බෑන් කී මූන් උපදේශණ කමිටු වාර්තාවට මුහුණදිය යුත්තේ කෙසේද?

වන්නි මානුෂීය මෙහෙයුමේ අවසන් කාළයේ සිදු වූ සිදුවීම් සම්බන්ධව තමන්ට උපදෙස් දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මූන් මහතා පත් කළ කමිටුවේ වාර්තාව ඒ මහතාට භාරදී ඇතැයි වාර්තාවේ.එහි පිටපතක් ලක් රජයට ද ලැබී ඇති අතර රජය එහි අන්තර්ගතය එකහෙළා ප්‍රතික්ෂේප කොට තිබේ. මේ අදහස් දැක්වීම ඒ සම්බන්ධවයි.

මේ කමිටු වාර්තාව අපට අභියෝගයක් බව නොකිවමනාය.මේ අභියෝගය හමුවේ  රටක් වශයෙන් අපට ගතහැකි ක්‍රියාමාර්ග මොනවාද?

කමිටු වාර්තාව මගින් ලංකාවේ මානව අයිතිවාසිකම් කඩවී ඇතිබවට චෝදනා එල්ලවේ නම් අපවිසින් කළයුත්තේ එම චෝදනා වැරදිබව ඔප්පුකොට පෙන්වීමයි.මිනිසුන්ගේ පමණක් නොව සතුන් සහ ගහකොළ වල ද අයිතිවාසිකම් පිළිගත් හා ඒවා ආරක්ෂා කළ වසර දෙදහස් පන්සියයකට වඩා පැරණි සාඩම්බර අතීතයකට උරුමකම් කියන ශ්‍රීලංකාව, කොටි ත්‍රස්වාදීන්ට එරෙහිව කළ මානුශික මෙහෙයුමේ මුඛ්‍ය පරමාර්ථය වූයේ ද උතුරු හා නැගෙනහිර පමණක් නොව සමස්ථ දේශයේ ම ජීවත් වන අහිංසක ජනතාවගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම බව අප විසින් ජාත්‍යන්තරයට මනාව පැහැදිලි කළ යුතුව ඇත.මානුශික මෙහෙයුම අතරතුර මෙන්ම ඉන් පසුව ද ආරක්ශක අංශ විසින් සාමාන්‍ය ජනතාව සම්බන්ධව ක්‍රියා කළ ආකාරය පිළිඹදව උක්ත කමිටුවට වාර්තා වී ඇති කරුණු සාවද්‍ය බව රජය විසින් හේතු සහිතව සනාථ කළයුතුව ඇත. (කමිටුව හමුවේ මෙලෙස සාවද්‍ය සාක්ශි ගොනු කොට ඇත්තේ අපේ රටට සතුරු බලවේග බව පැහැදිලිය). එමෙන්ම හමුදාවට භාර වූ සහ අත්අඩංගුවට ගන්නා ලද කොටි ත්‍රස්තවාදීන් සම්බන්ධව රජය විසින් ගන්නා ලද මානූශීය ක්‍රියාමාර්ග ද විශේෂයෙන් පුනරුත්තාපනයෙන් පසුව ඔවුන් සමාජගත කරන ආකාරය එ.ජා.සංවිධානය ඉදිරියේ එලිදරව් කළයුතුව ඇත.මෙලෙස සමාජගතවූ තරුණ තරුණයන් අද සරසවි අධ්‍යාපනයට පවා පිවිස සිටින බව ලංකාවේ ජනතාවට නම් රහසක්නොවේ.අවාසනාව වන්නේ මේ තොරතුරු විදේශ වලට එ.ජා.සංවිධානය වෙත සන්නිවේදනය නොවීමයි. වන්නි මානුෂීය මෙහෙයුමේ අවසන් කාළයේ හමුදාවෙත භාරවූ ජෝර්ජ් මාස්ටර් වැනි කොටි සාමාජිකයින් අධිකරණමය ක්‍රියාමාර්ග කරා යොමු කෙරුණු බව පෙන්වාදිය යුතුව ඇත.  ලක්ෂ්මන් කදිර්ගාමර් බදු විදේශ කටයුතු  අමාත්‍ය වරයකුගේ අඩුව තදින්ම දැනෙනුයේ මෙවන් මෙහොතකය.

එ.ජා.සංවිධානය බලල් අතක් කරගෙන මේ කොස්ඇට බාන්නට සූදානම් වන්නේ නව යටත්විජිතවාදී බටහිර ප්‍රජාව බව සත්‍යයකි.එමෙන්ම අපට මානව හිමිකම් කැඩීම පිළීඹද චෝදනා කරන මේ රටවල් ඉරාකය,ඇෆ්ගනිස්ථානය,වැනි රටවල දී ඒ එටවල ජනතාවගේ මානව හිමිකම් සුරැකි අන්දම ද කාටත් රහසක් නොවේ.ඇත්තෙන්ම ඔවුන්ගේ දෑත් පමණක් නොව මුලු සර්වාංගයම අහිංසක ජනතාවගේ ලෙයින් තෙත් වී ඇති බවට ඉරාකයේ දී කරන ලද ජන සංහාරයම සාක්ශි දරයි.නමුත් මේ කරුණු ඉස්මතු කර එ.ජා.සංවිධානයට හෝ බෑන් කී මූන් මහතාට සෘජුව අභියෝග කිරීම (“අඩෝව්………. ගේම නම් ගේම”) මේ ගැටලුව නොවිසදනවා පමණක් නොව තවත් උග්‍ර කරන බව ද, ලෝකය ඉදිරියේ අප රට තවදුරටත් හෑල්ලු වන බව ද අප විසින් තේරුම් ගතයුතුව ඇත.

මේ ගැටුලුව සම්බන්ධව අප විසින් ගතයුතුව ඇත්තේ සාමකාමී, බුද්ධිමත් පුවේශයකි. උදාහරණ ලෙස මීට පෙර අල්ජසීරා මාධ්‍යය මගින් විකාශය විඩියෝවක් කළ අප හමුදාවට අපහාස කිරීමට ව්‍යාජ ලෙස සකස්කරන ලද්දක් බවට  ජාත්‍යන්කර ප්‍රජාවට ඔප්පුකර පෙන්වීමට අප විශේෂඥයෝ සමත්වූහ.එමෙන්ම එම ක්‍රියාමාර්ගය සමග මුලු රටම පක්ශ, පාට භේදයකින් තොරව බද්ධ වී සිටිය යුතුය.මේ අභියෝගය ජයගත හැක්කේ එවිටය.

Advertisements

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 19/04/2011, in කාලීන, මතවාද. Bookmark the permalink. 11 Comments.

  1. Lahiru Nuwan

    “ව්‍යාජ ලෙස සකස්කරන ලද්දක් බවට ජාත්‍යන්කර ප්‍රජාවට ඔප්පුකර පෙන්වීමට අප විශේෂඥයෝ සමත්වූහ.”

    http://www.channel4.com/news/sri-lanka-video-is-astonishing-evidence

  2. Lahiru Nuwan,

    1.ඔබගේ යොමුව ඔස්සේ ගිය විට දක්නට ලැබෙන්නේ ඒක පාර්ශවික වාර්තාවක්. අදාල වීඩියෝව සම්බන්ධ ව ශ්‍රීලංකාව පැත්තෙන් ලබාදුන් පිළිතුර නැතිව මේ සාකච්චාව සමබර වෙන්නේ නෑ.අදාල විස්තර සොයාගත් පසු මෙහි පළකරමි.

    2.කොටි දශක 3ක් තිස්සේ නිරායුධ අහිංසක ජනතාව සාහසික ලෙස ඝාතනය කිරීම Geneva Convention ට එකගද?

  3. රාමචන්ද්‍ර

    ජය ශ්‍රී

    ඔබගේ ලිපිය දැක්කේ ප්‍රමාද වෙලා.ඔබ සිටින මතය සමග එකග නැතත් එය සංවාදයක් ගොඩනගා ගැනීමට අපට බාධාවක් නොවේ කියලා හිතනවා.

    1.”මානුශික මෙහෙයුම” “උතුරේ ජනතාව මුදාගැනීම” වගේ වචන වල තියෙන Ideology එක ඔබට වැටහිලා නැහැ.උතුරේ සිදුවුනේ යුද්ධයක්.ඒක මානුශික මෙහෙයුමක් ඒකෙන් මැරුනෙ කොටි විතරයි සිවිල් වැසියන්ගේ මයිලකට හානියක් උනේ නැහැ වගේ දේවල් පිලිගන්න පුලුවන්ද?කොටි වගේම හමුදාව කලෙත් මරන එක.”අපි” සහ “උන්” කියන බෙදීම හදාගත්තට පස්සෙ “අපි” කරන වැරදි අපිට පෙනෙන්නෙ නැහැ.පෙනුනත් ඒව පිලිගන්න මැලි වෙනව.චැනල් 4 විඩියෝව දිහා බලල හිතට එකගව අවංකව ඒක ව්‍යාජයි කියල කියන්න පුලුවන්ද?ඒක ව්‍යාජයි කියල “විශේෂඥයෝ”(කවුද මේ විශේෂඥයෝ?ආන්ඩුව පත්කල පිරිසක් මිස අපක්ෂපාතී අය නෙමෙයි නේද?) ජාත්‍යන්තරයට “ඔප්පු” කලා කියල කියද්දී ඒක ඔබවත් විශ්වාස කරනවාද?අපිට උඩින් ඉන්න බලය තියෙන අය අපට කියන දේවල් ඒ විදිහටම භාරගන්නෙ නැතිව විචාරාත්මක වෙන්න ඕනෙ කියන්නෙ මේ නිසා.

    2.මූන්ගේ කමිටු වාර්තාව ගැන අදහස් දැක්වූයේ එය කියවා බලා කියලා මම හිතනවා.දැන් ඒ වාර්තාව “අසත්‍ය” “පදනම් විරහිත” වාර්තාවක් බව ජනමාධ්‍යත් ඒ ජනමාධ්‍ය වලින් තොරතුරු දැනගන්න පොදුජනයාත් කියනව.පෙත්සම්වලට අස්සන් කරනවා.ඒ වාර්තාවේ තිබෙන බොහෝ කරුනු නමුත් – අවාසනාවකට වගේ ඇත්ත කියල ඔබයි මමයි දන්නවා නේද?කොටි රැදවුම්කරුවන් ගැන කතාව සරසවි වරම් ලබන්න චාන්ස් දුන්න කියන ජනප්‍රිය මිථ්‍යාවට වඩා ගොඩක් වෙනස්.
    උතුරේ මේ මොහොතේදීත් විශාල මර්ධනකාරී පාලනයක් තියෙනවා.ජනජීවිතය සාමාන්‍ය තත්වයට පත්වෙන්න දෙන්නෙ නැතිව අසාමාන්‍ය හමුදා පීඩනයක් එහෙ පවත්වාගෙන යනවා.මේව තේරුම් ගන්න නම් දෙමල මිනිස්සුන්ව ආශ්‍රය කරන්න වෙනවා.එදා එල්ටීටීඊ එකට බයෙන් හිටපු දමිල මිනිස්සු අද හමුදාවට බයෙන් ඉන‍්නෙ කියන එක එතකොට ඔබටම වැටහේවි.අයිටීඑන් එක විතරක් බලලා තීරන ගන්න එක වැරදියි.මෝඩයි.රටේ අධිකරන ස්වාධීනත්වය කෙලෙසිලා කියන එක බොරු නෙමෙයි නේද?චන්දන කත්‍රිආරච්චිගේ මිනීමැරුම් චෝදනා නීතිපතිම ඉල්ලා අස්කරගන්නවා ඔබ දැක්කා නේද?රටේ මානව හිමිකම් කඩවීම් ගැන හොයල බලන්න ස්වාධීන අධිකරන යාන්ත්‍රනයක් නැහැ කියල මූන් කියද්දී – කොච්චර කටුක වුනත් – ඒ ඇත්ත නේද?ලසන්ත වික්‍රමතුංග වගේ මාධ්‍යවේදින් ගේ මරන ගැන පරීක්ෂනයක්වත් රජය ක‍ලේ නැහැ නේද?මේවගේ වැරදි අපේ පාලකයො කල නිසා නේද මුන්ලාට ඇගිලි ගහන්න ඉඩක් හැදිල තියෙන්නෙ?මූන් මේ කමිටුව පත්කරන්නෙම මහින්ද රාජපක්ෂ එක්ක ආව එකගතාවයක් මත පදනම් වෙලා නේද?

    • ස්තුතියි අදහස් දැක්වීමට.
      මුලින්ම ඔබත් එක්ක එකග වෙන්න පුලුවන් තැනින් පටන් ගමු.
      1.රටේ අධිකරන ස්වාධීනත්වය කෙලෙසිලා – මටත් ඒක පිළිගන්නවෙනවා ඔබ කිව්ව උදාහරණය වගේම මිනි මැරුම් වරදකින් නිදහස් වුණු රත්නපුර බස්නායක නිළමේ වගේ උදාහරණ රාශියක් මටත් ගෙනහැර පාන්න පුලුවන්.

      2.ඇත්ත මාධ්‍ය හරහා ලැබෙන තොරතුරු අනුව මගේ මතය ප්‍රකාශ කරනු විනා, මම ජනතාව අතරට ගොස් තොරතුරු සොයාගෙන පලකරන වෘත්තීය මාධ්‍යවේදියෙකු නොවෙමි.
      එමෙන්ම රාජ්‍ය මාධ්‍යය පමණක් පරිශිලනය කරන පක්ශග්‍රාහී ප්‍රේක්ශකයෙකු ද නොවෙමි.

      3.කොටින් සාමාන්‍ය ජනතාව ඝාතනය කළ අන්දම හිටපු TNA පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු විසින් හෙලි කරන මෙම ප්‍රවෘත්තිය ඔබ නෙතු ගැටුනාද?
      http://www.asiantribune.com/news/2011/04/19/final-days-vanni-600-tamils-shot-and-killed-stray-dogs-first-person-revelation

      4.කොටින් දශක 3ක් තිස්සේ කළ අමානුශික ඝාතන ගැන බෑන් කී මූන් ලා සොයන්නැත්තේ ඇයි? දහස් ගණන් නිරායුධ මින්සුන්ගේ ජීවත්වීමේ අයිතිය නැතිකළෝ උන් නොවේද?

      5.ඉරාකයේ, ඇෆ්ගනිස්ථානයේ බලවත් රටවල් කළ/කරන යුධ අපරාධ ගැන නොසොයා තුන්වන ලෝකයේ රටවල් (අප වැනි) වල යුධ අපරාධ සෙවීම සදාචාරාත්මකද?
      මෙහිදී ක්‍රියාත්මක වන්නේ “පහත් තැනින් යයි ගලා ජලේ” යන න්‍යාය නොවේද?

  4. මේ පෝස්ට් එකේ දක්වා ඇති කරුණු බුද්ධිඝෝචරයි.මෙහිදී ශ්‍රී ලාංකික අප සියළු දෙනා එකතුවී කල යුත්තේ කමිටු වාර්තාවෙන් අප රටට එල්ල වී ඇති චෝදනා වැරදි බව ඔප්පු කිරීමයි.ඉංග්‍රීසි ලිවිය හැකි ලාංකීය බ්ලොග් ලියන්නන් පවා කල යුත්තේ අත්අඩංගුවට ගත් කොටි සැකකරුවන් රජය මානුෂික අයුරින් පුනරුත්තාපනය කර සමාජ ගත කර ඇති අයුරු ලොවට විදහා පෙන්වීමයි.එය සත්‍ය ලෙසම සිදුවන්නක්.එය සිතට එකගව කල හැකි දෙයක්.අපට විරුද්ධව සිටින්නන් බොරු මවා පෑම් කරන විට අපේ අයට පෙනෙන්න දකින්න තියෙන සත්‍ය දෙයවත් හරියට ලෝකෙට කියාගන්න බැහැ.ලංකාවේ අය මුල ඉදන්ම වරද්ද ගත්ත තැනක් තමයි උතුරේ ප්‍රශ්ණයට “ජනවාර්ගික අර්බුධය” කියන මෝඩ වචනය පාවිච්චි කිරීම.ඔය මෝඩ කම මුලින්ම කලේ ජේ.ආර්.දැන් බලන්න වෙනත් රටවල් වල යුද්ධ වන විට එතනට ඇමෙරිකාව,බ්‍රිතාන්‍ය වගේ රටවල් සම්බන්ධ නම් විරුද්ධ පාර්ශ්වය ත්‍රස්තවාදීන් ලෙස තමයි නම් කරන්නේ.ඇත්තටම උතුරේ ප්‍රශ්නය මුලින්ම ඇති වුනේ “ත්‍රස්තවාදයක්” ලෙසයි,අපේ සිංහල නායකයින් තමයි ඒක “ජනවාර්ගික අර්බුධයක්” කලේ.මුල් දවස්වල අපේ සිංහල උදවිය දෙමළ ජනතාවට සැලකුවේ හරිම අමානුෂික විදියට.අන්න ඒ දවස්වල කරපු වැඩ වල හැටියටනම් ඔය කියන කමිටු වාර්තා චෝදනා සත්‍ය වෙන්න පුළුවන්.ඒත් ඒ චෝදනා එල්ල වෙන්නේ අපේ මෑත කාලීන යුධ විරුවන්ට නොවෙයි.මංමාවත් වල කොළඹ නගරයේ අහිංසක දෙමළ ජනයාට හිරිහැර කළ අවස්ථාවාදී සුළු පිරිසක්,දැන් උන්ගෙන් වැඩි හරියක් මැරිලත් ඇති.කපටි මුස්ලිම් වෙලෙන්දොත් ඒ අවස්ථාවෙන් හොදට ප්‍රයෝජන ගත්තා.මෑත කාලයේ යුද්ධ කළ අපේ රණවිරුවන් එය කළේ ඉතා මානුෂික අයුරින්.ඔය චෝදනා ගොඩක් එල්ල වෙලා තියෙන්නේ අවසන් ත්‍රස්තවාදීන් පිරිස විනාශ කිරීම සම්බන්ධවනේ.නිකමට හිතන්න ඒ වගේ දරුණු ත්‍රස්තවාදීන් මෙල්ල කිරීම එලෙස නොකලානම් කොහොමට හිටීද?ඒ අය අත්අඩංගුවට ගැනීම නිකං විහිළුවක් වගේ.
    මොනා කලත් අපේ රට දැන් නිදහස්. මතකද අපේ අය යුද්දෙ දින්න මුල් දවස්වල බෙර ගහල කස ගහල රතිඤ්ඤ පත්තු කරල ජයපැන් බීපු හැටි.හාල් පරිප්පු ,ලයිට් බිල්,ටෙලිෆෝන් බිල්, ගෑස් ,තෙල් ජීවිතය නෙවෙයි.ආන්ඩුව මටනම් නරක උපාධිධාරීන්ට සලකන්නෙ නැතිව නුසුදුස්සාට තැන දෙන එකයි.දැන් ඔය දේශපාලන බ්ලොග් ලියන බොහෝ දෙනෙකුට කොම්පියුටරේ ලගට වෙලා නිදහසේ මූන් කමිටු වාර්තාව ගැන ලියන්නවත් පුළුවන්ද කොටි විනාශ වුනේ නැත්නම්.
    ජයශ්‍රී කිව්ව වගේ අපේ රට යුද්ධයෙන් පසු මානුෂිකව වැඩ කටයුතු කරලත් ඒක නිවැරදිව ජාත්‍යන්තරයට යවා ගන්න බැරි වීම ලොකු අඩුවක්.කදිරගාමර් මහතා වැනි නියම ශ්‍රී ලාංකිකයන් නැතිවීම ඒකට එක් හේතුවක් වෙන්නත් පුළුවන්.
    * ඇත්තටම 12% ජනගහනයක් ඇති දෙමළ ජාතිකයන්ට රටේ භූමි ප්‍රමාණයෙන් 20% ක් ඔවුන්ටම වෙන්වූ අයුරින් දැනටම සකස් වී තිබෙනවා.සිංහල රට යැයි කට වචනයට කීවාට ඉහත දැක්වූ ප්‍රදේශවල සිංහලයන් නැත.යුද්ධයෙන් මියගිය කිසිදු සිංහල යුධ සෙබලෙකුගේ පවුලේ අය හෝ වෙනත් සිංහලයන් එම ප්‍රදේශ වල නැවත පදිංචි වීමක් නැත.බලාගෙන යනවිට අපේ සිංහල සෙබලුන් මියගොස් ඇත්තේ සිංහල අපේ බිම වෙනුවෙන් නොව දෙමළ ජනයාගේ බිම වෙනුවෙනි.ජාතිවාදී සිංහලයකුට මෙලෙස සිතුවිල්ලක් පහල විය හැකි වුවත් එය වැරදිය.අපේ සෙබළුන් දිවි පිදුවේ සිංහලයන් වෙනුවෙන්වත් දෙමළුන් වෙනුවෙන් වත් නොව ශ්‍රී ලාංකිකයන් වෙනුවෙනි.කෙසේ වුවත් ත්‍රස්තවාදීන් නිසාද දෙමළ ජනයාට යහපතක් සිදුවී ඇත.ඔවුන් නොවන්නට සිංහළුන් දෙමළුන්ට සලකන්නේ සුළු ජාතියක් හැටියටය.ඇත්තටම යුද්ධයෙන් පාඩම් ඉගෙන ගත් අපේ සිංහලුන් දැන් සුළු ජාතීන්ට හොදින් සලකයි.අනිත් අංග කෙසේ වෙතත් භූමියෙන් ඉල්ලූ ඊලම දෙමළ ජනයාට ඉබේම ලැබී ඇත.

  5. ස්තුතියි ජ්‍යෙතිශ ලංකා,

    ඇත්තටම රටක් හැටියට අපිට තියෙන විශාලම භාදකය තමන් ප්‍රචාරනය පිළිබද ගැටළුව.රජය විදේශ තානාපති අංශ හරහා නිසිලෙස ක්‍රියාත්මක නොවුණ හොත් සතුරන් අසත්‍යයම සත්‍යය ලෙස ලෝකය පුරා පතුරාවි.(ගොබෙල්ස් න්‍යාය දන්නවා නේ.ඕනෑම බොරුවක් නිතර නිතර කියන විට ශ්‍රාවකයා ඒක ඇත්ත කියල පිළිගන්න පෙළබෙනවා.)

  6. රාමචන්ද්‍ර

    @ ජය ශ්‍රී

    මම මතුකරන්න හදපු දේ ඔබට තවම හරියට අහුවෙලා නැහැ වගෙයි.බෑන් කී මූන්ලා ඇෆ්ඝනිස්ථානය ඉරාකය ගැන නිශ්ශබ්දයි කියන එක ගැන තර්කයක් නැහැ.සුඩානය,යුගොස්ලාවියාව,ලංකාව වගේ රටවල් ගැන විතරයි මේ මැදිහත්වීම කියන එකත් ඇත්ත.නමුත් වැදගත්ම ප්‍රශ්නය – එහෙම අත පොවන්න අවස්ථාව ලැබෙන්නේ අපේ පාලකයන් කරල තියෙන වැරදි වැඩ නිසා නේද?පාලකයන් පුරවැසියන් සම්බන්ධව තක්කඩිකම් කරල මූන්ලා ඒව දඩමීමා කරගෙන ඇගිලි ගහද්දි ආයෙත් පුරවැසියන්ගෙන් රජය ඉල්ලනව නම් අනේ අපි වෙනුවෙන් පෙනී ඉන්න කියල ඒක සදාචාරාත්මක නැහැ නේද?

    //ඇත්ත මාධ්‍ය හරහා ලැබෙන තොරතුරු අනුව මගේ මතය ප්‍රකාශ කරනු විනා, මම ජනතාව අතරට ගොස් තොරතුරු සොයාගෙන පලකරන වෘත්තීය මාධ්‍යවේදියෙකු නොවෙමි.
    එමෙන්ම රාජ්‍ය මාධ්‍යය පමණක් පරිශිලනය කරන පක්ශග්‍රාහී ප්‍රේක්ශකයෙකු ද නොවෙමි//

    පක්ෂග්‍රාහී නොවීම ඉතා හොදය.අවාසනාවකට ලංකාවේ අතිබහුතර ජනමාධ්‍ය (ජාතික පුවත්පත් සියල්ල ඇතුලත්ව) පාලනය වනුයේ රාජ්‍ය මතවාදය හරහාය.දෙරන,ස්වර්නවාහිනිය යනාදියේ අයිතිය පෞද්ගලික වන නමුත් මතවාදය රාජ්‍ය කේන්ද්‍රීයය.විකල්ප පුවත්පත් කිහිපයක් හැර රාජ්‍ය මතවාදයට අනුකූල නොවූ තොරතුරු ඉදරිපත් කරන මූලාශ්‍ර ඉතා ස්වල්පයකි.මම නිදසුනක් කියන්නම්.කොටි සංවිධානයේ හිටපු ගැහැනු සහ පිරිමි යුවල් කිහිපයක් විවාහ වීමක් පිලිබද උත්සවශ්‍රීයෙන් යුක්ත ප්‍රවෘත්තියක් ජනමාධ්‍ය වෙතින් විකාශය කලා ඔබට මතක ඇති.මාධ්‍ය වලින් ලෝකය දකින කෙනෙක් දැන් වැඩේ ‍මාරයි යනුවෙන් කියනු ඇති අතර ඒ ගැන දොසක් කියන්නත් බැහැ.නමුත් මා සම්බන්ධ ආයතනයේ මිතුරෙකු (ඔහුට සමීප මාර්ගයකින් දැනගත් තොරතුරක් මත ) මා හට පැවසූයේ අදාල විවාහයන් හමුදා නිලධාරීන්ගේ අවශ්‍යතාවය මත සිදුවූ ඒවා බවයි.එනම් එම විවාහ සිදුකොට තිබෙන්නේ එක්තරා විදිහක බලහත්කාරයක් යොදමින් බවයි.උතුර ගැන මෙලෙස හෙලිනොවන තවත් බොහෝ දේ තිබෙනවා.යාපනයේ අධික හමුදා පීඩනය නිසා වැසියන් අපහසුතාවයෙන් බියෙන් ඉන්නවා කියන්නෙ යුද්ධයට එක හිතින් සහයෝගය දුන්න ආනන්ද සංගරී මහතා.මේ පැති රාජ්‍ය මතවාදීන් අපට පෙන්නන්නේ නැහැ.මන්ද එහෙම පෙන්වුවහොත් එය රජයට අවාසිදායකයි.මම කියන්නේ අපි නිගමනවලට එනකොට මේ නොපෙන්වන පැත්ත ගැනත් හිතන්න ඕනෙ.

    //කොටින් සාමාන්‍ය ජනතාව ඝාතනය කළ අන්දම හිටපු TNA පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු විසින් හෙලි කරන මෙම ප්‍රවෘත්තිය ඔබ නෙතු ගැටුනාද?//

    කොටි අපරාධ කලේ නැහැ කියල මා කිසිතැනක කියල තියෙනවද?මම කියන්නේ කොටි අපරාධ කල එකෙන් රජය මේ වනවිටත් කරමින් ඉන්න මානව හිමිකම් උල්ලංඝනය වීම් සාධාරනීකරනය කල නොහැකි බවයි.

    //කොටින් දශක 3ක් තිස්සේ කළ අමානුශික ඝාතන ගැන බෑන් කී මූන් ලා සොයන්නැත්තේ ඇයි? දහස් ගණන් නිරායුධ මින්සුන්ගේ ජීවත්වීමේ අයිතිය නැතිකළෝ උන් නොවේද?//

    නැවත මේ දිවයින හෝ ඒ වර්ගයේ මූලාශ්‍ර වලින් දැනුම ලබන්නට යාමෙන් ඇතිවන ගැටලුවයි.බෑන් කී මූන්ගේ වාර්තාව ඔබ කියෙව්වාදැයි මම ඇසුවේ ඒ නිසා.එම වාර්තාවේ රජයට කාරනා 5 ට චෝදනා කරද්දී කොටි සංවිධානයට කාරනා 6 ක් යටතේ චෝදනා කරලා තියෙනවා.කොටි අපරාධ කල බවක් එම වාර්තාවෙන් කියනවා.නමුත් දිවයින මෙය වාර්තා කරන්නේ “කොටි හිතවාදී” වාර්තාවක් විදිහට.කොටින්ට යුද අපරාධ චෝදනා කරන වාර්තාවක් “කොටි හිතවාදී” වෙන්නෙ කොහොමද?ආවේගශීලීව කෑ ගහන එක ලේසියි.නමුත් බුද්ධිමත් ක්‍රියාව මේව ගැන හොයල බලල නිගමන වලට එන එක නේද?

    • //නමුත් බුද්ධිමත් ක්‍රියාව මේව ගැන හොයල බලල නිගමන වලට එන එක නේද?//

      මම ඒ ප්‍රකාශය සමග 100% ක් ම එකගයි.

  7. රාමචන්ද්‍ර

    http://www.lankanewsweb.com/news/EN_2011_04_26_005.html

    ජය ශ්‍රී මේක ගැන දරන අදහස මොකක්ද?

    • යුද්ධය කියන එක කොහොමත් අමානුශිකයි රාමචන්ද්‍ර.මෘත ශරීරයකට අපහාස කිරීම නොවෙයි මිනිසෙක් හෝ ගැහැණියක් (ඇත්තටම සෙබලෙක් හෝ සෙබලියක් ලෙස මෙතනදී හැදින්වෙන) ඝාතනය කිරීමත් ශෝකයට මිසක් සතුටට හේතු වන්නක් නොවේ.නමුත් මම තදින්ම විශ්වාස කරනවා ලංකා ආණ්ඩුව කොටින්ට එරෙහිව යුද්ධ කළේ වෙන විකල්පයක් නැතිම තැන කියල.(ව්‍යාජ සටන් විරාම හරහා කොටින් විසින් කීපවතාවක් රැවටීමට ලක් කිරීමෙන් පසුව)

      ඉඩ දෙන්න මටත් යමක් ඔබට මතක් කර දෙන්න.කොටින් ලංකා හමුදාවේ සෙබලුන් (සහ තමන්ට අවනත නැති සාමාන්‍ය ජනයා) සිරගත කර අමානුශික වද වේදනා දෙමින් තබා ගෙන සිටියා(maltreatment to living human ?).මිනිසකුට සිටගෙන වත් සිටිය නොහැකි සිරකුටි සහිත මෙවන් වධ කදවුරු පසුව හමුදාව විසින් සොයාගනු ලැබුවා (සිරකරුවන්ගෙන් තොරව).නමුත් යුද්ධය අවසානයේ ඒ එක සෙබලෙකු හෝ සාමාන්‍ය වැසියකු පණ පිටින් නම් සොයා ගැනීමට ලැබුනේ නැහැ.එනම් ඒ සියලු දෙනා අති අමානුශික ලෙස මරාදමන්නට ඇති.පසු කලෙක එවන් අය ගේ මළ සිරුරු වල දැමූ සමූහ මිනිවලවල් පවා සොයාගනු ලැබුණා.නමුත් දෙස් විදෙස් මාධ්‍ය වෙත මේහා සම්බන්ද වීඩියෝ නම් ලැබෙන්න නැතිව ඇති.මෙවැනි පුවත් පල නොවන්නේ ඒක නිසා වෙන්න ඇති.

  8. රාමචන්ද්‍ර

    දකුනේ 88/89 කාලයේ උන දේවල් ගැන ඔබ අසා ඇතැයි සිතනවා.බටලන්ද වධකාගාරය,සූරියකන්ද සමූහ මිනී වලවල්,ඒවායේ උන අපරාධ – මේවාත් යුද්ධයක ආනුශංඝ තමයි.නමුත් ඒවා ශිෂ්ට සමාජයකට පිලිගන්න බැහැ.ඒව අපි හෙලාදැක්කා නේද?කොටි සංවිධානය සමග යුදවැදීම එකක්.නමුත් මෙවැනි තුච්ඡ සිදුවීම් “නොවැලැක්විය හැකි” ඒවාද?චැනල් 4 වීඩියෝවත් මෙබදුම තව උදාහරනයක්.ඔබ ද්‍රවිඩ ජාතිකයෙකු උනා නම් ඔබේ වර්ගයේ ස්ත්‍රීන් සමූහයකට (සමහරවිට මේ ඔ‍බේ සොහොයුරිය/මව විය හැකියි) මේ විදිහට සලකනවා දුටුවහොත් එය යුද්ධයේ “නොවැලැක්විය හැකි ප්‍රතිඵලයක්” විදිහට හිතාගෙන හිත හදාගන්නවාද?නැහැ නේද?යුද්ධය අමානුෂිකයි නම් එය ඒ ලෙස පිලිගත යුතුව තිබුනා.නමුත් දකුනේ අපිට යුද්ධය මීඩියා කානිවල් එකක් වුනා නේද අන්තිමට?යුද්ධය පිලිබද වාර්තා කරද්දී – තවම – එහි තිබෙන මිලේච්ඡ පැතිකඩ නෙමෙයි “විරෝදාර” පැත්ත නේද කතාකරන්නෙ?ඒ කියන්නේ තව යුද්ධයක් ආවොත් ආයෙ කෙලිනවා කියන තැනට නේද මනස සකස් කරල තියෙන්නේ?උතුරේ මහා ඛේදවාචකයක් වුනා කියන හැගීම දකුනේ නැහැ නේද?මේ වීඩියෝව සොල්දාදුවන් විසින් ගනු ලැබූ “යුද ස්මරන”.මට මේ දර්ශනය අපුලයි.පිලිකුල්සහගතයි.කොටි කලත්,හමුදාව කලත් මේවා හෙලා දැකිය යුතු වර්ගයේ පාදඩ ක්‍රියා.මෙහෙම පසුබිමක හමුදාව යුද්ධ කලේ එක අතකින් තුවක්කුවත් අනෙත් අතින් මානව හිමිකම් ප්‍රඥප්තියත් අරගෙන යැයි ජනාධිපති කියනකොට – මේක මහා ප්‍රෝඩාවක් නේද?කතාබහට ස්තුතියි.මේ කතාබහෙන් මම බලාපොරොත්තු උනේ “මානුශික මෙහෙයුම” පිලිබද මීඩියා කතාවේ වෙනත් පැත්තක් තියෙනවා කියල පෙන්වලා දෙන්න.ඒ පිලිබද ඔබේ අවධානය මදක් හෝ යොමුවේ නම් එය මට සතුටක්.

ඔබේ අදහස් දහස් වටී ....................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: