Category Archives: මතවාද

විසිවන සංශෝධනයෙන් විසිවන ජනමතය – That is not your business man!

ග්‍රීසියේ ඇතෑන්ස්, ස්පාටා, කොරින්ත්, ආර්කේඩියා වල රැස්වූ ජනතාව තමන්ට බලපාන පොදු ප්‍රශ්නවලට විසඳුම් සෙව්වේ සාකච්චා මාර්ගයෙනි. මෙලෙස සියලුම ජනතාව ගේ අදහස් සාකච්චාට භාජනය වී තීරණ ගැනීමේ සහ පාලනය කිරීමේ මෙම ක්‍රියාවලිය ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුල් අවස්ථාව ලෙස සැලකූ අතර කාලයාගේ ඈවෑමෙන් මෙය විවිධ වෙනස්කම් වලට ලක්වෙමින් අද දක්වා ම ලොව පුරා ව්‍යාප්තව පවතියි. නමුත් එදා ට සාපේක්ෂව ජනගහණය අධික වීම නිසා තීරණ ගැනීමේ ක්‍රියාවලියට සියලුම ජනතාව සහභාගීවීම ප්‍රාෙයා්ගිකව සිදු කළ නොහැකි බැවින් වර්තමානයේ සිදුවන්නේ ජනතාව තමන්වෙනුවෙන් තීරණ ගැනීම උදෙසා තම නියෝජිතයන් පත් කිරීමයි. මෙය “නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය“ ලෙස හඳුන්වනු ලබන අතර අප රට් ද ක්‍රියාත්මක වනුයේ මෙය බව සියලුදෙනාම පාහේ දනී. පාර්ලිමේන්තුවේදී තමන්වෙනුවෙන් තීරණ ගන්නා නියෝජිතයන් තෝරා ගැනීම පිලිබඳ ක්‍රමවේදයේ සුවිශේෂී වෙනස්කමක් කිරීමට ඊයේ (2015 ජූනි 11) මෙරට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි විය. ඒ පවතින සමානුපාතික නියෝජන ක්‍රමය වෙනුවට “කේවල ඡන්ද කොට්ඨාශ“ (First Pass the Post) ක්‍රමය යලි ස්ථාපනය කිරීමයි. මේ පිළිබඳ විකල්ප මතවාදයක් සාකච්චා කිරීමට මෙයින් ඉඩ හසර වෙන් කර ගනිමු.

මෙය අංක ගණිතමය වශයෙන් ජනමතය නිවැරදිව ප්‍රකාශකර ක්‍රමයක් නොවන බව මුලින්ම කිව යුතු අතර ඒ ගැන කතිකාවන් මේ වේදිකාව තුල උදාහරණ සහිතව මීට පෙර සිදු කර ඇත. ඒ සඳහා හිතාදර පාඨක ඔබට පහත ලින්ක් ඔස්සේ පිවිසීමට ඇරැයුම් කරමි.

20 වන සංශෝධනය හරහා පැරණි කේවල කොට්ඨාශ ක්‍රමය යලි ස්ථාපනය කිරීමට මෙරට ජනතා බලවේග ක්‍රියාත්මක වන්නට වූයේ සද්භාවයෙන් බවට තර්කයක් නැත. වෙසෙසින්ම මනාප ක්‍රමය හරහා බිහිව ඇති ප්‍රචන්ඩකාරී, දූෂිත දේශපාලන අප සංස්කෘතිය ආපසු හරවා නිවැරදි කිරීමට මේ හරහා ඉඩ ලැබෙතැයි යන්න ඔවුන්ගේ අපේක්ෂාවයි. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙල වත් සමත් නැති දූෂිත දේශපාලකයන් දේශපාලන බිමෙන් අතුගා දමා අතීතයේ මෙන් උගත් – බුද්ධිමත් නියෝජිතයන්ගෙන් පාර්ලිමේන්තුව පිරවීමට මේ හරහා හැකිවෙතැයි යන්න ජනතාව අපේක්ෂාකරන වෙනසයි. නමුත් ඉතාම පැහැදිලි වශයෙන් මෙය මිරිඟුවකි. කිසිඳා සැබෑ නොවන සිහිනයක් ම පමණකි.

ඊට වඩා භයානක තත්වය වන්නේ ඡන්දදායකයාගේ අතපය බැඳ දමන මේ ක්‍රමය, (සාපේක්ෂව) යහපත් නියෝජිතයන් පත්කරයැවීමට ඡන්දදායකයාට දැනට ඇති සීමිත ඉඩකඩ ද අසුරා දැමීමම. නොඑසේ නම් මේ හරහා සිදුවන්නේ ජනතාව කබලෙන් ලිපට වැටීමය. මා එසේ කියන්නේ ඇයි? දැන් පවතින සමානුපාතික නියෝජන ක්‍රමය තුල අපේක්ෂකයන් 20-25 ක නියැදියකින් (අදාල මැතිවරණ දිස්ත්‍රික්කය අනුව මේ ගණන වෙනස් වේ) තිදෙනෙක් තෝරා ගෙන තම නියෝජිතයන් ලෙස පත් කර යැවීමට ඡන්දදායකයාට යම් සීමිත අවකාශයක් නිදහසක් ඇත. නමුත් කේවල ක්‍රමය තුල තම මැතිවරණ කොට්ඨාශය උදෙසා පක්ෂය විසින් තෝරා දී ඇති එකම පුද්ගලයෙකු ම පත්කර අත පිසදාගැනීමට ඡන්දදායකයාට බලකරණු ලබයි. එපමණක් නොව අර මුලින් කී 20-25 කුලකයට ඇතුලුවීමට යම්කෙනෙකුට ඇති ඉඩ අවකාශය ද අප විසින් තක්සේරු කළ යුතුව ඇත. පක්ෂ නායකයන්ට/බලධරයන්ට, මේ නාමයෝජනා ලැයිස්තුව හරහා සාපේක්ෂව විශාල පිරිසක් ජනතා විනිශ්චයට යොමු කිරීමට ඉන් අවකාශ තිබිණි. කේවල කොට්ඨාශ ක්‍රමය තුල මේ අවස්ථාව සීමිත වන අතර එක් එක් මැතිවරණ කොට්ඨාශ තුල ආසන සංවිධායක වරු ලෙස (පෙර සිටි නාමයෝජනා ලැයිස්තුවේ සිටි පිරිසිට වඩා ඉතා අඩු පිරිසක්)  පක්ෂ නායකයා ගේ මනාපයට ම පත්කිරීම හා ඒ පිරිස පමණක් මැතිවරණයකදී ජනතා විනිශ්චයට ලක්කිරීම මින් ඉදිරියට සිදුවනු ඇත. මෙහිදී අප විසින් අවධානය යොමු කළ යුතු වැදගත්ම කාරණය වන්නේ, අද වනවිට (හැමෝම කියන පරිදි) දූෂිත ධනවතුන් වංචාසහගතව ඉපැයූ මුදල් වැයකර පාර්ලිමේන්තුවට පත්වී ඇත්නම් මීලඟට ආසන සංවිධායක වරු ලෙස පත්වන්නේද ඒ එයම බවයි. මැතිවරණ ක්‍රමය වෙනස් වූ පමණින් ඔවුන් දේශපාලනයෙන් සමුගෙන යතැයි සතීම මහා මුලාවකි. ඒ වෙනුවට සිදුවන්නේ එවන් නියෝජිතයන් ප්‍රතිත්ෂේප කිරීමට ඡන්දදායකයාට දැනට ඇති සීමිත අවස්ථාව ද සෝචනීය ලෙස අහිමිවී යාම පමණකි.

එසේම කොට්ඨාශ මට්ටමින් බැහැරව සිදු කරන තෝරාගැනීම් ඉතා පැහැදිලි වශයෙන්ම “පත් කිරීම්“ වන අතර ඒ සම්බන්ධව ඡන්දදායකයන්ට මැදිහත්වීමට ඇති අවස්ථාව ශූන්‍යය. මේ තම නියෝජිතයන් තෝරාගැනීමට ඇති ජනතා මතය පැත්තකට ම “විසිවීයාමක්“ නොවන්නේ කෙසේද? ජනතා නියෝජිතයන් තෝරාගැනීම තවදුරටත් මහජනතාව ගේ මනාපයට සිදු වන්නක්නොවේ. ජනතා නියෝජිතයින් තෝරා පත්කරීම සෑහෙන දුරට දේශපාලන නායකකාරකාදීන් ගේ ම රුචි අරුචිකම් මත සිදුවන අත්තනෝමතික කාර්යයක් බවට පත්වීම වැලැක්විය නොහැක. විසිවන සංශෝධනයෙන් විසිවන්නේ ජනතා මතයයි.

මේ ක්‍රමය යෝජනා කළ ජනතාව ගේ තවත් අපේක්ෂාවක් වන්නේ, ඡන්ද අපේක්ෂකයකු මැතිවරණය වෙනුවෙන් ප්‍රචාරක කටයුතු කළ යුතු වන්නේ කුඩා ප්‍රදේශයක (කුඩා ? – මෙය ද පූර්ණ සත්‍යය නොවේ) නිසා යහමින් මිල මුදල් නැති අයකුට වුව ද මැතිවරණයක් ජයගත හැකිවේ ය යන්නයි. මෙය ද මුලාවකි. දැන් සිටින ධනවත් දේශපාලඥයා මනාප ක්‍රමය යටතේ පැවති මැතිවරණයකදී දිස්ත්‍රික්කයක් තුල වියදම් කළ මුදල් කන්දරාව මින්පසු මැතිවරණ කෝට්ඨාශය තුල පමණක් වියදම් කොට තම අරමුණු ඉටු කරගනු ඇත.

කණගාටුදායක කරුණ නම් සමාජය මේ පිලිබඳව සංවේදීතාවක් නොදැක්වීමයි. කේවල ක්‍රමය යටතේ මහ මැතිවරණයක් පවත්වා කලක් ගතවන විට සමාජයට මේ ක්‍රමයේ ගුණ දොස් හොඳින් විද්‍යමාන වන්නට පටන් ගනු ඇති නමුත් එවිට අශ්වයා පැනගොස් සිටිණු ඇත.

 මේ පිලිබඳ කලින් සිදු කල වියමන්:
1

2

3

4

5

6

Advertisements

අලුත් අවුරුද්දේ ගතික සමතුලිතය – Equilibrium by the Sinhala new year

New year

අප සියලු දෙනා ගතික සමතුලිත පරිසර පද්ධතියේ කොටසක් මිස ස්ථාවර ප්‍රපන්චයන් නොවන්නෙමු. මේ බැව් මේඝය තම බ්ලොග් හැඳින්වීමේදී ද දක්වා ඇත. සිංහල අලුත් අවුරුද්ද ද එසේමය. සිංහල අවුරුදුදේ දී ද සිදුවන්නේ එක් පසක සිට අනෙක් පසට සම්පත් ගලායාමයි: තොරතුරු ගලායාමයි: විශ්වාසය ගලායාමයි.

අවුරුදු සමයේ වේගයෙන් ම ගලායන්නේ මුදල් ය. මාසික වැටුප් ලබන රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයින්ට මෙ මාසයේ වැඩිපුර වැටුපක් ලැබේ. “අවුරුදු ප්‍රසාද දීමනා“ හෙවත් පොදු ව්‍යවහාරයේ “බෝනස්“ ලෙස හැදින්වෙන මේ  මුදල සමහරවිට ඒ මූලික වැටුපට සමාන වූ මුදල් ප්‍රමාණයකි. සමහරවිට මූලික වැටුපමෙන් කීප ගුණයක මුදලකි. ඒ ප්‍රමාණය ආයතනය අනුව වෙනස්වේ. සමහර ආයතන වල කිසිදු “ප්‍රසාද මුදලක්“ සේවකයන්ට නොදෙන මුත් අඩුම කරමින් “උත්සව අත්තිකාරම්“ ලෙස පසුව වැටුපෙන් අයකරගැනීමේ කොන්දේසිය මත හෝ සේවයකයන්ට වැඩිපුර මුදලක් ලබාදීම සිදු කරයි. තමාගේ ම ව්‍යාපාර හෝ ව්‍යවසායක යෙදෙන්නන් ද එසේමය. කුමන ක්‍රමයකින් හෝ ජනතාව අත වැඩිපුර එක්රැස් වන මුදල් එලෙසම රඳානොසිටි.රෙදිපිළි,අහාර ද්‍රව්‍ය ව්‍යාපාරික ස්ථාන වෙතට මේ මුදල් ගලායන්නේ අසුරු සැනිනි.මේ සමතුලිතයේ ස්වාභාවයයි.

අතට මුදල් නොලැබෙණ යම් කෙනෙකු වේ නම් තම ඉතිරි කිරීම් නිදහස් කරගනිමින් හෝ අතැති මුදල් ප්‍රමාණය වැඩි කරගන්නේ මෙකළය. බැංකු වල ඒ.ටී.එම් යන්ත්‍ර අසල දිගු පෝලම් දක්නට ලැබෙන්නේ එබැවිණි.දැන් බොහෝ ආයතන වල සේවක වැටුප් ගෙවන්නේ ද බැංකු ගිණුම් හරහා බැවින් බැංකු වල මුදල් ඉවත්ට ගලායාම සිග්‍රය.සමහර විට මෙය බැංකු තුල මුදල් අසමතුලිතයක් නිර්මාණය කිරීමට ද හේතු වේ. නමුත් සිංහල අලුතු අවුරුදු ක්‍රියාදාමය තුල මමීට කදිම විසදුමක් දී තිබීම සැනසීමට හේතුවකි. එනම් නැකත් චාරිත්‍ර වල “ගණුදෙනු“ සදහා ලබාදී ඇති සුවිශේෂී අවස්ථාවයි. බෙහෝ බැංකු අවුරුදු නැතකට ගනුදෙණු කරයි. ගනුදෙණු කරුවන්ට විවිධාකර ත්‍යාග පිරිනමමින් ඉතිරිකිරීම් දිරිගන්වයි. බොහෝ විට අවුරුදු නැකතට භාර ගන්නේ වසර ඉක්මවා කාලයකට වලංගු වන ස්තිර තැම්පතුය. මෙ මගින් බැංකු තමන් වෙතින් ඉවතට ගිය මුදලි නැවත අද්දවා ගනී. බොහෝ විට පූර්ව අවුරුදු සමයේ හොදින් මුදල් උපයාගත් ව්‍යාපාරිකයින් තම මුදල් ද බැංකු ගත කරන්නේ මේ නැකතටය.සමතුලිතය සම්පූර්ණ වන්නේ මෙලෙසයි.

 මුදල් පමණක් නොව අන් බොහෝ සමතුලියන් ද අවුරුදු සමයේ මෙලෙස විචලනය වන බැව් හොදින් නිරීක්ෂනය කළ විට පැහිදිලි වේ. නිවාඩු හෙවත් විවේකය අවුරුදු සමයේ වැඩිපුර ලැබේ. නමුත් ඊට හිලව්වට අවුරුදු සමයට පෙර හෝ පසුව සේවයකයන් අතිකාල සේවයේ යෙදෙනු අප දැක ඇත. අවුරුදු චාරිත්‍ර කුල ම නොනගත සමය තුල උපවාසයක් සිදුවන්නේ පරිභෝජනය කරන කැලරි ප්‍රමාණය වැඩි වීම තුලිත කිරීම සඳහාය. අවුරුදු නැකැත් අතර ම රැකීරක්ෂා සඳහා පිටත්ව යාමක් දක්වා ඇත.

අවුරුදු චාරිත්‍ර සහ ක්‍රීඩා ආදිය හරහා සාම්ප්‍රදායික දැනුම අලුත් පරම්පරාව වෙත ගලායාම සිදුවේ.පවුල් අතර අසල්වැසියන් අතර ගම තුල රට තුල ප්‍රජාව තුල සුහදත්වය හුවමාරු වීම තවත් සුවිශෙෂී අත්දැකීමකි.

පාඨක ඔබ සැමගේ සිත් සතන් නැවුම් වී සුභ නව වසරක් උදාවේවා යයි ඉත සිතින් පතමු!

ගව ඝාතනයට එරෙහිව ප්‍රචන්ඩත්වය – Violence against the cattle saughter

ගව ඝාතනයට එරෙහි තවත් විගඩමක් පසු ගියදා කොටුව දුම්රියපල ඉදිරියේදී රඟ දක්වනු ලැබිණි.මහ මඟ අවහිර කරමින් දෙනෝදාහක් ජනතාව පෙලමින්,ආවේගශීලීව ප්‍රතිවාදීන්ට ගුටිබැට දමින් මේ චීවරධාරීන් කරනා රඟපෑම මෙරටට ද උතුම් වූ බුද්ධශාසනයට ද කරන්නාවූ හානිය සුලු පටු නොවේ.

ඔවුන් නියෝජනය කරන (එසේ යයි කියන)නිර්මල බුදු දහම යථාර්තවාදී,අවිහිංසාවාදී දර්ශනයකි.එය සත්ව ඝාතනය මුලු මනින් ම ප්‍රතික්ෂේප කරයි.ඒ ගැන විවාදයක් නැත.නමුත් “අපට ප්‍රයෝජනවත් සතුන් ඝාතනය නොකරන්න“,“අපට ප්‍රයෝජනයක් නැති සතුන් නම් ඝාතනය කළාට කම් නැත“ ආදී ආත්මාර්ථකාමී මිත්‍යා අදහස් ඒ තුල නැත.

කර්මය හෙවත් ක්‍රියාව පිලිබඳ බුදුන්වහන්සේ දීර්ඝ ලෙස දේශනා කොට ඇත.ඒ සෑම විටෙකම දක්වා ඇත්තේ තමා කරනා වූ ක්‍රියාවක ප්‍රතිපලය තමා ම බුක්ති විදිනා බවයි.යහපත් ක්‍රියා වල යහපත් ප්‍රතිපල ද අයහපත් ක්‍රියාවල අයහපත් ප්‍රතිපල ද ඇති බව උන්වහන්සේ මනාකොට දේශනා කලසේක.එසේ වුව ද කිසිදු විටෙක උන්වහන්සේ වැරදි කරන්නවුන් ඒවායින් මුදවීම සඳහා බලහත්කාරය,බිය වැද්දීම භාවිතා කළේ නැත.නොමඟ ගියවුන් සුමඟට ගැනීමට උන්වහන්සේ භාවිතා කළේ අවිහිංසාවයි.මුසාව සත්‍යයෙන්ද,වෛරය මෛත්‍රීයෙන් ද,මැඬලනවා මිසක ඇසට-ඇස,දතට-දත න්‍යායක් බුදුදහමේ කොතැනක හෝ නොඉගැන්වේ.අන්‍යයන් සෙවීම නොව වැදගත් වන්නේ තමන් ව සෙවීම බව බදුහිමයන් එදා භද්දවල්ලිය කුමාර වරුන් ට දේශනා කල සේක.ලෝකය ඇත්තේ බඹයක් පමණ වූ ශරීරය තුල බවත් බුදු දහමේ ඉගැන්වේ. 

වෛරය ඇග පුරා දවටාගෙන පාරට බැස ඇති ඒ චීවරධාරීන් ඉල්ලා සිටිනනේ කුමක්ද?සමහර විට ඒ ගව ඝාතනය ශ්‍රී ලංකාව තුල මුලුමනින් ම නවතා දමන ලෙස නීති පැනවීම විය හැක.මෙවැන්නක් කළ හොත් ගවඝාතනය සම්පූර්ණයෙන් නතරවනු ඇතැයි ඔවුන් කල්පනා කරනවා විය හැක.

මෙය මුලුමනින් ම මිත්‍යාවක් බව සාමාන්‍ය බුද්ධියක් ඇති ඔනෑම අයෙකුට ඉතා ම පැහැදිලිය.නීතියෙන් තහනම් අපරාධ ඕනෑ තරම් මේ රටේ දිනපතා සිදුවේ.ඒවායේ චූදිතයන් දිනපතා නීතිය හමුවට පැමිණවේ.දඬුවම් ලබයි.ඒත් ඒ වරද වල් කිසිවක් හෝ කවදාවත් මුලුමනින් ම නතර වී නැත.නතර වන්නේ ද නැත.

ගව ඝාතනය වැලැක්වීමේ අරමුණක් ඇත් නම් කළ යුතු වන්නේ ගව මස් කෑමෙන් සහ මස් පිණිස ගවයන් විකිණීමෙන් වැලකීමය.

රට තුල මස් පිණිස ගවයන් ඝාතනය වීමට වඩා භයානක අනතුරු ගණනාවකට අද වින විට මෙරට මිනිස් ප්‍රජාව මුහුණ දී සිටී.ඒ සම්බන්ධව වියයුතු සක්‍රීය මැදිහත්වීමක් දක්වනවා වෙනුවට මේ භික්ෂූන් වහන්සේ කරනුයේ සමාජයේ අවධානය නොවැදගත් දෙයකට යොමු කර සමාජය අගතියට යන වේගය තවත් වැඩි කිරීම නොවන්නේද?

මේ චීවරධාරීන් ගමන් කරන්නේ ලොව්තුරා බුදුහිමයන් දෙසූ මාරගයෙහි නොවේ.සුරියුත් මුගලන් ආදී ආර්ය මහා සංඝ රත්නයට නිගා දෙමින් ඔවුන් මේ ගමන් ගන්නේ බුදුහිමියන් දෙසූ මාර්ගයට ප්‍රතිවිරුද්ධමාරගයේය.ගව ඝාතනයට විරුද්ධව යයි කියමින් පාරට බැස ඇති මේ චීවරධාරීන් කරනුයේ උත්තරීතර බුදු දහම ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට ලක්කිරීම පමණකි.

සරාගී දේශපාලනය – Acting in the politics

Gayeesha

නිළියන් හා නිරූපිකාවන් එළබෙන බස්නාහිර සහ දකුණු පලාත් සභා මැතිවරණය සඳහා නාමයෝජනා භාරදීම ගැන සැම තැනම කතා වෙයි.මේ නිළියන් දේශපාලනයට අවතීර්ණ වූ මුලු ම අවස්ථාව නොවේ.නිළි රැජිණ විරුදාවලිය ලත් මාලනී ෆොන්සේකා දැනටමත් (ජාතික ලැයිස්තුවෙන්)පාර්ලිමේන්තුව නියෝජනය කරයි.උපේක්ෂා ස්වර්ණමාලී හෙවත් “පබා“පක්ෂ මාරු කරමින් පාර්ලිමේන්තුවේ රැඳී සිටී.අනාර්කලී දකුණු පලාත්සභාවේය.ගීතා කුමාරසිංහ පිරිමින් සමඟ කෙහෙවලු පටලගනිමින් බෙන්තර සංවිධායක ධුරය දරයි.සමහර විට දැන් නාමයෝජනා දෙන නිළියන්ට පූර්වාදර්ශ සපයන්ට ද ඇත්තේ මේ දෙශපාලක නිළි ජේශ්‍යටයන් වන්නට ඇත.වඩාත් ම භයාකන ද එයයි.  

අනි කිසි රැකියාවකට වඩා දේශපාලනයේ ඇති විශේෂත්වය නම් ඊට පිවිසීම උදෙසා කිසිදු මූලික අධ්‍යාපනික සුදුසුකමක් අවශ්‍ය නොවීමයි.මේ ඉඩ හසරඉහලින් ම ප්‍රයෝජනයට ගත් විවිධාකාර දූෂිතයන් දැන් කලක් තිස්සේ උත්තරීතර පාර්ලීමේන්තුව ආක්‍රමණය කොට සිටී.ව්‍යවස්ථාදායක සභාවේ වරප්‍රසාද වලට මුවාවී තමන් ගේ ආත්මාර්ථකාමී අරමුණු මුදුන්පත් කරලනු වස් තම පාලිතයන් අමු අමුවේ පෙලමින් සිටී.රටේ නීතිය අතට ගෙන තම දූෂණ වංචා සියල්ල වසා සුදු පිරුවටයෙන් වසා උපාසකයින් ලෙස පෙනී සිටිති.මේ දූෂිත දේශපාලුවන් අතර මහා පරිමාණ මත්ද්‍රව්‍ය වෙළෙන්දන් ද, සොරුන් හා වංචාකාරයින් බහුල බව ද ප්‍රසිද්ධ රහසකි.

ඒ අතරට නිළයන් හෝ නිරූපිකාවන් ද එක්වීම කුමන ආකාරයක වෙනසක් සිදු කරයිද?

මේ පල් වලම ඉහගෙන කනු මිසක් පැහැදිලි වෙනසක් සුදු නොකරනු ඇතැයි යන්න අපගේ අදහසයි.හුදු ජනප්‍රියත්වය නිසා ම ජනතා මනාපය ඉහලින් ම ලැබ මැතිවරණ දිනා පාර්ලිමේන්තුවට (හෝ අදාල ආයතනයට)පිවිසෙන මුත් දේශපාලනය පිලබඳ නොදැනීම ද උන්නතිකාමය ද නිසා මොවුන් ද අවසානයේ නතරවන්නේ අනෙක් දූෂිතයින් සිටිනා මඩ ගොහොරුවේමය.නොඑසේ නම් මංත්‍රී ධූරය හරහා ඔවුන් සතුවන බලයෙන් පල ලබන්නේ ඔවුන් ව අතකොලු බවට පත් කරගන්නා වෙනත් කපටි කෛරාටිකයින්ය.පබා තම පුද්ගලික ජීවිතය ද අවුල් කරගන්නේ මෙවන් කුමන්ත්‍රණයක් නිසා බැයි පතලය.

කෙසේ වුවද දින පසුගිය දිනෙක විද්‍යාවේදී පිටිදූවේ සිරිධම්ම හිමයන් ඉතා නිවැරදිව ප්‍රකාශ කලාක් මෙන් මෙරට ජනතාව “මහ මෝඩයෝය“.උත්තරීතර මිනිසුන් කළ යුත්තේ මේ මෝඩයින් ගේ මෝඩ කම් නැති කොට ඔවුන්ට ඥානාලෝකය ලබාදීම වුවද ජනනායකයින් බහුලව සිඳුකරන්නේ මෝඩ කම ප්‍රයෝජනයට ගෙන තමන් ගේ දියුණුව සලසා ගැනීමය.ඒ අතින් මේ නිළි බලකාය ද තම අලුත් ම රඟපෑම හොදින් ම කරනු ඇති බවට සැකයක් නම් නැත.  

නිශ්ඵල ම අමත්‍යංශය – The most useless ministry

PVT Bus

පඳුරක් ගණනේ ඇති කැබිනට් අමාත්‍යංශ අතර වඩාත් ම ජන පීඩක අමත්‍යංශය පුද්ගලික බස් අමත්‍යංශය යයි සිතේ.කෝප් වාර්තාවෙන් හෙලිදරව් කොට ඇති පරිදි ජනතා මුදල් මිලියන ගණනින් විනාශ කරන රාජ්‍ය ආයතන ඇතත් ජනතාවට දැනෙන වඩාත් ම පීඩාකාරී ආයතනය පුද්ගලික බස් අමත්‍යංශයයි.මා එසේ කියනුයේ මේ ආයතනය තම නඩත්තුව වෙනුවෙන් අති විශාල ජනතා මුදල් සම්භාරයක් වාර්ශිකව ගිලදමනමුත්,එය ජනතාව වෙනුවෙන් සිදු කරණු ලබන අබමල් රේණුවක තරම්වත් සේවාවක් නම් නොපෙනෙන බැවිණි.

කලකට පෙර මෙරට ප්‍රවාහන සහ මහාමාර්ග අමත්‍යංශය නමින් ආයතනයක් විය.එය භාර අමාත්‍යවරයාට ලංගමය,දුම්රිය,පුද්ගලික බස් සේවය මෙන්ම රටපුරා ඇති මහාමාර්ග ද පිලිබද වගකීම පැවරී තිබිණි.එවන් වගකීම් ප්‍රමාණයක් තනි මිනිසෙකුට දැරීම අපහසු යයි අප මොහොතකට සිතමු.(නමුත් දක්ශ පරිපාලකයෙකුට මේවා කිසිසේත් ම අපහසු කාර්යයන් නොවේ).නමුත් අද වනවිට පුද්ගලික බස් රථ ඇමතිතුමා ගේ  වෘත්තීයමය වගකීම ඉතා කුඩා ක්ෂ්‍රේත්‍රයකට ලඝු කොට ඇති බැවින් ඔහුට තම සම්පූර්ණ අවධානය මේ සේවාව වෙත පමණක් ම යොමු කොට එහි ගුණාත්මක භාවය කොතරම් දුරට ඉහල නැංවිය හැකි නොවේද?

නමුත් අදවනවිට අප රටේ පුද්ගලික බස්රථ සේවාව කෙබඳුද?

  • දුරගමන් සේවා හැර කිසිදු පුද්ගලික බස් රථයකින් මගියාට ප්‍රවේශ පත්‍රයක් ලබාදෙන්නේ නැත.(සිනහවට කාරනය නම් 2007 ජනවාරි සිට ටිකෙට් නොමැතිව ගමන් කරන මගීන් ට දඩ ගසන බවට වූ දැන්වීමක් තවමත් සමහර බස්රථ වල ඇලවී තිබීමය).
  • පුද්ගලික බස් සේවාවේ ගුණාත්මක වර්ධනයක් දක්නට ඇත්තේ ම නැත(අනවශ්‍ය ලෙස ප්‍රමාදවීම/කොට කොටා යාම,තරගයට වේගයෙන් ධාවනය කොට අනතුරු සිදු කිරීම,මගීන්ට අවමන් ලෙස සැලකීම,ඉතිරි මුදල් නොදීම ආදී නොමනා ක්‍රියා එලෙසමය).
  • මගීන් ට අමතර පහසුකම් කිසිවක් නොදී ගමන් ගාස්තුව මෙන් එකහමාර ගුණයක් අසාධාරණ ලෙස අයකරන ඊනියා අර්ධ සුඛෝපභෝගී බස් සේවාව එලෙසමය.
  • රාත්‍රී 7.00 න් පසු බොහෝ මාර්ග වල පුද්ගලික බස්රථ ධාවනය වන්නේ ම නැත.
  • මගීන්ට ලැබෙණ ප්‍රතිලාභ කෙසේ වෙතත් අඩුම තරමින් බස්රථ සේවකයන් අර්ථසාධක අරමුදල් හිමි යම් තරමකට හෝ ස්ථාවර රැකියාවකට හිමිකම් නොකියයි.

එසේ නම් මේ අමත්‍යංශය සිදුකරණු ලබන කිසිදු කාර්යයක් ඇත්තේ ම නැතැයි ඔබ සිතන්නේ ද?එය වැරදිය.වරන් වර බස් ගාස්තු වැඩිකිරීමට සක්‍රීයව දායක වන්නේ මෙම අමත්‍යංශයයි.නොවැම්බර් පළමුවෙනිදා සිට 7%කින් යයි කියමින් බස්ගාස්තු වැඩි කළ ද සීයට 7 යන්න හරියට ගණනය කළ හැකි නිලධාරියෙක් වත් මෙහි සිටීදැයි සැකය.

බස්රථ වලට අලුතින් ධාවන බලපත් ලබාදෙන්නේ ද මේ ආයතනයයි.මෙවන් “අමතර ආදායම් මාර්ගයක්“ වත් නොතිබුණා නම් ඇමතිතුමාට සහ ඔහු ගේ නෑදෑයන්ට මැතිවරණ වලට වියදම් කිරීමට මුදල් සොයාගැනීම ද අසීරුවන්නට ඉඩ තිබිණි.

වෙස්සන්තර ජාතකය, බෝසතුනට කළ අපහාසයක් නොවන්නේද? – It is an insult !

Wessantharaබුදුරජාණන්වහන්සේ ගේ පූර්ව උප්පත්තීන්න් හීදී බෝසතුන් මතු බුදු බව පතා දස පාරමිතාවන් පිරූ අයුරු පිලිබඳ ලියැවී ඇති සාහිත්‍යය කෘතී ජාතකකථා නම් වෙයි.පන්සිය පනස් ජාතකකතා පොතේ ජාතකකථා අතර බොහොමයක් අද සමාජයට මනාව ගැලපෙන පාඨකයාට ජීවිතාවබෝධය ලද හැකි සර්වකාලීන වටිනාකමකින් යුතු නිර්මාණයන් බවට කිසිදු විවාදයක් නැත.නමුත් මේ කෘතියේ කථා අතර අවසාන කොටසේ දක්වා ඇති වෙස්සන්තර ජාතකය නම් බෝධිසත්වයන් ගේ ශ්‍රී නාමයට කැලැල් වන පරිදි කිසිවෙකු හෝ ගොතන ලද්දක් හෝ අධික ශ්‍රද්ධාව නිසා නොමග ගොස් කළ ප්‍රබන්ධයක් බවට සැකයක් මාතුල ඇත.(වෙස්සන්තර ජාතකය,ගම්පොළ යුගයේ ලියැවුණ පන්සිය පනස් ජාතකකථා පොතට පසුකාලීනව එක්කරන ලද්දක් බවට මතයක් ඇතත් මූලාශ්‍ර සොයාගත නොහැකි විය)

දස පාරමිතාවන්ගෙන් මුල් ම පාරමිතාව වන දාන පාරමිතාව ඉස්මතු වන ලෙස ගොතා ඇති මේ කතාන්දරයේ මුල් කොටසේ දැක්වෙන පරිදි වෙස්සන්තර රජතුමා තම රජකම දන්දීම හෝ ,තමා සතු මඟුල් ඇතු හෝ අනෙක් වස්තු සම්භාරය දන්දීම උසස් දානපාරමිතා පිරීමක් බවට ගැටලුවක් නැත.(අවිචාරවත් ලෙස දුගීන්ට දන් දීමෙන් අලසයන් බෝවනවා මිසක දුප්පත්කම නැති නොවන බව සත්‍යයකි.නමුත් දානය පිරිනමන පුද්ගලයා ගේ චේතනාවේ පාරිශුද්ධත්වය සලකා අපි මොහොතකට එය අමතක කරමු).නමුත් ලේඛකයා ගේ ගැටලුව නම් වෙස්සන්තර රජු තම ආදරණීය දරු දෙදෙනා (ජාලිය හා ක්‍රිශ්ණජිනා)මහලු ජූජකයාට දන්දීමෙන් පිරීමට බලාපොරොත්තු වන පාරමිතාව කුමක්ද?යන්නයි.

වයසට නොගැලපෙන විවාහයක් කරගෙන සිටින ජූජකයා මේ දරුවන් රැගෙන යන්නේ මෙහෙකාරකමට බව මුලින් ම පැහැදිලිය.“පුත්ථා වත්ථු මනුස්සානං -දරුවන් මිනිසුන්ට වස්තූන් වේ“යනුවෙන් බුදුදහමේ ඉගැන්වේ.වෙස්සන්තර රජු තමාගේ ඒ වටිනා සම්පත ජූජකයාට දන් දෙන්නේ ජූජකයාට දරු සම්පත් ලබාදීම උදෙසා නොවේ.ඔහු දරුවන් රැගෙන යන්නේ හදේ උපන් දාරක ස්නේහයක් මුල්කොට ගෙන දරුවන් ලෙස හදාවඩා ගැනීමට නොවේ,මෙහෙකාරකමටය.මේ දරු දෙදෙනාට උපතින් ම උරුමව තිබූ රාජ සම්පත්  අහිමි කොට ඔවුන් දුෂ්කර වනගත දිවියකට යොමුකිරීම ද වෙස්සන්තර රජු ඒ දරුවන්ට කළ අසාධාරණයක් බව මාගේ හැඟීමයි.නමුත් එය ද ඉවසා සිටිය හැක්කේ රජමාළිගයෙන් පිටමං වී නමුදු තවදුරටත් ඒ දරු දෙදෙනා මාපිය රැකවරණයේ ම සිටින බැවිණි.දරුවනට දෙමාපිය රැකවරණය රාජසම්පත් වලට වඩා වටින්නේය.නමුත් ඒ අසරණයන්ට එය ද අහිමි කොට මහලු බමුණෙකුට සහ ඔහුගේ යොවුන් බිරිඳට අත්පා මෙහෙ කිරීම උදෙසා (ඒ බැව් දැන දැනම)යැවීම කිසිලෙසකට හෝ බෝධිසත්ව චරිතයක් විසින් සිදු කරනු ලබන්නක් යයි කිව හැකිද?මගේ මතය නම් එය එසේ සිදුවිය නොහැකි බවයි.

වෙස්සන්තර රජු මෙය කළේ මතු බුදු බව පතා යයි කෙනෙකු මෙහිදී තර්කයක් නගනු ඇත.නමුත් තමාගේ ම දරුවන් විපතට පත් කර තමන්ට විමුක්තිය ලබාගත හැකි යයි බෝධිසත්වන් වහන්සේ සිතීයයි කීම කිසිසේත් ම පිලිගත නොහැක්කි.තම දෑස් ඉදිරිපිටම දෑත් වලින් ලේ ගලද්දී ජූජකයා දරුවන් වැල්පටවලින් බැඳ ගෙන යන බව වෙස්සන්තර ජාතකකථාවේ දක්කවා තිබේ.මෙය පැහැදිලි ලෙසම බෝධිසත්වයනට කල අපහාසයක් බව කිවයුතුය.

අසවලා ගෙන් ඇසුවා කියා හෝ අසවල් පොතේ තිබුණා කියා හෝ පරම්පරාවෙන් ඇසුවා කියා හෝ යමක් පිලි නොගන්නා ලෙස ද,තම තර්කඥානයට ගැලපේ නම් ම පමණක් යමක් පිලිගන්නා ලෙස ද බුදුන්වහණ්සේ දේශනා කොට ඇත(කාලාම සූත්‍රය?).මට නම් වැටහෙන්නේ වෙස්සන්තර ජාතකය බෝධිසත්ව චරිතයට දැන හෝ නොදැන එල්ල කළ මඩ පැල්ලමක් බවයි.

පිංගුත්තර ගේ ගැටලුව ඌණ සේවානියුක්තිය ද? – The issue is the under employment

Ummaggaya

උම්මග්ග ජාතකයේ එන (සමහර විටෙක වෙනම ම ජාතක කථාවක් ලෙස ද දැක්වෙන)සිරි කාළකණ්නි කථාව පිලිබඳ විග්‍රහයක් කරන ප්‍රවීන බ්ලොග් රචක කතන්දර පවසන්නේ එහි එන පිංගුත්තරයා,කතුන් ප්‍රිය නොකරන සමරිසියෙකු බවයි.නමුත් මා සිතන්නේ මේ කතාව පසුපස ඇත්තේ ඇත්තේ ජීව විද්‍යාත්මක ගැටලුවක් නොව වත්මනෙහි ජාතියක් වශයෙන් අප ද පීඩා විඳින ආර්ථික හා දේශපාලනමය ගැටලුවක් බවයි.ඒ ගැටලුව නම් විරැකියාව හෝ ඌණ සේවා නියුක්තිය යි. 

ඒ බැව් හෙලිවන්නේ සිරි කාලක්ණ්ණි කථාවේ අපර කොටසිනි.දිනක් වෙදේහ රජු ගේ බිසවක් බවට පත්ව සිටින උදුම්බරා දේවිය (පිංගුත්තර විසින් ප්‍රතික්ෂේපිත බිරිඳ),උයන් කෙළිය නිමවා රජු සමඟ  පෙරලා මාළිගයට එන විට පිංගුත්තර මුණගැසේ.ඒ මාර්ගය පිලිසකර කරන කම්කරුවෙකු ලෙසය.සූසැට ශිල්පය උගෙන තක්සලාවේ හොදම ශිෂ්‍යයා ලෙස අධ්‍යාපනය නිමා කළ පිංගුත්තරට රැකියාව ලෙස ලැබෙන්නේ මහපාර සුද්ද කිරීමය.මෙය ඔහු ගේ උගත්කම හා කිසිසේත් ම නොගැලපෙන්නක් බව පැහැදිලිය.එසේ වූයේ ඇයි?

භාරත සමාජය කුල සතරකට බෙදී පැවතින.ඒ බ්‍රාහ්මණ,ක්ශත්‍රීය,වෛශ්‍ය හා ක්ශුද්‍ර වශයෙනි.පුද්ගලයකු ගේ ජීවන වෘත්තිය තීරණය වූයේ ඔහු උපතින් ම අයත් වන කුලය අනුවය.සමාජයේ ඉහලම කුලය වූ බ්‍රාහ්මන කුලයට අයත් වූවෝ රාජඋපදේශකයන් හෝ ආගමික පූජකවරයන් ලෙස ඉහලම ජීවන තත්වයක් ලදහ.මීලඟට සිටි ක්ශත්‍රීයන් නම් රට පාලනය කළ රජවරුන් හා වෙනත් පාලක පැලැන්තියට අයත් වූවන් සහ වෙළඳාමෙන් ධනය රැස් කළ සිටුවරුන්ය.වෛශ්‍යන් යනු කෘශිකර්මය බඳු වෘත්තීන් හි නියැලෙමින් ජීවිකාව සරි කළ සාමාන්‍ය ජනතාවය.පහත් ම කුලය හෙවත් ක්ශුද්‍රයන් නම් කසලශෝධනය බඳු රැකියාවල නියැලෙමින් සිටි කුල හීන ජනතාවය.

අද මෙන් එදවස ද මත රජයේ රැකියා ලැබුණේ සුදුසුකම් වලට නොවන බවට උම්මග්ග ජාතකය කදිම නිදසුන් සපයයි.වේදේහ රජතුමා ගේ උපදේශකයන් සිව් දෙනා වන සේනක,පුක්කුස්ස,කාවින්ද හා දේවින්ද යනපඬිවරු ඔවුන් දැරූ උපදේශක තනතුරු සඳහා අවම සුදුසුකම් පවා සපුරා නොතිබුණු බැව් එම කෘතියේ එන සිද්ධි වලින් ගම්‍ය වේ .ප්‍රඥාසම්පන්නභාවය පිළිබදව පතල කීර්තියක් තිබූ නමුත් ගොවි පවුලක සාමාජිකයෙක් වූ මහෞෂධ පඬිතුමා ද රාජසේවයට එක්වීමට එරෙහිව ඒ පඬිවරු සිව් දෙනා ක්‍රියා කළ අයුරු උම්මග්ග ජාතකයේ විස්තර කෙරේ.(රජතුමා ගේ පැහැදීම මත රජවාසල සේවයට පැමිණි පසුද ඔවුන් සෑම විටෙකම මහෞෂධ පඬිතුමා අමතන්නේ “ගොවියා පුතු“යන අවඥා සහගත යෙදුමිනි).

මෙවන් පරිසරයක් තුල පිංගුත්තර තරුණයාට තම උගත්කමට සරිලන රැකියාවක් සොයාගත නොහැකිවීම විස්මයක් නොවේ.ඔහු ගේ දෙමාපියන් වෙහෙසවී උපයාගත් ධනයෙන් ඔහු ට තක්සලාවේ අධ්‍යාපනය ලබාදුන්නා විය හැක.හොදම ශිෂ්‍යා ලෙස අධ්‍යාපනය නිමා කළ ද (බ්‍රාහ්මණ කුලයක නූපන් බැවින්)ඔහුට දෙමාපියන් ගේ පැතුම් ඉටු කිරීමට සුදුසු රැකියාවක් නොලැබෙන බැව් ඔහු දැන සිටියේද?ඒ අතර විවාහ දිවියට ඇතුලු වී බිරිඳකට යුතුකම් ඉටුකිරීමට ද සිදුවීම ඔහුට තවත් මරාලයක් වීද?ලැබුණ පලමු අවස්ථාවෙන් ම ඔහු උදුම්බරාගෙන් ගැලවුණේ එනිසාද ?පාර සුද්ධ කිරීම බඳු රැකියාවකින් ජීවිතය රැකගැනීමට ඔහුට සිදු වුණේ එදා සමාජය ද අද මෙන්ම විරැකියාවෙන් හා ඌණ සේවා නියුක්තියෙන් පීඩා විඳි නිසාද?

[නිවාඩු දින බ්ලොග් කරුවෙකු බවට පත්ව සිටින බැවින්,මෙයට නිමිත්ත සැපයූ කතන්දර ගේ පෝස්ටුවට කියවීමට ලැබුණේ තවත් අලුත් පෝස්ට් දෙකක් ම කතන්දර බ්ලොගයේ පලවූ පසුවය.එනිසා එකී ලිපියට ප්‍රතිචාරයක් ලෙස ගැලපූ ඉහත ලේඛණය (පසුව දිනක ආ සුභපැතුමක් වීම වැලැක්වීම සදහා)වෙනම පෝස්ටුවක් ලෙස  මෙහි පල කරන්නට සිදුවිය. ]

හරිත රුධිරධාරීන් කළ යුත්තේ ඉවසීමයි – Green blooded, you have to wait

Sajith

එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ “ග්‍රීන් බ්ලඩ්”සංවිධානයේ මහසභා රැස්වීමක දී අපූරු එකඟතාවයකට පැමිණ තිබේ.එනම් එක්සත් ජාතික පක්ෂය බලය ලබාගැනීමට කටයුතු කල යුතු බවයි.(මෙය අලුත් දෙයක් නොව දශක කීපයක් පරණ එකඟතාවයක් බව අපි දනිමු.)එමෙන් ම ඒ සඳහා සැලසුමක් ද ඔවුන් විසින් සම්මතකොට ගෙන ඇත.එම සැලැස්ම සැකෙවින් මෙසේය.

එක්සත් ජාතික පක්ෂයේ මීලඟ නායකයා විය යුත්තේ සජිත් ප්‍රේමදාස මහතාය.නමුත් ඔහු ජනාධිපතිවරණයක් හෝ මහමැතිවරණයක් බඳු ජාතික මට්ටමේ මැතිවරණයක දී පක්ෂය මෙහෙයවිය යුතුනොවේ.ඔහු මුලින් ම මෙහෙයවිය යුත්තේ මීලඟට පැවැත්වීමට නියමිත (මෙය කියන්නේ  “ග්‍රීන් බ්ලඩ්”සංවිධානයයි-මූලාශ්‍ර පැහැදිලි නැත)දකුණු පලාත්සභා මැතිවරණයයි.එය ජයගෙන “රජය පැරදවිය හැකියි“යන මතය ජනතාව තුලට කාවද්දා ඊලගට එන ජාතික මට්ටමේ මැතිවරණය සජිත් මහතා ගේ නායකත්වය යටතේ පහසුවෙන් ජයගත හැක.

එම සැලසුම සාර්ථකත්වයට පූර්වාදර්ශ ලෙස ඔවුන් පෙන්වන්නේ 1993දී වසර 17ක එ.ජා.ප පාලනය බිඳ දැමීමට පොදුජන එක්සත් පෙරමුණ දියත් කළ සැලැස්මයි.ඒ වන විට ජනප්‍රියත්වයෙන් පිරිහී සිටි ශ්‍රි ලංකා නිදහස් පක්ෂ නායිකාව වන සිරිමා බණ්ඩාරණායක මැතිණිය නායකත්වයේ සිටියදීම බස්නාහිර පලාත් සභා මැතිවරණය සදහා වඩා ආකර්ෂණීය තරුණ නායකත්වයක් ලෙස චන්ද්‍රිකා මැතිණිය ඉදිරිපත් කොට ඉන් ජය ලබා ඒ ජය මාවතේ ඉදිරියට ගොස් ඇය විධායක ජනපති පුටුවේ හිඳුවීමට හැකියාව ලැබිණි.

අලුත් අදහසක් වුව ද මේ සුරංගනා කතාවේ හිදැස් රාශියක් ලේඛකයාට පෙනේ.වසර 17ක එ.ජා.ප පාලනය බිද දැමීමට ඇත්තටම මුල්ම වෙඩි මුරය තැබුවේ 1993 බස්නාහිර පලාත් සභා මැතිවරණය නොව ඊට පෙර පැවති දකුණු පලාත් සභා මැතිවරණයයි.දකුණු පලාත සාම්ප්‍රදායිකවම එ.ජා.ප යට අවාසි සහගත “වමට බර“ප්‍රදේශයකි.එ.ජා.ප රජයට විරුද්ධව  ජනතා විමුක්ති පෙරමුණු කැරැල්ල දරුණුලෙස ම පැවතුනේ ද එනිසා ම රජයේ දරුණු මර්ධනයට වඩාත් ලක්ව සිටියේ ද දකුණු පලාතයි.රජය කෙරෙහි ජනතාව වඩාත් ම කලකිරී සිටියේ ද දකුණු පලාත තුලය.කෙසේ වුවද මේ සියලු වාසිදායක සාධක මත පවා එම මැතිවරණය ශ්‍රී.ල.නි.ප ප්‍රමුඛ සභාගය ජයගත්තේ සීමිත ඡන්ද ගණනකිනි.(නමුත් කුප්‍රකට ෆ්‍රැන්සිස්කුකරණය නම් ක්‍රියාවලිය හා රජය හා විපක්ෂය අතර බල අරගලය තියුණු විම නිසා දෙවන මැතිවරණයක් පැවැත්වීමට සිදුවූ අතර එයින් විපක්ෂය පැහැදිලි ජයක් ලැබීය).

“ග්‍රීන් බ්ලඩ්”පවසන පරිදි ම මීලඟට පැවති පලාත් සභා මැතිවරණයට චන්ද්‍රිකා මැතිණය ගේ නායකත්වය යටතේ ශ්‍රී.ල.නි.ප ඉදිරිපත් ව ජයලැබූ බව සත්‍ය වුවද එම ජයග්‍රහණය පිටුපස තිබූ එකම සාධකය ඇය නොවේ.මේව වන විට එ.ජා.ප ය සිටියේ දෙකඩවීමට ලක්වය.ලලිත් ඇතුලත්මුදලි,ගාමිණි දිසානායක වැනි එ.ජා.ප නායකයින් ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාට එරෙහිව ඉදිරිපත් කරන ලද දෝශාභියෝගය හේතුවෙන් පක්ෂයෙන් නෙරපනු ලැබ සිටි අතර කලකිරුණු එ.ජා.පාක්ෂිකයන් ඔවුන් ගේ නායකත්වයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ (රාජාලියා)වටා ඒකරාශි වෙමින් සිටියහ.සැබැවින් ම චන්ද්‍රිකා මැතිණියට බස්නාහිර පලාත්සභාවේ බලය ලබාගැනීමට හැකි වූයේ මැතිවරණ ප්‍රතිපල නිකුත්වීමෙන් අනතුරුව ප්‍ර.එ.ජා.පෙ සමඟ සන්ධානගත වීමෙන් පසුව බව ද මෙහිදී සිහිපත් කළ යුතුය.(ප්‍ර.එ.ජා.පෙ සැලකෙන්නේ ලංකා දේශපාලන ඉතිහාසය තුල එදාමෙදා තුර බිහිවූ හොදම තුන්වන් බලවේගය ලෙසයි).

එදා තත්වය අද හා සසඳා බලමු.අද පාලක පක්ෂය තුල එදා එ.ජා.පය තුල තිබුණා මෙන් පිපිරීමක් දක්කට නැත.(විධායක ජනපතිට එරෙහිව දෝශාභියෝගයක් ගෙන ඒම කෙසේ වෙතත්,18 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ඔහු ගේ ධුර කාලය ද අසීමිතව වැඩිකරදී ඇත).යුධ ජයග්‍රහණය නිසා ජනතා චිත්ත සන්තානය තුල ලැගුම් ගෙන ඇති රජය කෙරෙහි ඇති ප්‍රසාදය තවත් චිරත් කාලයකට මෙලෙසම පවතිනු ඇත.මෙය හැම රජය මැතිවරණයක් ම දිනවන අදිසි බලවේගය යි.

දකුණු පලාත කොහොමටත් එ.ජා.ප යට අවාසිදායක ප්‍රදේශයකි.(සටනක් ඇරීඹීම සඳහා එ.ජා.ය ට කොළඹ හෝ මහනුවර මීට වඩා හොදය) .

එනිසා කණගාටුවෙන් වව ද හරිත රුධිරධාරීන් ට කිවයුතුව ඇත්තේ ඔබේ සැලැස්ම අසාර්ථක වනු ඇති බවයි.සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවෙන් ද ජාතික දේශපාලනයෙන් ද එලවා දමා දකුණු පලාත් සභා විපක්ෂ නායක ධුරයේ සිරකොට තැබීමට නම් මේ සැලැස්ම පංකාදුය.

දශක කීපයක් තිස්සේ විපක්ෂයට වී සිටීම නිසා හරිත රුධිරධාරීන් හෙම්බත් වී ඇතුවාට සැකයක් නැත.නමුත් කුමක් හෝ හයිය වැල්පොටක් පෑදෙන තුරු මේ ඉඩෝරය ඉවසාගෙන සිටිනවා හැර විකල්පයක් ඔවුන්ට නැත.

විදුලි පණිවිඩ වෙනුවට කෙටි පණිවිඩ – SMS instead of Telegram

Telegram

ශතක එකහමාරක් පමණ සක්‍රීයව පැවති  ලංකාවේ විදුලි පණිවුඩ සේවාව ලබන මස සිට නවතා දමන බව වාර්තා වේ.ලංකාව මෙවන් තීරණයකට එළබෙන්නට ඇත්තේ අසල්වැසි ඉන්දියාව අනුකරණය කර විය හැක.(අපි බොහෝ විට ඉන්දියාව අනුකරණය කරන්නෙමු).අද වන විට අප රටේ දිනකට හුවමාරුවන විදුලි පණිවිඩ ගණන 50 කට ද අඩු බව කියැවේ.යොදන සම්පත් වලට සාපේක්ෂව ලැබෙන ප්‍රතිලාභයක් නැති නිසා මෙම සේවාව නවතා දැමීමට රජය තීරණය කළ විය හැක.

අද මෙන් සංනිවේදන මාධ්‍යය ප්‍රචලිතව නොතිබූ  අතීතයේ සන්නිවේදන පද්ධතියේ සුවිශේෂී ස්ථානයක් විදුලි පණිවිඩ සේවාව විසින් හිමිකරගෙන සිටයේය.ලියුමක් යවනවාට වඩා ඉක්මනින් පණිවඩයක් ග්‍රාහකයෙක් වෙත යැවීමට තිබූ හොදම ක්‍රමය ව පැවතියේ විදුලි පණිවිඩ ක්‍රමයයි.

විදුලිපණිවිඩ කෙරෙහි මෙරට ගැමි සමාජය තුල පැවති ආකල්ප පිලිබද කදිම කතාපුවතක් මහැදුරු එදිරිවීර සරත්චන්ද්‍රයන් ගේ “අපූරු ගම“කෙටි කතාවේ එයි.එහි දී එක්තරා ගැමියෙක් හත්හැවිලි හවමින් ගමවටා අඩමින් යන්නේ රෝහලේ සිට ඔහු නමට විදුලි පණිවඩයක් ලැබීම නිසයි.ඔහු ගේ කුඩා පුතු සිටින්නේ අසනීපයක් හේතුවෙන් ඈත නගරයේ  රෝහල් ගතවය.දැන් දරුවා මිය ගොසිනි.ගමේ ම සෙනග ඔහු අස්වසමින් පසුපස යයි.දහවල් අඩමින් සිටි ගැමියා හවස් කල ගමේ පිරිස සමඟ බජව් දමමින් නටමින් ප්‍රීතිවනු දක්නට ලැබේ.මළ ගෙදරක සූදානමක් දක්කට නැත.කෙටි කතාවේ පූරක මේ ගැන විමසීමේදී හෙලිවන්නේ විදුලි පණිවිඩයේ ඇත්තේ දරුවාට අසාධ්‍ය බව මිසක් මිය ගිය බවක් නොවන බවයි.

“ටැලිග්‍රෑම් එකක් ආවම අපි බය වෙනවනේ,බය වෙන්න එපැයි“ මේ ගැමියා ගේ ආකල්පයයි.

ටී.බී ඉලංගරත්නයන් ගේ විලම්බීත නවකතාවේ එක් අවස්ථාවක තිලක ගේ මව “ගෑණූ ලමයෙක් ටෙලිග්‍රෑම් එකක් කියව ගන්න ඉංගිරිසි ඉගෙන ගත්තම මදැයි“ යි පවසයි.

එවක ඉංග්‍රීසි බසින් ලියවෙන,යලි සිංහලට පරිවර්තන වන විදුලි පණිවිඩ වැරදි ලෙස පරිවර්තනය වීම නිසා සිදුවූ අකරතැබ්බන් ගැන යාන්ස් අප අතර බොහෝ ඇත.මුදල් අය කරන්නේ වචන ගණනට බැවින් විදුලි පණිවිඩ යවන විට පණවිඩය හැකිතාක් කෙටියෙන් ලිවීමට යවන්නා යුහුසුලු වෙයි.මෙවිට ද විදුලි පණිවිඩ වල අර්ථ වරද්දාගත් අවස්ථා අපි අසා ඇත්තෙමු.ලිඛිතව,දුරකථනය ඔස්සේ වාචිකව ආදී වශයෙන් කීපවිටක් මාධ්‍යය කීපයක පරිවර්තනය වෙමින් යන පණිවිඩයක් විකෘති වීමට ඇති ඉඩ අනල්පය. 

මාර්ටින් වික්‍රමසිංහයන් ගේ ගම්පෙරළිය නවකතාවේ ජිනදාස සිංහලේ දී මිය ගිය බව නන්දාට දැනුම් දෙන්නේ රෝහලින් එවන විදුලි පණිවිඩයක් මගිනි.කෙසේ වෙතත් ගම්පෙරලියට විචාර ග්‍රන්ථයක් ලියන ආචාර්ය අලවත්තාගොඩ ප්‍රේමදාසයන් ගේ තියුණු විවේචනයට මේ විදුලි පණිවිඩය ලක්වේ.ඔහුට අනුව මෙවන් විදුලි පණිවිඩයක් කිසිදු විටෙක ලංකාවේ රෝහලකින් නිකුත් නොවෙයි.

“ඔබේ ස්වාමියා මිය ගියා“

සර් ආතර් කොනන් ඩොයිල් නිමැවූ සුප්‍රකට රහස් පරීක්ෂකයා වන ෂර්ලොක් හෝම්ස් තම රහස් පරීක්ෂක කටයුතු සදහා තොරතුරු ලබාගැනීමට විදුලි පණිවිඩ සේවාව යොදාගත් අපූර්ව ආකාරය ගැන සඳහන්ය.

කෙසේවුවද විදුලි පණිවිඩ නම් රංගධරයා රඟහලින් බැසයන විට අනෙක් පසින් ගොඩවන්නේ විද්‍යුත් ලිපි(E-mail)සහ කෙටි පණිවිඩ(SMS) සේවාවයි.විදුලි පණිවිඩ වලට වඩා මේ විකල්ප ඇත්තෙන් ම ඵලදායීය,වේගවත්ය,කාර්යක්ෂමය,නිරවුල්ය,ලාභදායීය.

යම් පණිවිඩයක් ග්‍රාහකයාට යැවූ බවට හෝ ලද බවට ලිඛිත සාක්ශියක් ලෙස විදුලි පණිවිඩ වල භාවිතාවක් විය.රැකියා ස්ථානයෙන් හදිසි නිවාඩු ලබාගැනීම,සම්මුඛ පරීක්ෂණයකට ඉල්ලුමකරුවෙක කැඳවීම මීට උදාහරණ ලෙස දැක්විය හැක.මේලෙස විද්‍යුත් ලිපි සහ කෙටි පණිවිඩ නීතිය ඉදිරියේ සාක්ෂි ලෙස පිළිගන්නේ ද යන්න නම් ලේඛකයා නොදනී,නමුත් එසේ පිලිගැනීමක් ලැබීම නම් අත්‍යාවශ්‍යය.ව්‍යාපාරික මට්ටමින් නම් මේ සදහා පිලිගැනීමක් ඇත.විශේෂයෙන් දුරකථන සමාගම් වලින් මුදල් ගෙවා ලබාගත හැකි මාසික කෙටි පණිවිඩ වාර්ථා(SMS reports) ලේඛකයා රැකියාව කරන ක්ෂේත්‍රයේ නම් නිළ පිලිගැනීමකට ලක්වේ.(ඒ නිසා දැන් ආවාට ගියාට එස් එම් එස් කොටන්නට ද බයය).

නමුත් මොන තාක්ෂණික මෙවලමක් වුව ද සමාජයේ සෑම කොටසකටම ඒකාකාරීව එකම වේගයකින් ගමන් නොකරයි.එනම් ඈත දුෂ්කර ප්‍රදේශ වලට විදුලි පණිවිඩ සේවාවේ අවශ්‍යතාවය තවමත් ඇති බව අප අමතක අමතක කල යුතු නැත.දුරකථන සංඥා නිසි ලෙස නොලැබෙන ප්‍රදේශ තවමත් මෙරට ඇත.එනිසා විදුලි පණිවිඩ සේවාව මුලුමනින් ම නවතා දැමීම නොව තැපැල් දෙපාර්තමේන්තුව සතුව තිබෙන සම්පත් හා නවීන තාක්ෂණය උපරිම ලෙස යොදා ගනිමින් (අවශ්‍යතාව ඇති පරිදි) මේ සේවාව පවත්වාගෙන යාමට කටයුතු කළේ නම් වඩාත් හොද යයි අපි සිතමු.

 

විකෘති කර විකිණීම – Selling after contorting

Show

දුරගමන් බස් රථය ගමන් ඇරඹීමටත් පෙර සිටම ශබ්ධවාහිනිය ගමන් අරඹා තිබිණි.බස් රථය ඉදිරියේම වහලයේ සවිකොට තිබූ පැතලි තිර මොනිටරයේ දර්ශන ප්‍රචාරය වෙමින් පැවතිණි.අතට මයික්‍රෆෝනය ගත් ගායකයා ජනප්‍රිය පැරණි ගීත මරමින් රංගනයේ යෙදෙයි.ගීතයේ සමහර වචන ඔහු ශබ්ධ නොකරයි.සමහර තැන් අනවශ්‍ය ලෙද අදී.හිටිගමන් වචන අමතක ද වේ.බොහෝ විට ශ්‍රැතියක් ඇත්තේ ම නැත.ගීතය අතර මැද නරඹන්න් ගෙන් අත් උස්සන ලෙස ඉල්ලයි.ගීතයේ නැති වාක්‍ය කියයි.සමහර විට සංගීතය  මේ වාදනයක් ම පමණකැයි සිතෙන තරමට ම ගායකයාගේ හඩ අභිබවා යයි.ඔක්ටපැඩ් ශිල්පියා හා ඩ්‍රම්ස් වාදකයා තම වාදක භාණ්ඩ වලට තඩිබාන්නේ ආවේශ වූ කපුවන් මෙනි.බැනියමක් වැනි උඩුකය ඇඳුමක් ඇඳ සිටින වාදක ශිල්පීන් අනවශ්‍ය තැන් වලදී ද ගීතයට අත්වැල් අල්ලයි.අතරමැදි සංගීත ඛන්ඩ දීර්ඝ ලෙස අදී.

ගීතයක් හෝ ශිල්පියෙකු ගේ ගීත පෙලක් අවසානයේ වේදිකාව වෙත නිවේදකයෙකු ගේ ආගමනය සිදුවේ.කට හඩ මධුර වුව ද මේ ශිල්පියා බස හසුරැවන්නට නොදනී.වාක්‍යයක් අරඹන්නේ දුනුගමුවෙනි.කතාව අවසන් කරන්නේ සබරගමුවෙනි.(මැද කිතලගමුවයි හෝ මීගමුවයි).පැහැදිලි අර්ථයක් ප්‍රකාශ නොවේ.ප්‍රසංගය සංවිධානය කළ දේශපාලකයෙකු ඇතුලු ව්‍යාපාරිකයන් කීපදෙනෙකුගේ නම් ගම් නිතරම දොඩයි.වෙළද දැන්වීම් ද කියයි.ඔහු ද අත්පුඩි ඉල්ලයි.කේජු කැබැල්ලට ගිජුකමින් කපුටා ගේ ගැයුම වැනූ නරියා මෙන් මීලඟ ගායකයා ව වර්ණනා කරයි.

ගායකයා,නිවේදකයා,සංගීත කණ්ඩායමේ නායකයා වරින් වර එකිනෙකා ගේ පිටකසා ගනී.

සමහර ගීත වලට නර්තන කණ්ඩායම් ද එකතු වේ.උදරය අඟල් හයක් පමන නිරාවරණය කරගෙන නටන සුරඟනන් බඳු මේ ශිල්පිනියන්ගේ නර්තනය නම් ශෘංගාරත්මකය.

Show3

මේ එළිමහන් සංගීත ප්‍රසංග වල ස්වාභාවයයි.මේ පිළිබදව අපට ගැටලුවක් නැත.මේවා නැරඹීමට එන ප්‍රේක්ශකයන් ද එන්නේ දැහැනකට සමවැද සුභාවිත ගීත රසවිඳීමට නොවේ. ප්‍රසංගයේම කොටසක් බවට පත්වී සජීවි අත්දැකීම උපරිමයෙන් ම (දෙසවනින් ද දෙපා වලින් ද) රසවිඳ ගෙදරට යාමටය.

ලේඛකයා ගේ ආරෝව නම් මේ ප්‍රසංග DVDතැටි වලට නගා අලෙවි කිරීමයි.මෙය වත්මන් ශ්‍රී ලාකීය සංගීත ක්ෂේත්‍රය පිලිබඳ තවත් එක් ඛේදවාචකයකි.

ගීතයක් බිහිකරන ශිල්පීන් ඒ සඳහා මනා කැපකිරීමක් කරන බැව් අපි දනිමු.බාහිර භාදාකිරීම් වලින් තොරව ශබ්ධාගාරයක් තුල පහසුකම් යටතේ,දක්ෂ වාදන ශිල්පීන් ද,තාක්ෂණ ශිල්පීන් ද එක්ව  උසස් තත්වයෙන් පටිගත කර තැටි වලට නගා රසිකයන් අතට පත් කරනු ලබයි.වරදින ගීත කොටස් නැවත නැවත ගයමින් වයමින් හොදම නිශ්පාදනයක් බිහිකිරීමට ඔවුහු වෙහෙසෙති.ගුණාත්මක බවින් වැඩි නිසා මේවායේ නිශ්පාදන පිරිවැය වැඩිය.එනිසා ම නිශ්පාදනය අලෙවි කරන මිල ගණන් ද ඉහලය.රසිකයන් උසස් නිර්මාණයක් වෙනුවෙන් මේ මිල ගෙවීමට සූදානම් ව සිටිය යුතු බව ලේඛකයා ගේ අදහසයි.එසේ ගෙවන රසිකයන් ඕනෑතරම් සිටින බව ද අපි දනිමු.

නමුත් එකම ගීතයම අල්ප වශයෙන් මුල් ගායකයා ම ද,බහුල වශයෙන් වෙනත් සුපිරි තරුවක් විසින් ද අඩු ප්‍රමිතියකින් ඝෝෂාකාරී පරිසරයක නැවත ගායනා කොට බාල තැටියක ගබඩා කොට රුපියල් සියයකට අලෙවි කිරීම තවත් කූට ව්‍යාපාරයක් නොවන්නනේද?මෙයින් සංගීත ප්‍රසංග වලදී අදාල ගීත වල නිර්මාපකයන්ට කොතරම් මූල්‍යමය ප්‍රතිලාභයක් ලැබෙන්නේදැයි මම නොදනිමි.(බොහෝ විට ඔවුනට සතයක් වත් නොලැබේ).නමුත් වේදිකාව මත සිට බෙරිහන් දුන් ගායකයාට නම් යම් මුදලක් ලැබෙනු ඇත.පැහැදිලි සත්‍යය නම් මේ ප්‍රසංගය පටිගත කොට අලෙවි කරන කූට ව්‍යාපාරිකයා නම් හොද ලාභයක් ලබන බවයි.විකාශය අතරතුර වරින් වර ඒ ව්‍යාපාරයේ හිමිකම් ගැන ප්‍රකාශ අකුරු පේලී ගමන් කරවනුයේ එබැවිණි.හාස්‍යජනක කාරනය නම් මේ අකුරු පේලී හරහා අදාල ව්‍යාපාරයෙන් මිලදී නොගත් DVDතැටි “හොර බඩු” යනුවෙන් ඔවුන් ප්‍රේක්ශකයන්ට අවවාද දිමයි.

වඩාත් ම ශෝචනීය කාරනය නම් ඉහල ප්‍රමිතියෙන් යුත් ගීතය මිලදී ගෙන රසවිඳිනවා වෙනුවට මේ බොල් ගීත රසවිඳීමට රසිකයන් ද සැදී පැහැදී සිටීමය.

ගව ඝාතනය මින් පසු නවතිනු ඇත? – No more cattle slaughter?

මිනිසා යනු දේශපාලන සත්‍යවයෙක් යයි කියනු ලැබේ. එනම් ඔහු ගේ කුදුමහත් සෑම චර්යාවකටම බිදක් හෝ දේශපාලනය ගෑවී ඇත. අප රටේ සිටින මේ දේශපාලන සත්‍යවයා ද මේ යථාර්ථයෙන් නොගැලවේ.උතුම් වූ සම්බුද්ධ තෙමඟුල සිහිකරන වෙසක් පොහෝ දිනයේ ද, ශ්‍රීදළදා මාලිගාවේ ද, සමස්ථ බුද්ධ ශාසනයෙද ගෞරවය කෙලසමින් භික්ෂූණ් වහන්සේ නමක් පණ පිටින් ස්වයං ආදාහන පූජෝත්සවය පවත්වාගැනීම පිටුපස ඇත්තේ ද දේශපාලනයයි.අවාසනාවට කලෙක සිට මේ භූමිය අරක් ගෙන සිට්න ජරාජීර්න කුජීත දේශපාලනයයි.

අප රටේ දේශපාලනය කොටස් තුනකින් සමන්විත වේ.

1.දේශපාලන දර්ශනයක් මත පදනම් වූ දේශපාලනය

2.ආර්ථිකය මත පදනම් වූ දේශපාලනය

3.රට, ජාතිය, ආගම මත පදනම් වූ දේශපාලනය

මේ එක් එක් කොටස් වල ලක්ෂණයන් මදක් විමසා බලමු.

1.දේශපාලන දර්ශනයක් මත පදනම් වූ දේශපාලනය

තමන් නිවැරදි යයි විශ්වාස කරන දේශපාලන දර්ශනයක් වෙනුවෙන් කැපවී දේශපාලනයේ යෙදෙන කොටස මීට අයත් වේ.සමහර විට ඒ සමාජවාදය විය හැක.නැතහොත් ලිබරල්වාදය හෝ ධනවාදය හෝ විය හැක.නැතහොත් ඒ දෙකටම අයත් නොවන වෙනත් දර්ශනයක් විය හැක.කුමක් වුවද මෙවන් දේශපාලන දර්ශනයක් පිළබදව හැදෑරීමක් කොට ඇත්තේ ද, මේවායේ දාර්ශනික පදනම හදුනන්නේ ද, ඒවෙනුවෙන් කැපවී සිටින්නේ ද ජනගහණනයෙන් ඉතා කුඩා ප්‍රතිශතයක් පමණි. නව සමසමාජ පක්ෂය වැනි පක්ෂ ලෙස සංවිධානගතවී සිටින්නනේ ද ඒ පක්ෂ විසින් අමතන්නේ ද මේ කොටසය.

2.ආර්ථිකය මත පදනම් වූ දේශපාලනය

තමන් ගේ ආර්ථිකය වෙනුවෙන් දේශපාලනයේ යෙදෙන්නන් මීට අයත් වේ.සමහර විට රැකියාවක් වෙනුවෙන්, ජීවන වියදම අඩු කිරීම වෙනුවෙන්, ව්‍යාපාරික අවස්ථා ලබාගැනීම වෙනුවෙන් දේශපාලනයේ යෙදෙන්නන් ගෙන් මෙම කුලකය සමන්විතය.

3.රට,ජාතිය, ආගම මත පදනම් වූ දේශපාලනය

රට, ජාතිය,  ආගම ට සිදුවන කෙනෙහිලි නම් වලට එරෙහි දිවිහිමියෙන් සටන් වදින කීප දෙනෙක් ගෙන් හා රට, ජාතිය,  ආගම වෙනුවෙන් අන් සියලු දේ ඉවසන විශාල පිරිසකගෙන් මේ කුලකය සමන්විතය.හෙල උරුමය, ද්‍රවිඩ සංධානය, මුස්ලිම් කොන්ග්‍රසය වැනි දේශපාලන පක්ෂ අමතන්නේ මේ පිරිසයි.

අප රටේ පාලන බලය හිමි වන්නේ ඉහත දේශපාලනික සත්‍යවයන් තුන් කොටස නිසි ලෙස කළමනාකරනය කරගන්නා දේශපාලන කණ්ඩායමටය. අපේ රටෙස්වාභාවය නම් ඉහත 1 දරන කොටස සාපේක්ෂව ස්ථිතිකව පැවතීමත් රටේ අති විශාල බහුතර ජනතාව 2 හා 3 යන කොටස් අතර වරින් වර දෝලනය වෙමින් සිටීමත්ය.මැතිවරණ කාලසීමාවේ බහුතර ජනතාව ගොනුවී සිටින්නේ 2වන කොටස ද 3වන කොටස ද යන්න දැන ඒ අනුව මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන කණ්ඩායම මැතිවරණ ජය ගැනීම පාලකයන් බවට පත්වීම මෙරට සාමානය සම්ප්‍රදායයි.සමහර විට ජන විඥානය තමන්ට වාසිදායක ලෙස හසුරුවාගෙන තමන්ට අවශ්‍ය කොටස වෙත ජනතාව ගාල් කිරීමේ ක්‍රෙමෝපාය ද සාර්ථකව ක්‍රියාත්මක කෙරේ.

ඇට අට, හාල් පොත, ජනසවිය, තුනයි පණහට පාන්, ආදිය අපේ ඉතිහාසය තුල වරින් වර අංක 2 කුලකය අමතා මැතිවරණ ජයගත් සෙන්පතියන් ලෙස දැකිවිය හැක.

සිංහලය රාජ්‍ය භාෂාව කිරීම, කොටින් විනාශ කිරීම, ධර්ම රාජ්‍යය ආදිය ආදිය අපේ ඉතිහාසය තුල වරින් වර අංක 3 කුලකය අමතා මැතිවරණ ජයගත් සෙන්පතියන් ලෙස දැකිවිය හැක.

මැතිවරණ හරහා බලය ලබාගැනීමට මෙන්ම ලබාගත් බලය ආරක්ෂා කිරීමට ද 2 හා 3 කොටස් අතර ජනතා දෝලනය හදුනාගැනිම වැදගත්ය.මෑත කාලීන උදාහරනයක් ගතහොත්, විදුලි බිල වැඩීවීම ද, ඒ හරහා සංවේදී වෙමින් (ස්වාභාවිකවම සිදුවූ 2වන කොටස වෙත  ජනතා ගොනුවීම ට) ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ ජූනි 21 දා එක් දින වර්ජනය ද අංක 2 කුලකය වෙත ජනතාව ගොනු වූ අවස්ථාවකි.

මේ අභයෝගය ජයගැනීම පිණිස රජය උපක්‍රම දෙකක් අනුගමනය කළේය.

(I) අංක 2 කොටසට අවනත වෙමින් මැයි දිනය දා රාජ්‍ය නායකයා විදුලි බිල අඩු කල බවට කුඩා ඇස්බැන්දුමක් කිරීම.

(II)ඉහත පියවරේ සාර්ථකත්වයේ මද බව නිසා “වර්ජනය කරන්නේ රට අරාජක කිරීමට -වර්ජනය පිටුපස විදේශ කුමණ්ත්‍රනයක්” යන මතය සමාජගත කර අංක 3 කොටස වෙත ජනතාව ගොනුකිරීම.

සමහර විට සුද්දා මේ රටින් පිටවීමටත් පෙර සර්වජන චන්ද බලය මෙරටට ලැබුණ දාසිටම මෙහි ක්‍රියාත්මක වන්නනේ මේ සූත්‍රයයි.අවාසනාවට කාරණය නම් මේ ක්‍රියාදාමය තුල අසරණ ජනයා බොහෝ විට රැවටීමට ලක්වීමයි. අද හලාල්, කූරගල, උතුරට පලාත් සභා වැනි මාර්තෘකා වලින් කරන්නේ අංක3 වෙත ජනතාව ඇද බැද තබාගැනීමයි.

පොදුජනතාව පමණක් නොව දේශපාලන පක්ෂ හා කණ්ඩායම් ද 2 හා 3 කොටස් අතර වරින් වර සංක්‍රමණය වෙමින් බලය සොයා ක්‍රියාකාරී වෙති.

ගිණි තබාගත් භික්ෂූව මේ ලිස්සන සුලු දේශපාලන මාවතේ දරුණු ලෙස අනතුරට භාජනය වූ අවාසනාවන්ත පදිකයෙක් බව ලේඛකයා ගේ මතයයි.

භික්ෂූන්වහන්සේ නමක් ගිණිතබාගෙන අපමණ වේදනා විද අපවත් වූ පලියට ගව ඝාතනය නතර වන්නේ නැත, අන්‍යාගමීකරනය නතරවන්නේ ද නැත.සිදු වූයේ  නිශ්පල දෙයකට තමන් ලැබූ දුර්ලභ මිනිස් ජීවිතය නිකරුනේ නාස්ති වී යාම පමණකි.

 

දන්සැල් පාර්ටි – The Dansala or a party

Dansela

දානය උතුම් වූ පුණ්‍යකර්මයකි. දස පුණ්‍යක්‍රියා වල මුලටම එන්නේ ද දානයයි.

දාන, සීල, භාවනා, පත්තිදාන, පත්තානුමෝදනා, ධම්ම දේශනා ,ධම්ම සවන,වෙය්‍යාවච්ච, අපචායනය, දිට්ඨුජ කම්ම

එමෙන්ම පුද්ගලයෙකු ශ්‍රේෂ්ඨත්වයට පත්කරන පාරමිතාවන් අතරින් ද මුල් තැන හිමිව ඇත්තේ දානයටයි.

“දානං සීලංච නෙක්ඛම්මං

ප්‍රඥා වීර්යේන පාරමං

ඛන්ති සච්ච මධිට්ඨානං

මෙත්තු පෙක්ඛා ඉමේ දස“

පාරමිතා, උපපාරමිතා, පරමත්ත පාරමිතා ආදී වශයෙන් ඉදිරියට යන විට තමා සතු දේ පමණක් නොව ඇස්, ඉස්, මස්, ලේ මෙන්ම ජීවිතය පවා දන්දීම උතුම් ලෙස බෞද්ධයෝ පිලිගනිති.

 බුදුරජාණන් වහන්සේ විසින් රාජ්‍ය පාලකයන් විසින් තම යටත් වැසියන්ට සංග්‍රහ කල යුතු යයි අනුදැන වදාල පරිදි සතර සංග්‍රහ වස්තු වල ද මුලින් ම ඇත්තේ දානයයි.

1.දානය

2.ප්‍රිය වචනය

3.සමානාත්මතාව

4.අර්ථචර්යාව

මෙමගින් බුදු දහම තුල “දානය“ ට ලබාදී ඇති වැදගත්කම පැහැදිලිය.

සැබැවින් ම “දානය“ හෙවත් “දීම” යනු කුමක්ද? දානය යනු අන් කිසිවක් නොව අත හැරීමයි. සත්වයා සංසාරයට බැද තබන රැහැනක් වන තෘෂ්ණාව මැඬලා අලෝභ, අද්වේශ, අමෝහ යන කුසල් මුල් (සිතිවිලි) උපදවා ගැනීම දානයේ මූලික පරමාර්ථයයි. එලෙස දෙන දානයේ අනුහස් වැඩි බව බුදුන් වහන්සේ දේශනා කොට ඇත.

සියලුම දානය අතරින් ධර්ම දානය උතුම් බව බුදුන්වහණසේ දේශනා කොට ඇත.

“සබ්බ දානං දම්ම දානං ජිනාති“

දානය බුදුන් පිදීමේ ආමිශ පූජාවක් ලෙස වැදගත් වන්නේ, එය ප්‍රතිපත්ති පූජාව කෙරෙහි හුදී ජනා යොමුකරන පාලමක් වන බැවිණි.

දානය යනු අත්හැරීම නම් අප විසින් අත් හරින්නේ මොනවාද? අපවිසින් අත් හරින්නේ අප සතුව පවතින්නක් මිස කාගෙන් වත් ඉල්ලාගත් දෙයක් අප විසින් අත් හැරීමෙන් කුසල් ඉපදේද?

අද වෙසක් සමයේ අපේ ජනතාව දාන පාරමිතාව පුරන්නේ කෙලෙකද? මහාබත්, නූඩ්ල්ස්, සැන්ඩ්විච් පාන්, කොළ කැඳ, සිසිල්පැන්, මඤොක්කා, ආදී මෙකී නොකී දන්සැල් වෙසක් සමයේ පාරවල් පුරා දක්කට ලැබේ. මේවා සංවිධානය වන්නේ කෙසේද? සංවිධායකයෝ  ආධාර ලැයිස්තුවක් රැගෙන ගම වටා ඇවිදිති. ලැයිස්තුවේ මුලට ව්‍යාජ නම් වලට අතිවිශාල පරිත්‍යාගයන් ලියා පාරට බසින විට කාටවත් දෙවෙනි වීමට අකමැති අපේ ජනතාව ද එබදුම මුදලක් ඇත්තටම ලියා දන්සලට සම්මාදම් වේ. මේ සම්මාදම් මුදලින් කාගේ කාගේ සාක්කු පිරේ ද යන්න වෙනම ගැටලුවකි. අවසානයේ වෙසක් දා දන්සලට ආධාර කල පිරිසද ඇතුලුව කවදාවක්වත් තුන්වේල කෑමේ අර්බුදයක් නොතිබුණු ජනතාව “වෙසක් බලන“ ගමන් මේ දන්සල් “වන්දනා“ කරති.

මේ ක්‍රයාවලියේ මූලීක දෝශ දෙකකි.

1.දන්සල් දෙන්නා එය දෙන්නේ තමා සතු මුදලක් වියදම් කොට නොවේ

2.දන්සල බුක්තිවිදින්නේ කෑමට යමක් නැති (දන්සල් ඇත්තටම අවශ්‍ය) දුගීන් ද නොවේ

මේ ක්‍රියාවලිය තුල දානය යන්නේ සැබෑ පරමාර්ථය ඉටුවේ ද යන්න ගැටලුවකි. දානයක අනුහස් වැඩි වන්නේ, දායකයා ගේ චිත්ත පාර්ශුද්ධත්වය මත මිස ප්‍රමාණාත්මක වටිනාකම මත නොවේ. සැදැහැ සිත් දෙනු ලබන අල්ප වූ දෙයක වු වටිනාකම වැඩි බව බුදුන්වහන්සේ ගේ දේශනාවෙහි දැක්වේ. උතුම් වූ තෙමඟුල සැමරීමට සූදානම් වන මේ මොහොතේ දානයේ සැබෑ අරමුණු අරුත් ගන්වන ලෙස දන්සල් පවත්වන්නේ නම් කෙතරම් ශ්‍රේෂ්ඨ ද?

මෝහාන්ධකාරය දුරලා ප්‍රඥාවේ ආලෝකය ලොව දසත පැතිරේවා!

සුභ වෙසක් මංගල්‍යයක් වේවා!

X නගරයේ පොල් වෙළඳාම ~ 2වන කොටස – Competition that makes the consumer a king ~ Part 2

පළමු කොටස සඳහා මෙතනින් පිවිසෙන්න

මා මිත්‍ර බුවා කලින් ලිපියේ දී මතක් කල පරිදි “වෙළඳ ඒකාධිකාරය Monopoly” නම් තවත් සංකල්පයක් පිලිබඳව අවධානය යොමුකිරීම වැදගත්ය. මදකට සිතන්න Xනගරයේ පොල් වෙළදාම සඳහා සිටින්නේ පියදාස මුදලාලි පමණක්ම කියා.ඔහුට පොල් ගෙඩියක මිල නියම කිරීමට අසීමිත නිදහසක් ඇත.මක්නිසා ද යත් මිල කීයක්වුව ද අත්‍යාවශ්‍ය භාණ්ඩයක් බැවින් පාරිභෝගිකයාට  පියදාසගෙන් ම පොල් මිලදී ගැනීමට සිදුවීමයි. (ආහාර පිසීම සඳහා පොල් වෙනුවට වෙනත් විකල්ප සදහා යාමට ඇති ඉඩකඩ සීමිතය -නමුත් පාරිභෝගිකයා පොල් ටොෆි සෑදීම වැනි අමතර වැඩ සදහා යොමු නොවී සිටීම අපේක්ෂා කල හැක) .

දැන් නැවත් අප කලින් කියූ තරඟකාරී පොල් වෙළඳපල දෙස හැරෙමු. එකිනෙකා හා තරඟයට පොල් මිල රු50, රු45, රු40 ලෙස අඩු කරමින් තම ලාභය අඩු කරගන්නවාට වඩා වෙනත් දෙයක් පියදාසට හා සිරිසේනට කල නොහැක්ද? තම ආරක්ශාව වෙනුවෙන් මේ දෙදෙනාට සම්මුතියකට එලඹිය හැක. “නගරයේ පොල් ව්‍යාපාරිකයන් ගේ ඒකාබද්ධ සංවිධානය” වැනි ලේබලයක් යටතේ පියදාසට හා සිරිසේනට එක කොඩියක් යටට ගොනු වී පොල් සඳහා අවම මිලක් නියම කළ හැක. නගරවාසීන් ගේ වාසනාව මත සමහර විට මේ මිල සැබැවින් ම සාධාරන මිලක් හෝ, නොඑසේ නම් මුලින් ම තිබූ රු 50 ද ඉක්මවා යන කලු කඩ මිලක් ද විය හැක. පුද්ගලික ව්‍යාපාරිකයන් දෙදෙනෙකු ගෙන් සමන්විත තරගකාරී  නගරයේ පොල් වෙළදපල දැන් ව්‍යාපාරිකයන් දෙදෙනා ගේ සම්මුතිය නිසා යලිත් ඒකාධිකාරක් බවට පත්වී නැද්ද?(සමාන වෙළඳාමක නිරතවන ව්‍යාපාරිකයන් සංවිධානගතවීම වරදක් යයි මෙයින් කිසිසේත් ම අදහස් නොකෙරේ)

මාගේ නිරීක්ශනයට අනුව නම් ප්‍රයෝගිකව අප රට තුල සිදුවන්නේ මෙයයි. ලංකාවේ LPගෑස් ඒකාධිකාරය හිමිකරගෙන ඇති ෆෙල් හා ලාෆ් යන සමාගම් අප බලාපොරොත්තු වූ පරිදි ගෑස් සිලින්ඩරයක මිල තරගාරීව අඩු කිරීම වෙනුවට රජයට ද බලපෑම් කර රජය සමඟද එකඟතාවයකට පැමිණ මිල සූත්‍රය නම් ක්‍රියාවලියක් හරහා සමඟිව මාස 3 කට වරක් ගෑස් මිල වැඩි කරයි.

අපගේ අවධානය යොමු වන අනෙක් ඉසව්ව නම් අද රටේ දැවෙන ප්‍රශ්නය වන විදුලි ගාස්තුව තරඟකාරී වෙළඳපලක් තුල කෙසේ පවතී ද යන්නය.

මෙහිදී මුලින් ම අප විස්න් අවබෝධ කරගතු යුතුව ඇත්තේ විදුලි බලය, ජංගම දුරකථන සේවා හෝ පොල් වලට වඩා වෙනස් භාණ්ඩයක් බවයි. ජල විදුලිය නම් ජංගම දුරකථන සේවා සහ පොල් වලට සන්සන්දානාත්මක වුවද (විශාල ආර්මභක පිරිවැයක්[initial cost]මිස එදිනෙදා ධාවන පිරිවැය[running cost] විශාල නොවීම). මේ වන විට විශාල ලෙස භාවිත වන ඛණිජතෙල් මගින් නිපද වන විදුලිය කිසිසේත් ම  කිසිසේත් ම ජංගම දුරකථන සේවා හෝ පොල් වලට සංසන්දනාත්මක නොවේ. එනම් ඛණිජතෙල් නිතර මිල වෙනස් වන මුලුමනින් ම ආනයනය කරන භාණ්ඩයක් බැවින් විදුලිය නිපදවිමට විශාල පිරිවැයක් දරන්නට සිදුවීම අනිවාර්යය.(විදුලියේ නිශ්පාදන පිරිවැය ගැන දත්ත මෙතන තියෙනවා). එනම් කුමන සමාගමකට වුව ද තම නිශ්පාදන පිරිවැය පියවාගෙන සාධාරන ලාභයක් ද ලබා තරඟකාරී අඩු මිලකට විදුලිබලය වෙලඳපලට නිකුත් කිරීමට හැකියාවක් නොමැති බව පැහැදිලිය.  අ‍නෙක් අතට අඩු මිලට – වැඩි වෙළඳාම යන සංකල්පය යටතේ වැඩි විදුලි පරිභෝජනයකට (ජංගම දුරකථන සමාගම් කරන්නාක් මෙන්) ජනතාව පොළඹවා ලාභය වැඩි කිරීමට ද නොහැක්කේ විදුලිය ස්වාභාවයෙන් ම සීමිත සම්පතක් වන බැවින් සහ ලොවම අගයන බලශක්ති සංරක්ශණය යන සංකල්පය  අප රටේ ජනතාව තුලද පැලපදියම් වී ඇති බැවිණි. කතාකරනවාට කෙටි පණිවිඩ යවනවාට අමතරව අන්තර්ජාල සේවා, ලොතරැයි ප්‍රතිපල, නිඩුස් ඇලර්ට්ස්, ප්‍රශ්න විචාරක, සුපිරිතරු තේරීම වැනි නිර්මාණාත්මක ක්‍රියාවන් හරහා තම අලෙවිය වැඩිකරගැනීමට ජංගම දුරකථන සේවාවන් සතු ශක්‍යතාව විදුලිය අලෙවි කරන ව්‍යාපාරිකයෙකුට නැත.

නමුත් රජයේ ඒකාධිකාරයෙන් විදුලි වෙළඳාම ඉවත් කලොත් අපට එක් දෙයක් නම් බලාපොරොත්තු විය හැක.එනම් ෂෙල් හා ලාෆ් සමාගම් වල රංගනය විදුලිය හරහා ද අත්දැකීමට ලැබීමය.

X නගරයේ පොල් වෙළඳාම – Competition that makes the consumer a king

[W3Lanka හි පලවූ ලිපියකට ප්‍රතිචාර ලෙස දැක්වූ උදිත ගේ අදහස ට පිලිතුරක් ලෙස මේ ලිපිය ලියැවේ.]

වෙලඳපොල තරගකාරීත්ව නිසා පාරිභෝගිකයන්ට උපරිම වාසි ලැබෙන බවට මා මිත්‍ර උදිත තර්ක කරයි. ඒ සඳහා ඔහු උදාහරණ ලෙස ගන්නේ ලංකාවේ ජංගම දුරකතන  සේවා සපයන සමාගම් අතර ඇති තියුණු තරගකාරීත්වය නිසා ජංගම දුරකථන ගාස්තු අඩුවීමයි.

වෙළඳපොල තරඟකාරීත්වයේ ස්වාභාවය හඳුනාගැනීම සඳහා අපි උදාහරණයක් ගමු.

පියදාස මුදලාලි පරම්පරාවෙන් අක්කර ගණනක පොල් ඉඩමක් හිමි ව්‍යාපාරිකයෙකි. ඔහු Xනගරයේ වෙළඳපලට රු.50 ක මුදලකට පොල් ඉදිරිපත් කරයි. මේ පොල් සඳහා ඔහුගේ පිරිවැය වන්නේ ගෙඩියක් සඳහා රු.30 කි. එනම් පොල් වෙළඳාමෙන් ඔහු ගෙඩියක් සඳහා රු.20 ක ලාභයක් ලබයි. ඔහු මසකට පොල් දහසක් විකුණයි නම් ඔහු ගේ මාසික ලාභය රු.20,000 කි.

 සිරිසේන මුදලාලි ද පරම්පරාවෙන් අක්කර ගණනක පොල් ඉඩමක් හිමි ව්‍යාපාරිකයෙකි. ඔහු ද Xනගරයේ වෙළඳපලට රු.50 ක මුදලකට පොල් ඉදිරිපත් කරයි. මේ පොල් සඳහා ඔහුගේ ද පිරිවැය වන්නේ ගෙඩියක් සඳහා රු.30 කි. එනම් පොල් වෙළඳාමෙන් ඔහු ද ගෙඩියක් සඳහා රු.20 ක ලාබයක් ලබයි. ඔහු මසකට පොල් දහසක් විකුණයි නම් ඔහු ගේ මාසික ලාභය ද රු.20,000 කි. නමුත් ඔහුට පියදාස සමඟ තරඟයට පිවිසිය හැක. එනම් ඔහුට පොල් ගෙඩියකින් ලද රු.20 ලාබය රු15 දක්වා අඩුකොට රු.45 ක මිලකට පොල් වෙළඳපලට ඉදිරිපත් කළ හැක. මෙහි අනිවාර්ය ප්‍රතිපලය වන්නේ සිරිසේන මුදලාලි ගේ වෙළඳාම වැඩිවීමයි. සැබැවින් ම ව්‍යාපාරිකයෙක් මෙලෙස තරඟකාරීව මිල අඩු කරන්නේ ද ඔහු සතුව අතිරික්ත නිශ්පාදනයක් ඇති විටය. මිල අඩු කල පසු ඔහු පොල් 1,400ක් අලෙවි කිරීමට සමත් වූයේ නම් දැන් ඔහු (1,400X 15) රු21,000 ක ලාභයක් ලබයි. මෙය පෙරටත් වඩා වැඩි ලාභයක් බව පැහැදිලිය. එනම් එක් පොල් ගෙඩියකින් ලබන ලාභය රු5 කින් අඩු වුව ද ඔහුට සමස්ථ  ලාභය වැඩිවීම ද අතිරික්ත පොල් 400ක් අලෙවි කරගැනීමට හැකිවීමේ ප්‍රතිලාභය ද ලැබේ. Xනගරයේ පාරිභෝගිකයන්ට ද අඩුමිලට පොල් මිලදී ගැනීමේ ප්‍රතිලාභය ලැබේ.

මේ කතන්දරයේ අනෙක් කොටස නම් පියදාස මුදලාලිගේ භූමිකාවයි. තම පොල් වෙළඳාම සාර්ථකව කිරීම සදහා ඔහු ද බොහෝ විට පොල් මිල අඩු කිරීම ට පෙලඹේ (අනිවාරයයෙන් ම මේවන විට ඔහු ගේ වෙළඳාම අඩ වන නිසා). ඔහු තම පොල් ගෙඩියක් රු.40 දක්වා අඩු කරයි. මෙලෙස ව්‍යාපාරිකයන් දෙදෙනෙක් හෝ වැඩිගණනක් සිටින වෙළඳපලක තරගකාරීත්වය නිසා භාණ්ඩ මිල අඩු වීමේ වාසිය ලැබෙන්නේ පාරිභෝගිකයාටය. එහි තර්කයක් නැත. පොල් විකිණීමට සදහා සිටින්නේ පියදා මුදලාලි හෝ සිරිසේන මුදලාලි පමණක් ම නම් එවන් වාසියක් පාරිභෝගිකයන්ට නොලැබෙන  බව ද සත්‍යයකි.මේ වෙළඳපල තරගකාරීත්වය පාරිභෝගිකයාට ලැබෙන ආකාරය පිලිබඳ සරල උදාහරණයකි.

පියදාස මුදලාලිට හා සිරිසේන මුදලාලිට මෙලෙස තරගකාරීව පොල් මිල පහත දැමීමට හැකිවූයේ පොල් නිශ්පාදකයා ද තමන් ම වීම හා ස්ථාවර ප්‍රාග්ධනයකට (පොල් ඉඩම) හිමිකම් කී නිසාය. එසේ නොවී මේ  ව්‍යාපාරිකයන් දෙදෙනා පොල් අලෙවි කරන්නේ තොග වෙළෙන්දෙකු ගෙන් මිලට ගෙන නම් හෝ අලුතින් මිලට ගත් පොල් වත්තකකින් නම් හෝ මෙලෙස තරඟකාරීව මිල අඩුකිරීමට ඔවුන්ට ඇති හැකියාව සීමිතවේ.මක්නිසා ද ඒ ස්ථාවර ප්‍රාග්ධනය අත්පත් කරගැනීමට වැය වන පිරිවැයේ යම් ප්‍රතිශතයක් ද පොල් ගෙඩියේ මිලට අනිවාර්යයෙන් ම එකතු වීමයි.

දැන් මේ පොල් උදාහරණය අපරටේ ජංගම දුරකථන සේවාව හා සන්සන්දනය කර බලමු. මෙරට ජංගම දුරකථන සේවා සපයන ආයතන දැන් දශක කීපයක් තිස්සේ මෙරට ස්ථාපිතව සිටින ස්ථාවර සමාගම්ය. සන්නිවේදන කටයුතු වලට අවශ්‍ය මූලික යටිතල පහසුකම් වෙනුවෙන් ඔවුන්ට දැන් විශේෂ පිරිවැයක් දැරීමට සිදු නොවේ. පරම්පරාවෙන් හිමිවූ පොල් ඉඩමක් හිමි පියදාස හෝ සිරිසේන මුදලාලි බඳුය. දුරකථන සමාගම් වලට වාර්ශිකව දරන්නට සිදුවන්නේ සේවක වැටුප්, නඩත්තු කටයුතු, ප්‍රචාරන ආදී වියදම් සහ දුරබැහැර ප්‍රදේශයක ඉදිකරන සම්ප්‍රේෂණ කුලුනක බරපැන බඳු සාපේක්ෂව  කුඩා වියදමක් පමණි. පියදාස මුදලාලිගේ ද වියදම් පොල් පොහොර දැමීමට, මුරකරුවාට වැටුප් ගෙවීමට සීමාවන්නාක් මෙනි. පරම්පරාවෙන් හිමි වූ ඉඩමක් නිසා ඉඩම අත්පත් කරගැනීමේ වියදමේ කොටසක් පොල් ගෙඩියක මිලට නොඒ.

ජංගම දුරකථන සේවා සපයන ව්‍යාපාරිකයාට ඇති තවත් වාසියක් නම් වෙළඳපල වැඩිකැගැනීමට ඇති හැකියාවයි. අපේ උදාහරණය ම ගතහොත් Xනගරවැසියන්ට පොල් අවශ්‍යය වන්නේ එක්තරා සීමිත ප්‍රමාණයක් පමණි. පොල් මිල අඩු වුනා කියා ව්‍යංජනයකට යොදන පොල් කිරි වැඩි කරන්නේ හෝ,  රසකැවිල්ලක් ලෙස පොල් ටෝෆී සාදන්නේ සහ ඒ වෙනුවෙන් වැඩිපුර පොල් මිලදී ගන්නේ  සීමාසහිත ප්‍රමාණයකට පමණි.

නමුත් දුරකතන සේවා එසේ නොවේ. අයකරන ගාස්තුව අඩුවීම මත ග්‍රාහකයන් ගේ කතා කාලය අසීමිතව වැඩිවේ. එපමණක් ද නොව දුරකථන සමාගම් විවධ අතිරේක සේවා සම්පාදනය කරමින් [VAS, Internet] (අලුත් අලුත් භාණ්ඩ වෙළදපලට ඉදිරපත් කරමින්) අලෙවිය වැඩි කරගනී. අපේ උදාහරණයේ මුදලාලිලා දෙදෙනා ගේම පොල් අලෙවිය 2000ක් හෝ 2250ක ට සීමා වුවද ජංගම දුරකථන සම්බන්ධයෙන් එය එසේ නොවේ. සමහර අතිරේක සේවා පාරිභෝගිකයන් විසින් මිලදී ගනු ලබන්නේ නොදැනුවත්වමය. (ලොතරැයි ප්‍රතිපල, දෛනික රාශි පලාපල, නිවුස් ඇලර්ට්ස්, පුවත් සිරස්තල, දිවියට උපදෙස්, ප්‍රරශ්න විචාරක……….)

එසේ ම  Xනගරයට පොල් වෙළදපලට අලුතින් එක්වන ව්‍යාපාරිකයෙක්ට පවතින රු45 හෝ රු 40 මිලට වඩා අඩු මිලකට පොල් අලෙවි නොකර ස්ථාවරවීමට ඇති හැකියාව ද අවමය. ඒ සඳහා අලුත් ව්‍යාපාරිකයා ද පැරණි දෙදෙනාට සන්සන්දනාත්මක විය යුතුමය. ලාංකීය වෙළදපලට අලුතින් ම පිවිසි එයාර්ටෙල් සලකන්න. මෙරටට අලුත් වුව ද එය ඉන්දියාව තුල මනාව ස්ථාවරව ව්‍යාප්තව සිටින බැවින් ඔවුන්ට ද අනෙක් සමාගම් වලට කදිම තරඟයක් දිය හැකිය. වෙනත් සාර්ථක ව්‍යාපාර රසක් හිමි මුදලාලි කෙනෙකුට ද  වෙළඳාමට පිවිස තරඟකාරී මුදලකට වෙළඳාම කල හැක. මෙවිට ඔහුට තම අලාභය අනෙක් ව්‍යාපාර වලින් අවරණය කළ යුතු වෙයි.

(කෙසේ වුව ද මෙලෙස මිල අඩු කිරීම කවරෙකුටහෝ කළ හැක්කේ රු30 හෝ ඊට කිට්ටු වැඩි සීමාව සදහා පමණි.මක්නිසා ද යත් එතැනින් එහාට මිළ අඩු කිරීමෙන් ඔවුන්ට අලාභ ලැබීමට සිදුවීමයි).

තරඟකාරීත්වය තුලින් පාරිභෝගිකයාට ප්‍රතිලාභ අත්වීමේ කතන්දරය මෙයයි. මේ කතාව සම්පූර්ණ වීමට L.P ගෑස් චරිතය ද විදුලි බල චරිතය ද මීට එක් කල  යුතු නමුත් අවිවේකය ඊට හරස් කපයි. ඉඩ ලැබුනොත් අලුත් ලිපියකින් ඒ කතන්දරය ද ඉදිරිපත් කරමි.

විදුලි අර්බුදය, වෙනස් කියැවීමක් – Take a look by a different angle

විදුලි බිල වැඩිවීම ජනතාවට දරාගත නොහැක. ඒ ගැන වාදයක් නැත. වැඩි කල ආකාරය ජුගුප්සාජනකය (එකවර වැඩි නොකර ජනතා අදහස් විමසුවේ මොන ඇන්නෑවකටද?) නමුත් විදුලි මිල පිලිබඳව පුද්ගලිකව මවිසින් කල විස්තරාත්මක නොවන ලඝු විමර්ශනයකට අනුව පැහැදිලිවන්නේ විදුලි බිල වැඩිවීම රටේ සමස්ථ ආර්ථික අර්බුදයේ ම කොටසක් බවයි.සැබැවින් ම මාසික පරිභෝජනය ඒකක 90 ට අඩු පාර්භෝගිකයන් ගේ විදුලි ගාස්තුව විදුලි නිශ්පාදන පිරිවැයට සාපේක්ෂව එතරම් අසාධරණ ගාස්තුවක් නොවේ. අප රටේ සැබෑ අර්බුදය නම් එවන් සාධාරන මිලක් ගෙවීමට තරම් වත් ආර්ථික වශයෙන් සවිබල තත්වයක රටේ බහුතර ජනතාව නොසිටීමයි.

පහත වගුව දෙක දෙස අවධානය යොමු කරන්න. මෙහි සංශෝධිත විදුලි ගාස්තුව විදුලි පරිභෝජනය ඒකක 10 න් 10ට ගණනය කොට ඇත්තේ, ස්ථාවර ගාස්තුව හා ඉන්ධන ගැලපුම් ගාස්තුව ද එකතු කොටය.

 ElE per unit

දෙවන වගුවෙන් දැක්වෙන්නේ පර්භෝජන ඒකක ගනන අනුව පාරිභෝගිකයා ඒකකයකට ගෙවිය යුතු ගාස්තුව වෙනස් වන අන්දමය.

ElE per unit2

තෙවන වගුවෙන් ලංකා විදුලි බල මණ්ඩලය විදුලි ඒකකයක් මිලට ගන්නා මිල ගනන් දැක්වේ. එය ඒකකයකට රු 17 පමණ සිට 25 දක්වා පරාසයක විහිදේ.

ELE pay

සිව්වන වගුවෙන් විදුලි ඒකකයක නිපැයුම් පිරිවැය (යොදාගන්නා ක්‍රමය අනුව) දක්වා ඇත.ඇමරිකානු ඩොලරයක විනිමය අනුපාතය රු130 ලෙස ගෙන මේ වගුවේ අවසාන කොලම සකසා ඇත. ඒ අනුව විදුලි ඒකකයක නිපැයුම් පිරිවැය රු9 ත් 20ත් අතර වන බව පැහැදිලිය.(අධික පිරිවැයක් ඇති එනම් රු 31ක් දරන සූර්ය ශකිත්ය අමතක කොට දමමු). මේ නිපැයුම් පිරිවැයට වෙනත් උඩිස් වියදම් හා ලාභය ද එකතු විය යුතුය. වගු අංක 2 නැවත බලන්න. තවමත් අප රටේ ඒකක 90 ට අඩු මාසික පරිභෝජනයක් ඇති පාරිභෝගිකයන්ට විදුලිය ලබා දෙන්නේ නිපැයුම් පිරිවැයටත් වඩා අඩු මුදලකටය. එනම් පාඩුවටය. 

ElE per unit3

මූලාශ්‍රය, http://www.eia.gov/forecasts/aeo/electricity_generation.cfm

විදුලි බලය නිපදවන මිලට සාපේක්ෂ මිලකට එය මිලදී ගැනීමට නොහැකි ජනතාවක් වීම පිලිබඳව අප ද, අප එවන් තත්වයකට පත් කිරීම ගැන මෙහි පාලකයන් ද ලජ්ජා විය යුතුය.

1970-77 රජය, ජාතිය ගෙනගියේ ඉදිරියටයි! – It was a “Golden era”, I bet

Sirimavo

මාතලන් ගේ ලිපියකට ප්‍රතිචාරයක් ලෙස බුවා දැක්වූ අදහසක තිබූ පහත වාක්‍ය ඛණ්ඩය දැක ඇතිවූ කම්පනයෙන් මෙම ලිපිය ලියැවේ

“සිරිමා විසින් අන්ත ගෝත්‍රික ජාතියක් බවට ඇදගෙන යමින් තිබු රට”

සිරිමා බණ්ඩාරණායක මැතිණිය ප්‍රමුඛ සමගි පෙරමුණ රජය මෙරට ගෙන ගියේ අනාගතයටයි. වෙන කවරදාකටත් වඩා අනාගතයටයි. ඒ කෙසේදැයි අප එකින් එක කරුණු විමසා බලමු.

1972 ආණ්ඩුක්‍රම ව්‍යයවස්ථා සංශෝධනය

අප රට පූර්ණ වශයෙන් නිදහස් ජනරජයක් බවට පත් උනේ 1972 ව්‍යවස්ථාව මගිනි. 1948 දී ඩොමිනියන් තත්වය ලබා තිබුණ ද එතෙක් අප රට පැවතියේ අර්ධ වශයෙන් බ්‍රිතාන්‍ය කිරීටයට යටත්වය. ඒ හස්තයෙන් මුලුමනින්ම නිදහස් වීමී ගෞරවය සිරිමා  බණ්ඩාරනායක මැතිණිය ප්‍රමුඛ සමගි පෙරමුණු රජයට ද අචාර්ය කොල්වින් අර් ද සිල්වා මහතාට ද හිමි විය යුතු. එමෙන් ම  මූලික මිනිස් අයිතිවාසිකම් පිලිබඳව ලංකාවෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මුල් ම වරට ඇතුලත් වන්නේ ද 1972 දීය. මෙය රට ඉදිරියට යාමක් ද නැද්ද?

තෙල් ජනසතුව සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව.

1970 වනවිට මෙරට ඛනිජ තෙල් වෙලඳ ඒකාධිකාරය පැවතියේ ෂෙල් සමාගම සතුවය. එය ෂෙල් බූවල්ලා ගෙන් නිදහස් කර ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පිහුටුවීමේ ගෞරවය ද හිමිවන්නේ සමගි පෙරමුණු රජයට ය.එපමණක් නොව පිරිපහදු කරන ලද ඛණිජ තෙල් වල අවසන් නිශ්පාදන  (ඩීසල්, පෙට්‍රල්, භූමිතෙල්….) වෙනුවට බොර තෙල් ආනයනය කොට, ඒවා මෙරට දී පිරිපහදු කිරීමට සපුගස්කන්ද තෙල් පිරිපහදුව පිහිටුවන්නනේ ද මේ රජය යි. මෙය රට  ඉදිරියට ගෙනයාමක් ද ආපස්සට ගෙනයාමක්ද? ඛනිජ තෙල් කර්මන්තය ඇරඹුණේ ද ඒහරහා ඛනිජ තෙල් වල අතුරු නිශ්පාදන රැසක් ( LPගෑස් ද ඇතුලුව) මෙරට ඇතිවන්නෙ ඉන් අනතුරුවය. මෙරට ජනතවගේ පරිභෝජනයට අවශ්‍ය එම නිශ්පාදන ආනයනයට වැය වූ විදේශ විනිමය රටට ඉතිරි වූ බව ද අලුත් රැකිය අවස්ථා රැසක් තෙල් ජනසතුව හරහා බිහිවූ බව ද නොකිවමනාය. මේ ජාතියේ ඉදිරි ගමනක් ද ආපසු යෑමක් ද? තීරණය කිරීම ඔබට භාර කරමි.
අද වන විට, තෙල්පිරිපහදු අකර්මන්‍යය කොට, ඩීසල් පෙට්‍රල් අනයනය කරමින්, ඉන්දියන් ඔයිල් කොම්පැණියට තෙල් ටැංකි හා බෙදාහැරීම (2/3ක් වියයුතුයි) පවරා, LP ගෑස් යලිත් ෂෙල් බූවැල්ලාට ම භාරදී පසුකාලීනව විවිධ රජයන් කලේ ඉදිරියට යාමක් ද? ආපස්සට යාමක් ද? (අද නම් බාල තෙල්, හෙජින් සූදූ ආදී අතුරු කතා රැසක් ම මීට ඇතුලත්ය)

මහවැලි ව්‍යාපාරය

මහා ජලස්කන්ධයක් රැගෙන, කිලෝමීටර 300 ක් මග ගෙවා ගෙන නිකරුනේ මුහුදට ගලාගිය මහවැලි ජලය උතුරට හරවා රජරට වී වගාව දියුණු කිරීම සමගි පෙරමුණු රජයේ සංකල්පයකි. වසර 30 ක දීර්ඝ කාලීන සංවර්ධන යෝජනා ක්‍රමයක් ලෙස පොල්ගොල්ල හැරවුම් වේල්ල ඉදිකරමින් මේ ව්‍යාපෘතියේ මුල් පියවර තැබුවේ සිරිමා බන්ඩාරණායක මැතිණිය යි. මීලඟට බලයට පත්වූ එ.ජා.ප රජය මහවැලි ව්‍යාපෘතිය අත් හැර නොදැමීම අගය කලයුතු උව ද (UNP රජයේ විශාලතම සංවර්ධන යෝජනා ක්‍රමය වූයේ ද මෙයයි), වසර 30ක ව්‍යාපෘතිය වසර 6 කට හකුලුවා “කඩිනම් මහවැලිය” බවටපත් කිරීම විවාදාපන්නය. විශේෂයෙන් ම  පරිසරය හා සම්බන්ධ ව්‍යාපෘතියක් බැවින් කඩිනම් කිරීම තුල පරිසර හානිය ද වැඩිය. වසර 30 ක දීර්ඝ කාලීන ක්‍රියාවලියක දී පරිසර හානිය විශාල නොවන්නේ පරිසරයට තම විසින්ම තම හනිය ප්‍රති පූරන කිරීමට ප්‍රමාණවත් කාලයක් ලැබෙන බැවිනි. කෙසේ උව ද ජනතාවට ප්‍රතිලාභ ලැබීම ඉක්මන් වීම කඩිනම් මහවැලියයේ සාධනීය ලක්ෂනය යි.
UNP රජය විසින් කඩිනමින් ක්‍රියාත්මක කල ද පොල්ගොල්ල වේල්ල ඉදිකරමින් මෙම ව්‍යාපෘතිය අරඹා කෘශිකාර්මික නවෝදයකට ද , අදටත් ලබදායී ම ශක්ති ප්‍රභවය වන ජල විදුලි බලාගාර හරහා රට නව ලොව වෙත ගෙන යාම ඇරඹුවේ සමගි පෙරමුණු රජය නොවේද? මේ ඉදිරියට යාමක් ද පසුපසට යාමක් ද?

විදුලිය පරිභෝජනය කරන සමස්ථ ජනතාව ද (පරිඝනකය ඉදිරියේ වාඩී සිටින ඔබ ද මා ද ඇතුලත්ව), මහවැලි කලාප වලින් එන බත් ඇටයක් හෝ ආහරයට ගෙන ඇති සියලු දෙනා ද, මහවැල් ගොවිජනපද වාසීන් ද ඒ අතින් සමඟි පෙරමුණු රජයට සිය කෘතඥතාව දැක්විය යුතුමය. (නොබෝදා ජාතික විදුලි බල පද්ධතියට මෙගා වොට් 150 ක් එක්කළ ඉහල කොත්මලේ ජලවිදුලි බලාගාරය ද විවිධ භාධා කිරීම් නිසා ප්‍රමාද වූ මහවැලි ව්‍යාපාරයේ ම අවසන් විශාල ජලාශය බැව් බොහෝ දෙනා දන්නේ නැත)

ජනවසම

ජනතා වතු සංවර්ධන මණඩලය හරහා වැවිලි කර්මාන්තය රජයට පවර ගත්තේ ද ඒ හරහා විදේශයන්ට ඇදී ධනස්කන්ඩය මෙරට රඳවා ගත්තේ ද සමගි පෙරමුණු රජයයි. අද වනවිට නැවත මේ වතු වල පරිපාලනය පුද්ගලික අංශයට පවරා ඇත. කඳුකර තේ වතු වල පිවිසුම් මාර්ගවත් නිසි ලෙස නඩත්තු නොකරමින් මේ සමාගම් වතු වලින් ලාභ ලබයි.

රාජ්‍ය සංස්ථා

ශ්‍රී ලංකාව සාපේක්ශව ස්වභවික සම්පත් බහුල රටකි.  මෙරට යුරෝපීය අධිරාජ්‍යය වාදීන් ගේ ග්‍රහනයට නතු වූ පසු  (විශේෂ ම බ්‍රිතාන්‍යය) මේ සම්පත් වලින් සමහරක් නෙලාගනු ලැබිණි. ‍යුරෝපයේ ඇතිවූ කර්මික විප්ලවයෙන් පසු යුරෝපා රටවල් දේශගවේශනයේ යෙදුනේ ද, යටත්විජිත්කරනයේ යෙදුනේ ද තම රටවල කර්මන්ත සඳහා කාර්මික අමුද්‍රව්‍යය සොයා ය. ඒනිසා ඉංග්‍රීසින් ද මෙරට ස්වාභාවික සම්පත් එලෙසින් ම අපනය කලා මිසක් ඉන් මෙරට කර්මන්ත කිරීමට උත්සුක වූයේ නැත. ඊට ඔවුන්ට දොසක් කිව නොහැක.
ණමුත් 1948 දී නිදහස් ලැබීමෙන් පසු අපේ ම පාලකයන් ද අනුගමනය කලේ ඒ පිලිවෙතම ය. ඉන් අපගමනය වීමක් පෙන්නුම් කලේ සමගි පෙරමුණ රජය පමණි. 1970-77 යුගයේ සමගි පෙරමුණු රජය විසින් අරම්භ කරන ලද කර්මාන්ත ගනණාවකි.

පුත්තලම සිමෙන්ති  – අද හොල්සිම් 

කැළණිය ටයර් – අද පුද්ගලික අංශයේ

ඇබිලිපිටිය කඩදාසි  – අද වන විට නැත්තට ම නැතිවී ඇත

ඔරුවල වානේ  – අද චිකෝ

ගින්තොට තුනී ලෑලි – අද ගිංතොට ප්ලයිවුඩ්

වේයන්ගොඩ සහ පුගොඩ පෙහෙකම්හල් –අද වන විට නැත්තට ම නැතිවී ඇත

හිඟුරාන සිනි – (පාඩු ලබන්නක් නිසා දෝ) යලි රජයට පවරාගෙන ඇත

රත්තොට පිඟන් – නොරිටාකේ සමාගමට පවරා ඇත

මේ කර්මන්ත ශ්‍රී ලංකාව තුල ඇරඹීම රට ඉදිරියට යාමක් මිස ආපස්සට යාමක් වන්නේ කෙසේද? නමුත් අද වනවිට ‍‍මේ බොහොමයක් ආයතන දුර්වල පලනය නිසා ගරා වැටී තිබීම හෝ පුද්ගලික අංශයට පවරා තිබීමම නම් ආපස්සට යාමක්මය. සමඟි පෙරමුණු රජයට පසු පත් වූ රජයන් සමහර ආයතන මුදලට විකුණා මඩි තර කරගත්තේ රත්තරන් බිජු දාන කිකිලිය ගේ කතාව සිහිපත් කරමිනි.

එසේම ලක් ඉතිහාසයේ අයවැය පරතරය ශුන්‍ය වූ අයැවැයක් ඉදිරිපත් කලේ ද සමගි පෙරමුණු රජයයි. මහාචාර්ය සේනක බිබිලේ මහතා ගේ මූලිකත්වයෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හා ඔසුසල පිහුටුවන්නේ ද සමගි පෙරමුණූ රජයයි. (බිබිලේ මහතා ගේ අකල් වියෝවෙන් දශක 4කට පසු අද වන විටත් “සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය“ ක්‍රියාත්මක කරගත නොහැකිව රජය තටමයි.

ඉඩම් ප්‍රතිසංස්කරන කොමිසම හරහා අක්කර 50ට වැඩ් ඉඩම් රජයට පවරාගෙන ඒවා ජනතාව අතට පත් කළේ ද මේ රජයයි. මෙයින් අගමැති සිරිමා මැතිණීය, හෙක්ටර් කොබ්බෑකඩුව බඳු අමාත්‍යවරු ද තම පාරම්පරික දේපල අහිමි කරගත්හ. 1970 රජයේ අවසානයත් සමගම මේ ජනහිතකාමී මහත්මා දේශපාලනයේ අවසාන ද සනිටුහන් වීම ජනතාවගේ අහේතුවයි.

මෙතරම් ජනතවාදී රජයක් මීලඟ මැතිවරණයේදී පාර්ලිමේන්තුව තුල 1/6 ක වත් බලයක් නොමැතිව පරාජය වුයේ ද  UNPය 5/6 ක විශාල ජයග්‍රහනයක් ලැබුවේ ද මන්දැයි පාඨක ඔබට සධාරණ ගැටලුවක් ඇතිවාට සැක නැත.

මුලින් ම කිව යුත්තේ 1977 මැතිවරණයෙන් UNPය පාර්ලිමෙන්තුව තුල 5/6 ක බහුතරයක් ලැබීම එවකට ක්‍රියත්මක වූ මැතිවරණ ක්‍රමයේ විකෘතියක් මිස සැබෑ ජනමතයේ නිරූපනයක් නොවන බවය. සැබැවින් ම එදා UNP ය ලැබුවෙ 50% යන්තමින් ඉක්ම වූ බලයක් පමණි. මේ පිලිබඳව සවිස්තර වාර්තාවක් ලියුම්කරු විසින් මීට පෙර පල කර ඇත.

කෙසේ වුව ද 1977 දී සමඟි පෙරමුණු රජය පරාජයට පත් විය.ඊට හේතු කීපයකි.

    • ස්වයංපෝශිත පරිභොජන රටාව වෙත ජනතාව බලෙන් දැක්කීමට යත්න දැරීම.

    කිරිපැණි වත් ජනතාවට බලෙන් දිය නොහැක. විශේෂයෙන් ම හාල් පොලු, මිරිස් පොලු, පාන්න පෝලිම් ජනතාව නොඉවසුවා වන්නට ඇත. රොබට් නොක්ස් තම “එදා හෙල දිව” ග්‍රන්ථයේ ද දැක්වූ පරිදි අපේ රටේ  සිටින්නේ තමන් ගේ දේ පිලිඹද වටිනාකමක් නොදන්නා ජනතාවකි, මේ රටේ හොදම දේවල පල ලබන්නේ පිටස්තරයින් යයි ඔහු කීවේය .(අද ද අපේ ගැමියෝ ගෙදර ඇති පිරිසිඳු එළකිරි පිටට විකුණා ඒ මුදලින් කිරිපිටි ගෙනත් බොති). ඒ ජනතාව බලහත්කාරයෙන් නීතිරීති මගින් වෙනස් කිරීමට උත්සහා නොකොට සිටියා නම් සමඟි පෙරමුණ් රජයට යහපතක් ම වන්නට ඉඩ තිබිණි.

          2. රාජ්‍ය කාලය දිගු කරගැනීමට උත්සාහ කිරීම

    පස් අවුරුදු නිළ කාලය අවසානයේ මැතිවරණයට ඉදිරිපත් නොවී පාලන කාළය වසර දෙකකින් දිගු කරගැනීම ද, ඇත්ත පත්‍රයට සීල් තැබීම බඳු මර්ධනකාරී ක්‍රියාවන් ද රජයේ ප්‍රතිරූපය බිඳවැටීමට හේතුවන්නට ඇත. ජේ.ආර්.ජයවර්ධන රජය පසු කලෙක බන්ඩාරණායක මැතිණිය ගේ ප්‍රජා අයිතිය කෘර ලෙස අහෝසි කරනුයේ ද මේවා දඩමීමා කරගෙනය.

     කෙසේ වුව ද අවසාන ප්‍රතිඵලය වූයේ ශ්‍රී.ල.නි.ප යට වසර 17 ක් ම විපක්ෂයේ සිටීමට සිදුවීමය. විධායක ජනපති ධූරය ද ඇති කර බලවත් එ.ජා.ප රජයක ග්‍රහනයට ජනතාව ලක්වීමය.

    යලිත් මේ ලියුම්කරු අවධාරනය කරන්නේ 1970-77 යුගයේදී අපරට ජාතියක් වශයෙන් දැවැන්ත ඉදිරි පියවර රැසක් ගනුලැබුව ද ඒවා සියල්ල ආපසු හැරවූයේ පසුකාලීන රජයන් විසින් බවයි. ඒ රිද්මයේ ම අප ගසමන් කලා නම් ජාතියක් වහයෙන් විශාල දියුණුවක් ලැබීමට හැකිව තිබූ බව ලියුමුකරු ගේ පුද්ගලික අදහසයි.

    ධවල තිමිරය – The white mist

    Tea estate

    (සිංහලය මුලුමනින් ම සුදු අධිරාජ්‍යයට නතුවී පසුගිය මාර්තු දෙවෙනිදාට වසර 198 කි. මේ සටහන ඒ වෙනුවෙනි)

    බ්‍රිතාන්‍ය කිරීටයට යටත් වීමට පෙර මෙරට පැවතියේ ස්වයංපෝෂිත ආර්ථිකයක් යයි කියනු ලැබේ. එහි අදහස  නම් තම මූලික අවශ්‍යතාවන් තමා අවටින් ම සපයාගෙන මෙහි ජනයා දිවි ගෙවූ බවයි. යටත්විජිත යුගයට පෙර අපරටේ ජනතාව සුඛෝපභෝගී කුවේර ජීවිතයත් ගතකළේ යයි කීමට මම ඉක්මන් නොවෙමි. නමුත් සාපේක්ෂව අඩු අවශ්‍යතාවන් ගෙන් හෙබි මෙරට වැසියන් තම එදාවේල සොයා ගැනීමට නොරටට අතනොපෑ බව නම් සත්‍යයකි. මෙරට ඒ ස්වයංපෝෂිත ආර්ථික රටාව බිඳවැටීම ඇරඹුණේ  ක්‍රි.ව. 1505 දී සිදුවූ යුරෝපා ආක්‍රමණයත් සමගයි.

    විශේෂයෙන් ඉංග්‍රීසීන් විසින් ක්‍රි.ව. 1815 දී කන්ද උඩරට ඇතුලුව සමස්ථ ශ්‍රී ලංකාව ම යටත් කරගැනීමෙන් පසු අපේ ආර්ථිකය අනුන් මත යැපෙන ආර්ථිකයක් බවට පත්වීමේ ක්‍රියාවලිය ආරම්භ විය. යටත්විජිතවාදින් අලුත් අලුත් රටවල් යටත් කරගන්නේ අල්ලාගන්නා රටේ ජනතානගේ සුභසිද්ධිය තකා නොවන බව සත්‍යයකි. ඉංග්‍රීසීන් ද අපේ දිවයින අල්ලාගත්තේ තම මව් රටේ ආර්ථිකය තවතවත් දියුණු කරගැනීමේ ලා මෙරට ස්වාභාවික සම්පක් උපයෝගී කරගැනීමේ අභිලාශයෙන් මිස වෙනකක් නිසා නොවේ. මෙරට බහුල ව  තිබූ මිනිරන්, ඛණිජ වැලි, හුණුගල් ආදී ස්වාභාවික සම්පත් අපනයනය කළේ තම රටේ කාර්මික දියුණුව උදෙසාමය.

    ඉංග්‍රීසීන්  වාණිජ වගාවන් ලෙස මෙරට භූමිය තුල කෝපි, තේ, රබර් ආදිය වගා කළේ මෙහි ස්වාභාවික පරිසරය තම උන්නතිය උදෙසා යෙදවීමේ තවත් පියවරක් ලෙසය. නමුත් මේ වාණිජ භෝග වගාව මෙරටට කළ විනාශය සුලු පටු නොවේ. අද ද අප පීඩා විදින සමාජ, ආර්ථික, දේශපාලන, පාරිසරික ගැලටු බොහොමයක මූලාරම්භය මෙයයි.

    තේ යනු මෙරටට ආවේණික ශාකයක් නොවේ. එහි නිජබිම මධ්‍යම ආසියාවයයි (මා වැරදි නම් නිවැරදි කරන්න). ඉංග්‍රීසි ජාතිකයන් වාණිජ භෝගයක් ලෙස තේ මෙරටට හදුන්වා දෙන්නේ පුස් රෝගයක් පැතිරීම නිසා කෝපි වගාව මෙරටේ අසාර්ථක විමත් සමගය. මෙහි කඳුකර දේශගුණය, භුවිෂමතාව ආදී පාරිසරක සාධක තේ වගාවට මනාව ගැලපුනේ අපගේ ම අවාසනාවයට යැයි ලේඛකයාට විටෙක සිතේ. සුද්දා තේ වගාවට අවශ්‍ය මෙරට කඳුකර ඉඩම් ලබා ගත්තේ පැහැදිලිවම බලහත්කාරයෙනි. අපේ මුතුන්මිත්තන් බුක්ති විඳි (නමුත් සුද්දා ගේ නීතියට අනුව නිසි ලෙස අයිතිය තහවුරු කළ නොහැකි වූ) ඉඩම්  “මුඩු බිම් පනත“ මගින් රජයට පවරා ගනු ලැබිණි. අපෙ ් ජනතාව උපන් බිමවලින් පන්නා දන්නේ ඉන් අනතුරුවය. ඊට අමතරව කඳුකරයේ ව්‍යාප්තව තිබූ තෙත් කලාපීය කඳුකර වනාන්තර එලි පෙහෙලි කරන්නේ ද තේ වගාව උදෙසාය.

    තේ අධික ලෙස තම්කරු ශ්‍රමය අවශ්‍ය වන වගාවකි. සුද්දාගේ තේ වගාවට අවශ්‍ය කරන ශ්‍රමය මෙරටින් ම සම්පාදනය කරගරනීමේ හැකියාව තිබුණ ද තමන්ගෙන් මංකොල්ලකෑ ඉඩම් වල වැටුපකට සේවය කිරීමට අපේ මුතුන්මිත්තන් අකැමැති වූහ. එය ඉතා සාධාරණය.  අපි ආඩම්බර ජාතියක් වීමු.

    තේවතු වල සේවයට ඕනෑ තරම් ලාබ ශ්‍රමය තිබූ දකුණු ඉන්දීය කුලීකරුවන් මෙරටටගෙන එන්නේ මේ හේතුවෙනි.මෙය අප රෙට් තවත් සමාජ ගැටලු ගණනාවක ආරම්භයයි.මේ ආගන්තුක ජනකොටස නඩත්තු කිරීමට අමතරව පත්වන රජයන්ට තම බලතුලනය උදෙසා මේ ජනතාවෙග් ඊනියා නායකයන්ට කප්පම් ලබාදීමට සිදුවීම අද දක්වාම අප අතිවිඳිනඛේදවාචකයකි.

    තේවගාව නිසා කඳුකර නොඉඳුල් වැසි වනාන්තර ඛේදජනක ‍ලෙස විනාශයට පත්විය. ආදේශ වන වගා ලෙස සුද්දා මේ ප්‍රදේශ වලට හදුන්වා දුන් ෆයින්ස්, ටර්පන්ටයින් ආදී වගාවන් තවතවත් මේ පරිසර හානිය  වර්ධනයකලේය. පරිපර තුලනය මුලුනමින් බිඳ වට්ටන මේ ෆයිනස් කැලෑ තුල කුරුල්ලෙක් වත් නොරැඳේ. සාමාන්‍ය යෙන් ගසක කොළයක් ගසෙන් ගිලිහී කෙටි කලක් තුල දිරා ගොස් පස් බවට පත් වන නමුදු ෆයිනස් ශාක පත්‍ර සෑ‍හෙන කාලයකට දිරා නොයයි. ෆයිනස් කැලැයක් තුලට පිවිසෙන්නෙකුට   ගස් අතර දක්කට ලැබෙන්නේ පස් නොව අඩි කීපයක ගනකමට ඇති දිරා නොගිය දුඹුරු පැහැ වියලි ෆයිනස් පත්‍රයන් ය. කඳු ගැට වල තේ වගාවෙන් සිදුවන පාංශු ඛාදනය අද දින විශාල පාරිසරික ගැටලුවකි. මෙහි තරම වටහාගැනීමට වැසි කලක නඳුකරයෙන් පහලට ගලාබසින බොරපැහැ ගංඟාවන් දෙස බලා සිටීම ප්‍රමානවත්ය.

    සුද්දා ගෙන් අපට වූයේ අගතියක් ම පමණකැයි කීමට තරම් ලේඛකයා අන්තගාමී නොවේ. මෙරට ස්ථාපිත කළ අධ්‍යාපන පද්ධතිය, (අද අප විසින් වැරදි වැරදි ලෙස භාවිත කරන මුත්) වෙස්මින්ස්ටර් ආණ්ඩු ක්‍රමය  , අද පවා භාවිතයට ගන්නා මහාමාර්ග, දුම්රිය මාර්ග, රාජ්‍ය පරිපාලන ආයතන ආදිය සුද්දා‍ ගෙන් අප ලැබූ දායාදයන්ය. සත්‍යය වශයෙන් ම මේවා තම යටත් විජිතය පාලනය කිරීමේ පහසුව උදෙසා තම  ප්‍රයෝජනය උදෙසා ම සුද්දා විසින් ඇති කළ දේ වුව ද අද ඉන් පල ලබන්නේ අපය.

    එ සුද්දා ලබා දුන්දේය. ලබා නොදුන් දේ පිලිබදව ද සටහනක් තැබිය යුතුමය. සුද්දා තම කාර්මික හෝ තාක්ෂණික දැනුම මෙරට වැසියන්ට ලබා දුන්නේ නැත. ඒ වෙනුවට කළේ මිනිරන්, ඛණිජ වැලි ආදිය අමුද්‍රව්‍ය ලෙස රට පටවා යුරෝපයේ කර්මාන්ත කිරීමය. මෙහි රබර් ෆීට් අපනයනය කර විදේශයන්හි නිපදවන ටයර් නැවත මෙරටට ගෙන්වීමය.

    මේ ලිපිය ලිවීමෙහිලා ලේඛකයා පෙලබූ මුඛ්‍ය කාරණය වෙත දැන්  ප්‍රවේශ වෙමු. තම යටත්විජිතයේ ජනතාව ගේ ආර්ථික, සමාජීය සවර්ධනය කෙරෙහි කිසිදු වගකීමක් නැති බ්‍රිතාන්‍යය අධිරාජ්‍යවාදීන් එදා එසේ කිරීමේ විශ්මයක් අපට නැත. නමුත් අප දැන් හැටපස් වසරකට පෙර ඒ අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස් වීමු. ඒත් එදාට වඩා වෙසක් අද තිබේ ද? අද ද අපේ ආර්ථිකය රැඳී පවතින්නේ එදා මෙන් ම මේ කෘශිකාර්මික භෝග කීපයක් හා කාර්මික අමුද්‍රව්‍ය කීපයක් අපනයනය කිරීම මතය (මැදපෙරදිග වහල් සේවය හා ඇඟලුම් කර්මාන්තය හැරුන විට). 1970 දශකයේ ශ්‍රී.ල.නි.ප රජය යටතේ ඉංජිනේරු සංස්ථාව, සිමෙන්ති සංස්ථාව, ටයර් සංස්ථාව ආදිය පිහුටුවමින් මේ වලෙන් ගොඩ ඒමට සාධනීය පියවර ගත්ත ද පසු කාලීනව ඒ රජයේ අනුප්‍රාප්තිකයන් විසින්  ද, වෙනත් පාලක පක්ෂ විසින් ද, ඒ සියල්ල කනපිට හරවා තිබීම ඉතා කනගාටුදායකය. අපේ ම ඡන්දයෙන් පත්වන අපේ ම පාලකයන් එදා අපව බලෙන් යටත් කරගත් සුදු අධිරාජ්‍යයට විකල්පයක් වී නැති වීම බරපතල ම ඛේදවාචකයයි. 

    අපි තවමත් ඒ ධවල තිමිරයෙන් වැසී සිටිමු !

    කැබිනට් මණ්ඩලයක් යනු? – What could be a cabinet

    පූර්විකාව

    “එහෙම දෙන්න ඇමතිකමක් නැත්නම් අලුතින් එකක් හදන්න කියල අපි බල කරනවා. මොකෝ අද මේ රටේ ඇමතිකම් හදන එක කජ්ජක් ද? ඕනි නම් රෙදි ඇපිල්ලිල්ලටත් ඇමතිකමක් හදන්න පුලුවන්.එහෙම එකක් හදල මට ඒකේ රෙදි සෝදන සංස්ථාවේ සභාපතිකම ගත්තත් ඇති………………………උඹලට තව ටිකදවසකින් ආරංචි වෙයි අපේ යාලුවා රෙදි ඇපිල්ලීම පිලිබඳ නව ඇමතිවරයා ලෙස ජනාධිපති උතුමාණන් ඉදිරියේ දිවුරුම් දුන්න බව.”

    -ගුණදාස අමරසේකර ශූරීන්, ගල්පිළිමය සහ බොල් පිළිමය (ඇමතිගේ අස්වීම) P120-

    අලුතින් පත්වන රජයක් තමන්ට ජනතා සේවයක් සිදුකිරීමේ හෝ අඩුවශයෙන් රටේ පරිපාලනය අවුලක් නැතිව කරගෙන යාමේ හෝ අවංක වුවමනාවක් නැති බව මුලින් ම ලොවට හඬගා කියන්නේ තම  අමාත්‍ය මණ්ඩලය පත් කිරීමෙනි. එසේම රජය තම රාජ්‍ය කාලය තුල එය නැවත නැවත ජනතාවට මතක්කර දෙන්නේ වරින් වර කරණු ලබන “කැබිනට්  සංශෝධන“ මගිනි.  සෑම “කැබිනට්  සංශෝධන“ යකම අනිවාර්ය අවසන් සංසිද්ධිය වන්නේ ජනතාවට බඩ අල්ලන් සිනාසිය හැකි අමාත්‍යංශ කීපයක් එක්වී කැබිනෙට්ටුවේ ප්‍රමාණය විශාලවීමේ ප්‍රහසනයත්, ඒ වැඩිවන ඇමතිලාගේ කුදුමහත් ඕනෑ එපාකම් වල බරපැන ජනතාවට දරන්නට සිදුවීමේ දුඛාන්තයත් එකවර රඟදැක්වීම ම පමණෙකි.

    අලුත් සීනී ඇමතිගේ වගකීම් මොනවා විය හැකිද? උක්වගා කිරීම, සීනි නිශ්පාදනය, සීනි ආනයනය, (දයා ගමගේ මහතාගේ බඩට ගසා රජයට පවරාගත්) සීනි කම්හල් පාලනය, එසේ නැත්නම් ජනතාවගේ රුධිරයේ සීනී මට්ටම ඉහලයාම වැලැක්වීම? (අනුන්ගේ/තමාගේ සීනී කිරීම?)

    රටක තිබිය යුත්තේ තර්කාණුකූල පදනමකින් සකස් කළ නිශ්චිත කැබිනට් අමාත්‍යංශ ගනණක් බව අපගේ හැඟීමයි. නව රජයක් පත්වූ පසු එහි අගමැති අසවලාය යනුවෙන් කියන්නාක් මෙන්, නව රජයේ අසවල් අමාත්‍යධූරය දරනුයේ කවුරුන්ද යන පැනයට නිශ්චිත පිලිතුරක් තිබිය යුතුය. (උදාහරණයක් ලෙස අද “අප රටේ කෘශිකර්ම ඇමති කවුද?“ යන ප්‍රශ්නයට නිශ්චිත පිලිතුරක් නොමැත – “ඇමතිවරු කීදෙනෙක් ඉන්නවද?“ යන පැනයට පිලිතුරක් තිබේද?).

    පාඨක ඔබේ අවධානය පහත සදහන් ලේඛණය වෙත යොමුකරන මෙන් කාරුණිකව ඉල්ලමි.

    අධ්‍යාපන

    සෞඛ්‍ය

    බලශක්ති

    රාජ්‍ය පරිපාලන

    විදේශ කටයුතු

    ආරක්ශක

    මුදල් හා ක්‍රමසම්පාදන

    ජනමාධ්‍ය හා සංනිවේදන හා සංස්කෘතිත කටයුතු

    කාර්මික හා තාක්ෂණ

    ප්‍රවාහන

    කෘශිකර්ම

    ධීවර

    කම්කරු

    නිවාස හා ඉදිකිරීම්

    පරිසර හා ස්වාභාවික සම්පත්

    ක්‍රීඩා

    වාණිජ හා ආර්ථික කටයුතු

    නිසි ලෙස රාජ්‍යය ආයතන බෙදා හැර ක්‍රමවත්ව සංවිධනය කළ ඉහත අමාත්‍යංශ 17 අප රටට හොදටම ප්‍රමාණවත් නොවේද? මේ අමාත්‍යංශ වලට අවශ්‍ය පරිදි අනු විශයයන්ට උප ඇමතිවරු ද පත් කළ හැක. උදාහරණ ලෙස අධ්‍යාපන ආමාත්‍යංශය යටතේ උසස් අධ්‍යාපන, පාසල් අධ්‍යාපන, කාර්මික අධ්‍යාපන ආදී උප අමාත්‍ය ධූර ඇති කළ හැකි නොවේද?

    මේ අමාත්‍යංශ ලැයිස්තුව (මෙයම නොවිය හැක, ඒත් තර්කාණුකූලව සැකසූ වෙනත් ලැයිස්තුවක් හෝ) 19 වෙනි (නැතිනම් 20 වෙනි) සංශෝධනය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුල් කල නොහැකි ද?

    ප.ලී. දුරුතු මහට සීතලට සිහින පෙනේ යයි මතයක් ඇත. දැන් නම් දුරුත්ත ගෙවී නවම් මහ ද ලබා ඇතිමුත් මට නම් තවම සිහින පෙනේ ! 

    අහිවාතක පැතිරේ – ඝෝෂක මෙන් පලායමුද ? Escape is better ?

    බුද්ධ කාලීන භාරතයේ වසංගතයක් ලෙස පැතිර ගිය “අහිවාතක“ නම් රෝගයක් ගැන බෞද්ධ සාහිත්‍යයේ සඳහන්වේ. මාරාන්තික මේ රෝගයෙන් මුලින් ම වැළදෙන්නේ නිවෙසක වෙසෙන මැසි මදුරු ආදී කුඩා සතුන්ටය. අනතුරුව සුනඛ, බිලාල ආදී තරමක් විශාල සතුන්, ගව-මහීෂාදී සතුන් ආදී වශයෙන් නිවසේ සහ ඒ ආශ්‍රිතව ජීවත් වන ජීවීන් පියවරෙන් පියවර මෙම රෝගයට ගොදුරුවීම එහි ස්වාභාවයයි. නිවසේ මිනිසුන් ඊට ගොදුරුවන්නේ අවසානයටය. කෙසේ වුව ද රෝගයේ අවසාන ප්‍රතිඵලය නියත වශයෙන් ම මරණයයි.

    මෙම රෝගයෙන් ගැලවීමට ඇත්තේ එකම ක්‍රමයකි. එනම් නිවසේ බිත්තියක් කඩාගෙන පලාගොස් නිවෙසින් ඈත පලාතක ජීවත් වීමයි. (මෙය කෙම් ක්‍රමයක් විය යුතුය – මෙහි සත්‍ය අදහස නම් විෂබීජ සහිත නිවෙසින් ඈත්ව විසීම යයි සිතමි)

    එකල එක්තරා සිටුගෙදරක් ද මෙම රෝගයට ගොදුරු වූ කතා පුවතක් බෞද්ධ සාහිත්‍යයේ සදහන් වේ. අසූ කෙලක් ධනස්කන්ධයට උරුමකම් කීව ද රෝගයෙන් ගැලවීමක් නොලද  සිටු පවුල පත්ව සිටියේ මහත් අභාග්‍ය සම්පන්න ඉරණමකටය. නමුත් සිටු යුවල ගේ ළමා වයසේ සිටි පුත්‍රයා මේවනවිට රෝගයට ගොදුරුව නොසිටියේය. සිටු යුවල තම පුත්‍රයා ගේ හෝ ජීවිතය ආරක්ෂාකිරීමට සිතා ඔහුට නිවසේ බිත්තියක් කඩා පිටවීමට ඉඩ සලසා දුන්හ. ඊට පෙර, කවදා හෝ වසංගතය නිමා වූ හෝ දිනෙක පැමිණ සිටු පුත්‍රයාට ලබාගතහැකි වන සේ තමා සතු ධනය නිවෙසේ ම සගවා තැබීය.

    නිවෙසින් පිටව ජීවිතය රැකගත් මේ සිටු පුත්‍රයා වැඩිවියපත්ව රැකියාව ලෙස තෝරාගත්තේ නගරයේ “ඝෝෂක“ තනතුරයි. ඒ රැකියාවේ වගකීම වන්නේ උදෑසන ශබ්ධ නගා නගරයේ ජනතාව අවධිකිරීමයි. (එකල අදමෙන් එලාර්ම් ඔරලොසු, ජංගම දුරකථන නොතිබූ වබ සැලකිය යුතුය). කෙසේ නමුදු මේ තරුණයා ශබ්ද නගන ආකාරය සවනත වැකුන ශබ්ධ විද්‍යාවේ කෙල පැමිණියෙකු ගේ මැදිහත් වීමෙන්,ඔහු තම ජන්මය පිලිඹද රහස රජුට හෙලිදරවු කොට තම මාපියන්ගේ ධනය නැවත උරුම කොටගෙන සිටු තනතුරක් ද ලැබූ බව සදහන්ය. “ඝෝෂක සිටු“ ලෙස පතල වූයේ මේ සිටුවරයාය.

     ශ්‍රීලාංකික සමාජය ද කලක සිට අහිවාතක වසංගතයකට ගොදුරු වෙමින් සිටී. එදා මැසි මදුරුවන් රෝගයට ගොදුරු වන විට වගේ වගක් නැතිව බලා සිටියාක් මෙන් අප සමාජය ද අනෙකා ව්‍යසනයට ගොදුරුවන විට නිහඩව බලාසිටී. නමුත් දැන් රෝගය ටිකෙන්ටික ව්‍යාප්ත වී ඇත. අපේ එලිපත්තට ම පැමිණ ඇත. නොබෝ දිනෙක දොරට ද තට්ටු කරනු නැතැයි කාට නම් කිව හැකි ද?

    එදා මෙන් ම අද ද නිවෙසේ බිත්තියක් බිඳ පලාගොස් මේ ව්‍යසනයෙන් ගැලවිය හැකියයි මතයක් ඇත. ඇත්තවශයෙන් ම අපි එලෙස පලා යමින් සිටිමු. හැකියාව ඇත්තවුන් නිත්‍යාණුකූලව PR ලබා ද, අනෙක් ජනතාව සරණාගතයින් ලෙස දේශපාලන රැකවරණ ඉල්ලමින් ධීවර යාත්‍රා උපයෝගී කර සයුර තරණය කර ද, බටහිර රටවලට හෝ ඔස්ට්‍රේලියාවට යන්නේ මේ වසංගතයෙන් බේරීමටද? (ධීවර යාත්‍රා හැරුන විට වෙනත් විකල්ප ක්‍රම ද බිත්තිය බිඳීමට භාවිතාවේ – “මචං“  සිනමාපටය ගෙතී ඇත්තේ   මෙවන් අපූරු උපක්‍රමයක් වටාය).

    කෙසේවුවද එදා ඝෝෂක පලාගියාක් මෙන් මෙන් අද පලායන ඝෝෂකලා තම උරුමය සොයා පෙරලා  පැමිණේ ද යන්න නම් සැක සහිතය.

    ඡන්ද ප්‍රහසනය – Election comedy or Comedy election

    තවත් ඡන්ද  ප්‍රහසනයක් ඊයේ නිමාවිය. මෙයට ප්‍රහසනයක් යයි කියන්නේ එය අනවශ්‍ය මොහොතක පැවැත් වූවක් නිසා, පලාත් සභා හදුන්වා දුන් කාලයේ ඒවා එපා කියා ඒවා වර්ජනය කල පිරිසක් දැන් ඒවායේ බලය ලබාගැනීමට පොරකන නිසා , සෛද්ධාන්තිකව මැතිවරණයක දී වැදගත්ම පුද්ගලයා වන ඡන්දදායකයා ගේ සහභාගීත්වය උදාසීන වීම නිසා ආදී හේතු කීපයක් ම නිසා මෙන්ම එක් දිනකදී පවත්වා නිමා කළහැකි මැතිවරණයක් දිගු කාලයක් තිස්සේ පවත්වමින් මහජන මුදල් කාබාසිනියා කර ජනමතය උරගා බලන අවස්ථාවක් වීම ද නිසාවෙනි. කලින් මැතිවරණයෙන් පත් වූ ජනතා නියෝජිතයන්ට මැතිවරණයට වියදම් කල මුදල සොයාගැනීමට වත් සම්පූර්ණ ධූරකාලය නොලැබීම ද   තවත් හාස්‍යයකි.(අපට එසේ වුව ද අදාල අපේක්ෂකයන්ට නම් ශෝකාන්තයක් විය හැක). කෙසේ වුවද දැන් ඒ මැතිවරණය නිමියේය. ඡන්දදායකයන්ට නන්දිකඩාල් කලපුව හොදින් මතක තිබූ නිසා ද (අවසාන මොහොතේ ජයලලිතා ද එය මතක් කර දුනි) ආණ්ඩුවේ වැරදි පෙන්වා ඊට එරෙහිව ජනතාව පෙලගැස්වීමට හෝ තම ඡන්දදායකයින් ඡන්ද පොලට කැදවීමට දුර්වල විපක්ෂය අසමත් වූ නිසා ද රජය ම සුපුරුදු පරිදි මැතිවරණය ජයගත්තේය.

    මේ සටහනේ අරමුණ අවසන් වූ මැතිවරණය පිලිබඳ පසුවිපරමක යෙදීම නොවේ. මැතිවරණ පැවැත්වීමේ මෑත කාලීන ප්‍රවනතාවයෙහි ඇති භයානක ස්වාභාවය විමසා බැලීමටයි.එනම් කඩින්කඩ මැතිවරණ පැවැත්වීමේ වැරදි පූර්වාදර්ශය විමසා බැලීමටයි.

    ඉන්දියාව ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයයි. එනම් එරට මැතිවරණයක දී ඡන්දය ප්‍රකාශකිරීමට අති විශාල ඡන්දදායකයන් පිරිසකට අවස්ථාව ලැබේ. රජයට මේ අතිවිශාල මෙහෙයුම එක් දිනකදී නිසිලෙස කලමණාකරනය කරගත නොහැකි නිසා එරට මහ මැතිවරණ පැවැත්වෙන්නේ කඩින් කඩ කොටසින් කොටසය. නමුත් සඉන්දීය ප්‍රාන්ත රාජ්‍යයක ජණගහනයටත් වඩා අඩු කුඩා ජනගහණයක් (එනම් කුඩා ඡන්දදායකයන් පිරිසක්) සිටින ශ්‍රීලංකාවේ මහමැතිවරණයක් එක් දිනකදී පැවැත්වීමේ කිසිදු අපහසුතාවක් නැත. ඔනෑම තරම් මැතිවරණ ගනණාවක් එලෙස සාර්ථකව පැවැත්වීමේ අත්දැකීම් ද අප රටේ රාජ්‍ය සේවයට ඇත. නමුත් එකවැර පැවැත්විය හැකි පලාත්සභා මැතිවරණය විශාල කාලයක් තුල කඩින් කඩ පැවැත්වූවාක් මෙන් ම මහමැතිවරණය ද එක්දිනක දී නොපවත්වා කඩින් කඩ පැවැත්වුවහොත්?

     කඩින්කඩ මැතිවරණ පැවැත්වීමේ වාසි කීපයකි. පළමු මැතිවරණයේ ප්‍රතිඵල අනිවාර්යයෙන් ම දෙවැන්නට බලපායි. (සමහර විට පරාජිත පක්ෂයේ ඡන්දදායකයින් අධෛර්ය වීම ද සිදුවිය හැක). තමන්ට හොදටම වාසිදායක ප්‍රදේශයක මැතිවරණය පවත්වා මැතිවරණ පෙලක මංගල පස්පිඩැල්ල කැපුව හොත් එහි කවර හෝ ප්‍රතිඵලය අනෙක් පලාත් වල ඡන්දදායකයා ද උත්තේජනය කිරීමට බලපානු ඇත. (1994 මහ මැතිවරණය එක් වැඩිපුර ආසනයකින් ජයගත් පොදුපෙරමුණ ඒ ආසන්නයේ ම පැවති ජනපතිවරණය ජයගත්තේ 60% ඉක්ම වූ ඡන්ද ප්‍රතිශතයකිනි). අනෙක් අතට වටකොට පහර දීම හෙවත් මුලු රටේම සම්පත් රටේ සීමිත ප්‍රදේශයකට නාභිගතකර මැතිවරණ ව්‍යාපාරය දියත් කීරිම ද අතිශයින් ම වාසිදායකය. (දුටුගැමුණු රජුට කිරිබත් දුන් මහලු කාණ්තාව ඉගැන්වූ පාඩම සිහියට නගාගන්න). එමෙන්ම සංවර්ධන සංදර්ශන (රාජකාරි කරන විදුලි කණු?) පැවැත්වීම ද මෙවිට පහසුය. නාට්‍යකරුවන්/සර්කස්කරුවන් තමන්ට අවශය කුදුමහත් උපකරන/ආම්පන්න රැගෙන ගමින් ගමට සංචාරය කරමින් තම නිර්මාණ ජනතාවට ඉදිරිපත් කරති.

    මේ ප්‍රහසනාත්මක මැතිවරණ ජනමතය උරගා බැලීමේදී නම් සාධාරණ නොවන බව  අප අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. මෙවන් මැතිවරණ (ඇත්තෙන් ම මැතිවරණ ශ්‍රේණි) වලින් පැහැදිලිවම ජනමතය විකෘති කරයි. එමෙන්ම මේ සදහා නිකරුනේ විනාශවන මහජන මුදල් ප්‍රමාණය අසීමිතය. මෙවර මැතිවරණ ශ්‍රේණිය ආරම්භයේ දී මැතිවරණ කොමසාරිස්තුමා මෙය ජනමාධ්‍යය ඉදිරියේ පිලිගත්තේය.

    මේ මැතිවරණ හරහා ආර්ථික වාසියක් ලබනවා නම් ලබන්නේ මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන ව්‍යාපාරිකයන් ම පමණක් බැව් පැහැදිලිය.

    දැනට පලාත්සභා මැතිවරණ සදහා ද, පසුගිය වර පලාත්පාලන ආයතන සදහා ද ආදේශ කළ මේ ක්‍රමය අනෙක් මැතිවරණ සදහා ආදේශ නොවේ යයි උදක් ම ප්‍රාර්ථනා කරමු.

    ප.ලි. මැතිවරණ හරහා ජනතා නියෝජිතයෝ ආශ්චර්යය උදාකරදීමට කැපවන මොහොතේ, එම උත්සාහය තඹයකට ගණන් නොගත් වැසියන් 145 දෙනෙක් ත්‍රිකුණාමළයේ සිට දකුණුකුරු දිවයින බලා යාත්‍රාකිරීමට උත්සහ කිරීමේදී අත්අඩංගුවට ගත්බවට ප්‍රවෘත්තියක් ඊයේ පලවිය.