පොතක් ගැන යමක් – Its about a scientific fiction

Ubbhayajeeva

මා කියැවූ සංවේදී ම විද්‍යා ප්‍රබන්ධය ගැනයි මේ සටහන.

සල්වාතර් ආර්ජන්ටිනාවේ වෙසෙන ජීව විද්‍යාඥයෙක්(දකුණු ඇමරිකාව ආක්‍රමණය කළ සුදු ජාතිකයින්ගෙන් පැවත එන්නෙක්).ඔහු තම අභිරහස් පර්යේෂණාගාරය තුල විවිධාකාර අත්හදා බැලීම් කරන්නේ ජීවීන් ශල්‍යකර්ම වලට භාජනය කිරීමෙන්.රියෝදිලාප්ලාතා හි සැඟවුණ වෙරළබඩ පෙදෙසක ලෝකයාට රහසක් ව පවත්වා ගෙන යන මේ පරීක්ෂණාගාරය තුල විවිධාකාරයට ශරීරාංග වෙනස් කරන ලද ජීවීන් විශාල ගනනක් ජීවත්වෙනවා.(දෙවියන් වහන්සේ ගේ නිමැවුම් වෙනස් කරන්නේ යයි විටෙක සාම්ප්‍රදායික ආගමික විශ්වාස සල්වාතර් සමඟ ගැටෙනවා).

ස්වදේශික සාමාන්‍ය ජනතාවට සල්වාතර් යනු වෛද්‍යවරයෙක්.නිකන් ම වෛද්‍ය වරයෙක් නොවේ.සුව කළ නොහැකි රෝග සුවකරන විස්කම් වෙදැදුරෙක්.දිනක් ඔහු වෙත එන ගැමියෙක් අලුත උපන් දුර්වල බිලිඳු දරුවෙක් ගෙනත් දෙන්නේ දරුවා ගේ ජීවිතය කෙසේ හෝ බේරාදෙන ලෙස අයැදිමින්.සල්වාතර් කොහොමත් ජීවත් කරවිය නොහැකි මේ මේ ළදරුවා තම පර්යේෂණයක් සඳහා යොදාගන්නවා.ඔහු ළදරුවා ගේ ගේ දුර්වල පෙනහලු සමඟ මත්ස්‍ය කරමලක් බද්ධ කර ගොඩබිම ද ජලයේ ද ජීවත් විය හැකි අපූරු “උභයජීවියෙක්“නිර්මාණය කරනවා.නමුත් ඔහු දරුවා ගේ භාරකරුවන් ගෙන් මේ බව සඟවනවා.ඔහු ලෝකය පවසන්නේ දරුවා මියගිය බවයි.

අර්ධමිනිස් අර්ධ මත්ස්‍ය දරුවා සල්වාතර් ගේ විද්‍යාගාරය තුල වැඩෙනවා.ඔහු “පියා“කියන්නේ සල්වාතර්ට.එක දිගට දිගු කලක් ගොඩබිම ජීවත් විය නොහැකි මේ මීන මානවයා (ඔහු ගේ නාමය වන්නේ ග්‍රීක බසින් මීන මානවයා යන අර්ය ඇති ඉක්තිඇන්දර් යන්නයි)ඔහු ගේ “පියා“විසින් මහ සයුරට හුරු කරනු ලබනවා.විද්‍යාගාරය තුල ඔහු ජීවත් වන ටැංකිය කෙලින් ම විවර වන්නේ මහ සයුරට.මහ මුහුදු කෙලිබිම වන ඔහු ගේ මිත්‍රයා වන්නේ ඩොල්ෆින් මසෙක්.පොදුවේ සියලු මුහුදු ජීවින් ද විශේෂයෙන් ම මාලුන් ඔහු ගේ සමීප මිතුරන්.

මහ සයුරේ ඉහලින් වැටෙන දැල් වල පැටලෙන මාලුවන් ගේ ජීවිත ආරක්ෂා කිරීම උදෙසා ඉක්තිඇන්දර් එම දැල් කපා දමනවා.ගෙබ්බෙකු මෙන් විශාල ඇස් ඇති,මාලු දැල් කපා දමන මේ අත්භූත ජීවියා සමහර ධිවරයන් විසින් කීප විටක් දකිනවා.මේ “මුහුදු යකා“ නිසා භීතියට පත්වන ධිවර ප්‍රජාව එපෙදෙසේ මූදූයාම නතරකරනවා.

නමුත් මේ අභිරහස පිලබඳව උනන්දුවන පේද්‍රෝ සුරිතා ඉක්තියැන්දර් පිලිබඳව හෙලිදරව් කරගැනීමට උත්සහ දරනවා.ඔහු ගැඹුරු මුහුදේ මුතු ගවේශනය කරන ව්‍යාපාරිකයෙක්.

මුදලට කමාට මෙහෙකරන කුලීකරුවකු මාර්ගයෙන් ඉක්තියැන්දර් තමාසතු කරගැනීමට සුරිතා සමත්වනවා.මුතු සොයන මිනිසෙකු මෙන් විනාඩියක් දෙකක් නොව ඕනෑම තරම් වේලාවක් දියයට සිටිය හැකි ඉකියැන්දර් ගැඹුරු මුහුදේ මුතු සොයන ඔහුට මිල කල නොහැකි සම්පතක්.කාළය හෝ දේශසීමා බිලිඹද වෙනසකින් තොරව කපටි ව්‍යාපාරිකයින් සියල්ලන්ට ම පොදු වූ අධික ධන තණ්හාවෙන් සුරිතා ද පෙලෙන නිසා ඉක්තියැන්දර් පත්වන්නනේ දැඩි පීඩනයකට.ඒ අතර  ඔබ මා මෙන් ම මොලොව සියල්ලෝ ම දිවි දෙවෙනි කොට අගයන පුද්ගලික නිදහස නැතිවීම අහිංසක ඉක්තියැන්දර්ට දරාගත නොහැකි වනවා.

හැලහැප්පීම් ගණනාවක් මැද ගලායන මේ මීන මානවා ගේ ජීවිතය අවසානයේ යොමු වන්නේ ඔහු උපන් ප්‍රදේශයෙන් බොහෝ දුරබැහැර මූදුකරයට.ඒ ඔහු ගේම යහපතටයි.

නමුත් ඔහු ගේ වියෝගය දරාගත නොහැකි වේදනාවක් බවට පත් වන අයෙක් ද මේ කතාවේ පාත්‍රවර්ගයා අතර සිටිනවා.ඒ ඉක්තියැන්දර් ගේ සැබෑ පියා.ඔහු සුරිතා වෙත මේ “මුහුදු යකා“ලබාදීම උදෙසා ඔහුට මුදලට බැල මෙහෙ කරන්නේ මේ උපන් විගසම මිය ගියා යයි සැලකූ තම පුත්‍රයා බව කිසිසේත් ම නොදැනයි.කලකට පෙර තම සොයුරා වෛද්‍ය සල්වාතර්ට තම බිලිඳු දරුවා සුවකිරීමට භාර දුන් බවත් මේ මුහුදුයකා යනු අන්කවරෙකුවත් නොව ඒ දරුවාම බව ඔහු දැනගන්නාවිට බොහෝ ප්‍රමාදවීලාය.

මේ “උභයජීව“කතාන්දරයේ (අසම්පූර්ණ)සාරාංශය.මුල සිට අගටම එක හුස්මට කියවා නිම කළ හැකි අතිශයින් රසවත් මේ කෘතිය දකුණු ඇමරිකාව පසුබිම් කොට ලියැවූවක් වුවද රචකයා රුසියානු ලේඛක ඇලෙක්සැන්ඩර් බෙල්යායෙව්.(අවාසනාවට මෙය සිංහලට නැගූ පරිවර්තකයාගේ  නම මගේ මතකයේ නැහැ.මෙය කියවන ඔබ දන්නවා නම් සටහන් කරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා-තිසර සහ තවත් පාඨක මිතුරක් ගෙන් දැනගත් පරිදි මෙය සිංහලට පරිවර්තනය කලේ ජේ.ඊ.ගුණසේකර මහතා.ස්තුතියි !)

විද්‍යාප්‍රබන්ධයක් ගැන කීමේදී “සංවේදී“යන වචනය අදාල වන්නේ කෙසේදැයි සමහර විට ඔබට සිතේවි.ඒත් උභයජීව අවසන් වන්නේ එක්තරා ඛේදාන්තයකින්.කිසිදා නැවත එතැයි බලාපොරොත්තු විය නොහැකි ඈතකට ගොස් සිටින තම ලෙයින් උපන් පුත්‍රයා එතැයි බලාපොරොත්තුවෙන් තෙරක් නොපෙනෙන මහ සයුර දෙස බලා හිදින පියෙක් ගෙන් තමයි කෘතිය අවසන් වන්නේ.

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 24/11/2013, in සාහිත්‍යය/කළා. Bookmark the permalink. 7 Comments.

  1. පොත් කියවීමේ වටිනාකම අද ගිලිහෙමින් යනවාද කියා සැකයක් ඇතිවෙනවා. මමත් වරින්වර ‘මගේ පුස්තකාලයෙන්’ යන විශේෂාංගය යටතේ මගේ බ්ලොග් අඩවියෙන් පොත් හඳුන්වාදෙන්නේ ඒ නිසයි. බොහොම ස්තුතියි මේ හඳුන්වාදීම ගැන.

  2. ඒක ඛේදාන්තයකට වඩා අවිනිශ්චිත බවේ සලකුණක්.ඔයා ලියපු කතාව අනුව ඒ තරුණයාට පෙම්වතියක් මුණගැහුනොත් උපදින දරුවා මොකෙක් වෙයිද?ඕනම විද්‍යා ප්‍රබන්ධයක අවසානය අවිනිශ්චිතයිනේ.ඉතින් ඉතුරු ටික අපිවත් හිතාගමු නේද?

  3. තිසර

    ජේ. ඊ. ගුණසේකර තමයි මේ පොතේ පරිවර්තක. බෙලායෙෆ්ගෙම තවත් පොතක් “කුංචනාද” නමින් පරිවර්තනය කලෙත් ඔහුමයි.

  4. මමත් කැමතිම පොතක්.

    අනුවාදය ජේ. ඊ. ගුණසේකර මහතා

    ළඟදි මම දැක්කා අලුත් පරිවර්තනයක් ගැනත්.

  5. සියල්ලන්ටම ස්තුතියි!
    @විචාරක,මම හිතන්නේ නෑ පොත් කියැවීමේ විනෝදාංශය නම් කවදාවත් මුලුමනින් ම ගිලීහී යයි කියා.ටික ටික අඩුවන බව නම් සත්‍යයයි.
    @මගේනම,ඇත්ත වශයෙන් ම ඉක්තියැන්දර් ට පෙම්වතියක් මුණගැහෙනවා.ඒ පෙම් පුවතත් කෘතියේ ඇතුලත්.
    @තිසර,ඔව් මිත්‍රයා මමත් කුංචනාද කියවල තියෙනවා.
    @අනෝ,ස්තුතියි ඔබ දන්නවාද මේඝයේ මුල් ම ඇනෝ ප්‍රතිචාරය මෙය කියා?

  6. Himesha Nethmini

    මං ආසම පොත් අතරින් එකක්
    දැන ගන්න පුලුවන් ද මේ පොත දැන් වෙළෙඳපොළේ ගන්න තියෙනවා ද කියලා ..?
    මං හෙව්වට හමු උනේ නෑ …..

    • 2016 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දී , ගොඩගේ පොත් මැඳුරෙන් ( bargain ) මා මෙය මිලදී ගත්තා

ඔබේ අදහස් දහස් වටී ....................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: