ඔෂින් දිගු ගමනක් ගියාය

ඔෂින් දිගු ගමනක් ගියාය. දුගී අඳ ගොවි පවුලක උපන් ඈ අවසානයේ විශාල සුපිරි වෙළඳසැල් ජාලයක හිමිකාරිය වූවාය.ඒ සදහා ඇය ගේ අප්‍රතිහත ධෛර්යය ද නොපසුබස්නා  උත්සාහය ද හේතු විය.සෞභාග්‍යය කරා ඈ ගමන් කළ මාර්ගය රෝසමල් ඇතිරූ මාවතක් නොව කටු අකුල් වලින් ගහන දුර්ග මාර්ගයක් ම විය. ඒ දුෂ්කර මගෙහි ගමන් කිරීම වෙනුවෙන්  ළදරු කළ සිට ම අනුන් ගේ දැලි කුණ සේදුවාය. තමන්ට වඩා වසර දෙක කුනකට බාල දරුවන්ට ආයා වූවාය. නොවඳිනා දුක් වින්දාය. නමුත් අවසන ඈ ඒ සියල්ල  ජයගත්තාය. තනිවම නොව තම දරු පවුල ද සමගින් සමෘද්ධිමත් වූ ඈ තම ජීවිත කලය කෙලවර වනවිට ව්‍යාපාරික ක්‍රෂේත්‍රයේ ඉහලටම ගමන් කිරීමට සමත්ව සිටියාය.

අහම්බයෙන් පසුගිය දිනෙක, සිංහල දෙබසින් තවද රසවත් වූ ඔෂින් ටෙල නලුව (තිස්ස අබේසේකරයන්ගේ හඬින් ඇසෙන ඔෂින් පූර්විකාවේ සඳහන් මේ වදන් තොටවත්තයන් ගේ විය යුතුය) ජාතික රූපවාහිනියෙන් දුටු විට මා සිත අතීතයට ගමන් කළේය. ඈ අපගේ පරණ ම මිතුරියකි. මුලින් ම ඔෂින් ඉංග්‍රීසි බසින් විකාශය වන විට (එවකට හරියට සිංහල වත් බැරි) අපි එය නොනැරඹූ බව මතකය. නමුත් එය සිංහල දෙබසින් නැවත විකාශය වනවිට (ගැටවර වියට පා තබා සිටි) අපි එය සතුටින් වැළඳගතිමු. (කම්මුල් රෝස පැහැ ගත්) ළදරු ඔෂින් ට සිදුවන අරියාදු හමුවේ කඳුලු සැලීමු. ඇය අම්මා ගේ, අත්තම්මා ගේ, සන්සකු (යුධ විරෝධී හමුදා සෙබලා) ගේ, කගායා හි සහල් වෙළද පවුලේ ආදරයට කරුණාවට පාත්‍ර වන විට අපි ද සැනසුම් සුසුම් හෙලුවෙමු. මේ අනගි ටෙලි නිර්මාණය ලංකාවේ ප්‍රේක්ෂකයන්ට සමීප කළ ජාතික රූපවාහිනිය මෙන්ම එය සිංහල ජනයාට තවත් සමීප කල ටයිටස් තොටවත්තයන් ද  ප්‍රේක්ෂක ජනතාවගේ  නොමද ප්‍රශංසායට ලක්විය යුතුමය.

ඔෂින් ජපාන ඉතිහාසයේ යුගයක් (ලෝක යුධ දෙක අතර කාලය හා ඉන් පසු යුගය) පුංචි තිරයතුලින් ප්‍රතිනිර්මාණය කළ අතර මෙය ඒ අතින් ඓතිහාසික වටිණාකමකින් ද හෙබි කතා පුවතකි.විකිපීඩියාවට අනුව ඔෂින් යනු එක්තරා දිරිය ජපන් කතක ගේ සැබෑ ජීවිත කතාවයි.

සමස්ථ ජපාන ජනතාවම අනාගතය ගැන බලාපොරොත්තුවක් නැතිව දුක් විදිමින් සිටි යුගයක් වීය. ගොවි ජනතාව සිටියේ ඉඩම් හිමියා ගේ  ග්‍රහණයේය. එක් කන්නයක අස්වැන්න ඊළඟ කන්නයේ අසවනු ලැබෙන තෙක් ප්‍රමානවත් නොවූ නිසා ඔවුහු බත් හා මුසු කොට රාබූ අනුභව කළෝය. දුගී ජනතාව සූරාගෙන කෑ සුලුතර ධනවත් ඉඩම් හිමියාට වාල් කම් කළෝය. දුගී විෂම චක්‍රයෙන් ගැලවීම සදහා තනිව හෝ පවුල් පිටින් පිටරටකට යෑම ගැන විශ්වාස කළහ.

සියලු පීඩනයන් හමුවේ වුව ද ජාත්‍යාලය හා දේශනානුරාග ද නොඅඩුව ජපන්නුන් ගේ සිත් සතන් තුල පැලපැදියම්ව පැවතිණි. රට වෙනුවෙන් ඕනෑම මෙහොතක යුද්ධයට යාමට ද උදාර අරමුණු වෙනුවෙන් ජීවිතය උව ද කැපකිරීමට පසුබට නොවූහ.[ඔෂින්ට තකේෂි (පුතු) ද, රූසෝ (සැමියා) ද අහිමි කළේ යුද්ධයයි.]

 මුලින් කී පරිදිම අහම්බෙන් පසුගිය දා ඔෂින් නරඹනවිට මට ඇති වූ  හැඟීම නම් ජපානය නැගී සිටි අයුරින් ජාතියක් ලෙස නැගීසිටිමට අපට නොහැකි වූයේ මන්ද යන්නයි. (වර්තමාන ශ්‍රී ලංකාව එදා ජපානය හා සසදන්න – එළවලු විකුණාගත නොහැකි ගොවීන්,  අර්ථසාධක අරමුදල රැකගැනීමට සටන් කරන කම්හල් සේවකයින්, කොරියානු සිහිනයෙන් මුසපත් ව සිටින තරුණ ප්‍රජාව).

ලේඛකයා කෙටි කලක් ජපාන සමාගමක දේශීය ව්‍යාපෘතියක සේවය කළේය. එහිදී ලද අත්දැකීම් නම් ජපන්නු ද අප රටේ ජනතාව ද දැනුම හෝ දක්ෂතාවය අතින් විශාල පරතරයක නැති බවයි.

එසේ නම් වෙනස කුමක් ද ?

ඔවුන් ගේ විනයානුකූල ක්‍රියාකලාපය සහ ආකල්ප වල ඇති උත්කෘෂ්ඨ බවයි.

උදෑසන 8.00 ට රාජකාරි ඇරඹෙන් නේ නම් සියලුම නිළධාරීන් ඒ වන විට තම ආසනය මත උදේ රැස්වීම ට සූදානම් ව සිටිය යුතුය.(වැසිකිළියේ හෝ තේ කාමරයේ නොව). කාර්යාලයේ දැන්වීම පුවරුවක සෑම නිළධාරියෙකුගේම නම හා දැන් සිටින ස්ථානය (Destination) සදහන්ව තිබේ. යමෙකු පිටතට යන්නේ නම් ඒ බව ද නැවත ඒමට බලාපොරොත්තු වන වේලාව ද ඒ පුවරුවේ සටහන් කල යුතුය.දිවා විවේකය 12.00 නම් අනිවාර්යයෙන් ම ඒ වෙලාවට පිට වියයුතුය.නැවත නියමිත වේලාවට පැමිණිය යුතුය. කාර්යාලය තුල S5 මනාව ක්‍රියාත්මක කළ යුතුය. අපේ කාර්යාල වල සිටින කා.කා.ස හෙවත් පියන් ලා මෙහි නැත. කා.කා.ස කෙනෙනකුට පැවරෙන රාජකාරි සියල්ල (ජ්‍යේෂ්ඨත්වය නොසලකා) අප විසින් ම ඉටුකරගත යුතුය.

තමන්ට පැවරෙන රාජකාරිය මනාව ඉටු කිරීම ගැන පැමිණිල්ලක් නැති මුත් අපේ දේශීය සේවකයන් සෑම විටෙකම බැලූවේ ලොක්කට නොපෙනෙන්න පහට කලින් ගෙදර යාමටය.තේ විවේකයේ වල්පල් දෙඩවීමට තව විනාඩි 20ක් වැඩිපුර ගැනීමටය. කෙටියෙන් කිවහොත් තම ප්‍රධානියා ගේ කනිං රිංගායාමෙන් අප දේශීය සේවක මහතුන් අමුතුම තෘප්තියක් ලැබීය.

වරක් අනවශ්‍ය ලෙස කඩදාසි නාස්ති කළ දේශීය සේවක මහතෙකු අමතා ජපන් විධායකයෙකු පැවසූවේ මෙයයි.”අපේ සමාගමට මේ කඩදාසිය වෙනුවෙන් වැය වන මුදල දැරීම මහ අමාරු වඩක් නෙවෙයි.ඒත් මේ කඩදාසි හදන්න විනාශ කරන ගස් කීයක් අපිට ඉතිරි කරන්න පුලුවන් ද අනවශ්‍ය ලෙස කඩදාසි නාස්ති නොකොලොත්?”

මේ සත්‍යය වශයෙන්ම ජපන්නු කල්පනාකරන විදිය බව කිවයුතුය.

අප ද ජාතියක් වශයෙන් (ඉහල සිට පහලට සමස්ථ ප්‍රජාවම) විනයගරුකව යහපත් ආකල්ප වලින් පෝෂිත ව ක්‍රියාකරන්නේ නම් දෙපයින් සිට ගැනීම මහ අමාරු දෙයක් නොවේ.

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 10/06/2012, in මතවාද. Bookmark the permalink. 19 Comments.

  1. වටිනා අදහසක් ජයශ්‍රී. දක්ෂතාවය තිබුනත් වැඩ කරන්නෙ නැති මිනිස්සුනෙ අපි.

  2. Karunaratne

    ජපනුන් දැන් ඉන්න තත්ත්වයට පාදක වුණු ප්‍රබල හේතුවක් තමයි II වන ලෝක යුද්ධයෙන් පසුව අමෙරිකා එක්සත් ජනපදය සුන්නත්දූලි වී තිබුණු ජපානයට නැවත දෙපයින් නැඟී සිටීම සඳහා මුදල් පොම්ප කිරීම සහ ජපනුන්ගේ නිෂ්පාදනවලට ඇමෙරිකාවේ දොරගුලු ඇර දීම. එහෙම නොවුණා නම් ඔෂින්ලා තාමත් රෙදි සහ මාළු විකුණ විකුණ ඉන්නවා. Sony සංස්ථාවේ එක් ප්‍රතිෂ්ඨාපකයෙක් වන අකිඕ මොරිතාගේ “Made in Japan: Akio Morita and Sony” (Dutton Publishers, 1986) නමැති පොත කියවා බලන්න.

    • තොරතුරු ලබාදුන්නාට ස්තුතියි කරුණාරත්න.පොත සොයාගෙන කියවන්න ඔන.

      • Karunaratne

        ජපානය පමණක් නොව, යුරෝපයෙත් යුද්ධයෙන් විනාශ වූ රටවල් (ජර්මනිය, ප්‍රංශය, බෙල්ජියම, නෙදර්ලන්තය, ඉතාලිය වැනි) යළි නැඟිට්ටේ අමෙරිකන් ආධාරවලින්. යුද්ධයෙන් පසුව (සමහර විට ජර්මනියට හැර) තනියම නැඟිටින්නට බටහිර යුරෝපීය රටවලට පුළුවන්කමක් තිබුණේම නැහැ. අපේ රටේ යුද්ධය නතර වී අවුරුදු 3 ක් ගත වෙලාත් තාම ඇඟට දැනෙන සංවර්ධනයක් නැත්තේ අපට එහෙම ආධාර කරන්න කවුරුත් නැති නිසා. ඒ මදිවාට තිබුණු GSP+ සහනයත් නැතිව ගියා. 1950 දශකයේ අග භාගය වන තෙක් ජපානයේ හරියාකාර මාර්ග පද්ධතියක් තිබුණේ නැහැ කියන කාරණය අද ලංකාවේ කවුරුවත් විශ්වාස කරන එකකුත් නැහැ! නොපසුබසිනා උත්සාහයට අමතරව ජපානයට තිබුණු ලොකුම වාසිය තමයි අමෙරිකාව වැනි ‘ෂුවර්’ වෙළඳ පොළක දොර විවෘත වීම. මම කලින් සඳහන් කළ පොතේ මේ ගැන විස්තර කර තිබෙනවා.

    • Karunaratne
      නොදන්න දෙයක් දැනගන්නයි අහන්නෙ. මම අහල තියන විදියට දෙවැනි ලෝක යුද්ධයට පෙරත් ජපානය සෑහෙන තරමකට දියුණුයි නේද? (ඒවගේ දියුණු තත්වයක හිටිය නිසා නෙවෙයිද අලු මතින් නැඟිටින්න ඔවුන්ට පුළුවන් උනේ?). ඒ නිසා නේද ජර්මනිය සහ ඉතාලිය යටත් උනත් ජපානය යටත් කරගන්න බැරිවුනේ? හිරෝෂිමා-නාගසාකි වලට ප්‍රහාරය එල්ල නොකල නම් ජපානයට තවත් කාලයක් යුද්ධය කරගෙන යන්න තරම් හැකියාවක් තිබුන නේද?

      එක්දහස් අටසිය ගනන්වල (මතක විදියට) පෙරී කියන ඇමරිකන් යුධ සෙනවිය ජපානයට ඇවිල්ල නේද (බලහත්කාරයෙන්) ජපානයේ විවෘත ආර්ථික ක්‍රමය ඇතිකලේ?
      -රාජ්

      • Karunaratne

        ඔව්, ii වන ලෝක යුද්ධයට පෙරත් ජපානය කාර්මික ඥාණය අතින් දියුණු තත්ත්වයක තිබුණා. බටහිර යුරෝපයේ කාර්මික විප්ලවයෙන් පසු ඇති වූ තාක්ෂණික ඥාණය සහ කුසලතා, ලංකාව හා ඉන්දියාව වැනි බ්‍රිතාන්‍ය කිරීටයට අයත් රටවල් පවා අභිබවා, ජපානය වැනි ඈත පෙරදිග රටක කාන්දු වුණේ 19 වන ශතවර්ෂයේ අග භාගයේ ජපන් රජය ඉතා දුර දක්නා නුවණින් ගත් ක්‍රියා මාර්ගයක් නිසා. ඒ තමයි තම රටේ තරුණ තරුණියන් හට නවතම ශිල්ප ශාස්ත්‍ර ඉගැන්වීම සඳහා යුරෝපයට, විශේෂයෙන්ම එවකට තක්ක්ෂණ ඥාණය අතින් විශාල ඉදිරි පිමි පනිමින් සිටි ජර්මනියට, යැවීම. ඒ තරුණ තරුණියන් (අපේ රටේ අය මෙන් නොව) යුරෝපයේ පැලපදියම් නොවී ආපසු තම රටට පැමිණ ඔවුන් ලබා ගත් ඥාණය රටේ නිෂ්පාදන කර්තව්‍යයට යෙදවූවා. අද චීනුන් මෙන් ඔවුන් මුලදී කළේ යුරෝපීය නිෂ්පාදනවල අනුකරණ නිර්මාණය කොට ඒවා අඩු මුදලකට විදේශීය වෙළඳ පොළවලට විකිණීමයි. 1920 සහ 1930 දශකවල එවැනි ජපන් බඩු යටත් විජිතයක් වූ ලංකාවටත් ආනයනය කෙරුණා. ඊට වඩා තත්ත්වයෙන් උසස් බඩු හැටියට සැළකුණේ ඉංග්‍රීසි සහ ජර්මන් බඩු.

        ඉතින් ජපානය එසේ දියුණුවක් ලැබුවත්, රටේ ධනය මහජනයාට කාන්දු වුණේ නැහැ. හරියට අද ඉන්දියාවේ වගේ. ඒ නිසා තමයි ඔෂින් කතාවේ කියැවෙන විදියට දුප්පත් ජපනුන් පිටරටකට පනින්න කල්පනා කළේ. ඒ කාලයේ දකුණු අමෙරිකානු රටවලට සංක්‍රමණය වුණු ජපනුන්ගෙන් පැවත එන අය සෑහෙන සංඛ්‍යාවක් තවමත් ඒ රටවල ඉන්නවා.

      • Karunaratne

        යුද්ධය සම්බන්ධයෙන් නම් කිව හැක්කේ ජපනුන්ට පොවා තිබුණු දේශානුරාගය නිසා ඔවුන් යටත් කිරීමට දැඩි පරිස්‍රයමයක් දැරීමට ඇමෙරිකානුවන්ට සිදුවූ බවයි. යුරෝපීය යුද්ධ පෙරමුණ සහ පැසිෆික් යුද්ධ පෙරමුණ දෙයාකාරයි. යුරෝපා යුද්ධ පෙරමුණේ ජාතීන් කිහිපයක් (බටහිරින් අමෙරිකන්, බ්‍රිතාන්‍ය, ප්‍රංශ සේනාංක සහ නැගෙනහිරින් රුසියානු සේනාංක) ගොඩබිම මත තනි රටක් වූ ජර්මනියට විරුද්ධව සටන් කළ අතර, පැසිෆික් යුද්ධ පිටිය මහා සාගරයේ කුඩා දූපත් කිහිපයක සහ අමෙරිකන් ගගන යාත්‍රාංගන සිට ඉතා ඈතින් පිහිටි ජපන් දිවයිනේ සිදු වූවක්. ජපානයට න්‍යෂ්ටික බෝම්බ හෙළීමට හේතු වුණු එක් කාරණයක් වුණේ අමෙරිකානු ගුවන් යානාවලට ජපන් නගරවලට බෝම්බ හෙළා නැවත යාත්‍රාංගනවලට පැමිණීම සඳහා අවශ්‍ය තරම් ඉන්ධන පිරවීමට නොහැකි වූ නිසායි.

      • Karunaratne

        අමෙරිකානු නාවික කොමදෝරුවකු වූ මැතිව් පෙරී 1854 දී ජපානය එතෙක් අනුගමනය කළ අනෙක් රටවලින් හුදකලා වී සිටීමේ ප්‍රතිපත්තිය අවසන් කිරීම සඳහා දායක වුණු කෙනෙක්. එය ‘බකුමත්සු’ යනුවෙන් ජපනුන් හඳුන්වනවා. විකිපීඩියාවේ මේ ගැන ලිපියක් තියෙනවා. කියවා බලන්න:
        http://en.wikipedia.org/wiki/Bakumatsu

      • බොහොම ස්තුතියි පැහැදිලි කිරීමට.
        -රාජ්.

      • Karunaratne

        තව මට එකක් කියන්න අමතක වුණා.

        ii වන ලෝක යුද්ධයට පෙර ජපානය තාක්ෂණිකව දියුණුවක් ලැබුවත් මහජනයාට එයින් යහපතක් සිදු නොවුණේ ජපන් ෆැසිස්ට් රජයට ලැබුණු ආදායම එරට යුද්ධ ශක්තිය වැඩි කරගන්න යෙදෙව්වා මිසක් මහජනයාගේ සුබ සිද්ධියට හෝ රටේ යටිතල පහසුකම් දියුණු කිරීමට හෝ ඒ මුදල් නොයෙදවුණු නිසා. ‘ඔෂින්’ගේ පරම්පරාවේ ජපනුන් යුද්ධයට පෙර අන්ත දුගී භාවයේ ගැලී සිටියේ ඒ නිසායි. ii වන ලෝක යුද්ධයෙන් පසු ජයග්‍රාහී මිත්‍ර පාක්ෂිකයන් (අමෙරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය වැනි රටවල්) ජපානය අත හැර නොදමා එරටට යළි නැගී සිටීමට ආධාර කළේ නැවතත් ඒ රට ෆැසිස්ට්වාදීන්ගේ අතට යයි කියා යි. එහෙම වුණා නම් ජපානය නැවත බටහිර රටවල් සමග ගැටුම් ඇතිකර ගන්නා තත්ත්වයකට යෑමට ඉඩ තිබුණා (දැන් උතුරු කොරියාව වගේ). එහෙත් එවැනි තත්ත්වයක් යටතේ ජපන් මහජනයාට නම් සෙතක් අත් නොවීමට ඉඩ තිබුණා. ඒකයි මම මුලින්ම කිව්වේ එහෙම වුණා නම් ‘ඔෂින්’ලා තාමත් රෙදි නැත්නම් මාළු විකුණ විකුණ ඉඳියි කියලා.

        ii වන ලෝක යුද්ධ කාලයේ ජපානය මිත්‍ර පාක්ෂිකයනට එදිරිව සිටියත්, i වන ලෝක යුද්ධ සමයේ ජපානය සිටියේ ජර්මනියට විරුද්ධව, මිත්‍ර පාක්ෂිකයන් සමග යි.

  3. සජීව ධනුද්ධර

    වටිනා ලිපියක් ජයශ්‍රී.

  4. @කරුණාරත්න, බොහොමත්ම ස්තුතියි ඔබ දුන් ලින්ක් එකට
    @සජීව, ස්තුතියි ඔබ දෙන දිරියට

  5. ඉන්ද්‍රජිත්

    කරුණාරත්න සහෝදරයා පෙන්වාදෙන ඇමරිකානු වෙළඳපල පිලිබඳ සිද්ධාන්තයට අභියෝග කිරීමට තරම් දැනුමක් මට නැහැ. එහෙත්, අපේ රට මේ තියෙන තත්වයෙන් ගොඩ ගැනීමට නම්, ආයෝජන හෝ මුදල් උල්පත් පාදා ගැනීමට අමතරව ‘විනය’ කියන සාධකය ඉතා වැදගත් බව මගේ වැටහීමයි . මූල්‍ය විනය කියන එක ගැන කිසිදු අත්දැකීමක් නොමැති අපේ රටට විදේශ විනිමය කොතෙක් හැරෙවුවත් එයට සිදුවෙන දේ, ඩබ්ලිව්. ඒ. සිල්වා සූරීන්ගේ කිසියම් නවකතාවක ආරම්භක ඡේදයේ දක්වා තියෙනවා මතකයි. කොරියානු යුද්ධය වෙලාවේ රබර් අලෙවියෙන් මෙරටට ලැබුන ආදායම හරියට යෙදවුවානම් අප රට අද ආසියාවේ දියුණු රටක් වීමට ඉඩ තිබුන බවත්, එසේ කරනු වෙනුවට අපේ පාලකයින් කලේ ඒ මුදල් වලින් හාල් නැවු පිටින් ගෙන්වා නොමිලේ බෙදාහැර ‘බත් දුන්’ පියවරුන් වීම බවත් එතුමා එහි දක්වා තිබෙනවා. මා මේ උපුටා දක්වූ කොටස දින වකවානු වශයෙන් වැරදි වෙන්න පුළුවන්. එහෙත් අද පවා සිදුවන්නේ මෙයම නොවන්නේද?
    ජයශ්‍රී පෙන්වා දෙන කාර්මික විනය අප රටේ බලහත්කාරයෙන් හෝ අනුගමනය කිරීමට මෙහි ජනයා කවදා හෝ කැමති වේ නම් මිස, කොතරම් ධනය මෙරටට ලැබුනත් පලක් නොවනු ඇත. මේ රටේ පවතින කුනාටු මුහුදක් වැනි බදු රෙගුලාසි ආදිය නිසා මෙහි ආයෝජනය කිරීමට කිසිවෙකු බැරෑරුම් ලෙස ඉදිරිපත් වෙයි සිතිය නොහැකි අතර, මෙරට ව්‍යාපාරිකයින් පවා තම මුදල් දැන් දැන් විදෙස් රටවල ව්‍යාපාර ඇරඹීමට යොදවමින් පවතින බව වාර්තා වෙනවා.

  6. අපිත් ඔෂීන් බැළුව පොඩි කාලෙදි. ඇත්තෙන්ම ජපන්නු සාපේක්‍ෂව උත්සාහවන්තයි. නිකන්ද “ජපනා හපනා“ කියන්නෙ.

ඔබේ අදහස් දහස් වටී ....................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: