙක අයියා නංගිට පියෙකු මෙන් රැකවරණය සලසනු අපි අත්දැක ඇත්තෙමු. විරහ වේදනාවෙන් පෙලෙන අප කථානායිකාවට ඇගේ අහිමි පෙම්වතා පෙම් කරනා කාලයේ පියෙකු, සොහොයුරෙකු ලෙස සලකන්නට ඇත.ඇය ඒ ආදරය රැකවරණය විඳින්නට ඇත.උපදින මතු ආත්ම භවයෙක ඇය ඒ රැකවරණය එලෙසින් ම ඔහුගෙන් ප්‍රාර්ථනා කරන්නේ එබැවිණි.

මෙහිදී ගීත රචක ආචාර්ය අජන්තා රණසිංහයන් පද රචනය වෙනුවෙන් තෝරා බේරා ගන්නා වචන පිලිඹදව ද අපගේ අවධානය යොමු විය යුතුය. ගීතයේ අර්ථ උද්දීපනය සඳහා අවිහිංසක පෙම්වතියක ගේ සුලභ වාංමාලාව  මනා ලෙස යොදාගන්නා අන්දම බලන්න.සරල ව්‍යවහාර භාෂාවෙන් ලියැවුණු, උච්ච ස්වරයෙන් ගැයෙන මේ පද ශ්‍රාවකයා ගේ හද පතුලට ම ගමන් කොට හැඟීම් දනවයි.

“ජාති ජාතිත් සංසාරේ“

ගීපද රචකයා ගේ සිතැඟි සමඟ ශ්‍රාවකයා සම්පාත කරවනුයේ ගීතයේ අවසාන අන්තරා කොටසිනි.

ළමා විය ඉක්මවා දවසක

පංචකල්‍යාණියක වී මා

සිරිත් ලෙස  කුල ගෙයට යනදා

හීනයක් සේ මතක්වෙයි මට

අපේ අසරණ බිදුණු පෙම් ලෝකේ

පූර්ව ආත්මෙක සංසාරේ

ඒ අනාගත ආත්මයක අයියා ගේ අතැඟිල්ලේ එල්ලී පාසල් යන ඇය දිනෙක වැඩිවිය පත්ව විවාහ දිවියට පිවිසෙනු ඇත.එදින ඇට සිහිනයක් මෙන් මතක් වන්නේ කුමක් ද?අතීත ආත්මයක බිඳී ගිය (වත්මනේ තමා ගේ  සොහොයුරා සමඟ එදා බැඳී තිබූ) ඒ සුන්දර ප්‍රේමයයි.මෙය ශ්‍රාවක හදට දන්වන්නේ නීලා වික්‍රමසිංහ ගේ හැඟුම් බර උච්ච තියුණු හඬින් ඇසෙන  “පූර්ව ආත්මෙක සංසාරේ“ යන පද පෙලිනි.මේ පද පෙල නොමැත්තේ නම් ගීතයේ අර්ථය මුලුමනින් ම වෙනස් වන බව මාගේ හැඟීමයි.මේ පූර්ව ආත්මය, අන් කිසිවක් නොව ගීතයේ  ආරම්භයේ සනිටුහන් වන වර්තමානයයි.

කාලත්‍රය තුල ශ්‍රාවකයා චාරිකාවක ගෙන යමින් විප්‍රලම්භ ශෘංගාරය දනවන මේ ගීතය, ආචාර්ය අජන්තා රණසිංහයන් ගේ පන්හිඳෙන් ගෙතුණු විශිෂ්ටතම පදරචනයක් බව නොකිවමනාය.

ගීතයේ සාර්ථකත්වය වෙනුවෙන් සරත් ද අල්විස් මහතා ගේ සංගීත නිර්මාණය දක්වන දායකත්වය අද්විතීය ය.ගීතයේ ආර්ම්භක සංගීත ඛණ්ඩය හෝ හෝ හඩනංවා කතක ගේ හදවතින් නැගෙන විප්‍රයෝග වේදනාව මනාව සිතුවම් කරයි.ක්‍රමයෙන් උච්ච ස්වර දක්වා විහිද යන(සෙක්සෆෝන් වාදනයෙන් තීව්ර කරණ) මේ සංගීතය, ගැයුම ආරම්භ වන විට පෙම්වතිය ගේ උපේක්ෂා සහගත බව සංඛේතවත් කිරීම සදහා “නිවුණු“ සංගීත ඛණ්ඩයක් බවට වයලීන් වාදනය හරහා පත්වේ.

පෙර ද පැවසූ පරිදි නීලා වික්‍රමසිංහ ගේ රිදී සීනු බඳු හඩ ගීතයට ඉටු කරන මෙහෙය කිසිසේත් ම සුලු පටු නොවේ.

ප.ලි. ඊනියා සුපර්ස්ටාර් සෙරක ගේ අකාරුණික ග්‍රහණයට මේ ගීතය ලක්නොවේවා!

මා දෑසේ වේදනා – මතුකරපු චෞරයා

මා දෑසේ වේදනා ගීතය මුල්වරට සවනත වැකුනේ එහි පද වල අරුත් පවා හරිහැටි නොතේරෙන කුඩා අවදියේ ය.අර්ථය නොතේරුන ද එදා පටන් ම එම ගීතයට ප්‍රිය කළේ රෝයි පීරිස් නම් ගායකයා එය ගැයූ ශෝකී රාවයත් එහි සංගීතයත් තදින් සිතට වැදුන නිසාය.(රෝයි පීරිස් ගයන “අම්මේ යන්න එපා දුරු රටකට”, “හද සාගරේ”, “ඔබ නෑසූ කතාවක්” ආදී  අදටත් ජනප්‍රිය ගීත පුද්ගලිකව ලේඛකයාගේ ද ප්‍රියතම ගී ලැයිස්තුවේ ඉහලින්ම සිටී)

අදටත් නව්‍යතාවයකින් රසවිඳිය හැකි මේ ගීතය (මා දැසේ වේදනා) ගැන කතා කිරීමට සිදුවූයේ එක්තරා චෞර සුපිරිතරුවක් මේ ගීතය නැවත ගායනා කිරීමය.ඒ එහි මුල් ගායකයා වන රෝයි පීරිස් ගේ කිසිදු අවසරයකින් තොරවය. එපමණක් ද නොව මේ සම්බන්ධව රෝයි තම විරෝධය ද පලකොට තිබියදී රෝයි විසින් ම වසර 20කට පසු මේ ගීය නව සංගීතයට ද ගයා තිබීයදී, මේ චෞරයා එම ගීය (තමාගේ මෙන්) රිගින් ටෝන්ස් වලට ද ගයා අසීමිත ලෙස මුදල් උපයයි.

මේ කාළකන්නි සිද්ධිය මගින් පෙන්නුම් කරන්නේ සුපර්ස්ටා හරහා බිහිවන ඊනියා තරු, බංකොලොත් නිර්මාණකරුවන් පමණක් ම නොව මානුශික හා සදාචාරාත්මක සීමා ද අතීක්‍රමණය කර මුදල් පසුපස හබා යන මංකොල්ලකරුවන් පිරිසක් බව නොවේද? (එක අතකට බාල පෙට්‍රල් ගෙනා නිළධාරීන්, ඊට දඬුවම් නොලැබ යලිත් බාල ගුවන්යානා තෙල් ගෙන්වීමට වරම් ලබන රටක, අධිආරක්ෂක කලාපයේ ඇති කෞතුකාගාරය පහසුවෙන් හොරු බිඳින රටක, ආධුනික කළාකරුවන් ද සොරුන් හෝ වංචනිකයන් වීම පුදුමයක් ද නොවේ).

සුපර්ස්ටාර් ගායන තරග වලින් ජයලබා දොරට වඩින්නෝ කවරහුද?මේ නම් ගායනයෙහි දක්ෂයෝ බවට ලේඛකයාට වාදයක් නැත.දහස් ගනණක් අතරින් තේරී, විනිශ්චය මණ්ඩලයක විනිශ්චයට ලක්ව නිවැරදිව ස්වර හා අලංකාර ගයන, නිසිලෙස සෘතියේ පිහිටා ගීත ගයන මේ තරඟකරුවන් ගේ ගායන කුසලතාව ගැන ගැටලුවක් නැත.(අවසන් තීරණාත්මක අදියර වලදී සුපිරිතරු තෝරන SMS මනාප ක්‍රමයට ආවේණික දූෂණ ආදිය මදකට පසෙකින් තබමු) එසේනම් ගැටලුව ඇත්තේ කොතැනද?ගායනයේ දක්ෂයන් මේ සුපර්ස්ටාර් තරඟ හරහා බිහිකළ (තෝරාගත) හැකි වුව ද දක්ෂ සංගීත නිර්මාණ කරුවන් හෝ නිර්මාණ මෙලෙස (කෘතිමව ?) කිසිවෙකුට බිහි කළ නොහැකි වීමයි.උදාහරණයක් ලෙස මාදෑසේ වේදනා සොරකම් කළ සොරදෙටුවා මීට වසර කීපයකට පෙර තමන්ම ගීත ලියා, තමන්ම තනු නිර්මාණය කොට, තමන්ම ගයමින් ගීත ඇල්බමයක් නිතුක් කළේය.මෙහි සාමාන්‍ය ශ්‍රාවක හද දිනාගැනීමට සමත් වූ එකද ගීයක් හෝ නොතිබිණි.

ලංකාවේ (මෙන්ම ඕනෑම රටක) දක්ෂ ගායකයන් ඕනෑ තරම් සිටිනමුත් දක්ෂ ගීතනු නිර්මාපකයින් සිටින්නේ අතලොස්සකි.නම් වශයෙන් කිවහොත් පණ්ඩිත් අමරදේව, ප්‍රේමසිරි කේමදාස, වික්ටර් රත්නායක, රෝහණ වීරසිංහ, එච්.එම් ජයවර්ධන, ගුණදාස කපුගේ, ෂෙල්ටන් ප්‍රේමරත්න, ඔස්ටින් මුණසිංහ, සරත් ද අල්විස්, සරත් දසනායක, නවරත්න ගමගේ, එඩ්වඩ් ජයකොඩි  ආදීන් හැරුනු විට රූකාන්ත ගුණතිලක,(මේ ලිපියට මාර්තෘකාවන ගීය නිර්මාණය කළ) නිහාල් ගම්හේවා, ශර්ලි වෛජයන්ත, ආන්නද පෙරේරා, චන්න ජයනාත් ආදී අතලොස්සක් පමණි  දක්ෂ තනු නිර්මාපකයින් අපට (සිංහල සංගීතයට) සිටිනුයේ.

රූපවාහිනී නාලිකා කීපයකින් සුපිරි තරු පමණක් නොව මුල් ස්ථාන 10 හෝ 20 අතරට එන “ජනප්‍රිය-සුපිරි” ගායකයින් බුරුතු පිටින් බිහිවන සීග්‍රතාවයට සමානුපාතිකව දක්ෂ සංගීතවේදීන් හෝ සංගීත නිර්මාණ බිහිවීමක් සිදු නොවේ.

ශිහාන් අනුන්ගේ ගීයක් සොරකම් කොට ගයන්නේ මේ නිසාය.සුපර්ස්ටාර් වේදිකාවේදී මාධ්‍ය විසින් අනවශ්‍ය ලෙස පුම්බා ඇති නිසා බඩ රස්සාව හොයාගැනීමට අන් මගක් ද නැති නිසාය.

ඔහුට එක් දෙයක් මතක් කොට දිය යුතුය. ඒ බස් රථ වලට ඩොල්කියක් හෝ අත් රබානක් ගෙනගොඩවී ගීත ගයා මගීන්ගෙන් රුපියල දෙක උපයාගන්නා වීදී කළාකරුවා ඔහුට වඩා නම්බුකාර බවයි.ඒ ඔහු “පුංචි දෝනි තරහා වෙලා” යන්න ගයන්නේ එය ජෝතිපාල ගේ ගීයක් මිස තමා ගේ ගීයක් ලෙස ශ්‍රාවකයින් නොරවටා බැවිණි.

ළදරු පාසල් වියේ දී අපි කවුරුත් වැඩිහිටියන් ඇද දෙන රේඛා චිත්‍ර පාට කරමු.ඒ අත හුරු වීමටය.ඒවා වැඩිහිටියන්ට පෙන්වා සතුටු වෙමු.ප්‍රශංසා ලබමු.සමහර විට පොඩි පොඩි තෑගි ද ලබමු. නමුත් ඉහල පංති වලදී හෝ වැඩිහිටියන් බවට පත් වූ කළෙක හෝ එසේ අන් අයගේ රේඛා චිත්‍ර පාට කොට අපේ නම ගසාගෙනවිකුණා මුදල් නොඋපයමු.ඒ එය විහිලුවක් මෙන්ම ආත්ම වංචාවක් ද වන බැවිණි.

මෙවැනිම තවත් ලිපියකට පිවිසෙන්න.

ලේඛකයා වඩා ප්‍රිය කරන මුල්ම ගීය සොයාගත නොහැකි විය.මේ රෝයි සන්ෆලවර්ස් සමග ගයන ගීතයයි.

මානුශික මෙහෙයුමේ සිනමා ප්‍රතිනිර්මාණය – ගාමනී

සරත් වීරසේකර කුලුදුල් සිනමා නිමැවුම ගාමනි නැරඹූ දින මනසේ සිත්තම් කළ මේ සටහන මෙලෙසින් එලි දැක්වීමට උත්ප්‍රේරකයක් වූ සොයුරු බුවාට මගේ ප්‍රණාමය.

දශක 3ක් ලංකාවේ ජනතාව පෙලූ ත්‍රස්තවාදී අරගලය තේමාකරගත් සිනමා නිර්මාණ කීපයක් මීට පෙර ද අප දැක ඇත්තෙමු.විදෙස් රටවලින් සම්මාන පිට සම්මාන ලැබූ මෙයින් බොහොමයක් දැනුවත්ව හෝ නොදැනුවත්ව යුධ සෙබලාගේ චිත්ත ධෛර්යය බිඳවට්ටවන යම් සැගවුණු න්‍යායපත්‍රයක් තෘප්තකරවන මට්ටමේ වූ බව අපට මතකය.යුද්ධය නිසා සිදුවන විනාශය, ජනජීවිතය බිඳවැටීම සිනමාත්මකව ඉදිරිපත්කල නමුත්, කොටි ත්‍රස්තවාදයේ බිහිසුණු බව හෝ, ඒ බිහිසුනු ත්‍රස්තවාදය ඉදිරියේ දනින් නොවැටී ඊට එරෙහිව සටන් වැදුණු අයුරක් මේවා මගින් ඉදිරිපත් කළ බවක් අපට මතක නැත.

ගාමනී චිත්‍රපටය බිහිවන්නේ එවන් පසුබිමකය.

චිත්‍රපයට ඇරඹෙන්නේ හිතිපිත් නැති ත්‍රස්තවාදයේ තරම පෙන්වන සමූලඝාතනයකිනි. ආයුධ සන්නද්ධ කොටි සාමාජිකයින් ගමට පැන පහරදෙන විට නිරායුධ ගැමියන්ට ඊට එරෙහිව කිසිවක් කල නොහැකි බව පැහැදිලිය.ගම ආරක්ෂා කිරීමට සිටියේ ප්‍රාථමික මට්ටමේ ගිණි අවි වලින් පමණක් සන්නද්ධ නුපුහුණු ග්‍රාමාරක්ෂක භටයන් කීප දෙනෙක් පමණි.කොටින් ගමට ඇතුලු වන්නනේ ද මෙවන් දෙදෙනෙක් ඝාතනය කර බව කියැවේ.ගාමනි නිර්මාපකයා ගේ මුඛ්‍ය පරමාර්ථය වන්නේ මෙම ග්‍රාමාරක්ෂක භටයා නිසිලෙස සවිබල ගැන්වීම මගින් ගම රැකීමට (අඩුතරමින් ප්‍රතිප්‍රහාරය සඳහා ආසන්න හමුදා කදවුරෙන් සෙබලු එනතුරු වත්) හැකියාව ඇති බවයි.

උතුරු හා නැගෙනහිර පලාත් වල  ශ්‍රීලංකා රජයේ පාලනයට නතු ප්‍රදේශයේ කෙලවරක පිහිටි ගම්මාන එදවස හැදින්වූයේ “මායිම් ගම්මාන“ යන නමිනි.පසු කලෙක මේවා “තර්ජිත“ ගම්මාන යනුවෙනු වෙන් කෙරිනි.කෙසේ වුව ද මේවාට පහරදී ජනතාව ඝාතනය කිරීමෙන් හා ඉතිරි වූවන් රජයේ පාලන ප්‍රදේශ තුලට පලවා හැරීමෙන් කොටින් බලාපොරොත්තු වූයේ තම සීමාව පුලුල් කරගැනිම බව පැහැදිලිය.ගාමනි හි කොටි නායකයාගේ මුවට දෙන දෙබසකින් ද කියවුණු පරිදි සිංහල පමණක් නොව මුස්ලිම් ජනතාව ද දකුණට පලවා හැරීමට කොටින් මෙම උපක්‍රමය භාවිතා කළහ.නමුත් තම ජීවිත පරදුවට තබමින් ඒ තම උපන් බිම් අත් නොහැර සිටි ජනතාව නොවන්නට ඊලාම් යුද්ධය මීටත් වඩා බරපතල වීමට ඉඩ තිබිණි.මේ සඳහා තර්ජිත ගම්මාන වල ජනතාවට නොමද පිටිවහලක් වූයේ  පසුකාලීනව “සිවිල් ආරක්ෂක  බලකාය ලෙස“ නාමකරනය වූ ග්‍රාමාරක්ෂකයින්ය.

මෙලෙස “සිවිල් ආරක්ෂක  බලකාය ලෙස ස්ථාපිත කිරීමට ද මුල් වූ එහි පළමු අණ දෙන නිළධාරියා ද  වූ සරත් වීරසේකර මහතා මේ සිනමාවට නැගූයේ ඒ තම වාත්තීය අත්දැකීම ම යයි අප සිතමු.ඊට අමතරව ඔහු ජාතියක් වශයෙන් අප සතු මාහැඟි මානුශික ගුණාංග රිදී තිරය මත සිත්තම් කිරීමට ගෙන ඇති උත්සහය ප්‍රශංසනීය ය.කොටින්ගෙන් වන ගැහැට ඉවසනු නොහැකිව ගම්බිම් අතහැර පලායන දෙමළ පවුලට රැකවරණය සලසන්නේ සිංහල ගම්මනාය යි.ඒ අතර සිටින දැරිය ග්‍රාමාරක්ෂක සෙබලා සමග බැදෙන්නේ ජාති ආගම් භේද ඉක්මවා යන සහෝදර ප්‍රේමයකිනි. වෙඩි වැදී තුවාල ලබන ඔහු වෙනුවෙන් ඇගේ සිඟිති දෑස කඳුලින් බරවන්නේ එබැවිණි.අද (සිනමාපටය මගින් කතාකරන කාලසීමාව) සිංහල ජනතාවට පහරදෙන්නේ අහිංසක දෙමළ ජනතාව නොව ත්‍රස්තවාදීන් වන්නාසේම එදා කළුජූලියේදී අහිංසක දෙමල ජනතාවට පහරදුන්නේ ද අහිංසක සිංහල ජනතාව නොව සිංහල ත්‍රස්තවාදීන් ය යන්න චිත්‍රපටය තුලින් ප්‍රේක්ෂයාට සම්ප්‍රේෂණය කරණ මතවාදයකි.

තර්ජිත ගම්මාන වලට පික්නික් පැමිණ, ත්‍රස්තයන් සමඟ පොරබදන ජනතාවට සාමයේ අගය කියාදීමට දතකන ව්‍යාජ සාම නියෝජිතයන්, ස්වාමීන්වහන්සේ ගේ සිංහනාදය හමුවේ නගුට අකුලාගෙන පසුබැස යාම ලේඛකයා මේ සිනමාපටය තුල දුටු වඩාත් ම අවධානය දිනාගත් ජවනිකාවයි.

මනා හමුදා පුහුණුවකින් ද, ස්වයංක්‍රීය ගිණිඅවි වලින් ද, අභිමානවත් නිළ ඇඳුමකින් ද, මේ සියල්ලටම වඩා වෘත්තීය අභිමානයෙන් සහ ආත්ම විශ්වාසයෙන් ද සන්නද්ධ සිවිල් ආරක්ෂක භටයා ගැමියන් සමඟ එක්ව ත්‍රස්තවාදියා තීරණාත්මක ලෙස පරාජය කරයි.මේ ගාමනී හි කතා සාරාංශයයි. කාලෝචිත කතා තේමාවකින් ද, සාපේක්ෂව සාර්ථක තිර රචනයකින් ද යුතු ගාමනි හි භූමිකා මැවූ ජයසිරි,තිරිමාදුර,දිල්හානි,බිමල්,මහේන්ද්‍ර,ජගත් ආදීන්ගේ රංගනයන් විශිෂ්ඨ යයි කිවහැකිය.ඩබ්ලියු.ජයසිරි මෙයින් කැපී පෙනේ.සංගීතය උසස් මට්ටමක වූ නමුත් අඩංගු වූ එකම ගීය සිනමාත්මක නොවූ බව නම් නොකියාම බැරිය.

චිත්‍රපටය තුල අප දුටු දුර්වලතා කීපයක් ද දැක්වීම සඳහා මේ ඉඩ යොදාගනිමු.ගුරුතුමිය ගේ සහ හමුදා මේජර් ගේ මුවින් එකම දෙබස් කීපවිටක් පුනර්ජනනය වීම අඩුපාඩුවකි.ගුරුතුමිය සොලී – චෝල පර්යාය පද බව නොදැන අපට එරෙහි ආක්‍රමණයන් කළ ජාතීන් දෙකක් ලෙස හැඟෙන දෙබසක් ද ඇගේ මුවින් නික්මිණ.අංගංපොර සටන් කරුවා කතාව සඳහා බලහත්කාරයෙන් ඔබ්බවන ලද්දක් බව අපගේ හැඟීමයි.පන්සලේ ඇබිත්තියා ලෙස එක්වරම මතුවන ඔහුගේ චරිතය නොමැතිව වුවද කතාව ගලාගෙන යාමට අවකාශය තිබුණි.ත්‍රස්තවාදීන් ගේ ප්‍රහාර ද ඊට එරෙහිව ක්‍රියාත්මක වූ ප්‍රති ප්‍රහාර වල ද අප දුටුවේ මන්දගාමී බවකි.මේ ත්‍රාසජනක රූපරාමු මීට වඩා වේගවත් රිද්මයකින් ඉදිරිපත් වූවා නම් වඩාත් අර්ථවත් වීමට ද, ප්‍රේක්ෂකයා තුල තීව්ර කම්පනයක් ඇතිකරවීමට ද හැකියාව තිබිණි.ගුරුතුමිය විශ්වකෝෂයක් මෙන්, මේජර් ගේ රාජකාරි ඉතිහාසය කට පාඩමින් කීම අස්වාභාවිකය.

සරත් වීරසේකර මහතා වෘත්තීය සිනමාකරුවෙකු නොවන පසුබිමක් තුල ඔහු කළ මේ කාර්යය ප්‍රශස්තය.වෙසෙසින්ම සිංහල සිනමාව අගාධයට යමින් ඇති බවට මැසිවිලි නැගෙන යුගයක ඔහු කළ මෙය සිනමාශාලා වෙත සිනමාලෝලීන් කැදවීමට සමත් බව සදහන් කල යුතුමය.

ගාමනි සිංහල සිනමාවේ විශිෂ්ටතම සිනමා නිර්මාණය නොවේ.එය ලේඛකයා නැරඹූ හොද ම නිර්මාණය ද නොවේ.නමුත් එය සුවිශේෂී නිර්මාණයක් වන්නේ අපේ රටේ ඉතිහාසයේ දශක 3ක සෝබර කාලඡේදයක මතකසටහන්, එය ඇසින් දුටු ශාක්ෂිකරුවෙකු විසින් ම  සෙලෝලයිඩ් පටයක් මත සටහන් කළ දුලබ අවස්ථාවක් වන බැවිණි.

රේඛා චිත්‍රවලට පාට පොවා විකුණන සුපිරිතරු

අමරණීය ගායක H.R.ජෝතිපාලයන් ගේ ගීත නව පරපුරේ සුපිරි තරුවක් විසින් නැවත ගැයීම පිළිඹදව  කසුකුසුවක් ඇසේ මේ සටහන ඒ සම්බන්ධවයි.

මීට දශක කීපයකට පෙර එච්.ආර් ජෝතිපාලයන් විසින් ගයන ලද ගීත බොහොමයක් පොදු ප්‍රේක්ෂකයා අතර අතිශයින් ජනාදරයට පත්විය.පදරචනා වල මියුරු බව, සංගීතයේ මියුරු බව, ගායනයේ මියුරු බව යන කාරණා වල සංකලනයෙන් එම ගී දනන් තුඩ තුඩ රැව් දෙන ගීත බවට පත් වූ අතර එම ගීත වලට අද පවා ගීත රසිකරසිකාවියන් අතර ඇත්තේ නොමද ඉල්ලුමකි.ප්‍රේක්ෂක ඡන්දයෙන් ජයග්‍රහණය ලබණා රියලිටි වැඩසටහනකදී එම ගීත වල ජනප්‍රිය භාවය උපයෝගීකරගෙන මනාප රැස් කොට යම් ආධුනික ගායකයකු සුපිරුතරුවක් බවට පත්වීම පිළිඔද අපට කිසිදු ගැටලුවක් නැත.(ඇත්තටම ආධුණික ගායකයා මෙහිදී තම නමට සටහන් කරගන්නේ අදාල පැරණි ගීතයට ලැබෙන ප්‍රෙක්ෂක මනාප වීම සත්‍යය වුවද අපි මදකට මෙහිදී එය අමතක කරමු).නමුත් මුදල් ඉපයීමේ චේතනාව මත එම ගීත නැවත ගායනා කිරීම, ප්‍රසංග වේදිකාවක ගයා අධීක මුදලක් ඉපැයීම මංකොල්ලකෑමක් විනා අන් කවර ලෙසකින් හෝ හැදින්විය හැකිද? ගීතයක පදමාලාව රචනා කිරීමේ සිට එය සිනමා නිර්මාණයකින් හෝ ගුවන් විදුලියෙන් එලිදැක්වීම දක්වා අදාල නිර්මාණ ශිල්පීන් නොමද වෙහෙසක් දරන බව අප දනිමු.මේ වෙහෙස තුට්ටුවකටවත් මායිම් නොකර හාන්සි පුටුවකට වී හිද ජෝති ගේ ගීයක් නැවත ගයා මුදල් හම්බකිරීම  වසංගත රෝගයක් මෙන් සමාජය විසින් තරයේ පිටුදැකිය යුත්තක් යයි අවධාරණය කරමු.

මෙම කතිකාවේදී සුපිරි ගායකයාට පක්ෂව නැගෙන තර්කය නම් එකළ ජෝතිපාලයන් ද ගැයුවේ මොහොමඩ් ඩ්‍රාෆී ගේ ගීත බවයි.ජෝතිපාල ස්වතන්ත්‍ර ගීත ඕනෑ තරම් ගයා ඇති නමුත් ඉහත චෝදනාව මදක් විමසා බලමු.හිංදි හෝ දෙමළ ගීතනු වලට සිංහල වදන ඔබ්බවා ගායනා කිරීම එකළ අප සංගීත ක්ෂේත්‍රය පුරාම දක්නට ලැබුණ ලක්ෂණයකි.ඊට ජෝතිපාලට (ගායකයාට) පමණක් දොස්කිව නොහැක්කේ ඒ අප සිංහල සංගීත ක්ෂේත්‍රය ඉන්දියානු අනුකරණ වල සිට ස්වතන්ත්‍ර ගීත දක්වා සංක්‍රමණය වෙමින් පැවති යුගයක් බැවිණී. කෙසේ වුවද එකළ අද කරණ පරිදි  “ඩ්‍රාෆී ගේ ගීත ජෝති ගේ හඩින්” මැයෙන් වෙළඳ ප්‍රචාරණයක  ෙයදී ගීත අලවි කළ  බවක්  අපි නොදනිමු.නමුත් හෙළ සංගීත  ෙකත යම් දියුණු මට්ටමකට පැමිණි ඇති අද ද එදා ඒදා මෙන් පරපෝෂිත ගායකයන් බිහිවීම සාධාරණීකරනය කළ හැක්කේ කෙසේද?

ජෝතිගේ ගී වෙනෙකෙකු ගැයූ පළමු වතාව මෙය නොවේ.මීට පෙර ද ගායකයන් කීප දෙනෙකුම අනුන්ගේ රේඛා චිත්‍රයකට පාට පොවා චිත්‍ර ශිල්පීන් වීමට දැගලුවා අපට මතකය.නමුත් තමන්ගේම ගීත ගැයීමෙන් විනා මෙවන් උප්පරවැට්ටි වලින් ක්ෂ්‍රේත්‍රයේ දිගුකල් වැජබිය නොහැකි බවට ඉතිහාසය සාක්ශි දරයි.පාට පෙවූවන් රසිකයන්ට අමතකව ගිය ද ජෝතිපාල රසික හදවත් තුල තවමත් අමරණීයය.(මේ අය සමහරුන් රසිකයන්ට මතකහිටින තමන්ගේම ගීත ගයා ස්ථාවරවීමට පසුව සමත් වූහ).

ගීතයක අයිතිය පදරචකයා,සංගීතවේදියා සහ ගායකයා අතර සමසේ බෙදී යා යුතුබව ලේඛකයාගේ පුද්ගලික අදහසයි.මේ අයිතිය වෙනත් නිශ්චල හා චංචල දේපලක අයිතිය මෙන්ම මුල් අයිතිකරුගේ ඈවෑමෙන් ඔහුගේ උරුමක්කාරයන්ට ලැබිය යුතු බව ද විශ්වාස කරමු.මක්නිසාද යත් නිර්මාණශිල්පියෙකුගේ නිර්මාණශීලී හැකියාවන් මංකොල්ලකෑම නීතියට කෙසේ වුවද කිසිදු සදාචාරයකට එකඟනොවන බැවිණි.

මොහාන් සමරනායක මහතා වෙත ලිපියක්

පළමුව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ධුරයට පත් වීම පිලිබදව ඔබතුමාට හදවතින් ම සුභ පතමු.

ඇත්තෙන්ම මෙවන් ලිපියක් ඔබතුමා වෙත ලිවීමට අප පෙළබවූ කාරණය ද එයමය.ඔබ ලංකාවේ බහුතර ප්‍රේක්ශක පිරිසකගේ දෑස් සහ දෙසවන වෙත ලගාවිය හැකි ප්‍රභල ජනමාධ්‍යයක නියමුවා වීම ඇත්තවශයෙන්ම ප්‍රේක්ශකයන් වන අප ලැබූ භාග්‍යයක් ලෙස සලකමු.ජනමාධ්‍යය තුලින් ම අප හදුනාගෙන ඇති පරිදි ඔබ අර්ථීක විද්‍යාව මෙන්ම මාධ්‍ය ක්ෂේත්‍රයේ ද ප්‍රාමාණික බුද්ධිමතෙකි.මධ්‍යස්ථ විචාරකයෙකි.රූපවාහිනී හා ගුවන්විදුලි මාධ්‍යයන් හි අත් දැකීම් බහුල  වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම මාධ්‍ය වේදියෙකි.එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මාධ්‍ය ඒකකය භාරව කටයුතු කළ ජාත්‍යන්ර වශයෙන් ද නිපුන මාධ්‍යයවේදියෙකු වන  ඔබතුමාට රූපවාහිනී සභාපතිවරයා ලෙස ක්‍රියා කළ යුතු ආකාරය ගැන කියා දීමට අපි කිසිසේත් ම තරම් නොවෙමු.

නමුත් හුදීජන ප්‍රේක්ශකයන් ලෙස ජාතික රූපවාහිනියෙන් බලාපොරොත්තුවන්නේ කුමක් දැයි සටහන් කිරීම වරදක් නොවේයයි හගින බැවින් මෙවන් ලිපියක් ලියමු.

ජනමාධ්‍යයක වැදගත්ම ලක්ෂණය වියයුත්තේ මධ්‍යස්ථ බව  එසේත් නැත්නම් සමබරබව යයි සිතමු.අපගේ ජාතික රූපවාහියේ නැත්තේ ද එයයි.කිසිදු රටක රජයට හෝ පුද්ගලික අංශයට අයත්  කිසිදු ජනමාධ්‍යයක් 100% ක් අපක්ෂපාතීව මධ්‍යස්ථව කටයුතු නොකරන බව සැබෑය.නමුත් ජනතාවගේ බදු මුදලින් නඩත්තුවන රජයට අයත් ජනමාධ්‍යයක් වත් යම් දුරකට හෝ අපක්ෂපාතීව තම මාධ්‍යය හැසිර විය යුතු නොවේද? රූපවාහිනිය රජයේ (හෝ පාලක පක්ෂයේ) ප්‍රවෘත්ති වලට, ක්‍රියාකාරකම් වලට ප්‍රමුඛතාව දුන්නට කමක් නැත්.නමුත් විපක්ෂයේ අනෙක් පක්ෂවලට ද සාධාරණ ඉඩක් වෙන් කිරීමට වග බලා නොගෙන මාධ්‍යය කටයුතු කිරීම නිසා සිදුවන්නේ ‍ප්‍රේක්ෂකයා මාධ්‍ය තුලින් ඈත් වීම ම පමණකි.අනෙක් අතට පාලුගෙයි වලං බිදින්නාක් මෙන් පිලිතුරු දීමට අවස්ථාව අවුරා විපක්ෂය විවේචනය කිරීම සාධාරණ නොවන අතරම ප්‍රේක්ෂකයා තුල පිලිකුල මෙන්ම අප්‍රසාදය දනවන බව සිහිතබාගතයුතුය.රූපවාහිනිය තුලදීම විදෙස් විත්ති විචාරයේ දී ඔබතුමා දැක්වූ මධ්‍යස්ථ භාවය සමස්ථ රූපවාහිනිය තුලට ද ගෙන ඒමට හැකිවේ වා යයි අපි බලා පොරොත්තු වෙමු.

ජපානයෙන් තිළිණයක් ලෙස මෙරටට ලැබුණ රූපවාහිනිය අධ්‍යාපන වැඩසටහන් වලට වැඩිපුර නැබුරු වන ලෙස මුල් කාළයේ ක්‍රියා කළ බව අපට මතකය.නමුත් අද වන විට පුද්ගලික නාලිකා එම කාර්යයට අතගසා ඇත්තේ  ජාතික රූපවාහිනිය තමාගේ එම ජාතික යුතුකම පැහර හරින නිසා දැයි අපට සැකයක් මතුව තිබේ.(පුද්ගලික මාධ්‍ය අධ්‍යාපනික වැඩසටහන් ඉදිරිපත් කිරීමේ  වරදක් ඇතැයි මින් කිසිසේත් ම අදහස් නොකෙරේ).විධීමත් මෙන්ම නොවිධීමත් අධ්‍යාපනික වැඩසටහන් හරහා සිසු ප්‍රජාව ඇමතීම ජාතික රූපවාහිනියේ පරම යුතුකමකි.අතීතයේ වාර්තාමය වැඩසටහන් (Documentary programs) හරහා පොදුජන බුද්ධීයේ නිම් වළලු පුලුල් කළ රූපවාහිනිය වත්මනේහි ද ඒසදහා උත්සුක වියයුතුමය.

අතීතයේ අප දුටු “ගණු දෙණූ” වැනි රසවත් හරවත් අධ්‍යාපනික වැඩසටහන්, තොටවත්තයන්ගේ “සිප්යුරු රසාර” වැනි වැඩසටහන් අද කෝ?පාසල් නිවාඩු සමයේ විකාශය වූ අධ්‍යාපන විකාශයට වූයේ කුමක්ද?

විශේෂයෙන් ළමා ආකල්ප වර්ධනයට රූපවාහිනියට කළහැකි කාර්යය විශාලය.උදාහරණයක් ලෙස ලේඛකයා ළමාවියේ රූපවාහිනියෙන් දුටු  “මොනවද මුත්තේ මොකද කරන්නේ? ” වැනි ගීත අද දින ප්‍රචාරය වනු දක්කනට නොලැබෙන්නේ මන්ද යන්න විශාල ගැටලුවකි.

අතීතයේ මෙන්ම අද ද ජාතික රූපවාහිනිය දක්ෂ නිර්මාණ ශීල්පීන්ගේ තෝතැන්නක් බවට පත්විය යුතුයයි හගිමු.විදෙස් නාලිකාවල හෝ පුද්ගලික නාලිකා වල විකාශය වූ වැඩසටහන් එලෙසම අනුකරණය කොට ඉදිරිපත් කිරීමක් නොව නැවුම් නිර්මාණ ජාතික රූපවාහිනිය තුලින් බිහි වේයයි අපි බලාපොරොත්තු වෙමු.ප්‍රේමකීර්ති ද අල්විස්, ටයිටස් තොටවත්තයන්, ලූෂන් බුලත්සිංහල, සෝමවීර සේනානායක, නලීන් කරුණාරත්න, රොස්මන්ඩ් සේනාරත්න, ජයන්ත චන්ද්‍රසිරි,  (තවත් බොහෝයි) වැනි කළාකරුවන්ට ද ඔවුන් ගේ නිර්මාණ වලට ද අවකාශය රූපවාහිනිය තුල ලැබිය යුතුය.අනෙකුත් නාලිකා වලට පරදමාදර්ශ සපයන මුල් ගුරු බවට පත්වියයුතු වන්නේ ද ශ්‍රව්‍ය ද්‍රශ්‍ය මාධ්‍යයයේ ප්‍රමිතීන් බිහිකළ යුත්තේ ද ජාතික රූපවාහිනිය බව අපගේ විස්වාශයයි.

රටේ අතිමහත් බහුතර ප්‍රේක්ෂකයන්ගේ අහිංසක පැතුම මෙය බව අපගේ හැගීමයි.මෙම උත්තරීතර කාර්යය ඔබතුමාට සිදුකළ හැකි බවට අපට හොද විශ්වාසයක් ඇත.එය යථාර්තයක් කිරීමට ඔබතුමාට ශක්තිය හා ධෛර්යය ලැබේවා!

කුස රජු ශ්‍රී ලාංකික ද?

“පරසිදු                         මෙමිහිතල

මදුරට  පුරෙහි                     සාගල

මදුරජුට                           බෝබල

දුවක් ඇත පබවත නමින්        දුල”

කුස ජාතකය පදනම් කරගනිමින් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් කුස පබා නමින් සිනමා නිර්මාණයක් කරණ බවට මාධ්‍ය වාර්තා පලවිය. සුනිල් ආරියරත්නයන් බදු ප්‍රතිභාපූර්ණ සිනමාවේදියෙකු විසින් එවන් කතාපුවතක් සිනමාවට නැගීම මහත් ප්‍රහර්ශයකි.එමෙන්ම මෙම නිර්මාණයේ තිරපිටපත තිස්ස අබේසේකරයන්ගේ වීම සිනමා ලැදි ප්‍රේක්ෂකයන්ගේ අමන්දානන්දයට හේතු වූවා නිසැකය.එමෙන්ම මෙහි කුස රජුගේ චරිතය නිරූපනය කරන්නේ සම්මානනීය රංගන ශීල්පියකු වන ජැක්සන් ඇන්තනීය.ජැක්සන් ගේ රංගන ප්‍රතිභාව මෙරට වේදිකා, රූපවාහිනී, සිනමා රසිකයන්ට රහසක් නොවේ. රිදීතිරය තුල ගරිල්ලා මාර්කටින්,අග්නිදාහය, අස්වැසුම,වැනි සිනමාපට වල ඔහුගේ රංගනය අසමසමය.

නමුත් කණගාටුවට හේතුව නම් මෑත සිංහල සිනමාවට නිර්මාණවලට වැලදෙන ඇති අභාග්‍ය සමපන්න රෝගයක් මෙම චිත්‍රපටයට ද වැලදීමය.එනම් ප්‍රධාන නිලිය විදේශයකින් ආනයනය කිරීමයි.මෙහි ප්‍රධාන චරිතය වන රූමත් පබාවතී කුමරියගේ චරිතය නිරූපනයට තෝරා ගෙන ඇත්තේ ඉන්දියානු නිළියක වන පූජා උමාශංකර්ය.ඇයගේ රංගන ප්‍රතිභාව පිලිබදව අපට ගැටලුවක් නැත.නමුත් මෙම චරිතය නිරූපනයට තරම් දක්ශතාව ඇති ගැලපෙන නිලියක සිංහල සිනමාවෙන් සොයාගන්නට බැරිවීද? පබාවතී චරිතයට පණ පෙවීමට සුදුසු නිලියන් දුසිමකගේ පමණ නම් ලේඛකයා ගේ මතකයට එයි.සිනමා නිර්මාණ බිහිකිරීම අතින් සංඛ්‍යාත්මකව ඉන්දියාව අහලකටවත් පැමිණීටම අසමත් (එමෙන්ම සාපේක්ෂව කුඩාම ප්‍රේක්ෂාගාරයක් හිමි) සිංහල සිනමාව තුල ද ප්‍රධාන චරිතයක් රගපෑමේ වරම සිංහල නිලියකට අහිමි වීම ඛේදවාචකයක් නොවේද?

පූජා ඉන්දියානු වීම ඈ මෙම චරිතයට තෝරා ගැනීමට හේතුවක් වූබව මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මාධ්‍යට පවසා තිබුණි.ලේඛකයා ගේ ගැටලුව මෙයයි.කුස රජු ඇතුලු මෙම කතා පුවතේ සියලු පාත්‍රවර්ගයා ඉන්දියානුවන්ය.ඇයි එසේ නම් පබාවතී සදහා පමණක් ඉන්දියානු නිලියක තෝරා ගත්තේ?

ශ්‍රී ලංකාවේ කිසිදු ක්ෂේත්‍රයකට ඉන්දියානු හස්තයෙන් බේරීමට බැරිද?