X නගරයේ පොල් වෙළඳාම – Competition that makes the consumer a king

[W3Lanka හි පලවූ ලිපියකට ප්‍රතිචාර ලෙස දැක්වූ උදිත ගේ අදහස ට පිලිතුරක් ලෙස මේ ලිපිය ලියැවේ.]

වෙලඳපොල තරගකාරීත්ව නිසා පාරිභෝගිකයන්ට උපරිම වාසි ලැබෙන බවට මා මිත්‍ර උදිත තර්ක කරයි. ඒ සඳහා ඔහු උදාහරණ ලෙස ගන්නේ ලංකාවේ ජංගම දුරකතන  සේවා සපයන සමාගම් අතර ඇති තියුණු තරගකාරීත්වය නිසා ජංගම දුරකථන ගාස්තු අඩුවීමයි.

වෙළඳපොල තරඟකාරීත්වයේ ස්වාභාවය හඳුනාගැනීම සඳහා අපි උදාහරණයක් ගමු.

පියදාස මුදලාලි පරම්පරාවෙන් අක්කර ගණනක පොල් ඉඩමක් හිමි ව්‍යාපාරිකයෙකි. ඔහු Xනගරයේ වෙළඳපලට රු.50 ක මුදලකට පොල් ඉදිරිපත් කරයි. මේ පොල් සඳහා ඔහුගේ පිරිවැය වන්නේ ගෙඩියක් සඳහා රු.30 කි. එනම් පොල් වෙළඳාමෙන් ඔහු ගෙඩියක් සඳහා රු.20 ක ලාභයක් ලබයි. ඔහු මසකට පොල් දහසක් විකුණයි නම් ඔහු ගේ මාසික ලාභය රු.20,000 කි.

 සිරිසේන මුදලාලි ද පරම්පරාවෙන් අක්කර ගණනක පොල් ඉඩමක් හිමි ව්‍යාපාරිකයෙකි. ඔහු ද Xනගරයේ වෙළඳපලට රු.50 ක මුදලකට පොල් ඉදිරිපත් කරයි. මේ පොල් සඳහා ඔහුගේ ද පිරිවැය වන්නේ ගෙඩියක් සඳහා රු.30 කි. එනම් පොල් වෙළඳාමෙන් ඔහු ද ගෙඩියක් සඳහා රු.20 ක ලාබයක් ලබයි. ඔහු මසකට පොල් දහසක් විකුණයි නම් ඔහු ගේ මාසික ලාභය ද රු.20,000 කි. නමුත් ඔහුට පියදාස සමඟ තරඟයට පිවිසිය හැක. එනම් ඔහුට පොල් ගෙඩියකින් ලද රු.20 ලාබය රු15 දක්වා අඩුකොට රු.45 ක මිලකට පොල් වෙළඳපලට ඉදිරිපත් කළ හැක. මෙහි අනිවාර්ය ප්‍රතිපලය වන්නේ සිරිසේන මුදලාලි ගේ වෙළඳාම වැඩිවීමයි. සැබැවින් ම ව්‍යාපාරිකයෙක් මෙලෙස තරඟකාරීව මිල අඩු කරන්නේ ද ඔහු සතුව අතිරික්ත නිශ්පාදනයක් ඇති විටය. මිල අඩු කල පසු ඔහු පොල් 1,400ක් අලෙවි කිරීමට සමත් වූයේ නම් දැන් ඔහු (1,400X 15) රු21,000 ක ලාභයක් ලබයි. මෙය පෙරටත් වඩා වැඩි ලාභයක් බව පැහැදිලිය. එනම් එක් පොල් ගෙඩියකින් ලබන ලාභය රු5 කින් අඩු වුව ද ඔහුට සමස්ථ  ලාභය වැඩිවීම ද අතිරික්ත පොල් 400ක් අලෙවි කරගැනීමට හැකිවීමේ ප්‍රතිලාභය ද ලැබේ. Xනගරයේ පාරිභෝගිකයන්ට ද අඩුමිලට පොල් මිලදී ගැනීමේ ප්‍රතිලාභය ලැබේ.

මේ කතන්දරයේ අනෙක් කොටස නම් පියදාස මුදලාලිගේ භූමිකාවයි. තම පොල් වෙළඳාම සාර්ථකව කිරීම සදහා ඔහු ද බොහෝ විට පොල් මිල අඩු කිරීම ට පෙලඹේ (අනිවාරයයෙන් ම මේවන විට ඔහු ගේ වෙළඳාම අඩ වන නිසා). ඔහු තම පොල් ගෙඩියක් රු.40 දක්වා අඩු කරයි. මෙලෙස ව්‍යාපාරිකයන් දෙදෙනෙක් හෝ වැඩිගණනක් සිටින වෙළඳපලක තරගකාරීත්වය නිසා භාණ්ඩ මිල අඩු වීමේ වාසිය ලැබෙන්නේ පාරිභෝගිකයාටය. එහි තර්කයක් නැත. පොල් විකිණීමට සදහා සිටින්නේ පියදා මුදලාලි හෝ සිරිසේන මුදලාලි පමණක් ම නම් එවන් වාසියක් පාරිභෝගිකයන්ට නොලැබෙන  බව ද සත්‍යයකි.මේ වෙළඳපල තරගකාරීත්වය පාරිභෝගිකයාට ලැබෙන ආකාරය පිලිබඳ සරල උදාහරණයකි.

පියදාස මුදලාලිට හා සිරිසේන මුදලාලිට මෙලෙස තරගකාරීව පොල් මිල පහත දැමීමට හැකිවූයේ පොල් නිශ්පාදකයා ද තමන් ම වීම හා ස්ථාවර ප්‍රාග්ධනයකට (පොල් ඉඩම) හිමිකම් කී නිසාය. එසේ නොවී මේ  ව්‍යාපාරිකයන් දෙදෙනා පොල් අලෙවි කරන්නේ තොග වෙළෙන්දෙකු ගෙන් මිලට ගෙන නම් හෝ අලුතින් මිලට ගත් පොල් වත්තකකින් නම් හෝ මෙලෙස තරඟකාරීව මිල අඩුකිරීමට ඔවුන්ට ඇති හැකියාව සීමිතවේ.මක්නිසා ද ඒ ස්ථාවර ප්‍රාග්ධනය අත්පත් කරගැනීමට වැය වන පිරිවැයේ යම් ප්‍රතිශතයක් ද පොල් ගෙඩියේ මිලට අනිවාර්යයෙන් ම එකතු වීමයි.

දැන් මේ පොල් උදාහරණය අපරටේ ජංගම දුරකථන සේවාව හා සන්සන්දනය කර බලමු. මෙරට ජංගම දුරකථන සේවා සපයන ආයතන දැන් දශක කීපයක් තිස්සේ මෙරට ස්ථාපිතව සිටින ස්ථාවර සමාගම්ය. සන්නිවේදන කටයුතු වලට අවශ්‍ය මූලික යටිතල පහසුකම් වෙනුවෙන් ඔවුන්ට දැන් විශේෂ පිරිවැයක් දැරීමට සිදු නොවේ. පරම්පරාවෙන් හිමිවූ පොල් ඉඩමක් හිමි පියදාස හෝ සිරිසේන මුදලාලි බඳුය. දුරකථන සමාගම් වලට වාර්ශිකව දරන්නට සිදුවන්නේ සේවක වැටුප්, නඩත්තු කටයුතු, ප්‍රචාරන ආදී වියදම් සහ දුරබැහැර ප්‍රදේශයක ඉදිකරන සම්ප්‍රේෂණ කුලුනක බරපැන බඳු සාපේක්ෂව  කුඩා වියදමක් පමණි. පියදාස මුදලාලිගේ ද වියදම් පොල් පොහොර දැමීමට, මුරකරුවාට වැටුප් ගෙවීමට සීමාවන්නාක් මෙනි. පරම්පරාවෙන් හිමි වූ ඉඩමක් නිසා ඉඩම අත්පත් කරගැනීමේ වියදමේ කොටසක් පොල් ගෙඩියක මිලට නොඒ.

ජංගම දුරකථන සේවා සපයන ව්‍යාපාරිකයාට ඇති තවත් වාසියක් නම් වෙළඳපල වැඩිකැගැනීමට ඇති හැකියාවයි. අපේ උදාහරණය ම ගතහොත් Xනගරවැසියන්ට පොල් අවශ්‍යය වන්නේ එක්තරා සීමිත ප්‍රමාණයක් පමණි. පොල් මිල අඩු වුනා කියා ව්‍යංජනයකට යොදන පොල් කිරි වැඩි කරන්නේ හෝ,  රසකැවිල්ලක් ලෙස පොල් ටෝෆී සාදන්නේ සහ ඒ වෙනුවෙන් වැඩිපුර පොල් මිලදී ගන්නේ  සීමාසහිත ප්‍රමාණයකට පමණි.

නමුත් දුරකතන සේවා එසේ නොවේ. අයකරන ගාස්තුව අඩුවීම මත ග්‍රාහකයන් ගේ කතා කාලය අසීමිතව වැඩිවේ. එපමණක් ද නොව දුරකථන සමාගම් විවධ අතිරේක සේවා සම්පාදනය කරමින් [VAS, Internet] (අලුත් අලුත් භාණ්ඩ වෙළදපලට ඉදිරපත් කරමින්) අලෙවිය වැඩි කරගනී. අපේ උදාහරණයේ මුදලාලිලා දෙදෙනා ගේම පොල් අලෙවිය 2000ක් හෝ 2250ක ට සීමා වුවද ජංගම දුරකථන සම්බන්ධයෙන් එය එසේ නොවේ. සමහර අතිරේක සේවා පාරිභෝගිකයන් විසින් මිලදී ගනු ලබන්නේ නොදැනුවත්වමය. (ලොතරැයි ප්‍රතිපල, දෛනික රාශි පලාපල, නිවුස් ඇලර්ට්ස්, පුවත් සිරස්තල, දිවියට උපදෙස්, ප්‍රරශ්න විචාරක……….)

එසේ ම  Xනගරයට පොල් වෙළදපලට අලුතින් එක්වන ව්‍යාපාරිකයෙක්ට පවතින රු45 හෝ රු 40 මිලට වඩා අඩු මිලකට පොල් අලෙවි නොකර ස්ථාවරවීමට ඇති හැකියාව ද අවමය. ඒ සඳහා අලුත් ව්‍යාපාරිකයා ද පැරණි දෙදෙනාට සන්සන්දනාත්මක විය යුතුමය. ලාංකීය වෙළදපලට අලුතින් ම පිවිසි එයාර්ටෙල් සලකන්න. මෙරටට අලුත් වුව ද එය ඉන්දියාව තුල මනාව ස්ථාවරව ව්‍යාප්තව සිටින බැවින් ඔවුන්ට ද අනෙක් සමාගම් වලට කදිම තරඟයක් දිය හැකිය. වෙනත් සාර්ථක ව්‍යාපාර රසක් හිමි මුදලාලි කෙනෙකුට ද  වෙළඳාමට පිවිස තරඟකාරී මුදලකට වෙළඳාම කල හැක. මෙවිට ඔහුට තම අලාභය අනෙක් ව්‍යාපාර වලින් අවරණය කළ යුතු වෙයි.

(කෙසේ වුව ද මෙලෙස මිල අඩු කිරීම කවරෙකුටහෝ කළ හැක්කේ රු30 හෝ ඊට කිට්ටු වැඩි සීමාව සදහා පමණි.මක්නිසා ද යත් එතැනින් එහාට මිළ අඩු කිරීමෙන් ඔවුන්ට අලාභ ලැබීමට සිදුවීමයි).

තරඟකාරීත්වය තුලින් පාරිභෝගිකයාට ප්‍රතිලාභ අත්වීමේ කතන්දරය මෙයයි. මේ කතාව සම්පූර්ණ වීමට L.P ගෑස් චරිතය ද විදුලි බල චරිතය ද මීට එක් කල  යුතු නමුත් අවිවේකය ඊට හරස් කපයි. ඉඩ ලැබුනොත් අලුත් ලිපියකින් ඒ කතන්දරය ද ඉදිරිපත් කරමි.

Advertisements

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 26/04/2013, in මතවාද. Bookmark the permalink. 4 Comments.

  1. බුරු

    වටිනා කියන කතාවක්.
    මම නම් මේක ආදේශ කරන්නේ අත්‍යාවශ්‍ය සේවා වලට. විදුලිය, ගෑස්, දුරකථන වගේ දේවල් වලට සහනයක් ලැබෙන්න නම් මේ ක්‍රමය ක්‍රියාවට නංවන්න කාලේ හරි.

    තරඟකාරිත්වයක් ඇති වුනාම ඔය කොයිදේත් වෙනස් වෙයි. ඒත් එක්කම රාජ්‍ය ආයතනයක් විදියට තවදුරටත් විදුලි බල මණ්ඩලය පවත්වා ගැනීමේ උවමනාව මීට වඩා අධ්‍යයණය කළ යුතුයි කියලත් මා හිතන්නේ.

  2. හරි තරඟකාරිත්වයක් නැතිව පියදාස මුදලාලිගේ පොල් ඒකාධිකාරයක් විතරක් තිබුනොත් මොකද වෙන්නේ ? පොල් ගෙඩියේ මිල සත පහකින් වත් අඩුවෙනවද ? එහෙම කරන්න පියදාස මුදලාලිට තියන ඕනි කම මොකක්ද ?

  3. @බුරු,බුවා,
    ඇත්තටම මිත්‍රවරුනි, ඒකාධිකාරය ගැන විදුලි බිල ගැන මේ සටහනට ඇතුලත් විය යුතුයි.නැත්නම් මෙය අසම්පූර්ණයි. නමුත් මා කාලය සමඟ සටනක නොවැ.

    @පියදාස මුදලාලිගේ පොල් ඒකාධිකාරයක් විතරක් තිබුනොත් පොල් ගෙඩියේ මිල සත පහකින් වත් අඩුවෙනවද ? – ඇත්තෙන් ම අඩුවෙන එකක් නෑ “හාස්කමකින්“ මුදලාලි ගේ හිත උණු උනොත් මිසක. ඒ විතරක් නොවෙයි පොල් කීය වුනත් තමන්ගෙන් ම ගන්න බව දන්න නිසා පියදාස මිල වැඩි කරනවා.
    නමුත් ඔබට සිතුනේ නැද්ද පියදාස සහ සිරිසේන අතර හොඳ අවබෝධයත් ඇති වුනොත්, දෙන්නම එකතු වෙලා පොල් මිල ඉහල දැම්මොත් වෙන්නේ මොකද කියල? – අවාසනාවට ඇත්තටම අප රටේ සිද්ධ වෙන්නේ එයයි.

  1. Pingback: X නගරයේ පොල් වෙළඳාම ~ 2වන කොටස – Competition that makes the consumer a king ~ Part 2 | මේඝය

ඔබේ අදහස් දහස් වටී ....................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: