සංඝරාජ හිමියන් ගේ දානය සහ කුඩු කන්ටේනරය-An useless struggle

DOg fighttingවැලිවිට අසරණ සරණ සරණකර සංඝරාජ හිමියන් මෙරට බෞද්ධ ඉතිහාසයේ අතිශයින් වැදගත් චරිතයකි.වැලලී යාමට ගිය බුදු සසුන යලි නගාසිටුවනු වස් බුරුමයේ සිට මෙරටට වැඩම කරවා උපසම්පදාව යලි ස්ථාපිත කිරීමට අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව කටයුතු කලේ උන් වහන්සේ ය.සිදු කරන ලද ශාසනික සේවාව නිසා උන්වහන්සේ එවකට සෙංකඩගල රජ ව සිටි පළමුවෙනි විමලධර්මසූරිය රජතුමා ගේද නොමද ගෞරවයට ලක්ව සිටිසේක.

මහනුවර මල්වතු විහාරයේ වැඩ සිටින අතර දිනක් උන්වහන්සේට අපූරු සිතිවිල්ලක් පහල විය.එනම් බලු-කපුටු දානයක් දීමේ අදහසයි.කුඩා පරිමාණයෙන් බල්ලන් දෙතුන් දෙනෙකුට නොව මේ පුණ්‍යකර්මය මහ ඉහලින් ම කළ යුතු යයි කල්පනා කළ උන්වහනසේ රජතුමා ගේ ද සහයෝගය ලැබ හැකි ඉහලම මට්ටමින් බලු-කපුටු දානය සංවිධානය කළේය.ඉස්තරම් ම ආහාර ද්‍රව්‍ය රැස් කොට අහල ගම් හතක පමණ සිටින බල්ලන් ද මල්වත්තේ පංසල් මිදුලට රැස්කෙරිණි.පුංචි සිරීපාද කන්දක් මෙන් පෙනෙන ලෙස දන් ගොඩ ගොඩ ගස්වා බල්ලන් කැදවා කෑමට සලස්වන ලදී.අහෝ ! බල්ලන් දන් වැළඳුවේද?නැත එතැන සිටි බල්ලන් සියල්ලන්ට වේල් තුන හතරකට සෑහෙන පමණ ආහාර ප්‍රමාණයක් එහි තිබුණ ද බල්ලන් ඒවා කෑවේ නැත.ඒ වෙනුවට අනෙක් බල්ලා තමාගේ කෑම ඩැහැ ගනී සිතා සෑම බල්ලෙක් ම වෙනත් බල්ලෙක් සමග පොරයට පිවිසිණි.දානය දී ස්වල්ප වේලාවකින් බලන විට දන් ගොඩ එහෙමම පැත්තකය-මිදුලේ අනෙතක් කෙලවර බල්ලන් එක පොදියට “බලු පොරයේය“.

මේ දුටු රජතුමා “සඟ රජ වුනත් ඉතිං ගම තුම්පනේ නේ“යයි කියූ බවත් ඒ ප්‍රස්තාව පිරුල ජන වහරට එක් වූයේ ඉන් පසුව බවත් ජන සාහිත්‍යයේ  දැක්වේ.

මේ අතීත කතාව මතක් වූයේ මේ දින වල කුඩු කන්ටේනරයක් සම්බන්ධව රටේ දෙපිරිසක් මහා බලු පොරයකට වැටී සිටිනු දක්නට ලැබෙණ විටය.

කුඩු කන්ටේනරය රේගුවෙන් නිදහස් කිරීමට අගමැතිතුමා ගේ ලේකම් වරයෙකු ලිපියක් දුන්නේ යයි වාර්තා පලවෙයි.එය පදනම් කරගෙන අගමැති තුමා තනතුරෙන් ඉල්ලා අස්විය යුතු යයි හෙළ උරුමය කෑගසයි.චීවරධාරියෙක් තමන් අස්වන්නට බලකරන්නේ යයි අගමැති කෑගසයි.චීවරධාරියා යයි තමන් අපහාස කළ අගමැති තමන්ගෙන් සමාව ගතයුතු යයි හිමි නම කෑගසයි.හිමි නම ගේ නියෝජිතයෙකුට නගරසභාවට නාමයෝජනා නොදුන් බැවින් තමන්ට පහර ගසන බව අගමැති යලි පවසයි.නායක හිම නමකට අපහාස කළ අගමැති ගෙදර යනු කියමින් හෙළ උරුමය උසාව  ගොස් නඩු දමයි ,යලි කෑගසයි.තමන් සමාව ගැනීමට සූදානම් නැතැයි අගමැති යලි කෑගසයි.අගමැති කාර්යාලයට පෙලපාලියෙන් යල හිමි වරු පිරිසක් කලහකාරී ලෙස හැසිරෙමින් පොලීසිය සමඟ ගැටේ.හිමි නමක් පහර කෑමට ලක් වන අතර ඊට අගමැති වගකිව යුතු යයි අර හිමි වරු නැවත කෑගසයි.

මේ සියල්ල අතරේ මිදුලේ ගොඩ ගැසුන දානය ගොඩ කාට කාටත් අමතකය.දකුණු ආසියාවෙන් හමුවූ විශාලතම මත්ද්‍රව්‍ය තොගය කාටත් අමතකය.අනුර දිසානායක මන්ත්‍රී වරයා පවසන පරිදි මේ අතර කුඩු වලින් භාගයක් පමණ මේවන විට අතුරුදන් වීලාය.රූපවාහිනී කැමරා ද ඒ හරහා රටම ද බලු පොරය තලු මරමින් බලා සිටින අතර කුඩු ගෙනා එකා පාඩුවේ තමන් ගේ බිස්නස් එක කරගෙනය.

තමන්ට සිදු වන අපහාසය ගැන තම ආඩම්බරය ගැන සංවේදී වනු මිසක මේ ජාවාරම් කරුවා කොටු කරගැනීම පිලිබදව කිසිවෙකු ගේ හෝ අවධානයක් යොමුවන බවක් නොපෙනේ.මේ ජාවාරම් කාර දුර්ජනයා නිසා රටේ තරුණ පරපුරට සිදුවන විනාශය කිසිවෙකුටත් නොපෙනේ.අගමැති ගෙදර යාම හෝ නැතහොත් රුපියල් වලින් අපහාස වන්දි ගෙවීම හෝ එසේත් නැත්නම් හෙළ උරුමය ගෙදර යාම හෝ මත්ද්‍රව්‍ය ජාවාරම හා සසදන විට නොගිනිය හැකි තරම් කුඩා දේය.මේ ජාවාරම් කරුවා අල්වාගත යුතුය.ඔහු ගේ අලගිය මුල් ගිය තැන් සොයාගත යුතුය.නීති ප්‍රකාරව දඬුවම් කළ යුතුය.

හෙරොයින් මිලී ග්‍රෑම් ගනනක් ලඟ තබාගැනීම අපරාධයක් වන පසුබිමක කිලෝග්‍රෑම් තුන්සිය ගණනක හෙරොයින් වෙළඳාම් කරනා ජාවාරම්කරුට ගැවීයාමට ඉඩ දීම ජාතික අපරාධයකි.එයින් සිදු වන්නේ මේ ජරමර අස්සේ තවත් විස මත්ද්‍රව්‍ය තොගයක් ශරීරගතව පරපුරක් දංගෙඩියට යාම පමණකි මේ ඛේදවාචකය වැලැක්වීම බලධාරීන් ගේ වගකීමයි.

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 26/01/2014, in කාලීන. Bookmark the permalink. 2 Comments.

  1. මුස්පේන්තු පාලනයක්….මට නම් වෙන කියන්න වචණයක් නැහැ.

ඔබේ අදහස් දහස් වටී ....................