Category Archives: ප්‍රබන්ධ

ශර්මා එයි, සිංග් නැත – Sharma arrives, No sign of singh

CHOGM sym

[පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේෂ් ශර්මා මහතා ඊයේ (නොවැම්බර් 9)දිවයිනට ලඟාවීමෙන් පසු,මෙරට ප්‍රමුඛ පෙලේ ජනමාධ්‍යයක් සමග කළ සම්මුඛ සාකච්ඡාවකින් උපුටා ගැනිනි.]

ප්‍රශ්නය-ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුලුව ගැන ඔබේ අදහස කුමක්ද?

පිළිතුර-හිරු නොබසින අධිරාජ්‍යයේ සාඩම්බර යටත් වැසියන් වශයෙන් ඇත්ත වශයෙන් ම අපි කාටත් සතුටු වෙන්න පුලුවන් අවස්ථාවක් මේක.කවදත් මුල අමතක නොකරන ලංකාව ශතවර්ෂ කීපයක් තමන් ගේ ස්වාමියා වෙලා හිටපු බ්‍රිතාන්‍යය යට කෘතගුණ දැක්වීම උදෙසා සංවිධානය කරන මෙම සමුලුව ලෝක රාජ්‍ය නායක සමුලු ඉතිහාසය උඩු යටිකුරු කල විප්ලවීය මොහොතක් ලෙස බය නැතිව මට ප්‍රකාශ කරන්න පුලුවන්.

ප්‍රශ්නය-ඇයි ඔබ එසේ කියන්නේ

පිළිතුර-එසේ කියන්නේ හේතු ඇතුව.බලන්න මේ උත්සවය වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ සහ එහි ජනතාව ගේ කැපවීම.බලන්න මෙහි බුද්ධිමත් පාලකයන් මේ සමුලුව ගැන අධ්‍යයනය කිරීමට ම සියලුම විශ්ව විද්‍යාල සිසුන්ට සතියක අධ්‍යයන නිවාඩු පවා ලබාදෙන හැටි.බලන්න අගනුවර නගරසභාව තමන් ගේ බැංකු ගිණුමේ අන්තිම සතයත් වියදම් කරල නගරය ලස්සන කරන අපූරුව.බලන්න මේ සතියක විතර කාලයේ පිටින් එන රාජ්‍ය නායකයන් ගේ ගමන්බිමන් වලට පමණක් රුපියල් ලක්ෂ 1,600ක වියදමින් ලංකා රජය යොදවන අධි සුඛෝපභෝගී බෙන්ස් රථ.ඒ විතරක් ද අධිවේගී මාර්ග,නවීකරණය කළ ගුවන්තොටුපල,දැවැන්ත සම්මන්ත්‍රණ ශාලා,රාජ්‍ය නායක බිරින්දෑ වරුන් ගේ ගෙල පලදින වටිණා ආභරණ.සමුලුව වෙනුවෙන් ඔබරටේ කැපවීම අති විශිෂ්ඨයි.ඒ ගැන කතා දෙකක් නෑ.

ප්‍රශ්නය-ඔබ හිතනවද මේ පුංචි රට ලොවටම ආදර්ශයක් සපයනවා කියා?

පිළිතුර-පැහැදිලිවම.මා යෝජනා කරනවා ලෝකය ඒ ආදර්ශය ලංකාවෙන් ලබාගත යුතුයි කියල.ඒ වගේ ම  මම විශ්වාස කරනවා මීලඟට නිව්යෝර්ක් නුවර යූඑන් සමිට් එක පැවැත්වෙන විට හාර්වඩ් ඇතුලු සියලු විශ්ව විද්‍යාල වලට රජයෙන් නිවාඩු දෙයි කියල.ඒ වාගේ ම මම හිතනවා ජීනීවා වල පැවැත්වෙන සෑම වැදගත් සමුලුවකදීම ඒගැන අධ්‍යයනය කරන්න සූරික් ඇතුලු සියලු විශ්වවිද්‍යාල වලටත් ස්විස්ටර්ලන්තයේ රජය නිවාඩු ලබා දෙයි කියා

ප්‍රශ්නය-සමුලුව පිලිබඳ මේ රටේ ජනතාව ගේ කැපවීම ඔබ දකින්නේ කොහොමද?

පිළිතුර-රජයට මනා සහයෝගයක් රටේ ජනතාව ගෙන් ලැබෙනවා,එය විශිෂ්ටයි.මට දැනගන්න ලැබුණා මේ උත්සවය වෙනුවෙන් රඟන,ගයන පාසැල් දරුදැරියන් ඒ වෙනුවෙන් යන සියලුම වියදම් ස්වේචාවෙන් ම දරනවා කියල.ඒ තමන් ගේ අධ්‍යයන කාලයෙන් කරන කැපකිරීමට අමතරව වසර අවසාන වාරවි භාගය කට උඩ තියෙද්දිත්.ඒ වගේ ම අගනුවර ජනතාව සමුලුව වෙනුවෙන් තම ගෙවල් දොරවල් පිලිසකර කරල තීන්ත ගාගන්නේ තමන්ගේ ම වියදමින්.තමන් ගේ එදිනෙදා කාර්යයන් මදකට නතර කරලයි මේ එන රාජ්‍ය නායකයන්ට පාරතොටේ ඉඩ වෙන්කරල දෙන්නේ.මේ රටේ ජනතාව ගේ කැප කිරීම් ගැන එක් සුලු උදාහරණ කීපයක් පමණයි.

ප්‍රශ්නය-සමුලුවේ සංවිධාන කටයුතු ගැන ඔබේ අදහස් කොහොමද?

පිළිතුර-අනභිබවනීයයි.සමුලුවට සහභාගී වෙලා දේශන කරල ඒවා අහල අතට අත දීල,ද්විපාර්ශවික සාකච්චා පවත්වනවාට අමතරව මෙරට විසින් ආගන්තුක රාජ්‍ය නායකයන් වෙනුවෙන් ලබාදෙන අත්දැකීම් සුවිශාලයි.දක්ෂිණ අධිවේගී මාර්ගය,මත්තල ගුවන් තොටුපල,හම්බන්තොට වරාය,නෙලුම්පොකුණ මේවාගේ දෙවල් ඒ රාජ්‍ය නායකයන්ට දැක බලාගන්න ලැබීම මොනතරම් දෙයක්ද?එත් ඔබේ රටේ ජනතාවට ලැබෙන සමහර අමිල වරප්‍රසාද මේ රාජ්‍ය නායකයන්ට ලබානොදීම ගැන නම් මගේ එච්චර සතුටක් නෑ.

ප්‍රශ්නය-මොනවද ඒ වරප්‍රසාද?

පිළිතුර-අධිවේගී මාර්ගයේ පයින් ගමන්කිරීම වගේ වරප්‍රසාද.කමක් නෑ අපි ඒවා අමතක කරමු.මම හිතනවා ආගන්තුක රාජ්‍ය නායකයින් මෙය ඉවසා දරාගනී කියල.

ප්‍රශ්නය-සමුලුව වෙනුවෙන් රජයෙන් සැපයෙන ආරක්ෂාව ගැන ඔබතුමා සෑහීමකට පත් වෙනවාද?

පිළිතුර-මම අතිශයින් ම තෘප්තිමත්.රාජ්‍ය නායකයන්ට මැස්සෙක්ගෙන් වත් හිරිහැරයක් නොවෙන විදියට ආරක්ෂාව තරකොට ඇති බවට මට හොදටම විස්වාශයි.රජු ගේ ඇඟේ වසන මැස්සා කඩුවෙන් කොටල විනාශ කරන ආරක්ෂකයින් ඔබේ රටේ ඉන්න බව ලෝකයේම ප්‍රසිද්ධයි නේ.

ප්‍රශ්නය-එතකොට සෞඛ්‍ය පහසුකම්

පිළිතුර-ඉතාමත් ම හොදයි.මම සොයා බලපු විදියට පැය 24 ම ක්‍රියාත්මක ගිලන්රථ බලකායක්,ජාතික රෝහලේ සුඛෝපභෝගී වාට්ටු කීපයක්,දැඩි සත්කාර ඒකකය,සුවිශාල වෛද්‍ය කාර්යමණ්ඩලයක් රාජ්‍ය නායකයන් වෙනුවෙන් සූදානම්.මම ආරාධනා කරනවා ඒ නායකයන්ට හා අනෙක් සම්භාවනීය විදේශ අමුත්තන්ටත් ඒ අයගේ පවුල් වල උදවියටත් තමන්ට තියෙන අට අනූවක් ව්‍යාධි මේ ලැබුණ අමිල අවස්ථාවෙන් පල ලබා සුවකරගෙන යන්න කියල.අපි අමතක කරන්න හොදනෑ සචින් තෙන්දුල්කාර්ට වෙදකම් කළ විස්මිත වයිට් වෙදැදුරා පවා ඉන්නේ මෙ රටේ කියල.

ප්‍රශ්නය-කෙසේ නමුත් මේ සමුලුව සඳහා රැජිණ සහභාගී වන්නේ නෑ නේද?

පිළිතුර-ඇත්ත රැජිණ සහභාගී වන්නෙ නෑ තමයි.එත් රැජිණ දැන් යල්පැන ගිය චරිතයක්.ඒ වෙනුවට චාර්ල්ස් කුමාරයා එන්නේ.නමුත් මටත් පොඩි කණගාටුවක් තියෙනවා විලියම්,කේටී සහ චූටි බබා ජෝර්ජ් මෙරටට නොඑන එක ගැන තමන්ගේ අතීත උරුමයක් දැක බලා ගෙන ආශ්චර්ය විඳල යන්න.

ප්‍රශ්නය-පොදුරාජ්‍ය මණ්ඩලීය තරුණ සමුලුව හෙට(නොවැම්බර් 10) ඇරඹෙනවා.මේ ගැන ඔබේ අදහස කුමක්ද?

පිළිතුර-ඇත්තටම මේක ඉතා සුවිශේෂී අවස්ථාවක්.අනික් තරුණ සම්මේලන වගේ නෙවෙයි මේ “තරුණ සම්මේලනය”නියෝජනය කරන්නේ 60%ක් ම “තරුණයින්”.තරුණයින් තමයි ලොකයේ හෙට දිනය.මම හුගක් ම සතුටු වන්නේ ඒකයි ඒ ගැන.ඒ වාගේ ම සතුටු වෙන්න පුලුවන් කාරණයක් තමයි මේ “රාජ්‍ය නායක සමුලුව”ට ත් සහභාගී වන්නේ 60%ටත් වඩා “රාජ්‍ය නායකයින්”.මොන තරම් ශ්‍රේෂ්ඨද?

ප්‍රශ්නය-හොදයි තිස් වසරක යුද්ධයෙන් පසුව අද අපේ රට පිලිබද ඔබේ අදහස කුමක්ද?

පිළිතුර-මම හිතනවා ඔබේ රට දැන් නියම මාර්ගයේ ගමන් කරනවා කියලා.ජනගහණයෙන් ලක්ෂ 3කට එක් කැබිනට් ඇමතිවරයෙක් ගණනේ සිටින ඔබේ රට නොබෝ දිනකින් ම ලෝකයේ ම ආශ්චර්ය රාජ්‍යය බවට පත්වනවාට මට කිසිම සැකයක් නෑ.බොහෝ විට මේ සමුලුවෙන් පසු ඔබ රට ඒ ජයග්‍රහණය ලබා ගනීවි.

ප්‍රශ්නය-අවසාන වශයෙන් අපට කියන්න සමහර රටවල්,සමහර නායකයින් මේ සමුලුව වර්ජනය කිරීම ගැන ඔබතුමා ගේ අදහස කුමක්ද කියලා?

පිළිතුර-මම හිතන්නේ අපි ඒ ගැන එච්චරම සැලකිලිමත් විය යුතු නෑ කියලයි.හැමදාම කසිකබල් ඉන්දියන් කාර් එකක එහේ මෙහේ යන මන්මෝහන් මහත්තයට සතියකට වත් බෙන්ස් එකක යන්න පින නෑ කියල තමයි කියන්න තියෙන්නේ.

Compair car

(නම්-ගම්,සිදුවීම්,ස්ථාන සියල්ල කතුවරයා ගේ සිතේ මැවුණු හුදු කල්පිතයන් ම පමණක් බව කරුණාවෙන් සලකන්න.)

පිය-පුතු දෙපල රජතුමා හමුවේ – Become a chief, not so easy as become a thief

“මේ මල්මාලා ජනතාවට ම පලන්දල ජනතාවට සේවය කරන්නයි මම හිතං හිටියේ”

ජූනියර් වික්ටරි ජෙම්ස් නෝක්කාඩු කියයි.

“ජනතාවට සේවය කරන්න මහමැතිට ම අදින්න ඕනිය?ඔය තනතුරු පට්ටම් නැතුවත් පුලුවන්නේ සේවය කරන්න.”

මහරජතුමා උත්තර දේ.

“ඒ කතාව කියන් පුලුවන්නේ අර වන්ලීඩර්ටත්, දැන් කොච්චර කල් ඉදන් මහමැතිට අඳිනවද?

“අනික ඔහෙට එක්ස්පීරියන්ස් තියෙනවය ඔය චරිතෙට?”

“මගේ කොල්ල උප මහරජ සෙකට්‍රි ට ඇන්දනේ අවුරුදු 3 ක්ම.ඒ එක්පීරියන්ස් මදි ද  මෙදා පාර මහමැති ට අඳින්න?අර ඌව නාඩගමේ දි සසී ට මහමැතිට අඳින්න දෙනකොට එයාට තිබ්බෙත් ඔය එක්ස්පීරියන්ස් එක විතරමනෙ “

ඒ සීනීයර් වික්ටරි ජෙම්ස්.

“ආ………. ඇයි ඌට තව තිබ්බේ නිළමේ ට ඇඳල පෙරහැරේ ගිහිල්ල එක්ස්පීරියන්ස්.අනික එක්සෙකටිව් මහරජ තනතුර යටතේ ඔය උප මහරජ කියන්නේ නිකම් ම නිකං විකට චරිතයක් විතරයි නේ ඒකේ සෙකට්‍රි වුණා කියන්නේ මහ දෙයක්ය?”

“එහෙම මේ තනතුර බාල්දු කරන්න එපා,ඔබතුමා ට මහරජ චරිතය ලැබුණෙත් උප මහරජ චරිතය කරපු නිසානේ.මේ රටේ හැමදාම මහරජ වෙලා තියෙන්නේ උප මහරජ කෙනෙක් තමයි.”(ෂෙක් මට තිබ්බේ අපේ එකාවත් පොඩි හරි දේවාලෙක නිළමෙ කමකට දාන්න ඒකාලෙම)

“ඒ පාර මුගේ කල්පනාව මගේ රජකමට තට්ටු කරන්න ද?ඒවා කොහෙද පුතෝ මාත් එකක්.මම ගඟ වල් දෙකෙන් ම එහා පොරක්” යයි සිතූ මහරජ තුමා, දීර්ඝ ලෙක්චරයක් දීමට සැරසුණේය.

“මේ රඟපෑම කියන එකේ ඉහලට ම යන්න නම් හොද ඉවසීමක් කැපකිරීමක් කරන්න ඕනි හරිය.දැන් බලන්න මේ මම මහරජ ට අඳින්න මට කොච්චර කල් බලන්න ඉන්න උණෙයි?මතකෙයි කලින් හිටපු සැටී මහාරාජිණිය මට සලකපු හැටි?එක පාරක් මාව මාලු ටැංකියකට දාල තිබ්බ මතකෙයි?ඒකෙ ඉදන් මම මාලු අල්ලන අයට ගෙවල් හදල දෙන්න ගියාම ඒකට වෙනම චරිතයක් දාල වෙන පොරක් ඒකට දැම්ම මතකෙයි?මාව එපා  ඔහේ ගේ අප්පච්චි ම ගන්න ආදර්ශෙට.උප මහරජට අඳින්න සූට් එහෙමත් මහගෙන කීපාරක් චාටර් උණෙයි?හරිය වික්ටරි?”

“ඒ උණාට මට නේ මේපාර වැඩියෙන් ම විසිල් අත්පුඩි හම්බ උණේ”

“වැඩියෙම විසිල් අත්පුඩි ගත්තු කෙනාට මහමැතිට අඳින්න දෙනවයි කියල මම කිව්වේ නෑනේ කොහෙදිවත්”

“එහෙනම් අර අප්පටසිරි ට වයඹ නාඩගමේ මහමැතිට අදින්න දුන්නේ?”

“අප්පටසිරි ගේ කේස් එක වෙනයි නේ.පොර විලමැද බංගලාවෙන් අයින්වෙලා මෙතෙන්ට ඇවිල්ලා ඔහොමවත් නැති උනොත් චාටර් වෙනවා නේ.පව්නේ.අනික පොරට එක්සපීරියන් එහෙමත් හොදට තියෙනවනේ.”

“කලින්ම ඔය කතාව කිව්ව නම් අපි ඔච්චර වියදම් කරන්නේ නෑනේ විසිල් වලටයි අත්පුඩි වලටයි.බලන්න පෝස්ටර් වලට ම මට ගියා වෙඩින් කාඩ් ගහන්ට ගියාටත් වඩා වියදමක්.මම ලෝයර් කෙනෙක්,එදා ඌව නාඩගමේ මහමැතිට අඳිනකොට සසීට එහෙමවත් එකක් තිබ්බේ නැනේ.”

ජූනියර් වික්ටරි ජෙම්ස් නැවත එක්ස්පීරියන්ස් කේස් එක ඇද්ද විට මහරජට ද මළ පැන්නේය.

“ඔහෙට අපෙ සසීට වගේ ඇඟපත වත් තියෙනවැයි?ඔහෙ නිකං හාල්මැස්සෙක් වගේනෙ සසී එක්ක බලද්දී.අනික ෆැමිලි කේසස් ගැන කතාකරන්න එන්න එපා හරිය.”

“අන්න ෆැමිලි කේස් එකක් තමයි මේකත්.ඇයි අපේ ෆැමිලි එකට ම මේ කුඩම්මා ගේ සැලකිලි.මගේ මචං ඊයේ පෙරේදා නොඑන ගමන් ගියා හිතේ අමාරුවටම මහමැතිට අඳින්න නොදුන්නට.ඇයි එදා රජරට නාඩගමේදී වැඩිම අත්පුඩි විසිල් ගත්තු එකාට මහමැතිට අදින්න දීල මචං ව වීසිකරල දැම්මේ.අද වගේ එදත් මහමැතිට අඳින්න දුන්න නම් මගේ මචං අදටත් ජීවත් වෙනවා.”

“ආ එදා මල්ලිට මහමැතිට අඳින්න අයිය චන්දරේ ඇමති චරිතෙන්  අයින් උණා.මතකෙයි?ඔහෙත් එහෙනම් උප මහරජ කමින් අයින් වෙලා ඉම්මු පුතණ්ඩියට චරිතෙ දෙන්න.”

මහරජතුමා දිනුම් පදේ කීවේ වික්ටරි ජෙම්ස් කීයටවක් ඔය සූට් එක නොගලවන බව හොදින් ම දන්නා නිසාය.නමුත් ගම්මිරිස් කොළ බුලත් කරන්නට දන්නා වික්ටරි ජෙම්ස් මේ උගුලෙන් ගොඩ ආවේ මෙසේ කියමිනි.

“මට මේකෙන් අයින් වෙන්න බැරි කමක් නෑ මහරජතුමනි.ඒත් ඊට පස්සේ වේකන්ට් වෙන උප මහරජ චරිතෙට අපේ පක්ෂේ ජ්‍යේෂ්ඨයොයි ඔබතුමා ගේ ෆැමිලි එකේ ජ්‍යේෂ්ඨයොයි  ඇන කොටාගන්න ගියොත් කාට ද අවනම්බුව.”

“හ්ම් ඔහේ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා.හරි එහෙනම් ඔහේ ඔහොම්ම ම ඉන්නවා.අපි පුතාට දෙමු ප්‍රධාන සංවිධායකට අඳින්න.වයඹේ පොනියගේ පුතාටත් ඒකම දෙමු.”

“ඇමති කමකටවත් අඳින්න දෙන්න බැරිද?”

“මේ පප්පා රජතුමා ගේ බහුබූත ව්‍යවස්ථා  සංශෝධනේ හැටියට එක නාඩගමකට ඇමති චරිත හතරකට වඩා දාන්න බෑනේ ඔන්න විලමැද බංගලාවේ නං සේරම උනත් ඇමතිට අන්දන්න පුලුවන්.අපි හෙට අනිද්දට නාඩගම් ව්‍යවස්ථාව වෙනස් කරමු.එකකොට බැරියැ ඇමති චරිත හැටහුටාමාරක් දාන්න.තව ඕනි නම් බැරියැ අධීක්ෂණ මංත්‍රී චරිත හෙමත් දාන්න.එතකල් ඉවසල ඉම්මුකෝ.තුනෙන් දෙක තියෙද්දි මොනවැයි කරන්න බැරි?අනික අර උතුරේ නාඩගමත් අපේ ස්ක්‍රිප්ට් එකටම නටන්න ගන්නත් ඕනි.බුවාල බුල කෙලින්නයි යන්නේ මට පේන හැටියට.”

“හ්ම් එහෙමවත් කරමු එහෙනම්.වරද්දන්න එපා.”

ෂේප් න්‍යාය හොදබව අත්දැකීමෙන් ම දන්නා සීනීයර් වික්ටරි ජෙම්ස් ලද දෙයින් සතුටුවීමට තීරණය කළේය.

[හුදු ප්‍රබන්ධයක් ම පමණකි.චරිත, සිද්ධි සියල්ල කල්පිතයන් වේ]

රතු පසට නල ජලය – Water supply for red soil

රෙඩ් සොයිල් පිට් හි ඝාතන වලට විරෝධය පා පැවති උද්ඝෝෂණය දුටු මහරජතුමා හොදටම බය විය.එහිදී විපස්ස කුමාරය,ආදර සේවක කුමරයා,ඇඩ්වෙන්චර්ආර්ම්ස් ආදීන් ටීවී චැනල් හැටක විතර මයික් අල්ලං කළ කතා ඇසූ එතුමාට හීන් දාඩිය දැම්මේය.මේ ආරම්භයක් පමණ ලු.ඒ කිව්ව විදියට නම් හෙට අනිද්දම තමුන් ගේ රාජ පයින්ඩෙත් ගහල යන්නට ඉඩ ඇති බව තේරුම් ගත් රජතුමා “මේකට නම් මොනව හරි කරන්නම ඕනී“ යි කල්පනා කළේය.

ර්‍රජතුමාගෙ මීටරේට එක පාරටම වැටුණේ,ජනතාවගේ දැවෙන ප්‍රශ්න හැම එකකටම  කෝකටත් තෛලය මෙන් භාවිතා කරන “මහරජ පරීක්ෂණ කොමිසමක්“දමා වැරදි කරුවන්ට දඬුවම් දුන්නොත් කොහොමදැයි කියාය.ඒත් එක්කම එතුමාට මතක් වූයේ “මහරජ පරීක්ෂණ කොමිසම“ පත් කරන්නෙ ප්‍රශ්න යට ගැහීමට මිසක් විසඳීමට නොවන බවයි.

“නෑ මේපාර හරියට ම කරමු“.මහරජතුමා දැඩි ලෙස අදිටන් කර ගත්තේය.

“හරි දැන් කවුදැයි කොමිසමට දාන්නේ?වෙනද වගේ පැන්සොං ගිය නඩුකාරයෙක් දැම්මොත්……බෑ බෑ,ඕකුන් සුවර් කරන්න පුලුවන් ඩයල් නෙවේ.අර සරාවැව දැක්කනෙ කලු කොඩි නැටුමෙදි අනික් පැත්ත ගහපු හැටි.අන්න පොර පලා බබාටත් ඉල්ලනවලු විපස්සයෙන්.ඒ විතරක්යෑ තව හිටපු දෙමළ නඩුකාරයෙක් උතුරෙ පලා බබාට ඉල්ලනව අපට විරුද්ධව.පොරනම් මහ ඇමති වෙන්නම යන්නෙ.තව ඔය හිටපු නඩුකාර ලොක්කෙක් මගෙ රජකමටත් කෙලින්න හැදුවේ ඒ දවස්වල ජනරාල පස්සෙ ගිහින් (දැන් නම් ටීවී එකේ බණ කියකිය යනවා).අර අඟල් හයේ පරල ඇණයක් වෙලා ඉදපු නඩුකාර ලොක්කි හිටපු නඩුකාරයෙක් බවට පත්කරන්නත් කොච්චර ගේමක් දෙන්න උණාද?“

“කවුද එතකොට කොමිසමට දාන්නේ………….?

“කවුරුත් ඕනි නෑ,මම ම කරනව කොමිසමේ වැඩ.එතකොට ජනතා විස්වාශයත් ඇති වෙයිනේ“.කොහොමත් එකසිය ගානට ඇමතිල හිටියට ආයතන හැටටුටාමරක් තිබ්බට රාජ සභාවේ වැඩක් කරන්නෙ තමන් පමණක් බව රජතුමා මෙන්ම රටවැසියා ද හොඳින් ම දනී.

රජතුමා තමාගේ මූලිකත්වයෙන් යුත් “මහ රජ පරීක්ෂණ කොමිසම”ස්ථාපිත කොට වැඩ ආරම්භ කළේය.මේක නම් එසේ මෙසේ කොමිසමක් නොවන බවට රජ වාසල ද රාජ සභාව ද පුරා කට කතා පැතිර ගියේ රජතුමා ම ගේමට බැස සිටි නිසාය.කොමිසම වැඩ පටන්ගත්තේ ම කොමිසමේ ලේකම් ගේ  රැකියාව අහිමි කරමිනි.ඒ “මහ රජ පරීක්ෂණ කොමිසම”යන්නෙහි මුල් අකුරු වලින් කෙටි යෙදුමක් සාදා මහරජතුමාගෙ අසුන ඉදිරිපිට තැබීමේ වරදටය.ඔහුට වැරදුණේ සිංහලෙන් වැඩ කරන්නට ගොස්ය.

කෙසේ වෙතත් පරීක්ෂණ කමිටු යාන්ත්‍රනය සාක්ශි විමසීම ආරම්භ කළේය.මුලින්ම සාක්ශි දීම සඳහා කැඳවූයේ බේබී නෝනා මාතාවයි.

“ඇයි ආතම්මේ එදා පාරට බැහැල කෑගහන්න ගත්තේ“

“අනේ මහරජ පුතේ, අපේ ලිං වල වතුරේ ඇසිඩ් නේ“

“දැන් කවුද කියන්නේ ලිං වතුරේ ඇසිඩ් කියල“

“ඇයි පුතේ බොනකොට තේරෙනවානේ“

“ඒ කිව්වේ ආතම්මා මීට කලින් ඇසිඩ් බීල තියෙනවද?“

“පිස්සු ද පුතේ, අන්න අර පහල වෙලේ ගෙදර ලොකු කෙලී නම් මළේ මොකක්ද හුටප්පරේකට ඇසිඩ් වතුර බීල“

“හරි එහෙනම් දන්නේ කොහොමෙයි ලිං වතුරේ ඇසිඩ් කියල“

“ඔය හැමෝම කියන්නනේ“

“හැමෝම කිව්වේ ගමේ අය ද පිට අයද?“

“ගමේ අය පිට අය සේරම“

“ඔය තියෙන්නේ සාක්ශි, මේකට තුන්වෙනි පාර්ශවයක් සම්බන්ධයි දෙකක් නෑ“

“අනේ මහරජ පුතේ,බෝධිපූජා තියපු අත් දෙකින් වැඳල කියන්නම් අපට බොන්න පිරිසිඳු වතුර ටිකක් අරං දෙන්න“

“හරි හරි ආතම්මේ,මම වතුර ලයින් එකක් දාල දෙන්නම්.සල්ලි ලෑස්තිකරල තියන්නකෝ“

මහරජතුමා දෙවෙනි වාක්‍යය කීවේ ඇහෙන නොඇහෙන තරම් හෙමිහිටය.

“ඇහුන්නෑ පුතේ“

“නෑ ආතම්මේ,මම බට ලයින් එකක් දාල දෙන්නම් ගමට.නුවර පෙරහැර පටන් ගෙන නේද නරකද ගිහින් බැලුවොත් පවුල් පිටන්?“

පෙරහැර පෙන්වා බබානෝනා පිටත් කළ මහරජතුමා ඊළඟට සාක්ශි විමසීම සඳහා කැදෙව්වේ උසස් පෙල ශිෂ්‍යයෙකි.

“මොකක් ද ළමයා මේ කළබලේ“

“මහරජතුමනි, අප ප්‍රදේශයේ වතුරේ pH අගය අඩු වීම නිසා තමයි මේ ප්‍රශ්නේ පටන්ගන්නේ.“

“දැන් කොහොමෙයි ඔහෙල ඒක දැනගන්නේ“

“ඇයි රජතුමනි,රජයේ නිළධාරීන් ම තමයි අපට මේ වතුරේ අගය අඩු වෙලා බොන්න එපා කියල කිව්වේ.එදා…..“

“අන්න අන්න තුන්වෙනි පාර්ශවය.මම කිව්වේ“

“නෑ රජතුමනි.අපටම උනත් පුලුවන් පරීක්ෂා කරල බලන්න“

සිසුවා පිටේ එල්ලාගෙන සිටි බෑගය විවෘත්ත කර කඩදාසි පටි කීපයක් එලියට ගත්තේය.

“ඔය මොනවද?“

“රජතුමනි මේ බ්‍රෝමෝතයිමෝල් බ්ලූ, මේ ලිට්මස්, මේ………“

“මොනව මොනව මොනව?“

“මේ පුර්ණ පරාස දර්ශක රජතුමනි.මේවා………

“හරි හරි මට තේරෙනවා.තුන්වෙනි පාර්ශවය මේ ළමයින් ව හොදටම නොමග යවල.මම ඔය ළමයිගේ ගමට ටැප් ලයින් එකක් දාලා දෙන්නම්.තාත්තලට කියන්න සල්ලි ලෑස්ති කරගන්න කියල.අන්න අපි කොළඹ හදල තියෙනවා ආසියාවේ අබිමං තොට ගිහින් බලන්න පුලුවන්“

මෙලෙස විවිධ පාර්ශව සාක්ශි විභාගය සඳහා කැදවූ රජතුමා,ඔක්කෝටම මුල වූ තුන්වෙනි පාර්ශවය මනාව හඳුනා ගැනීමෙන් පසු සාක්ශිකරුවන්ට සීනී බෝල හා කැරට් දී පිටත් කර හැරියේය.

අවසානයට සාක්ශි දීමට පැමිණියේ ආශ්චර්යදීපයේ රාජපුරුෂ සේවයේ ප්‍රධානියා ය.එක වතාවක් මෙවැනිම සිද්ධීයකදී හිටපු රාජපුරුෂ ලොක්කාට පිටරට තානාපත් කමක් ලැබුණාක් මෙන් තමන්ට ද යමක් ලැබේ යයි බලාපොරොත්තුවෙන් ඔහු සාක්ශි දීමට ආවේ පස්වනක් ප්‍රීතියෙන් පිනා ගොසිනි.

“හොඳයි මොකක්ද එදා සිද්ධ වුණේ?“

“මේකනේ රජතුමනි,එදා ගමේ මිනිස්සු අහිංසක විදියට පාරට වෙලා හිටිය.අර තර්ඩ් ක්ලාස් පොරවල් සෙට් එක තමයි අපිට ගල් මුල් වගේ භයානක ආයුධ වලින් ගහන්න ගත්තේ“

“ඉතින් බොලා ලේස්ති කරං ඉදපු වතුර ප්‍රෙශර් කරල මිනිස්සුන්ට ගහල එලවල දාන්න තිබ්බණේ.මොන බම්බුවටද වතුර බවුසර් තියාන හිටියේ තනියට ද?“

“මිනිස්සුන්ට ගහන්න තමයි රජතුමනි ඒවා ගෙනාවේ.ඒත් අපිට දුක හිතුන“

“හැක්… දුක හිතුණා?“

“එහෙමයි රජතුමනි.මේ මිනිස්සු ලිං වල වතුර ඇසිඩ් නිසා බොන්න,නාන්න බැරි නිසානේ මේ උද්ඝෝෂණය කළේ“

“ඉතිං“

“අපි හදිසියට මේ බවුසර් පුරවං හිටියේ ඒ පැත්තේ ලිං වතුරෙන් ම නේ“

“ඉතිං“

“ඉතිං ඒ ඇසිඩ් වතුරම මිනිස්සුන් ගේ ඇඟට විදින්න අපට දුක හිතුණා“

“ඒක නිසා වෙඩි තිබ්බා?“

“වෙඩි උණ්ඩ වල pH අගයේ ගැටලුවක් නෑනේ රජතුමනි – මට කොයි රටේ තානාපති කමද දෙන්නේ?“

“උඹට උඹට උඹට දෙන්න වටින්නේ අපායේ තානාපතිකම, පලයන් යන්න මගේ දෑහැට නොපෙනී“

[හුදු කල්පිත ප්‍රබන්ධයකි.මෙහි චරිත, සිද්ධී, ස්ථාන සියල්ල නිර්මාණයන් ම පමණි]

නෑ නෑ දැන් එයා මෙහේ නෑ – Where is he?

දයාබර ප්‍රේක්ශක හිතවතුනි.“බොල් නද“ සජීවි සංවාදාත්මක වැඩසටහන හා එකතු වූ බුද්ධිමත් ඔබ සැම සාදරයෙන් පිලිගන්නව “ආයුබෝවන්” කියල.කවදත් සමාජයේ සුවිශේෂී චරිත ඔබ ආලින්දයට කැඳවාගෙන එන  අප අද ඔබ හමුවට ගෙන එන්නෙ අතීත චේතීය පරපුරේ අවමානවත් උදාර වත්මන් නියෝජනය ලෙස කටපුර බය නැතිව කිව හැකි දේශප්‍රේමි චරිතයක්.විල මැද බංගලාවේ තවත් කුජීතයෙක්.ඔබ සැම හොදින් ම හඳුනන එතුමා නමින් මරු කියෝන රාළලා ගේ මුවින්ඩික.හොඳයි අපි එතුමා අපේ දයාබර ප්‍රේක්ශකයන් වෙනුවෙන් “ආයුබෝවන්“ කියල සාදරයෙන් පිළිගන්නව අපේ මැදිරියට.
“ආයුබෝවන්”
“හොඳයි මුවින්ඩික මැතිතුමනි,කාල වේලා ගතවන නිස අපි කෙලින් ම කතා බහට ම එකතු වෙමු එහෙනම්.මම මුලින්ම කැමතියි ඔබ තුමා මේ දිනවල වඩාත් ම ජනඅප්පිරියතාවයට ලක් වූ හෙලිදරව් කිරීම ගෙන අහල මේ කතාබහ ආරම්භ කරන්න.ඇත්තටම ඔබතුමාට අතුරුදහන් වුන මාධ්‍ය වේදීන් ගැන තොරතුරු ලැබෙන්නෙ කොහොමද?”
“ඔය අතුරුදන් වෙච්ච උන් මාධ්‍යවේදියෝ නෙවේ මල්ලි”
“එහෙනං”
“ඔය ගොල්ල මාධ්‍යවේදියෝ නෙවෙයි.දැන් ඔය සුගීත් එකසේරුමඩ ගන්නකො,මිනිහ නිකම්ම නිකං කාර්ටූන් කාරයෙක්”
“හරි කාර්ටූන් කාරෙයෙක් කියමු,කාර්ටූන් කාරයෝ මාධ්‍යවේදියෝ නෙවේද?”
“නෑ නෙ”
“එතකොට කවුද මාධ්‍යවේදීන්ට අයිති වෙන්නෙ?”
“මාධ්‍යවේදීන් කියන්නෙ මල්ලි,හඩුගඳ සමරේ, යකඩ අදර්මන්, ඇහින්ද අසුන්දර වගේ අපේ ලොක්ක ගේ, එතකොට අපේ කුණු හෝදන, ඉගිලෙන මාලුවෝ බිම දාන, පීනන කුරුල්ලෝ ගොඩදාන දේශප්‍රේමීන්ට නේ”
“ඇහුවට මොකුත් හිතන්න එපා.මමත් මාධ්‍යවේදීයෙක් නේද?“
“මේ මගේ ඇඟේ තියෙන මඩ ටික හොදල දෙනවකෝ.තමුසෙටත් මාධ්‍යවේදීයෙක් වෙන්න පුලුවන්“
“හරි හරි, එතකොට ඔය අතුරුදන් වුණ සුගීත් කාර්ටූන් කාරය ඇත්තටම කොහෙද ඉන්නෙ?”
“ප්‍රන්ශේ සහ අල්ලපු රට බෙල්ජියමේ තම පොර ඉන්නෙ.ඔය හැම රටකම මගෙ යාලුයෝ ඉන්නව නෙ මට නිවුස් එනවා.”
“ඇත්තටම පොර ප්‍රන්ශෙ ඉඳන් මොනවද කරන්නෙ?”
“මම මේ මුල් වතාවටයි මාධ්‍යයට කියන්නෙ.මේක විශේෂ හෙලිදරව් කිරීමක්.පොර ප්‍රන්ශෙ ඉදන් ප්‍රන්ශ විප්ලවය බෙල්ජියම ට කොපිපේස්ට් කරල බෙල්ජියම් විප්ලවේ කරල ආණ්ඩුව පෙරලන්නයි ඔය අර අඳින්නෙ”

“මොනවා, බලන්න දායාබර හිතවතුනි “බොල් නද“ අද මේ කරන සුවිශේෂී හෙලිදරව්ව“

“ඉතින් ඔබතුමා මේ ගැන බෙල්ජියම් රජය දැනුවත් කලාද?”
“නෑ මල්ලි,අපිට මොකටද මල්ලි අනුන්ගෙ රටවල් වල දේවල්,අපි අපේ දෙයක් බලන් ඉම්මු”
“එහෙනම් ඔබතුමා අපේ  විල මැද බංගලාවේදී කිව්වෙ සුගීත් ගැන විස්තර?”
“මේකනෙ මල්ලි,සුගීත් කොහෙද කියල අහ අහ මගෙන් වදේ නේ හැමදාම.ඒකයි කියල දැම්මෙ”
“එහෙම නැතුව ඔතන ඉදන් විල මැද බංගලා වරප්‍රසාද වලට මුවා වෙලා ඔනි ඇත්තක් බය නැතුව කියන්න පුලුවන් නිසා හෙම නෙවේ?”
“පිස්සුද මල්ලි?අපි එහෙම ඇත්ත කියන්න බය වෙනවද? මම ඊයෙ පෙරේදා තරාදිය අතට ගත්තු නෝනා ගේ ගෙදරට ගිහින් ඕකම කිව්වෙ, කිසි බයක්  නැතුව”
“ටිකක් අප්සෙට් ව හිටපු ලොක්කිවත් එලවල දැම්ම නිසා බය දැන් වෙන්න ඕනිම නෑ නේද? අනික දැන් එතන ලොක්කත් සූගීත් ඉන්නන තැන දන්න කෙනෙක් වෙච්චි කොට නේද?”
“මොනවද මේ කතා.රාජ් කුමාරයා නොව්නට අපි එඩිතර ගමේ කොල්ලො.ඔය වගේ දෙයක් යූ එන් සමුලුවේ උනත් කියන්න අපි බය නෑ යකෝ”

“ඒ වුනාට ඔබතුමගෙ ඉස්කෝලේ යාලුව ශොට් ඇම්ප්ලිෆීයර් කිව්වලු  නේද සුගීත් ප්‍රන්ශෙ නෑ කියල.ඔබ තුමාට පට්ට නෝන්ඩියකුත් දාල තිබ්බේ”
“ඕක ඔහොමමයි,ඒකාලෙත් ඕක මට උගෙන් කොපි කරන්නවත් දුන්නෙ නෑ විභාග වලදි.මොකවත් නෙවේ මල්ලි,ඉරිසියාව.වතිකානුවට වඩා ලොකුයි ඕකුන්ගෙ ඉරිසියාව”
“ඒ උනාට දැන් ඔබතුමා එක්ක විල මැද බංගලාවේ ජොබ් එක කරන බුවෙක් පස්සේ මාට්ටු කරගත්ත නේද නේද ශාක්සියට”
“අන්න බලන්න මල්ලි,සැන්ඩ්ල්වූඩ්.පොර දැකල තියෙනව සුගීත් ව බෙල්ජියමෙදි.මූ පැරිස් ඉදල ඒසී බස් එක්ක තමයි බෙල්ජියමට ඇවිත් තියෙන්නෙ”
“බෙල්ජියමේ මොන නගරෙටද මන්ත්‍රී තුමා බුවා ඇවිත් තියෙන්නෙ?”
“ආ……….මේ නගරේ නේද………………………..ඒක ඒක …. උඹ අහගනින් සැන්ඩ්ල් ගෙන්ම”
“සැන්ඩ්ල්වූඩ් කිව්ව නේ එයා ඔබතුමාට එහෙම කතාවක් කිව්වෙ නෑ කියල.”
“බලහන් බන්,ඉස්කූලෙ යන කාලෙ වගේ දැන් ජොබ් එකක් කරද්දී එතනත් ඉරිසියා කාරයෝ.දැන් මම තව එකෙක් හොයා ගන්න එපැයි අරූ ඉන්න තැන කියන්න. ඊලඟ කැබිනට් සංශෝධනයේදී පුංචි ඇමතිකමක් වත් ගන්න මට නෑනේ කිසි සපෝර්ට් එකක්”
“එක රටේ පුරවැසියෙක් හැටියට මම ඔබතුමාට ඔත්තුවක් දෙන්නද සුගීත් ඉන්න තැන ගැන?”
“කියහන්කො බන්”
“හැබැයි මටත් පොඩි උඩව්වක් ඕනි”
“මොකක්ද ඕනි උදව්ව?”
“ඔය ලැප් ටොප් මට වැඩක් නෑ.ඔබතුමාට පුලුවන්ද මට පිටරටකට සිස්සත්තයක් අරන් දෙන්න.මම කියන්නන් සුගිත් ඉන්න තෙනෙ ටක්කෙටම”
“සිම්පල් වැඩක් නෙ සිස්සත්තෙ හෙටම හදල දෙන්නම් උඔට.කියහන් කොහෙද මිනිහ ඉන්නෙ?ඊලඟ දවසෙ උසාවියට කියන්න උඹේ නමත් එක්කම”
“පොර ඉන්නෙ ලොවි ගහේ”
“හැහ්…. කොහෙද?”
“ලොවි ගහේ හලෝ, ලොවි ගහේ”

ප.ලි.අන් මත ගරු කරමු! කථනයේ ප්‍රකාශනයේ අයිතිය සුරකිමු !

කොරියාවෙත් ගිණි (ප්‍රබන්ධයකි) – Korea is on fire (A fiction)

ලැබුවා වූ අලුත් අවුරුද්දේ වැඩ අල්ලන්නේ කොහොමදැයි කල්පනා කරමින් සිටි මහරජතුමාට එකපාරටම කල්පනා වූයේ කොරියානු අර්බුදයට මැදිහත් වුනොත් කොහොමදැයි කියාය. අතීතයේ දවසක ජපානය ද මෙවන් යුද්දෙකට පැටලෙන්න ගිය මොහොතේ තමාගේ අතිජාත ගුරු පප්පා මහරජතුමා, “නහී වේරේන වේරානී” යන ධම්මපද ගාථාව දෙසා ඒ යුද්ධය නතර කළ බවට වූ කතාවක් මහරජතුමා ගේ සිහියට ආවේය. ඒකට තෑග්ගක් හැටියට ලු ආශ්චර්ය දීපෙට ටැලිවිසොං පෙට්ටියත්, ඇදං එක්දහස් එකක් තියෙන ශ්‍රී පප්පාපුර ඉස්පිරිතාලෙත් හම්බ වුණේ. මේ පාරත් කොරියානු යුද්දෙ නතර කලොත් මොනාහරි තෑග්ගක් හම්බවෙන බවට මහරජතුමාට හොදටම ශුවර්ය.

ඒ කෝපි කාලේ ආශ්චර්ය දීපයේ ටැලිවිසොං සංස්ථාවක් නොතිබුණ නිසා ඒකක් තෑගි ලැබුණත් අද තෑගි හැටියට ලැබෙන්ට ආශ්චර්ය දීපෙට අඩු මොනවාදැයි මහරජතුමා කල්පනා කළේය. ඒ හම්බවෙච්ච ටැලිවිසොං එකෙත්, පස්සේ ආණ්ඩුවට ගත්තු නයිටීඑන් එකෙත්, වැවේ ගෙදර පත්තරෙත් කියන හැටියට දැන් ආශ්චර්ය දීපෙට මොනවායින් වත් අඩුවක් පාඩුවක් නැති නිසා දෙන්නට තෑගි හොයන්නට ගොස් කොරියාව තවත් අර්බුධයක පැටලේ යයි මහරජතුමාට බියක් ද දැනෙන්නට විය. ආශ්චර්ය දීපයේ දෙවෙනි සැටලයිටය (පළවෙනි එක දැනටමත් උඩු ගුවනනේය), තව අධිවේගී මාර්ග දෙක තුනක්, කොටුවේ වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් වගේ කණු දෙකක් හම්බන්තොටටත්, නෙලුම්පොකුණ වගේ තව පොකුණක්, හම්බන්තොටටත් ගොල්ෆේස් පිට්ටනියක් (නෑ යාල ෆේස්), හම්බන්තොටත් මුහුද ගොඩකර තවත් නගරයක් ආදී වශයෙන් විකල්ප යෝජනා රාශියක් ඉදිරිපත් කොට එම අනාගත අර්බුදයෙන් ද කොරියාව ගලවාගමියි මහජරතුමා සිතීය. මේ මොන ප්‍රොජක්ට් එකෙන් උනත් යුවරජවරුන්ට සෙසන්ට්ප්‍රේජ් ලැබෙන විදියට ගිවිසුම් ගහගත්තොත් ඒ ඈයෝ ද ගොඩය. මොනව හැදුවත් මහරජතුමා ගේ නම නම් ගහගන්නවා මය.

නේපාලය වැනි රටවලට රාජතාන්ත්‍රික කටයුතු වලට ද උපදෙස් දෙමින් (ඒ රටවල් ඉරිසියාවට පස්සේ නැතැයි කීවද) ජාත්‍යන්තර වශයෙන් තමන් ලබා ඇති ප්‍රතිරූපය මෙමගින් තවත් පුම්බාගත හැකි වනු ඇතැයි ද රජතුමා කල්පනා කළේය. මේවා ඉතිං මට ම කල්පනා වෙන්ට ඔනි, හැටහුටාමාරක් ඉන්න රාජ උපදේශකයෝ එකෙකුට මෙව්වා මතක් වෙන්නේ නෑනේ යි තමාටම කියාගත් රජතුමා රාජඋපදේශකයන් ගැන ඇත්තටම දුක්විය.

හරි එතකොට දැන් මොකක් ද කොරියාවේ රජාට දෙසාබාන ධර්ම පාඨය. පප්පා රජතුමා කිව් එක නම් පට්ට වුණාට ඒකම කීවොත් නෝන්ඩිය. පප්පා රජතුමා ගේ බෑන කුමාරයා ද අයිතිවාසිකම් කියාගෙන එන්නට බැරි නැත.(කලු කෝපි බොන්නට දී ශේප් කිරීම වෙනම වැඩකි). පිරිවෙන් පුස්ථකාලයේ ජොබ් එක කර තිබුණ ද ධම්මපදය තමුන්ට “වැඩිය බැරි” බව මතක් වී රජතුමා විස්සෝප වූයේය. ඒත් අවුලක් නැත දේවදත්ත නිකායේ හාමුදුරු සෙට් එක හැම තිස්සේම තමා වටා ඉන්න නිසා උදව්වක් ගන්නට බැරිකමක් නැත.

හාමුදුරුවන්ට කෝල් කරන්න යනවිටම රජතුමා ගේ දුරකථනය රිං වූ අතර එහා පැත්තෙන් කතා කළ එකා කිවේ උතුරේ පලවන දවාලන් පුවත්පතට කවුදෝ ගිණි තබා ඇති බවකි. සුදුසු දහම් පාඨයක් සෙවීමේ කටයුත්ත සෙකට්‍රි හීරෝතුංගට පැවරූ රජතුමාට දවාලන් පත්‍රය ගිණිගත්තේ කෙසේදැයි රාජ පුරුෂ සේවාවේ මාධ්‍ය ප්‍රකාශක ගෙන් වහාම විමසා සිටියේය.

“මේක රජතුමනි ඒ පත්තරයේ ම කට්ටිය අවුරුදු චාරිත්‍ර සමරන්ට ගිහින් වෙච්ච කේස් එකක් – අපිට ඒක හොයාගන්න පැය හතරයි ගියේ”

“මොකක්, කවුද බං පත්තර කන්තෝරු වල අවුරුදු සමරන්නේ?” රජතුමා විස්මයට පත්විය.

“මේකනේ රජතුමනි, පත්තරේ කර්තෘ ඇතුලු සෙට් එක කන්තෝරුව ඇතුලෙම නැකැත් චාරිත්‍ර කරන්ට ගිහින්. ලිපි ගිණි මොලවද්දි වෙච්ච අත්වැරැද්දකින් තමයි ප්‍රින්ටිං මැෂින් ගිණි අරං තියෙන්නේ. වැඩේ වැරදුණාම උන් එතනින් මාරු වෙලා” මාධ්‍ය ප්‍රකාශක පැහැදිලි කරන්නට විය.

අනේ මේ මිනිස්සුත් කරගන්න දේවල්. රජතුමා කම්මුලේ අත තබාගෙන කල්පනා කරන්නට විය.

බූස්ටන් මහා බක්මහ උලලේ මැරතං තරගයට එල්ල වූ බෝම්බ ප්‍රහාරය ගැන රජතුමාට ආරංචිය ආවේ මෙලෙස කල්පනා කරමින් සිටින අතරතුරය. එතුමාට එකපාරට ම සිහිපත් වූයේ තම ලෝකොලේජ් මිත්‍ර රාජ් ඇමතිවය. ඕකනේ කියන්නේ ත්‍රස්තවාදය ඉවරකරන්න ඕනි කියලා යයි තමාටම කියාගත් රජතුමා දැන් ආශ්චර්ය දීපයේ ත්‍රස්තවාදය, ප්‍රචාතන්ත්‍රවාදය, අමරාවිකක්කේපවාදය තබා පානදුරාවාදයවත් ඉතිරි නොකොට සුද්ද කර දැමීමට තමන්ට හැකිවීම ගැන මහත් ආඩම්බරයට පත් විය (බෙහෙතකට වගේ දැන් ආශ්චර්ය දීපයේ ඇත්තේ බඩගෝස්තරවාදය පමණි). පසුව එතුමා ඔබා රජතුමාට කතාකරන්න ඔනි යයි සිතා ඇමතුමක් ගත්තේය. ඊට කලින් තම මාළිගයේ ද කැබිනෙට්ටුවේ ද සිටින ඇමරිකන් පුරවැසියන්ට එතුමා  බූස්ටන් ප්‍රහාරය ගැන තම හදපිරි ශෝකය පල කලේය.

“හා ඔබා ප්ලීස් ඇක්සෙපිට් මයි ඩීපස්ට් සිම්පති රිගාරඩින් ද බූස්ටන් ටෙරර් ඇටෑක්” යනුවෙන් පටන්ගත් රජතුමා “යූ නෝ හව් වී ඩිෆීටඩ් ද ටෙරරිසම් ඉන් ආශ්චර්ය දීප්?” යනුවෙන් ත්‍රස්තවාදය පරදවන ආකාරය ගැන හෙන පොරටෝක් ලෙක්චර් එකක් ඔබා රජුට දීමට සැරසුනේය.

“මේ හලෝ, ඔහෙලයි හමුදාව ට්‍රේන් කරල, වෙපන්ස් දීල, ටෙක්නිකලි ඇඩ්වයිස් කරල ටෙරා වැනිශ් කරන් උදව් කලේ අපි නෙවෙයි ද? – විස්සක් කපපු එක පනහ කරගන්න ඔනෙද?” යනුවෙන් මහරජු නෝන්ඩි කර ඔබා දුරකථනය විසන්ධි කළේය. මූ කියන්නෙත් ඇත්ත නේන්නම් යයි කල්පනා කළ රජතුමා සෙකට්‍රි හීරෝතුංගට කතා කොට සුපිරි ම දහම් පාඨයක් ඉගෙන ගත්තේය.

දහම් පාඨය හොදින් කටපාඩම් කරගත් රජතුමා කිං ජෝං ඉල් රජතුමාට දුරකථන ඇමතුමක් ගත්තේය.

“හෙලෝ මචං, මොකක්ද බං උඹල ඔය යුද්ධයක් කරන්න යන්නේ ඔන්න ඔය …………….

රජතුමාට කියන්න ලැබුණේ එපමණකි.

“ඇයි මීට කලින් යුද්ධ කරනව දැල නැද්ද? නිකං යනව මනුස්සයෝ වැඩක් බලාගෙන”

යනුවෙන් කෑගැසූ කිං ජෝං ඉල් රජතුමා මහ හඬින් රිසීවරය තැබුවේය. ආශ්චර්ය දීපයේ ආශ්චර්ය කොරියාවේ පිහිටෙන් තවත් වැඩි දියුණු කිරීමට සිතා සිටි රජතුමා  ගේ සිහින බොඳවී ගියේය.