සමානුපාතික නියෝජන ක්‍රමය දිගටම අවශ්‍ය ඇයි ?

මහජන නියෝජිත ආයතන සදහා නියෝජිතයන් තෝරාගැනීම සදහා අපට වඩාත් සුදුසුවන්නේ සමානුපාතික නියෝජන ක්‍රමය බවට මේඝය මීට කලිනුත් සංඛ්‍යාලේඛණ සහිතව කරුණු දැක්වූවා.මේ එහි මීළග පරිච්චේදය.

ඡන්දදායකයා ගේ නිදහස

සමානුපාතික නියෝජන ක්‍රමය තුල තම නියෝජිතයා තෝරා ගැනීම සදහා  ඡන්දදායකයා වෙත (කේවල ක්‍රමයට සාපේක්ෂව) එක්තරා ආකාරයක අසීමිත නිදහසක් පවතී.තම මැතිවරණ දිස්ත්‍රික්කයේ විශාලත්වය හා ජනගහනය මත  අපේක්ෂකයන් විශාල සංඛ්‍යාවක කුලකයකින් (සමහර විට 30 දෙනෙකුගෙන් පමණ) තමන් වඩාත් සුදුසුයයි හගින තිදෙනෙකු තෝරාගැනීමේ පූර්ණ නිදහස ඔහු සතුය.අවශ්‍ය නම් ඉන් එක් අයකුට හෝ මනාපය පල නොකර දේශපාලන පක්ෂයකට පමණක් ඡන්දය පමණක් ප්‍රකාශ කර අතසෝදාගැනීමේ අයිතිය ද ඔහු සතුය.(නමුත් මෙවිට ද  ඔහු වක්‍රාකාරව නියෝජිතයන් කීප දෙනෙක් තෝරාගැනීමට දායක වන බව සත්‍යයකි.) නමුත් පැරණි කේවල ක්‍රමය , පක්ෂය  තම මැතිවරණ කොටඨාශය සදහා නම් කරන ලද අපේක්ෂකයා වෙනුවෙන් ම තම ඡන්දය ප්‍රකාශ කරණ ලෙස ඡන්දදායකයාට බලකර සිටී. ඡන්දදායකයකු තම ඡන්දය “අසුවල් දේශපාලන පක්ෂය වෙනුවෙන්  භාවිතා කළා” යන්නෙහි අදහස ඍජුවම අදාල අපේක්ෂකයා වෙනුවෙන් භාවිතා කළා යන්නයි (සමානුපාතික නියෝජන ක්‍රමයේදී එය එසේ නොවේ).මෙහිදී  ඡන්දදායකයාගේ ප්‍රජාතන්ත්‍රීය අයිතියට යම් භාදාවක් සිදුවන බව ලේඛකයාගේ තර්කයයි.තම දේශපාලන පක්ෂය මැතිවරණයෙන් ජයගතයුතු යයි සිතන නමුත් තම ආසනයේ තම පක්ෂයේ නියෝජිතයා පාර්ලිමේන්තුවේ නොසිටිය යුතුයයි සිතන ඡන්දදායකයකුට මෙවිට මුහුණදීමට සිදුවන්නේ බරපතල උහතෝකෝටිකයකටය.විකල්ප නියෝජිතයන් තෝරාගැනීමේ අයිතිය ඔහුට අහිමිය. මෙහිදී එක්කෝ ඡන්දදායකයා (හිත හදාගෙන) පක්ෂය වෙනුවෙන් ඡන්දය දී  තම ඡන්දයෙන් තමන් අකමැති අපේක්ෂකයකු පාර්ලිමේන්තුවට පත්වනු බලා සිටී.නැතහොත් වෙනත් පක්ෂයකට ඡන්දය දීමට හෝ නැතහොත් ඡන්දය කටුගාදැමීමට ක්‍රියාකරනු ඇත. ඡන්දදායකයාගේ අභිලාශයම ස්ථාපිත කළ හැකි සමානුපාතික නියෝජන ක්‍රමය සතු නම්‍යශීලීභාවය අවශ්‍යවන්නේ මෙවන්විටකය.කේවල කොට්ඨාශ ක්‍රමය තුල ඡන්දදායකයාගේ අතපය බැද දමා ඇති ආකාරය මෙයින් පැහැදිලිය.

සංධානයක කුඩා පක්ෂ හා කණ්ඩායම්

දේශපාලන පක්ෂ කීපයක් සංධානගතව මැතිවරණ සදහා ඉදිරිපත්වීම මෙකළ සුලභ සංසිද්ධීයකි. මෙවන් සංධානයක සිටින කුඩා පක්ෂයකට මහජන නියෝජිත ආයතනයක නියෝජනය ලබාගැනීමට සමානුපාතික නියෝජන ක්‍රමය මනා පිටිවහලකි.මැතිවරණයට නාමයෝජනා දීමේදී සංධානයේ ලේකම් වරයා පක්ෂයේ තීරණ මත එක් එක් පක්ෂ හා කණ්ඩායම් වලට නාමයෝජනා කෝටාවක් ලබා දෙයි.එවිට අදාල කුඩාපක්ෂ බළධාරින් තම පක්ෂ අපේක්ෂකයන් නම්කර එවයි.ඉන් පසුව සංධානයේ ලේකම්වරයා ප්‍රධාන පක්ෂයේ සහ කුඩා පක්ෂ ගනණාවක අපේක්ෂකයන් ඇතුලත් අවසාන නාම ලේඛනය මැතිවරණ කොමසාරිස්තුමා වෙත ඉදිරිපත් කරනු ලබයි.මෙවිට අදාල කුඩාපක්ෂ දිසත්‍රික්කය තුල තමන් සතු මුලු සම්පත් ප්‍රමාණයම යොදවා (සමහර විට ජාතික මට්ටමින් ලැබෙන උදව් ද ඇතිව) තම අපේක්ෂකයාගේ ජය වෙනුවෙන් වෙහෙස වේ.එවිට පුද්ගලයකු ලෙස ඒ අපේක්ෂකයාගේ ආකර්ශනීයභාවය නිසා  සංධානයේ අනෙකුත් පක්ෂවල මනාප ද ලැබ කුඩාපක්ෂ අපේක්ෂකයන්  විශාල මනාප ඡන්ද සංඛ්‍යාවක් ලබා ජයග්‍රහණය කරනු අප දැක ඇත.නමුත් කේවල කොට්ඨාශ කුමය තුල අපට මෙවැන්නක් සදහා අවකාශයක් දැකිය නොහැක.මෙයට සංසන්දනාත්මකව කේවල කොටඨාශ කුමය තුල ප්‍රධාන පක්ෂ හා කුඩා පක්ෂ අතර නිතරග ගිවිසුම් දැක්විය හැකි නමුත් අද පවතින මැතිවරණ සංස්කෘතිය තුල එවැන්නකට ඇති ඉඩකඩ ඉතා සීමිතය ( උතුරු නැගෙනහිර සහ උඩරට කදුකරය හැර).මක් කිසා ද යත් ජාතිය මත හැර වෙනයම් හේතුවක් මත යම් කුඩා දේශපාලන පක්ෂයකට සාම්ප්‍රදායිකව බලය හිමි මැතිවරණ බලප්‍රදේශ පැවතීම උගහට බැවිණි.වෙනත් වචනවලින් කිවහොත් තමන්ටම ජයගතහැකිව තිබෙන කොට්ඨාශයක් හවුල්කාර පක්ෂයක් සමග නිතිරග ගිවිසුමකට ගොස් ජයගැනීම කිසිදු ප්‍රධාන පක්ෂයකට අනවශ්‍ය බැවිනි.(අදාල මංත්‍රීවරයා ක්‍රියාකරන්නේ තම දේශපාලන පක්ෂයේ ප්‍රතිපත්ති මත මිසක් ප්‍රධාන පක්ෂයේ ප්‍රතිපත්ති මක නොවන බැවින්).තම පක්ෂයේ බලය දුර්වලවීම වැලැක්වීම සදහා ඕනෑම පක්ෂයක් කරනුයේ මෙවන් අවස්ථා වැලැක්වීමට ක්‍රියාකිරීමයි.මෙවන් පසුබිමක කේවල කොටඨාශ ක්‍රමය තුල කුඩා දේශපාලන පක්ෂවලට පාර්ලිමේන්තු හෝ වෙනත් ආයතන වල නියෝජනයක් ලබාගැනීම කන කැස්බෑවා වියසිදුරෙන් එළිය දකින්නා වැනි දුෂ්කර කටයුත්තක් වීමට හොදටම ඉඩතිබේ.

සංධාන වලින් පිටත කුඩා පක්ෂ

ප්‍රධන පක්ෂ සමග සංධානගතනොවී මැතිවරණ වලට ඉදිරිපත්වන කුඩා පක්ෂ හා කණ්ඩායම් වලට කේවල කොටඨාශ කුමය තුල සිදුවන්නේ බරපතල ව්‍යසනයකි.ඉහත ඡේදයේ දැක්වූ පරිදි යම් පක්ෂයකට යම් ප්‍රදේශයක ජනතා කැමැත්ත විශාල ලෙස ලැබීම (ප්‍රධාන දේශපාලන පක්ෂ ද අබිභවා යන අන්දමේ) සිහිනයක් ම පමණකි.බොහෝවිට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අතර ජනතා කැමැත්ත දෝලනය වන අතර පාවෙන ඡන්ද මැතිවරණ ජයග්‍රාහකයා සදහා තීරණාත්මක බලපෑමක්  කරයි.නමුත් සමස්ථ දිවයින පුරාම 5%ක 10%ක පමණ ඡන්ද පදනමක් සමහර විට මෙවන් කුඩා පක්ෂ වලට ලබාගැනීමේ හැකියාව පවතී .මක්නිසා ද ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකකම හා සම්පාත නොවන විකල්ප මත දරන ජනතාවක් ද රටේ දිවිගෙවන බැවිණි. කේවල කොටඨාශ කුමය තුල සිදුවන්නේ මෙම ඡන්ද ප්‍රමාණයට ලබාදීමට දායක වූ ඒ ජනතාවට පාර්ලිමේන්තු නියෝජනයක් අහිමිවීම හා දිගුකාලීනව, විකල්ප මත දරණ එවන් දේශපාලන පක්ෂ දේශපාලන බිමෙන් අතුගෑවීම පමකි.(ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වන්නේ විවිධ මත දරණ විවිධ දේශපාලන කොටස් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමෙන් සැමට, නීති සම්පාදනයට හා සාකච්චාවන්ට – වාද විවාදයන්ට සහභාගීවීමට අවස්ථාව ලැබීමෙන් පමණකි).සමානුපාතික ක්‍රමය යටතේ මෙවන් පක්ෂ තම පාර්ලිමේන්තු බලය උපයෝගී කරගෙන රජයන් ඇතිකිරීමට හෝ නැතිකිරීමට පවා තීරණාත්මක කාර්යයක් කළා අපට මතකය.

අපේක්ෂකයන්ට සිදුවන අසාධාරණය

දිවයිනේ සමහර මැතිවරණ කොට්ඨාශ සාම්ප්‍රදායිකව ප්‍රධාන දේශපාලන පක්ෂවල බලකොටු බවට පත්ව තිබේ.රටේ සමස්ථ මැතිවරණ ප්‍රතිපලය කුමක් වුව ද මෙවන් කොට්ඨාශ වල ජය යම් නිශ්චිත පක්ෂයකටම ලැබීම ස්වාභාවයයි.ඕනෑම මැතිවරණයකදී මැද කොළඹ කොට්ඨාශය එ.ජා.පක්ෂය ජයග්‍රහණය කරන්නේ  වැඩි ඡන්ද 50,000 කින් පමණය.කොළඹ නාගරික කොට්ඨාශ බොහොමයක් ම එ.ජා.පක්ෂය සෑම මැතිවරණයකදීම එලෙසින් ජයග්‍රහණය කරයි.අනෙක් අතට දකුණු පලාතේ බොහෝ මැතිවරණ කොට්ඨාශ ශ්‍රී.ලං.නි පක්ෂය සෑම මැතිවරණයක දීම පහසුවෙන් ජයගනී.ලේඛකයා ගේ තර්කය නම් මෙවන් කොට්ඨාශ වල අනෙක් පක්ෂ ආසන සංවිධායක වරයා සෑමදාම පරාජය වී නිවෙසේ සිටිය යුතු ද යන්නයි.සමානුපාතික නියෝජන කුමය තුල මෙවන් අපේක්ෂකයන් ඍජු ජනතා කැමැත්ත මත ප්‍රමාණවත් මනාප ඡන්ද සංඛ්‍යාවක් ලබා පාර්ලිමේන්තුවට පත්වෙනු අප දැක ඇත.තම කොට්ඨාශයේ බහුතර ජනතා කැමැත්ත නැතිවුව ද දිස්ත්‍රික්කයේ තම පක්ෂයේ බහුතර ජනතා කැමැත්ත මත ඡන්ද සටන ජයගැනුමට අපේක්ෂකයන්ට වත්මනෙහි ඇති අවස්ථාව අවුරා නොදැමිය යුතුය.මක්නිසාද එය ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි බැවිණි.

අනෙක් අතට මෙවන් ආසන වල ජයග්‍රාහී පක්ෂයේ ආසන සංවිධායක ධූරය සදහා පක්ෂ අභ්‍යන්තරයේ ම ගැටුම් අතිවීම ද ස්වාභාවයයි.මක් නිසා ද එ තනතුරට පත්වීමම මැතිවරණ සටනින් ජයගැනීම හා සමාන බැවිණි.

ජනතා කැමැත්ත නොමැතිව පාර්ලිමේන්තුවට තේරීම

මෙය ඉහත ඡන්දදායකයා ගේ නිදහස යනුවෙන් විස්තර කළ සිද්ධියේම විලෝමයයි. පක්ෂට හෝ පක්ෂ නායකත්වයට ඇති ජනතා කැමැත්තට මුවාවී ජනතාව අතර අප්‍රිය අපේක්ෂකයන්ට මැතිවරණ ජයගැනීමට කේවල කොටඨාශ කුමය තුල මහගු ප්‍රස්ථාවක් ඇත.අපේක්ෂකයාට ඇති විරෝධය අභිභවා පක්ෂයට හෝ පක්ෂ නායකයාට ඇති පක්ෂපාතීත්වය ප්‍රභල විට ඡන්දදායකයාට ඇතිවිකල්පය වන්නේ තමා අකමැති අපේක්ෂකයකු දිනවීමට දායකවීම නිසා එවන් දේශපාලකයන් තමන්ට ඇති මහජන විරෝධය තුට්ටුවකටවත් මායින් නොකර පහසුවෙන් පාර්ලිමේන්තුවට පත්වන අතර, අපේක්ෂකයෙකුට තම පාර්ලිමේන්තු ගමන වෙනුවෙන් ජනතාවාදීව ක්‍රියා කිරීම නොව පක්ෂ නායකයා හොදින් තබාගැනීම පමණක් හොදටම ප්‍රමාණවත් බැවින් මෙවන් මහජන නියෝජිතයන්ගෙන් ජනතා සේවයක් ඉටුවේද යන්න පවා සැකසහිතය.නමුත් ඔහු නායකත්ව වන්දනාව නම් කිසිදු අඩුපාඩුවකින් තොරව සිදුකරනු ඇති අතර, ඕනෑම දේශපාලකයකුටම තම අනාගත අපේක්ෂකත්වය උදෙසා එසේ කිරීමට  කේවල කොටඨාශ කුමය මගින් බල කරනු ලැබ ඇත.මන්ද ආසන සංවිධායක ධූර යනු පක්ෂ නායකත්වයට අවශ්‍ය පරිදිම පත්කරනු ලබන පත්කීරීමක් බැවිණි.තම දේශපාලන පක්ෂය තුල අභ්‍යන්තර ප්‍රජාතන්න්‍රවාදය ශක්තිමත් කිරීමට වෙර දරන සියලු දෙනා මේපිලිබදව සිය අවධානය යොමු කළයුතුයයි සිතමු.

එබැවින් මහජන නියෝජිතයන් තෝරා ගැනීම සදහා සංශෝධන සහිතව සමානුපාතික නියෝජන ක්‍රමය දිගටම පවත්වාගෙන යායුතුයයි ද කේවල කොට්ඨාශ ක්‍රමය ස්ථාපිත කිරීම සිදු නොකළ යුතු යයි ද යලිදු අවධාරණය කරමු.

සමානුපාතික නියෝජන ක්‍රමය සම්බන්ධව පටබැදී ඇති දුර්මත වල සත්‍යාසත්‍යභාවය මීළග ලිපියකින් විමසා බලමු.

.

 

Advertisements

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 28/06/2011, in මැතිවරණ. Bookmark the permalink. 2 Comments.

  1. මාත් සමානුපතික ක්‍රමයට පක්ෂ කෙනෙක් , හේතු ඔබතුමා ලස්සනට විග්‍රහ කරල ත්යන ඒවම තමයි . ඕක ගෙනාපු ජේ ආර් මහත්තයට බැන බැන ඉන්නව මිසක් ඒ කෙන් තමන්ටත් රටටත් රටේ ප්‍රජාතන්ත්‍රවාදයටත් සිදුවුන සේවය කවුරුවත් කථා කරන්නෙ නැ . හොඳම උදාහරනෙ ජවිපේ . ඔය ක්‍රම නැත්නම් ජවිපෙ එහම හාන්සි . වැරැද්ද තියෙන්නෙ ක්‍රමයේ නෙවෙයි , ඒ ක්‍රමය භාවිතා කරන අයගෙ හැසිරීමේ

ඔබේ අදහස් දහස් වටී ....................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: